කලා ක්ෂේත‍්‍රයේ පර්යේෂණ, සීමාවන්ගෙන් නිදහස් විය යුතු ද?

 

මිනිසාට සෞන්දර්යාත්මක විඥානයක් උත්පාදනය කර ගැනීම උදෙසා ලබා දෙන කලා අධ්‍යාපනය ‘සෞන්දර්ය අධ්‍යාපනය’ ලෙස සරල ව හැඳින්විය හැකි ය. මෙහි මූලික පරමාර්ථය මිනිසාගේ වින්දන ක්ෂේත‍්‍රය පෝෂණය කිරීම යි. ඒ අනුව සලකා බැලීමේ දී කලාකරුවාගෙන් රට ජාතියට මෙන් ම පොදු සමාජයට ඉටුවන්නේ අමිල මෙහෙයකි. විද්‍යාව හා තාක්ෂණ භාවිතය සුමට කරමින් සුන්දර මුහුණුවරකින් සමාජයට ගෙන එන්නේ කලාකරුවාගේ ඥානය තුළිනි. විවිධ වෘත්තීන්හී නිරත වෙමින් පීඩාවට පත්ව හෙම්බත් වන සමාජ චෛයිතසිකය රසාංඥතාව මගින් සුවපත් කරන්නේ කලාකරුවා ය.

මිනිසාගේ මානසික හා කායවර්ධනය හික්මීම, විචාරශීලී බව, සදාචාරාත්මක බව හා නිර්මාණශීලී බව තත් විෂය මිනිසා වෙත නිරායාසයෙන් ම ලඟා කරනු ලබන්නකි. මෙහි ලා අපගේ අවධානය නර්තන හා වාදන, චිත‍්‍ර කලා ක්ෂේත‍්‍රයන් කෙරෙහි විශේෂයෙන් යොමු කිරීමට අපේක්ෂා කෙරේ. පාරම්පරික ව පැවත එන සෞන්දර්ය විෂය ධාරාවන් ‘ගුරුකුල’ අධ්‍යාපන ක‍්‍රමවේදය මගින් පරපුරෙන් පරපුරට පැවත ආ බව සත්‍යයකි. ‘නර්තනය’, ‘චිත‍්‍ර’ හා ‘සංගීතය’ වැනි විෂයයන් විධිමත් අධ්‍යාපන පද්ධතියට එක් වීමේ පදනම වර්ෂ 1893 ‘ලංකා කාර්මික විද්‍යාලය’ ආරම්භ වීමත් සමග සිදු වූ බවට තොරතුරු ලැබේ. දීර්ඝ කාලීන සෞන්දර්ය කලා විෂයයන්හි ආයතනික ගමන් මගේ කඩයිම් රාශියක් පසුකොට 2005 ජූනි 01 වැනි දින ‘සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය’ පිහිටුවන ලදී. ශ‍්‍රී ලංකාවේ පහලොස් වන ස්වාධීන විශ්වවිද්‍යාලය වන මෙය සෞන්දර්ය විෂයයන් සඳහා පමණක් වෙන් වූ මෙරට ප‍්‍රථම විශ්වවිද්‍යාලය වන අතර එසේ ම එය ආසියාවේ ‘ලලිත කලා’ විෂයයන්ට ආවේණික ව පිහිටුවා ඇති තෙවන විශ්වවිද්‍යාලය වේ.

මේ හැරුණු කොට මෙම විෂය ක්ෂේත‍්‍රය රාජ්‍ය උත්සව මෙන් ම විවිධ සංවිධාන විසින් කරන විවිධ මට්ටම්වලින් ඇගයීමට ලක් කෙරේ. ඇතැම් විට එහි දී කාලානුරූපී ව සාම්ප‍්‍රදායික බව අගයමින් මේවායේ ප‍්‍රයෝගිකත්වය මෙන් ම ෙසෙද්ධාන්තික පක්ෂය ද අවධානයට යොමු කොට ඇත. එහෙත් මෙකී ක්ෂේත‍්‍ර පිළිබඳ පර්යේෂණ සිදු ව ඇත්තේ ඉතා සීමිත සංඛ්‍යාවකි. විවිධ පැතිකඩ ඔස්සේ තොරතුරු අධ්‍යයනය කෙරුණ ද පර්යේෂණාත්මක ව කරුණු ඉදිරිපත් කර ඇත්තේ ඉතා අල්ප වශයෙනිි.

