උසස් පෙළ ජීව විද්‍යා විෂයමාලාවට ජෛව ආචාරධර්ම පිළිබඳ පාඩම් ඇතුළත් කරමු.

 

                       2004 අගෝස්තු 30 වන දින Daily News පුවත්පතට, ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ (Sri Lanka Association for the Advancement of Science) පාසල් ජීව විද්‍යා ව්‍යාපෘතියේ හිටපු අධ්‍යක්ෂ මහාචාර්ය වැලන්ටයින් බස්නායක මහතා සැපයු ලිපියක් ඇසුරෙනි.

 

“ජෛව ආචාරධර්ම” (Bio ethics) යනු 1970 තරම් මෑතක දී අති වූ වචනයකි.

වෛද්‍ය විද්‍යාව ද ඇතුළු ජීව විද්‍යා ක්ෂේත්‍රයේ විවාදයට ලක්වන, ගබ්සා කිරීම, ක්ලෝනීකරණය වැනි සංකීර්ණ කරුණු සම්බන්ධ ව සාකච්ඡා කිරීමේ වුවමනාව නිසා “ජෛව ආචාරධර්ම” ඇති විය.

ජෛව ආචාරධර්ම යනු ජීව විද්‍යා ක්ෂේත්‍රයේ මානව හර පද්ධතිවලට (Values) අනුකූල මිනිසාගේ ක්‍රියාකලාපය පිලිබඳ අධ්‍යයනය යි. එහි දී සාකච්ඡාවට බඳුන්වන්නේ පැතිදෙකක් හෝ කීපයකින් සලකා බැලිය යුතු ජීව විද්‍යාත්මක කරුණු සම්බන්ධ ව යි. එනම් ඒ හැම එකකට ම පක්ෂ හා විපක්ෂ කාරණා පවතී.

අධ්‍යාපනයේ හැම මට්ටමක ම විෂය ධාරාවන්ට ජෛව ආචාරධර්ම පිලිබඳ කොටස් ඇතුලත් කිරීම සඳහාවන ඉල්ලීමක් පවතින අතර එහි පරමාර්ථය වන්නේ සිසුන්ට ජීව විද්‍යාවේ ගැටලු සම්බන්ධ ව දැනුවත් වීමට හා සංවේදී වීමටත්, ඕනෑම කාරණයක පක්ෂ – විපක්ෂ දෙපැත්ත  ම ගැන සලක බැලීමේ හා තමන් විසින් ම නිගමනවලට එළඹීමේ හැකියාව අත්පත් කර ගැනීමටත් පුහුණු කිරීම ය. එසේ එළඹෙන නිගමන මත පිහිට ක්‍රියාකිරීමට පවා සිසුන්ට අනුබල දීමක් මෙයින් කල හැකි වනු ඇත. බටහිර රටවල මේ ආකාරයේ ජෛව ආචාරධර්ම විෂයමාලා කීපයක් ම සැකස ඇත. ලංකාවේ වර්තමානයේ ප්‍රමුකතව දිය යුතු ජීව විද්‍යා ක්ෂේත්‍රයේ ගැටළු, බටහිර රටවල්වලට වැඩා බොහෝ වෙනස් ඒවා විය හැකි මුත් ඒවා පිළිබඳ ව ඉගැන්වීම සිදු කළ යුතු ආකාරයේ වෙනසක් තිබිය යුතු නැත.

ජෛව ආචාරධර්ම ඉගැන්වීමට යොදා ගත හැකි නොයෙක් විධි ක්‍රම තිබේ.

ඉන් එක් ආකාරයක් වන්නේ විවාද පැවැත්වීම යි. එනම් පන්තියේ සිසුන් කණ්ඩායම් දෙකකට බෙදා එක් කණ්ඩායමකට ජීව විද්‍යාවේ විවාදාත්මක ගැටලුවක කරුණක් සඳහා යෝජක පක්ෂය ලෙසත් කරුණු ගෙන හැර පෑමට ඉඩ සැලැස්වීම යි.

