‘අඳුරු වලා බිඳ’ වාර්තාමය ටෙලි නාට්‍ය එළිදැක්වෙයි


ශ්‍රී ලංකාවේ ගර්භනී සහ දරුවන් බිහි කළ මවුවරුන් මුහුණ දෙන ‘පූර්ව සහ පසු ප්‍රසව විෂාදය’ හෙවත් ‘පරිජානන විෂාදය’ මානසික රෝගය (Perinatal depression) පිළිබඳ ප්‍රජාව දැනුම්වත් කිරීමේ අරමුණින් නිර්මාණය කරන ලද ‘අඳුරු වලා බිඳ’ නම් වූ වාර්තාමය ටෙලි නාට්‍ය (docudrama) එළිදැක්වීම 2025 මාර්තු මස 07 වන දින කොළඹ 07, ලක්ෂ්මන් කදිරගාමර් ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිනි. ශ්‍රී ලංකාවේ මවුවරුන් 1/5ක් මෙම විෂාද තත්ත්වයට මුහුණ දෙන බව නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි. ප්‍රජාවේ දැනුම්වත් බව අඩුකම සහ මානසික රෝග තත්ත්වයට ලක් වන අයට සිදුවන ‘වෙනස්කොට සැලකීම’ නිසා මවුවරුන් සෞඛ්‍ය සේවා ලබා ගැනීමේ අඩුවක් දකින්නට ලැබෙන අතර, ප්‍රජාව දැනුම්වත් කිරීම සහ සෞඛ්‍ය සේවා ලබා ගැනීමට ජනතාව දිරිමත් කිරීම මෙම නිර්මාණය එළි දැක්වීමෙන් අපේක්ෂා කෙරේ (මේ පිළිබඳ ව සැකසුණු විශේෂ ලිපියක් මෙම කලාපයේ ම වෙනත් තැනක පළ කෙරේ).  

ටෙලිනාට්‍ය ප්‍රචාරණය කිරීමෙන් අනතුරුව ප්‍රධාන මණ්ඩල සාකච්ඡාවක් (panel discussion) ද පැවැත් වුණු අතර, පහත දැක්වෙන ක්ෂේත්‍රයේ ප්‍රවිණයන් විසින් මෙහි දි ඔවුන්ගේ අදහස් දක්වා සිටියා. එංගලන්තයේ ලිවර්පූල් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අටීෆ් රහ්මන් (අන්තර්ජාලය ඔස්සේ), ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය යසාරා සමරකෝන්, වෛද්‍ය රෝහණ හත්තොටුව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ගජනායක, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ විශේෂඥ වෛද්‍ය ඉනෝකා වික්‍රමසිංහ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සුනිල් ද අල්විස්.

එලෙස ම මනෝ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය අතුල සුමතිපාල, මනෝ වෛද්‍ය විශේෂඥ නීල් ප්‍රනාන්දු, සෞඛ්‍ය අමාත්‍යාංශයේ  පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ විශේෂඥ වෛද්‍ය කෞෂල්‍යා කස්තුරුආරච්චි ඇතුළු විද්වතුන් රාශියක් ද තම අදහස් දැක්විය.