විශ්වයේ පවතින කලා මාධ්‍යයන් විවිධ වර්ගීකරණ යටතේ දැක්විය හැකි ය. මේවා ‘ප‍්‍රාසාංගික කලා’ හා ‘දෘෂ්‍ය කලා’ යනුවෙන් කොටස් දෙකක් යටතේ වෙන් කොට දැක්විය හැකි ය. ‘නර්තනය’, ‘සංගීතය’ ආදී කලා මාධ්‍යයන් ‘ප‍්‍රාසංගික’ ගණයෙහි ලා සැලකෙන අතර ‘චිත‍්‍ර’, ‘මූර්ති’, ‘කැටයම්’ ආදිය ‘දෘෂ්‍ය කලා’ ගණයෙහි ලා සැලකිය හැකි ය. මෙකී විෂය ධාරා අළලා ශාස්ත‍්‍රීය ගවේෂණ, පර්යේෂණවල නිරත වෙමින් එකී විෂය පෝෂණය කිරීම ජාතික අවශ්‍යතාවක් බව අප තේරුම් ගත යුතු වේ. එබැවින් එකී ජාතික මෙහෙවර උදෙසා කටයුතු කිරීම අදාළ විෂයයන් හී නිරත ආචාර්යවරුන්ගේ මෙන් ම විද්‍යාර්ථයින්ගේ යුතුකම සහ වගකීම බව අමුතුවෙන් කිව යුතු නො වේ. විශේෂයෙන් මේ සම්බන්ධයෙන් විශාල වගකීමක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට පැවරී ඇති බව සඳහන් කළ යුතු ය. ප‍්‍රායෝගික විෂය ධාරාව කෙරෙහි වැඩි ප‍්‍රතිශතයක් ඇති සෞන්දර්ය විෂය ක්ෂේත‍්‍රය සතු සිද්ධාන්ත හා විමර්ශනාත්මක අධ්‍යයන පරාසය ඉතා පුළුල් වූවකි. සෞන්දර්ය විෂයයන් විවිධ පැතිකඩ ඔස්සේ විමර්ශනය කිරීමෙන් ඒ බව අපට වඩාත් තහවුරු කොට ගත හැකි ය.

නර්තනය, ගායනය, වාදනය, චිත‍්‍ර, මූර්ති, කැටයම් හා සංගීතය ආදී ‘ප‍්‍රාසංගික කලා’ හා ‘ලලිත කලා’ ක්ෂේත‍්‍ර අළලා කරනු ලබන පර්යේෂණ මගින් උපයා සපයා ගන්නා ‘දැනුම’, ‘අවබෝධය’ හා ‘නව චින්තන ධාරා’ විද්‍යාර්ථයින්ට මෙන් ම ජන සමාජයට දායාද කිරීම මෙම ක්ෂේත‍්‍රවල නියැළී සිටින පර්යේෂකයන් සතු මූලික වගකීමකි. ‘දෘෂ්‍ය කලා’ හා ‘ප‍්‍රාසංගික කලා’ ක්ෂේත‍්‍රවල ප‍්‍රායෝගික විෂය ධාරාවන් හී වැඩි වශයෙන් නියැළෙන ආචාර්ය භවතුන් විවිධ කලා ශිල්ප මුල් කොට එළි දක්වන ලද ‘පර්යේෂණාත්මක තොරතුරු’ නූතනය වන විට මුද්‍රණ ද්වාරයෙන් මෙන් ම විවිධ මාධ්‍ය මගින් සමාජ ගත වනු දක්නට ලැබීම සතුටට කරුණකි. එහෙත් තවමත් ඉහත විෂයයන් පිළිබඳ ප‍්‍රාමාණික පර්යේෂණ සිදු වී ඇතැයි එකහෙලා ප‍්‍රකාශ කිරීම උගහට ය. ‘දෘෂ්‍ය කලා’ හා ‘ප‍්‍රාසංගික කලා’ යන ක්ෂේත‍්‍රවල ප‍්‍රායෝගික ව නියුතු පුද්ගලයන්ට ස්ව අභිමතය පරිදි පර්යේෂණ කාර්යයන්හි නියැළීම සඳහා ‘පශ්චාත් උපාධි පර්යේෂණය’ කිරීමේ අවස්ථා තවමත් පැහැදිලි ව ම විවෘත වී නොමැත.

