
මහාචාර්ය රංජිත් සේනාරත්න සභාපති ජාතික විද්‍යා පදනම
මහාචාර්යතුමනි, ඔබ කෘෂිකර්මාන්තය හා බෝග විද්‍යාව පිළිබඳ ව අපේ රටේ සිටින විද්‍යාඥයෙක්. ඒ වගේ ම ඔබ මේ වන විට ජාතික විද්‍යා පදනමේ සභාපති ධුරයේ කටයුතු කරනවා. මේ වෙලාවේ අපේ රටේ‘පර්යේෂණ සහ සංවර්ධන’ කටයුතු පිළිබඳ ව ඔබතුමාගේ අදහස මොන වගේ ද? මොකද මේ වෙලාව, ශ්‍රි ලංකාව ආර්ථික අර්බුදයක ඉන්න වෙලාවක්?
කොතරම් අභියෝග තිබුණත්, කලාපයේ අනෙක් රටවල් සමග සසඳන කල අපේ රටේ ‘සාක්ෂරතාව’, ‘මානව සංවර්ධන දර්ශකය’, ‘ඒක පුද්ගල ආදායම’ වගේ ම ‘මානසික සෞඛ්‍ය දර්ශකය’ ඉහළයි. මෙතරම් ඉහළ මට්ටමේ මානව සම්පතක් තිබුණත්, කලාපයේ අනෙක් රටවලට සාපේක්ෂ ව අපේ රටේ අධි තාක්ෂණික අපනයන (high tech exports) 1%ක පමණ පහළ මට්ටමක පවතින්නේ. එහෙත් අපිට වඩා සාක්ෂරතාව, මානව සංවර්ධනය අඩු, කලාපයේ අනෙක් රටවල, අධි තාක්ෂණික අපනයන, ඉහළ මට්ටමකින් සිදු වෙනවා. ඉන්දියාවේ මෙම අගය 9%ක් වෙනවා.
ඉහළ මට්ටමේ නිෂ්පාදන බිහි වෙන්න නම් ‘විද්‍යාව හා තාක්ෂණය’ දියුණු වෙන්න ඕන. විද්‍යාව හා තාක්ෂණය දියුණු වෙන්න නම්, ඉහළ මට්ටමේ අඛණ්ඩ පර්යේෂණ මගින් නව නිෂ්පාදන කරන්න ඕන. අපි ලෝකයේ දියුණු රටවල් අමතක කරමු; අපේ කලාපයේ අනෙක් රටවල් එක්ක බලනකොටත් ශ්‍රි ලංකාවේ වාර්ෂික ව විද්‍යාත්මක පර්යේෂණවලට වෙන් කෙරෙන ප්‍රතිපාදන ප්‍රමාණය ඉතා ම අඩුයි. යුනෙස්කෝ දත්තවලට අනුව එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.1%ක අගයක්.
මේ හේතුවෙන් අපේ රටේ පර්යේෂණ ක්ෂේත්‍රය දුෂ්කරතා රාශියකට මුහුණ දෙමින් සිටිනවා. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් මිලියනයකට පර්යේෂකයන් 106ක් වගේ ඉතා අඩු ප්‍රමාණයක් තමයි ඉන්නේ. ඊශ්‍රායලය වගේ විද්‍යාව හා තාක්ෂණයෙන් දියුණු රටක් සංසන්දනය කරන විට එය 1/80ක වගේ ගණනක්. එහෙත් කියන්න සතුටුයි මෙතරම් දුෂ්කරතා මධ්‍යයේ තම පර්යේෂණ කරලා ලොව ප්‍රමුඛ විද්‍යාඥයන් 2% අතරට සෑම වසරක ම ශ්‍රී ලාංකික විද්‍යාඥයන් 30 දෙනෙකු පමණ ඇතුළත් වෙනවා.