මෙලෙස විවාද ආධාරයෙන් ඉගැන්වීමේ ක්‍රමය පිළිබඳ ව සිදු කල විවාදයක් ඇසීමට සැලැස්වූ සිසුන්පිරිසකගෙන් කළ මත විමසුමක දී පෙනී ගොස් ඇත්තේ ඔවුන්ගේ ඇති බහුතරය  එම ඉගැන්වීමේ ක්‍රමයට කැමැත්ත ප්‍රකාශ කළ බව යි.

මේ සඳහා යොදා ගත හැකි තවත් ක්‍රමයක් වන්නේ ගුරුවරයා විසින් කිසියම් ගැටලුවක පක්ෂ හා විපක්ෂ කාරණා ඉදිරිපත් කිරීම යි. ගුරුවරයා මෙහිදී පැත්තක් නොගෙන කතා කිරීමට වග බල ගත යුතු අතර ඉන් පසු තවදුරටත් දේශනා  කිරීමට නොගොස් ශිෂ්‍යයාට තමාගේ ස්වාධීන තීරණයක්‌ ගැනීමට අවස්ථාව සලසනු ලැබේ.

උදාහරණයක් ලෙස උසස් පෙළසඳහා ජෛව ආචාරධර්ම සම්බන්ද කොටසක් ඇතුළත් කළ යුතු ද යන්න පිළිබඳ මාතෘකාව උගන්වන ආකාරය සලකා බලමු. ගුරුවරයා පළමු ව ජව ආචාරධර්ම සම්බන්ධ කොටස් උසස් පෙළ ජීව විද්‍යා විෂයය මාලාවට ඇතුලත් කිරීමට පක්ෂ ව කරුණු ඉදිරිපත් කරයි. ඒවා පහත පරිදි වේ.

  • පාසැල් අධ්‍යාපනය යනු තොරතුරු සමුහයක් ඉගෙනීම පමණක් නො වත සිතීම, විමසා බැලීම හා නිර්මාණාත්මක වීම වැනි දෑ සඳහා මනස පුහුණු කිරීමක් ද වන්නේ ය. එබැවින් මිනිසාගේ සදාචාරාත්මක ක්‍රියාකලාපය හා හර පද්ධතීන් පිළිබඳ අධ්‍යනයක් පාසල් අධ්‍යාපනයට අඩංගු කළ යුතු ය. පාසල්වල හැර පද්ධති පිළිබඳ අධ්‍යාපනය, අධ්‍යාපනඥයින් විසින්ද අඩංගු කළ යුතු බවට දක්වා ඇති කරුණකි.

ශ්‍රී ලංකාවේ ජාතික විද්‍යා පදනම තුළත්ජෛව ආචාරධර්ම කමිටුවක් ක්‍රියාත්මක වන්නේය.

  • ජීව විද්‍යාව, අනෙක් මුලික විද්‍යා ක්ෂේත්‍ර සියල්ලකට ම වැඩ මිනිස් හැර පද්ධති හා සදාචාරාත්මක තීරණ සමඟ ගැටීමට ලක් වේ.
  • ඇමෙරිකා එක්සත් ජන පදය වැනි රටවල ජීව විද්‍යා විෂයය මාලාවට ජෛව අචාරධර්ම කොටසක් දැනටමත් ඇතුලත් කර තිබේ. ඒවායේ ඇතුලත් කර ඇති මාතෘකා අතර මිනිසා යොදා ගෙන කරනු ලබන පර්යේෂණ, අවයව බද්ධ කිරීම, ක්ලෝනීකරණය, ජාන පේටන්ට් ගත කිරීම වැනි දෑ තිබේ. නමුත් අප රටේ දී අපට අදාළ වන මාතෘකා මෙහි දී යොදා ගත යුතු ය. එවැනි ඒවා ලෙස ජලය පෞද්ගලීකරණය, ජාන මංකොල්ලය, අලි මිනිස් ගැටුම, සත්ත්ව අයිතිවාසිකම්, කෘෂි නාශක භාවිතය ආදිය දැක්විය හැකි ය.