ඉහත කී ක්ෂේත‍්‍රයන්ට අදාළ පර්යේෂණවල නියැළීමේ දී එය ‘නිබන්ධයකින් ම’ පමණක් සම්පූර්ණ කළ හැකි නො වේ. ඒ සඳහා සම්මත ‘පශ්චාද් උපාධිය’ ලැබීමේ ‘ලිඛිත පර්යේෂණ ක‍්‍රමවේදය’ පමණක් ම නො ව එම  නිර්මාණ ඵලය ‘ප‍්‍රදර්ශන’ හා ‘සංදර්ශන’ ආකාරයෙන් ද ප‍්‍රකාශයට පත් කිරීමේ ක‍්‍රමය හඳුන්වා දිය යුතු ය. මේ ආකාරයට නිර්මාණ ක‍්‍රියාවලියේ ම කොටසක් ලෙස තම ඉදිරිපත් කිරීම මගින් ප‍්‍රායෝගික ක්ෂේත‍්‍රයේ ෙසෙද්ධාන්තික පදනම පුළුල්  කිරීමේ හැකියාවක් උදා වේ. ‘දෘෂ්‍ය කලා’ මෙන් ම ‘ප‍්‍රාසංගික කලා’ ක්ෂේත‍්‍රවල ආවේණික වූ ‘පර්යේෂණ සංස්කෘතියක්’ ගොඩ නැගෙමින් පවතින බව සඳහන් කළ යුතු ය.

‘විද්‍යාත්මක පර්යේෂණ ක්ෂේත‍්‍ර’ මෙන් ම ‘කලා ක්ෂේත‍්‍රයේ’ පර්යේෂණ ද ඥාන සම්පාදන ව්‍යායාමයක් ලෙස සැලකේ. එමෙන් ම ‘කලාව’ හා බැඳි වාස්තවික තත්ත්වය පමණක් නො ව මනෝ මූලික තත්ත්වයන් ද තත් විෂය ක්ෂේත‍්‍රයේ සංකීර්ණතාව වැඩි කරයි. ‘කලාව’ පිළිබඳ තොරතුරු අධ්‍යයනයේ දී ‘ආකෘතිකමය විශ්ලේෂණයට’ පමණක් සීමා නො වී ‘සංදර්භීය විශ්ලේෂණයක්’ ද යොදා ගත යුතු වේ. කලා පර්යේෂණයේ දී හුදෙක් ම විස්තරාත්මක රචනයට පමණක් සීමා නො වී ආකෘතිමය ගුණාංග විශ්ලේෂණය මෙන් ම වෙනත් ඥාන ක්ෂේත‍්‍ර පිළිබඳ ව සැලකිලිමත් විය යුතු වේ.

සංගීතය මෙන් ම නර්තනය ද සෙද්ධාන්තික හා ප‍්‍රායෝගික වශයෙන් දෙවැදෑරුම් ය. මෙකී විෂයයන්ගේ පැවැත්ම සඳහා මේ දෙඅංශයෙහි ම අනෝන්‍ය සම්බන්ධය අත්‍යවශ්‍ය වේ. මෙකී විෂය දෙකෙහි ම ‘ප‍්‍රායෝගික අංශය’, ‘සෙද්ධාන්තික අංශය’ පදනම් කොට නොගන්නේ නම් එය ක‍්‍රමවත් බවෙන් තොර වනු ඇත. එහෙත් ඇතමකුගේ අදහස වන්නේ මෙකී විෂය අතරින් වැදගත් පාර්ශවය වන්නේ එහි ‘ප‍්‍රායෝගික අංශය’ බවයි. එය තර්කාණුකූල අදහසක් නොවන්නේ ‘ප‍්‍රායෝගික අංශය’ සම්බන්ධයෙන් පර්යේෂණ කටයුතුවල නියැළෙන්නන්ට ‘ෙසෙද්ධාන්තික අංශය’ ද, ‘ෙසෙද්ධාන්තික අංශයට’ නැඹුරු පර්යේෂකයන්ට ‘ප‍්‍රායෝගික අංශයට’ අදාළ කොටස් නැඹුරු කරන්නට සිදු වන බැවිනි. ප‍්‍රායෝගික ශිල්ප කුසලතා ලේඛන ගත කර දැක්වීම ඉතා අසීරු කරුණකි. එහෙත් පර්යේෂණාත්මක උපක‍්‍රම මගින් තදානුබද්ධ ශිල්පීන් විසින් ම ඒවා ලේඛන ගත කිරීම ඉතා වැදගත් කරුණකි.