ප්‍රතිපාදන අඩු වීම ම විතරක් නෙමෙයි, විද්‍යාව හා තාක්ෂණය වෙනුවෙන් ම වෙන් වුණු අමාත්‍යාංශයක් නොමැති වීම වගේ ම සීඝ්‍රයෙන් වෙනස් වන විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයට ගැළපෙන විධියට අපේ රටේ ප්‍රතිපත්ති වෙනස් නොවීමත්, පර්යේෂණවල පසුබෑමට හේතුවක්. ලොව දියුණු රටවල රාජ්‍ය නායකයන් එරට විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රය ගැන දැඩි අවධානයක් යොමු කරනවා. ඊට හේතුව විද්‍යා හා තාක්ෂණය රටක සංවර්ධනයේ පෙර ගමන්කරුවෙක් වීම. ඊට කදිම උදාහරණයක් තමයි වර්තමාන ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්. ඔහු ජනාධිපතිවරණය ජයග්‍රහණය කළාට පසු නිල වශයෙන් රාජකාරි අරඹන්නත් පෙර, හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය එරික් ලෑන්ඩර් ව, ඔහුගේ ‘විද්‍යා හා තාක්ෂණ උපදේශකවරයා’ ලෙස පත් කරනවා. ඒ එවකට ඔහු හමුවේ තිබුණු අර්බුදවලට විද්‍යාත්මක විසඳුම් අපේක්ෂාවෙන්. ඔහුට පැවරෙනවා එවකට ඇමෙරිකාව මුහුණ පාමින් සිටි අභියෝග රැසකට ම අදාළ පාර්ශව සමග සාකච්ඡා කොට වාර්තාවක් ලබා දෙන්න. ඔවුන් ක්‍රියාවෙන් ම එය ඔප්පු කොට තිබෙනවා. අවාසනාවකට අපේ රටේ අර්බුදයක් පැමිණි වහා ම පර්යේෂණ ප්‍රතිපාදන කප්පාදු කරන එක තමයි කරන්නේ.
ශ්‍රී ලංකාව කියන්නෙ කෘෂිකර්මාන්තය වගේ ම, ඛනිජ සම්පත් අතින් දියුණු වෙන්න ඉතා හොඳ විභවයක් තියන රටක්. එහෙත් වර්තමානයේ ඕනෑ ම ක්ෂේත්‍රයක ඉහළට යන්න විද්‍යාව හා තාක්ෂණය අවශ්‍යයි. ඒකට පර්යේෂණ කරන්න ඕන. මේකට හොඳ උදාහරණ තියනවා. ඊශ්‍රායලය කියන්නේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 450ක පමණ ඉතා අඩු අගයක් ගන්නා රටක්. හැබැයි ලංකාවේ මිලි මීටර් 1700කට වඩා වර්ෂාපතනය අඩුයි නම් අපි කියන්නේ වියළි කලාපය කියලා. ඊශ්‍රායලයේ මෙතරම් වර්ෂාපතනය අඩු වෙලත්, එක් කිරි ගවයකුගෙන් දිනකට කිරි ලීටර් 30ක සාමාන්‍ය අගයක් වෙනකොට, අපේ රටේ ගවයකුගෙන් දිනකට සාමාන්‍ය කිරි ලීටර් 04ක් පමණ අඩු අගයක් තමයි ගැනෙන්නේ.
ඊළඟට නෙදර්ලන්තය; ඔවුන් ලොව දෙ වන විශාලත ම කෘෂි අපනයනකරුයි. එරටේ භූමි ප්‍රමාණය අපේ රටෙන් භූමියෙන් 60% පමණ තමයි වෙන්නේ. එහෙත් ඔවුන් වාර්ෂික ව ලබන ආදායම, අපේ රටේ දළ දේශිය නිෂ්පාදනයටත් අධිකයි, එනම් ඇමෙරිකානු ඩොලර් බිලියන 100ක් පමණ වෙනවා. මේ සියල්ල පර්යේෂණ පදනම් කර ගෙන, විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ තබපු ඉදිරි පියවරක්.
සවුදි අරාබිය කියන්නේ වතුර නැති රටක්. එහෙත් ඔවුන් දැන් මහ පරිමාණයෙන් කෘෂිකර්මාන්තය කරනවා; ඔවුන් කාන්තාර හරිතකරණය කරමින් සිටිනවා. මේ හැමතැන ම තියෙන්නේ පර්යේෂණ සහ සංවර්ධනය.
