කසළ සහ ඩෙංගු

ඩෙංගු රෝගය පැතිරීමට වැඩි වශයෙන් දායක වන ඊඩිස් ඊජිප්ටයි (Aedes aegypti) මදුරුවන් බෝවන්නේ කුඩා දිය කඩිති හෝ අප අවට පරිසරයේ ජලය එකතු වන ස්ථානවල බව අපි දනිමු. එහෙත් ඩෙංගු රෝගය ගැන අප විමසිලිමත් වන්නේ අප ජීවත් වන ප‍්‍රදේශයේ ඩෙංගු රෝගියකු හෝ ඩෙංගු නිසා සිදුවන මරණයක් වාර්තා වුණු පසු ය. එසේත් නැතිනම් මාධ්‍ය මගින් ඩෙංගු රෝගය පැතිර යන බව දැන ගත් විට පමණි. අප පමණක් නො ව ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් සැපයීමට බැදී සිටින විවිධ රාජ්‍ය හා රාජ්‍ය නො වන අංශවල නිලධාරින් ද මේ පිළිබඳ ව දැන ගන්නේත් එලෙස ම ය.

මේ පිළිබඳ ව කලින් ම දැන ගන්නා කණ්ඩායම වනුයේ වසංගත රෝග පිළිබඳ ආවේශණ ක‍්‍රියාවලියට සෘජු ව ම දායක වන මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්, මධ්‍යම අණ්ඩුවේ වසංගත රෝග නියාමනයට වගකිව යුතු නිලධාරීන් හා ඩෙංගු රෝග මර්දන ඒකකයේ නිලධාරීන් ය. ඊට අමතර ව ඩෙංගු රෝගයට ප‍්‍රතිකාර කරන රජයේ හා පෞද්ගලික රෝහල් කාර්යමණ්ඩල, ඩෙංගු පිළිබද රසායනාගාර පරීක්ෂණ කරනු ලබන කාර්ය මණ්ඩල හා ඩෙංගු රෝගය පැතිරීම පිළිබඳ ව කීට විද්‍යා පරීක්ෂණ කරනු ලබන කාර්යමණ්ඩල ද ඩෙංගු පැතිරීම පිළිබඳ ව කලින් ම තොරතුරු දැන ගනිති.

මෙම කාර්ය මණ්ඩලවල වගකීම වනුයේ අදාළ ප‍්‍රදේශවල ඩෙංගු රෝගය පැතිරීම පාලනය කිරීම සඳහා සෞඛ්‍ය හා වෙනත් කාර්ය මණ්ඩල දැනුම්වත් කර නිසි ක‍්‍රියාමාර්ග ගැනීමයි. මෙසේ ගනු ලබන ක‍්‍රියාමාර්ග අතර මහජනතාව දැනුම්වත් කිරීම ද ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීම ද මහජන සෞඛ්‍ය සේවයේ දී අනිවාර්ය අවශ්‍යතාවකි. මෙම ක‍්‍රියාවලියේ දී වරින් වර සිදුවන අතපසු වීම්, නොසලකා හැරීම් සහ අඩු අවධානය නිසා ඩෙංගු රෝගය වසංගත තත්ත්වයෙන් පැතිරේ. මීට අමතර ව කලින් කලට අඩු වැඩි වශයෙන් මතු විය හැකි විවිධ නව ඩෙංගු වයිරස ප‍්‍රභේද නිසා ද පැතිරීම පාලනය කිරීමට අසීරු වන තත්ත්වයට ම ඩෙංගු රෝගය ව්‍යාප්ත වේ.

ඩෙංගු රෝගයට තවමත් නිශ්චිත එන්නතක් නොමැති බැවින් අපට ඇති එක ම ක‍්‍රියාමාර්ගය වනුයේ ඩෙංගු ව්‍යාප්තියේ සියලූ දත්ත එක්රැුස් කොට නිරීක්ෂණය කිරීම, අධ්‍යයනය කිරිම සහ ඒ ඇසුරෙන් කඩිනමින් ක‍්‍රියාමාර්ග ගැනීමයි. ඩෙංගු මර්දනයට අදාළ එම කඩිනමින් ක‍්‍රියාමාර්ග ගැනීම පිළිබඳ මූලික වගකීම පැවරෙන්නේ අදාළ මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කණ්ඩායම්වලට සහ එම ප‍්‍රදේශවල මහජනතාවටයි. ඩෙංගු රෝගය පතුරවන මදුරුවන් බෝවන්නේ ජලය රැුදුණු ස්ථානවල බැවින් විමසිලිමත් නො වුණ හොත් අප අවට පරිසරයේ ඇති  ඕනෑ ම ජලය රැුදි ස්ථානයක ඩෙංගු රෝගය පතුරුවන මදුරුවන් බෝ විය හැකි ය. ඒ නිසා ම මේ සමාජයේ ජීවත් වන අපි සියලූ දෙනා ම ඩෙංගු රෝගය පැතිරීම පාලනය කිරිමට නොහැකි වීම පිළිබඳ ව වගකීම ගත යුතු වෙමු.

“කුණු/ කසළ” එසේත් නැත්නම් අප විසින් ම පරිසරයට එකතු කරනු ලබන ඝන අපද්‍රව්‍ය, මේ ක‍්‍රියාවලියට දායක වන්නේ කෙසේ දැ යි විමසා බැලීම මෙම ලිපියේ පරමාර්ථයයි.

