
අන්තර්ජාතික ‘උඩවැඩියා’ පර්යේෂණ ක්ෂේත්‍රයේ දේශීය සලකුණ
මියන්මාරයෙන් සොයා ගන්නා ලද නව ‘උඩවැඩියා’ විශේෂයක් ‘Holcoglossum clausum’ පිළිබඳ පර්යේෂණ පත්‍රිකාවක් පසුගිය වර්ෂයේ (2024 මාර්තු 5 දින) ‘PHYTOTAXA’ අන්තර්ජාතික ජර්නලයේ ප්‍රකාශයට පත් කෙරිණි. මෙම සොයා ගැනීමේ විශේෂත්වය වන්නේ, ශ්‍රී ලංකාවේ ‘උඩවැඩියා’ පිළිබඳ පර්යේෂකයකු වන චම්පික බණ්ඩාර මහතා විසින් මෙම විශේෂය හඳුනාගැනීමට කළ දායකත්වයයි. අමතර ව, පසුගිය වසරේ දී මියන්මාරයෙන් සොයා ගත් නව ‘උඩවැඩියා’ විශේෂයක් ‘Chiloschista shanica’ නම් කිරීමට ද ඔහු දායකත්වය ලබා දී ඇත. මෙම ‘උඩවැඩියා’ විශේෂ මියන්මාරය හා තායිලන්තය හරහා ජර්මනියට අපනයනය වී තිබේ.
දැනට ශ්‍රී ලංකාවේ ‘උඩවැඩියා’ පිළිබඳ ව පර්යේශණවල නිරත වන චම්පික මහතා පසුගිය වසර කිහිපය තුළ නව ‘උඩවැඩියා’ විශේෂ ගණනාවක් හා නව දේශීය වාර්තා කිහිපයක් ම ප්‍රකාශයට පත් කළේ ය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධිය ලබා ඇති ඔහු ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත් අතර මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, පශ්චාද් උපාධි අධ්‍යයන පීඨයේ තම ආචාර්ය උපාධිය සම්පූර්ණ කරමින් සිටී.
‘උඩවැඩියා’ විශේෂ පිළිබඳ විශේෂඥ පර්යේෂකයන් වන ආචාර්ය පිලිප් වොජ්ටාස් සහ ආචාර්ය පන්කජ් කුමාර් ද ඉහත පර්යේෂණ කණ්ඩායමේ අනෙකුත් පර්යේෂකයෝ වෙති. ඔවුන් මීට පෙර ද ශ්‍රී ලංකාවෙන් හඳුන්වා දුන් ‘උඩවැඩියා’ විශේෂ කිහිපයකට තම දායකත්වය ලබා දී ඇත.
මූලාශ්‍රය-පරිසර සමාගම ෆේස්බුක් පිටුව