ශ්‍රී ලංකාවේ භූමියෙන් 40%ක්, ජලයෙන් 80%ක් වගේ ම ශ්‍රම බලකායෙන් 25%ක් පමණ කෘෂිකර්මාන්තයට වැය කරත් දළ දේශීය නිෂ්පාදිතයට, කෘෂිකර්මාන්තයෙන් 6%ක් වගේ ඉතා අඩු දායකත්වයක් තමයි ලැබෙන්නෙ. ඔබ දන්නවා ද මුළු ලෝකය ම දරුණු ජල අර්බුදයකට මුහුණ පාමින් සිටින වෙලාවක, අපේ රටේ වී කිලෝ ග්රෑම් එකක් නිපදවන්න, ජලය කිලෝ ග්රෑම් 1500-2000ක් වැය වන බව; එනම් ඵලදායිතාව ඉතා අඩුයි. ශ්‍රී ලංකාවේ තේ, රබර්, පොල්, වී වැනි බොහෝ බෝගවල ඵලදායිතාව ඉතා ම අඩු ට්ටමක තමයි තියෙන්නෙ. ඊට විසඳුම් සෙවිය හැක්කේ පර්යේෂණවලින් පමණයි.
ශ්‍රී ලංකාව මිනිරන්, ඉල්මනයිට්, ඇපටයිට් වැනි තවත් බොහෝ ඛනිජ සම්පත් තියන රටක්. එහෙත් කියන්න කනගාටුයි, ඒවා අපි බොහොම ප්‍රාථමිකනිෂ්පාදන ලෙස තමයි අපනයනය කරන්නෙ. මේ නිසා ලැබෙන ආදායම අඩුයි. අපේ රටෙන් අඩු මිලට මේ ඛනිජ සම්පත් මිල දී අරගෙන, නිපදවන වටිනා නිෂ්පාදන අපි නැවත ඉහළ මිලකට ආනයනය කරනවා. මේ ඛනිජවලට, අපේ රටේ ම අගය එකතු කිරීමක් කරලා, ඉහළ මට්ටමේ නිෂ්පාදන විධියට කළොත්, ලංකාවට විශාල අපනයන ආදායමක් ලබන්න පුළුවන්. ඒ සඳහා පර්යේෂණ කරන්න අවශ්‍යයි. මෑත කාලයේ දී විද්‍යාත්මක පර්යේෂණවල වටිනාකම හොඳින් ම ඔප්පු වුණ අවස්ථාවක් තමයි කොවිඩ් 19 වසංගතය. විද්‍යාව හා තාක්ෂණය නොවෙන්න ඔබත් මමත් ජීවතුන් අතර නැති වෙන්න පුළුවන්.
අපි සංවර්ධනය පටන් ගන්න ඕන කොතනින් ද? කවුද මේකට අපි සම්බන්ධ කර ගන්න ඕන?