දේශීය සාම්ප‍්‍රදායික නර්තන, වාදන පිළිබඳ පර්යේෂණවල නියැළෙන අයට ලිඛිත මෙන් ම අලිඛිත මූලාශ‍්‍රය කෙරෙහි ද අවධානය යොමු කිරීමට සිදු වේ. ‘ලිඛිත මූලාශ‍්‍රය’ ලෙස ඓතිහාසික මෙන් ම සාහිත්‍යමය මූලාශ‍්‍රය ද ගැනේ. එහි දී ‘ලිඛිත මූලාශ‍්‍රය’ ප‍්‍රාථමික මෙන් ම ද්වීතියික වශයෙන් දෙවැදෑරුම් කොට සලකා බැලීමට සිදු වේ. තමා තෝරා ගන්නා විෂය සීමාවන් සමාජයේ විවිධ සංස්කෘතික ක්ෂේත‍්‍රයන්ට අයත් විය හැකි බැවින් සම්මුඛ සාකච්ඡුා පටිගත කිරීම, ඡුායාරූප ගත කිරීම ආදිය මගින් රැස් කර ගන්නා තොරතුරු ඔස්සේ ගුණාත්මක වශයෙන් විශ්ලේෂණයක් කිරීම අත්‍යවශ්‍ය වේ. එහි දී සමාජ විද්‍යා ක්ෂේත‍්‍රයට ගැනෙන තත්කාලීන සමාජයේ හැසිරීම්, සමාජ අන්තර් ක‍්‍රියා, සමාජ සම්බන්ධතා විද්‍යාත්මක ව හදාරනු ලබන සමාජ විද්‍යා විෂය කෙරෙහි අවධානය යොමු කළ යුතු ය. එසේ ම තවත් පසෙකින් මනුසත් ගති ස්වභාවය, මානව විවිධත්වය ඇතුළු සකලවිධ අංග විද්‍යාත්මක ව අධ්‍යයනය කළ හැකි මානව විද්‍යාව කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වේ. මෙම විෂය ක්ෂේත‍්‍ර සංස්කෘති කෙරෙහි ඝෘජු ව සම්බන්ධ වේ. එබැවින් කලා විෂයයන් පිළිබඳ ව පර්යේෂණයන් හී දී මෙම විෂය ක්ෂේත‍්‍ර දෙක ම පිළිබඳ පර්යේෂකයන්ගේ අවධානය යොමු විය යුතු ය.

මේ අනුව සලකා බැලීමේ දී ඇතැම්හු ‘පර්යේෂණ’ නමින් හඳුන්වන ‘ශාන්තිකර්ම’ කිරීම පිළිබඳ ඉදිරිපත් කෙරෙන වාර්තා ‘පර්යේෂණ’ වශයෙන් වැදගත් වන්නේ ද යන්න ගැටලූවකි. ඒවායෙහි තොරතුරු රැුස් කිරීමේ වැදගත්කම අපට බැහැර කළ නොහැකි ය. යම් ශාන්තිකර්මයක පූජා විධි රටා හා ඒ සම්බන්ධ බෙරපද කොටස් කිහිපයක් ‘පර්යේෂණ’ නමින් ඉදිරිපත් කිරීම මෙහි ලා අපගේ අවධානයට යොමු විය යුතු කරුණකි.

කෙසේ නමුත් ‘ගුරුකුල’ අධ්‍යාපනය තුළ පාරම්පරික ඇඳුරන් මුඛ පරම්පරාගත ව රැුක ගෙන ආ ශාන්තිකර්ම ගද්‍ය පද්‍ය සාහිත්‍යයේ මෙන් ම ‘භේරි වාදන ශිල්පය’ (බෙර වාදන ශිල්පය) මේ වන විට විවිධ කෘති ලිපි ලේඛන මගින් සමාජ ගත වීම තත් කලා මාධ්‍යයන්ගේ පැවැත්මට ඉමහත් පිටිවහලක් වී ඇත. එසේ ම විද්වතුන් විසින් ප‍්‍රාසංගික මෙන් ම දෘෂ්‍ය කලාවන් පිළිබඳ ව පර්යේෂණාත්මක කෘති අතලොස්සක් හෝ පළ කොට තිබීම, ආධුනික පර්යේෂකයන්ට තම ගමන් මග එළිපෙහෙළි කර ගැනීමට ඉමහත් ශක්තියක් වී ඇති බව ද කෘතවේදී ව සඳහන් කළ යුතු ය.

 

මහාචාර්ය පී. එම්. කරුණාරත්න බණ්ඩාර

(සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ විවෘත හා දුරස්ථ අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ සහ පොලිස් සංස්කෘතික අංශයේ අධ්‍යක්ෂ)