මෙලෙස පක්ෂ ව කරුණු දැක්වීමෙන් පසු එම ගුරුවරයා ම ජීව වදය විෂයයට ජෛව ආචාරධර්ම එක් කිරීමට විපක්ෂ ව පහත කරුණු දක්වයි.

  • පැටලැවිලි හා ගැටළු ඇති වීම මෙය විද්‍යා අධ්‍යාපනය, ආගම් හා සංස්කෘතිය සමඟ පටලව ගැනීමකි. හොඳ – නරක යනු සංස්කෘතික හා ආගමික හැර පද්ධති තුල සැලකිල්ලට ගැනෙන කාරනා ය. තව ද මෙසේ කිරීමේ දී සංස්කෘතින් හා ආගම් සමඟ ගැටුම්කාරී තත්ත්වයන් ඇති විය හැකි ය.
  • ආචාරධර්ම සියලු ම පාසල් විෂයයන්ට ඇතුළත් කළ යුතු යැයි කීවත් එය ජීව විද්‍යාවට විශේෂයෙන් වැදගත් වන බව කීම අදාළ නො වන තර්කයකි.වෙනත් විද්‍යා විෂයයන් කිසිවක එලෙස ආච්චආරධර්ම පිළිබඳ කොටසක් අඩංගු නො වන බව මතක කළ යුතු ය.
  • දැනටමත් සිසුන් හට ජීව විද්‍යා විෂයය මාලාව වුවමනාවටත් වඩා විශාල බරක් වී ඇත. එබැවින් එයින් අනවශ්‍ය කොටස් ඉවත් කිරීම මිස ඊට තවත් දේ ඇතුළත් නො කළ යුතු ය.
  • මෙවැනි පාඩමක් සඳහා අවශ්‍ය මුලාශ්‍ර සොයා ගන්නේ කොතනකින් ද? සියලුම ජීව විද්‍යා ගුරුවරුන් මේ සඳහා පුහුණු කරන්නේ කවූරුන් ද? ජෛව ආචාරධර්ම පිළිබඳ ව නියමාකාර විභාගයක් පැවැත්විය හැකි ද? ආදී නොයෙක් ප්‍රශ්න පැන නැගීම.

උසස් පෙළ සිසුන් පරිසකට හා ගුරුවරුන් පිරිසකට මේ ආකාරයේ කරුණු දැක්වීමක් ගුරුවරයකු විසින් මෑතක දී සිදු කළ අතර, එයින් පසු ජෛව ආචාරධර්ම කොටස් උසස් පෙළ ජීව විද්‍යා විෂයය ධාරාවට එකතු කිරීමේ අදහසට ඔවුන්ගේ එකඟතාව ඡන්දයකින් විමසන ලදී. එහි දී පෙනී ගියේ වර්තමාන ජීව විද්‍යා විෂයය මාලාවේ අධික බරින් වෙහෙසට පත මෙමෙ දෙකොටසේ පුද්ගලයින්ගේ ද බහුතරය මේ අදහසට එකඟතාව පළ කොට ඇති බව යි.

මෙයින් වැටහ ගත යුතු අවසන් අදහස වන්නේ ගුරුවරුන් එක් පැත්තක නොගැනීමට වග බල ගනිමින්, දේශනාවක් නො වන ආකාරයට ජෛව ආචාරධර්ම පිළිබඳ ඉගැන්වීමට පුහුණු කර, වර්තමාන උසස් පෙළ ජීව විද්‍යා විෂය මාලාවේ යම් යම් කොටස් ඉවත් කර ජෛව ආචාරධර්ම කොටසකට ඉඩ සලසා දෙමින්, කෙටි ජෛව ආචාරධර්ම පාඩමක් උසස් පෙළ ජීව විද්‍යා මාලාවට ඇතුළත් කිරීමේ අවශ්‍යතාවක් ඇති බවයි.

පරිවර්තනය

වෛද්‍ය සුවින් හේවගේ