2023 වර්ෂයේ ගෝලීය නව නිපැයුම් දර්ශකයට අනුව, රටවල් 132ක් අතුරින් ශ්‍රී ලංකාවට හිමි වන්නේ 90 වන ස්ථානය. අපේ අසල්වාසි ඉන්දියාව 40 වන ස්ථානයත්, පකිස්ථානය 88 වන ස්ථානයත් ගන්නවා. නව නිෂ්පාදන කිව්ව ම කෙනෙක්ට හිතෙන්න පුළුවන් ‘මහා පරිමාණයේ නිෂ්පාදන’ කරන්න ඕන කියලා. එහෙත් එහෙම නැහැ. ඇපල් දුරකථනය ඇමෙරිකාවේ නිර්මාණය කරලා, චීනයේ එකලස් කරනවා; තවත් රටවල් 30කට අධික ප්‍රමාණයක, සැපයුම්කරුවන් 700ක් පමණ දායකත්වය ලබා ගන්නවා. ගෝලීය ආර්ථිකයක, සම්පූර්ණ නිර්මාණය ම එක් අයකු කළ යුතු වන්නේ නැහැ. අපිට පුළුවන් ලොව ප්‍රමුඛ පෙළේ නිෂ්පාදකයන්ට ඔවුන්ගේ නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය එක් අංගයක් හෝ නිෂ්පාදනය කරන්න; ගෝලීය නිෂ්පාදන දාමයේ එක් පුරුකක් වන්න. උදාහරණයක් විධියට හිතුවොත් අපි සුඛොපභෝගී කාර් නිෂ්පාදනය කරන්න අවශ්‍ය නැහැ. එහෙත් අපිට පුළුවන් සුඛොපභෝගී කාර්වල රබර් බුෂ්, වයිපර්, එයාර් බැලුන් වගේ දේවල් නිෂ්පාදනය කරලා ඔවුන්ට සපයන්න. නව නිපැයුම් ගැන එතරම් අවධානයක් නොතිබූ කාලයක පවා කුමාරතුංග මුනිදාස මහතා පවසලා තියනවා “අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී” කියලා.
චීන දාර්ශනියකු වන කොන්ෆියුසස් තුමා වරෙක ප්‍රකාශ කරලා තියනවා “ලෝකයේ සියලු මිනිසුන් ස්වභාවයෙන් ම සම වන අතර, ඔවුන් වෙනස් වන්නේ, ඔවුන් හදා-වඩා ගන්නා ආකාරය අනුවයි” කියලා.ඔබ විශ්වාස කරනවා ද අමෙරිකානුවන් විවිධ ජන වර්ග අනුව බැලු කල, දේශීය අමෙරිකානුවන්ට වඩා ශ්‍රී ලාංකික අමෙරිකානුවන්ගේ එරට සාමාන්‍ය ගෘහ ආදායමඉහළ බව. ශ්‍රි ලාංකිකයන් සතු මෙම විභවය ප්‍රකට කෙරෙන අවස්ථා කිහිපයක් ම තියනවා. ශ්‍රී ලංකාවේ ආචාර්ය රොහාන් පල්ලෙවත්ත තමයි ලොව හොඳ ම සුඛොපභෝගී වාහන කිහිපයක ම බඳ පටි හා එයාර් බෑග්වලට අවශ්‍ය ආරක්ෂක සංවේදක (impact sensor) නිපදවන්නෙ. ඔහු වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 80ක් පමණ ශ්‍රී ලංකාවට රැගෙන එනවා. ඇමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික විද්‍යාඥයකු වන ආචාර්ය බන්දුල විජේ ලොව පුරා හදවත් රෝගීන් අධික ප්‍රමාණයකගේ ජීවිත රැක ගැනීමට දායක වන ‘ස්ටෙන්ට්’ එක නිර්මාණය කරනවා. අපි මොවුන් සතු දැනුම අපේ රටේ දියුණුවට භාවිත කරන්න අවශ්‍යයි.
ඒ වගේ ම තමයි ප්‍රජාවේ දායකත්වය පර්යේෂණවල දී ලබා ගැනීම කියන කාරණාවත් ඉතා ම වැදගත්. ලෝකයේ විවිධ ප්‍රශ්න තියෙනවා, සමහර ඒවා ගොඩක් සංකීර්ණයි. දැන් බලන්න විවිධ දේශගුණික වෙනස්කම් සිද්ධ වෙනවා. එම තත්ත්ව තේරුම් ගන්න සමහර විට පර්යේෂණ කරන එක ම පමණක් මදි වෙන්න පුළුවන්; ප්‍රජාවේ අදහසත් ඕන වෙනවා. අපි පර්යේෂණ කරන විට අනිවාර්යෙන් මහජනතාව සම්බන්ධ කර ගත යුතුයි.
ඔබ ජාතික විද්‍යා පදනමේ සභාපති ලෙස, විද්‍යාව සහ තාක්ෂණය සමාජ ගත කිරීම කියන කාරණාවේ දි ඔබ ආයතනය මුහුණ දෙන අභියෝග මොනවා ද?
‘විද්‍යාව හා තාක්ෂණය’ පාසල්, විශ්වවිද්‍යාල හා ප්‍රජාව වෙත ගෙන යාමට අපේ ආයතනයේ විවිධ අංශ කටයුතු කරමින් ඉන්නවා. ඒ සඳහා විවිධ ක්‍රියාකාරකම් රටේ සියලු පළාත් ආවරණය වන පරිදි කිරීමට අපි කටයුතු කරනවා. එහෙත්, කොවිඩ් වසංගතයෙන් පස්සේ එම කටයුතු පුළුල් කිරීමට මුදල් ප්‍රතිපාදනවල හිඟකම බලපෑමක් වෙලා තිබෙනවා. එසේ ම මේ සඳහා පුද්ගලික අංශයේ සහයෝගිත්වය ලබා ගැනීමට යාමේ දී ඇතැම් යාවත්කාලීන නොවූ ප්‍රතිපත්ති බලපාලා තියනවා.
අපේ රටේ සංවර්ධනයට ඔබ ආයතනය වැනි විද්‍යා තාක්ෂණය සම්බන්ධ අනෙකුත් ආයතන තවත් පුළුල් කළ යුතු ද?
ශ්‍රී ලංකාවේ ආයතන අතර, අන්‍යෙන්‍ය සම්බන්ධතාව කියන දේ ඉතා ම අඩුයි. එකම ක්ෂේත්‍රයක පවතින සියලු ආයතන ඔවුන් සතු සම්පත් බෙදා හදා ගනිමින් සහයෝගයෙන් වැඩ කරනවා නම් අපේ කාර්යයන්වල ඵලදායිතාව හා කාර්යක්ෂමතාව ඉහළ යනවා වගේ ම සියලු සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. වර්තමානයේ ශ්‍රී ලංකාව 2048 වන විට සංවර්ධිත රටක් කරන්න අපි සිහින දකිමින් ඉන්නවා. ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික පිහිටීම, එහි අන්තර්ගත මානව හා ස්වභාවික සම්පත් දෙස බලන කල, මෙය ළඟ කර ගත නොහැකි ඉලක්කයක් නෙමෙයි. එහෙත් ඒ සඳහා මෙරට ඒක පුද්ගල ආදායම, දැනට පවතින ආදායම මෙන් පස් ගුණයකින් පමණ වැඩි විය යුතුයි. දැනුම මත පදනම් වූ ගෝලීය ආර්ථිකයක සංවර්ධනය උදෙසා, අපි සියලු සම්පත් අතින් පරිපූර්ණ විය යුතු නැහැ. අවශ්‍ය වන්නේ දේශීය හා විදේශීය සහයෝගය ලබා ගෙන විද්‍යාව හා තාක්ෂණයේ ද සහාය ඇති ව, ආර්ථිකය ගොඩ නැගීමයි. ස්විස්ටර්ලන්තය ලොව හොඳ ම චොකලට් නිෂ්පාදනය කරන්නේ එකඳු කොකෝවා ගහක්වත් නැතිවයි. මීට රාජ්‍ය අංශය වගේ ම පුද්ගලික අංශයෙත්, ප්‍රජාවගේත් එකමුතුව අවශ්‍යයි.
ඒ වගේ ම තමයි කණ්ඩායම් විධියට වැඩ කිරීම ඉතාම වැදගත් පර්යේෂණ සහ සංවර්ධනයේ දී. දැන් බලන්නකෝ කුරුල්ලො පියාඹන කොට රංචුවක් විධිහට ‘වී’ හැඩයකටනේ පියාඹන්නේ. රංචුවේ නායකයා පිටිපස්සෙන් එන අයට උදව් කරනවා. ඒ වගේ ම තමයි පිටිපස්සෙන් එන අයත් අනිත් අයට විධාන දෙනවා. බලන්න සාමූහික වැඩවල තියන වටිනාකම. අපේ රටේ පර්යේෂණ කිරීමේ දී කණ්ඩායම් වැඩ කියන එක ඉතා ම අඩුයි. සමහර වෙලාවට මෙහෙම තත්ත්ව තියෙනවා. තනියෙන් කළ පර්යේෂණයක් සඟරාවක ප්‍රකාශයට පත් කරනවාට වඩා, කණ්ඩායමක් විධියට ප්‍රකාශයට පත් කළොත් ඒ ඒ පුද්ගලයන්ට පෞද්ගලික ව ලැබෙන ප්‍රතිලාභ අඩුයි; එහෙම නැතිනම් වෘත්තිය සුදුසුකම්වලට ලැබෙන ලකුණු ගාන අඩුයි. එවැනි දේ ගැන අපි නැවත සමාලෝචනය කරලා බැලිය යුතුයි. කණ්ඩායම් වැඩක් කිව්වහම එතන දි අදහස් වෙන්නේ විවිධ ක්ෂේත්‍රවල එකතුවීමක්. සමහර විසඳන්න බැරි ප්‍රශ්නවලට විසඳුම් හොයන්න පුළුවන් කණ්ඩායම් වැඩ නිසා. දේශීය වගේ ම ජාත්‍යන්තර සම්බන්ධතා ද මේ කණ්ඩායම් ක්‍රියාකාරිත්වයේ දී වැදගත්.
රටේ තරුණ හා ළමා පරපුර තමයි අපේ අනාගත විද්‍යාඥයින්. අපි ඔවුන් ව කොහොම ද මොන දිශාවට ද ගොඩ නැගිය යුතු වන්නේ?
අනාගත ලෝකය විශාල වශයෙන් තාක්ෂණය මත පදනම් වූ ඩිජිටල් යුගයක්. කෘත්‍රිම බුද්ධිය වැනි නව සංකල්ප අනාගතයේ දී බහුල ව භාවිත වේවි. ඉතින් විද්‍යාව හා තාක්ෂණයෙන් දරුවන් සන්නද්ධ විය යුතුයි. වර්තමාන අධ්‍යාපනයේ ීඔෑ්ඵ සංකල්පය තුළ මේ සඳහා යම් නැඹුරුතාවක් පවතිනවා. අපි අධ්‍යාපනය, දරුවන්ගේ නිර්මාණශීලී කුසලතා විශ්ලේෂණාත්මක චින්තනය, ගවේෂණාත්මක අධ්‍යයනය වඩා සංවර්ධනය වන අයුරින් සකස් කළ යුතුයි. එසේ ම එක් එක් දරුවන් සතු විවිධ දක්ෂතා මනාව හඳුනා ගෙන ඔවුන් ඒ ඔස්සේ ඉදිරියට ගෙන ආ යුතුයි. ගණිතය අසමත් වූ පමණින් දරුවෙකු අදක්ෂයෙකු වන්නේ නැහැ. ඔහු සතුව වෙනත් අද්විතීය දක්ෂතා බොහොමයක් තිබිය හැකියි. සාහිත්‍ය පුළුවන් කෙනෙක්ට වෛද්‍ය විද්‍යාව උගන්නල, තේරුමක් වෙන්නේ නෑ. විද්‍යාවෙන් කොතරම් බැහැර කළත් සියලු කලාවන් තුළත් විද්‍යාව පවතින බවත් අවබෝධ කර ගත යුතුයි.
දැනට විදෙස් ගත ව ඉන්න අපේ රටේ විද්‍යාඥයන් ව අපේ රටේ සංවර්ධනයට දායක කර ගත හැකි වන්නේ කොහොම ද?
විද්‍යාව හා තාක්ෂණය මෙන් ම විද්‍යාත්මක පර්යේෂණ ක්ෂේත්‍රයේ දී අන්තර්ජාතික සබඳතා ඉතා ම වැදගත් වෙනවා. මේ වෙනුවෙන් ජාතික විද්‍යා පදනම, ලොව වටා සිටින, ශ්‍රී ලාංකික විද්‍යාඥයන් 1000කට වඩා සම්බන්ධ කර ගනිමින් ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීමට Global Digital Platform නමින් ඩිටිටල් වේදිකාවක් නිර්මාණය කර තිබෙනවා.
තවත් කිව යුතු දෙයක් තමයි, ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා පුද්ගලික අංශයේ විශ්වවිද්‍යාල, පර්යේෂණ ආයතන, පුද්ගලික ආයතන සතු පර්යේෂණ උපකරණවල තොරතුරු ඇතුළත් National Instruments Database නම් දත්ත පද්ධතියක් ද නිර්මාණය කර තිබෙනවා. අපි ඔවුනට ආරාධනා කරනවා මෙහි ලියාපදිංචි වෙන්න කියලා. මොකද මේ බොහොමයක් උපකරණ 24×7 වැඩ කරන්න හදලා තියන අධි තාක්ෂණික උපකරණ. තනි ආයතනයක මෙවැනි උපකරණ උපරිම ඵලදායිතාව ලබා ගැනෙන්නේ නැහැ. ඉතින් මේ උපකරණවල උපරිම ප්‍රයෝජනය ගන්න නම් වගේ ම අමතර ආදායමක් ලබා ගන්නත් එම ආයතනවලට හැකියාව ලැබෙනවා. මෙමගින් අපේ රටේ පර්යේෂණවලට ජාත්‍යන්තර සහයෝගය ලබා ගන්න පහසු වෙනවා.
ඔබතුමා ලංකාවේ කරුඳු සම්බන්ධ ව විශේෂයෙන් අධ්‍යයන කරපු කෙනෙක්. ඒ සම්බන්ධ ව යමක් කිව හැකි ද?
කුරුඳු කියන්නේ ලංකාවේ ආර්ථිකය දියුණු කරන්න පුළුවන් වටිනා දේශීය බෝගයක්. ලෝක වෙළෙඳපොලට ගුණාත්මක බවින් ඉහළ කුරුඳු සපයන රටක් ලංකාව. ශ්‍රී ලංකාව කුරුඳු නිෂ්පාදනයේ කේන්ද්‍රස්ථානය බවට පත් කරන්න පුළුවන්. කුරුඳු ආශ්‍රිත ව නිෂ්පාදනය වන බනිස් වැනි ආහාර කුරුඳු තේ වැනි පානවලට ලෝකයේ හොඳ ඉල්ලුමක් තියනවා. කුරුඳු පමණක් නොවෙයි ශ්‍රී ලංකාවේ වැවෙන බොහොමයක් ඖෂධ පැලෑටිවලින් ලෝක වෙළෙඳ පොලේ ඉතා වටිනා රූපලාවන්‍ය ආදී නිෂ්පාදන බිහි කළ හැකියි.
අවසාන වශයෙනුත් කියන්න තියෙන්නේ මේ කුමන නිර්මාණයක්, නිෂ්පාදනයක් වුණත් බිහි වෙන්නේ පර්යේෂණවලිනුයි; එමගින් අපිට පුළුවන් පරිසර හිතකාමී ලෙස තිරසර සංවර්ධනය කරන හැටි දැන ගන්න; අවම සම්පත් භාවිතයෙන් උපරිම ඵලදායිතාවක් ලබන හැටි දැන ගන්න. වෙළෙඳපොල අවශ්‍යතාවට සරිලන පරිදි වඩා තරඟකාරී නව නිෂ්පාදන බිහි කරන්න. ප්‍රධාන ම දේ තමයි සංවර්ධිත රටක් වන්නට නම් අපනයන ඉහළ නැංවිය යුතුමයි. ඒ වගේ ම පර්යේෂණ ඔස්සේ අන්තර්ජාතික සබඳතා ඉහළ නංවන්නත් පුළුවන්. ඉතින් පර්යේෂණ ඔස්සේ පවතින ගැටලු හඳුනා ගෙන විසඳුම් ලබා දීමකින් තොර ව සංවර්ධිත රටක් ගොඩ නැගීම මිරිගුවක් පමණයි.සාකච්ඡාව සහ සටහන
අරුණ ප්‍රශාන්ත වලිසුන්දර
කාංචනා හර්ෂනී
විදත් සමරක්කොඩි