මීට වසර 20-30කට පෙර ඉතාමත් සීමිත නාගරික ප‍්‍රදේශ කිහිපයක හැරෙන්නට බොහෝ ප‍්‍රදේශවල නිවැසියන් පුරුදු ව සිටියේ නිවාසවලින් බැහැර කරනු ලබන අපද්‍රව්‍ය තමාට අයත් භූමියේ ම වලක් හාරා එක් රැස් කිරිමටත් වරින් වර එම අපද්‍රව්‍ය ගිනි තැබීමටත් ය. බොහෝ විට මෙම ස්ථානවල එකතු වුණු, දැවුණු සුන්බුන් සහ පස් තම ගෙවතු එළවළු කොටුවලට සහ මල් පැළවලට යොදා ගනු ලැබුණි.

එහෙත් 1978න් පසු ව ශ‍්‍රි ලාංකික ජන සමාජයේ සිදු වුණු වෙනස්කම් සමග මේ ක‍්‍රියාවලිය වෙනස් වුණි. බොහෝ නාගරික ප‍්‍රදේශවල නිවාස සංඛ්‍යාව ද ජනගහනය ද ඉහළ ගියේ ය. කුඩා බිම් ඉඩක විධිමත් අවසරයක් ඇති ව හෝ නැති ව නිවාස තැනුණි; තට්ටු නිවාස බිහි වුණි. එහි අවසන් ප‍්‍රතිඵලය වූයේ සීමිත ඉඩ ප‍්‍රමාණයක ජීවත් වන පවුල් සංඛ්‍යාව ඉහළ යාමයිි. ඊට අමතර ව ආපන ශාලා, හෝටල් සහ විශේෂයෙන් ක්ෂණික ආහාර පිළියෙල කරනු ලබන ස්ථාන සංඛ්‍යාව සහ අනෙකුත් වෙළෙඳ සැල් ප‍්‍රමාණය ද ඉහළ ගිය අතර, දෛනික ව නගර කරා පැමිණෙන්නන් සංඛ්‍යාව ද ඉහළ ගියේ ය. පොදු ප‍්‍රවාහන පහසුකම් දියුණු වනවා වෙනුවට පෞද්ගලික වාහන කරා යාමට යොමු වූ අතර, මේ නිසා නාගරික ප‍්‍රදේශ දහවල් කාලයේ අතිශයින් ජනාකීර්ණ විය.

මේ නිසා ම දිනකට පරිසරයට බැහැර කරනු ලබන ඝන අපද්‍රව්‍ය ප‍්‍රමාණය ද ඉහළ ගිය අතර, කලින් තමන් විසින් ක‍්‍රමානුකූල ව ගෘහාශ‍්‍රිත ව කළමනාකරණය කළ ඝන අපද්‍රව්‍ය, වෙනත් ස්ථානවලට බැහැර කරලීමේ ක‍්‍රමයට පුරුදු වුණි. මෙසේ බැහැර කෙරුණු ඝන අපද්‍රව්‍ය කිසි ම වර්ගීකරණයකට ලක් කෙරුණේ නැත. තව ද දිරාපත් වීම විණා වෙනත් කිසියම් ක‍්‍රමයකට නැවත ප‍්‍රයෝජනයට ගැනීම හෝ තව දුරටත් කසළ එක් රැස් වීම වළක්වාලන ක‍්‍රියාමාර්ග කිසිවක් ගැනුණේ ද නැත.

එහෙත් ඩෙංගු වසංගත පැතිරුණු කාලවකවානුවල දී, උදාහරණ ලෙස 2004 ඩෙංගු වසංගත තත්ත්වය ඇති වීමෙන් පසු, සමාජයේ නොයෙක් තරාතිරමේ ආයතන සහ පුද්ගලයන් කසළ ක‍්‍රමානුකූල ව බැහැර කිරීම සහ ප‍්‍රතිචක‍්‍රිකරණය පිළිබඳ ව උනන්දුවක් දැක්වූ අතර, සමහර ප‍්‍රාදේශිය සභා ද නගර සභා ද ඝන අපද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රිකරණය සඳහා යොමු වුණ අතර, ඉවත ලන ප්ලාස්ටික් වීදුරු වැනි අපද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රිකරණය කරන මධ්‍යස්ථාන ද බිහි වුණි.

එහෙත් පසු ව කුණු එකතු කිරීම් සහ බැහැර කිරීම මුදල් ඉපැයීමේ  “හොඳ” ආදායම් මාර්ගයක් බවට පත් වූ අතර, දේශපාලඥයන්ගේ මැදිහත් වීමෙන් කුණු ඉවතලන ස්ථානවල “බලහත්කාරයෙන්” කුණු ගොඩ ගැසීම දක්වා වූ ක‍්‍රියා මාර්ග පෙළකට මේ කි‍්‍රයාවලිය අවතීර්ණ විය. වාර්ෂික ව පළාත් පාලන ආයතන මගින් කොන්ත‍්‍රාත් ක‍්‍රමයට කුණු ඉවත් කිරීම භාර දුන් අතර, එය තම දේශපාලන හිතවතුන්ට ආදායම් උපයාලීමේ ක‍්‍රියාවලියක් ලෙසින් ප‍්‍රවර්ධනය වුණි. ඒ වටා රැකියා අවස්ථා බිහි වුණු අතර, කුණු නිසා යැපෙන පුද්ගල කණ්ඩායම් බිහි වී වර්ධනය විය. නිවාසවල එකතු වන සියලූ අපද්‍රව්‍ය බැහැර කිරීම, ඒවා එකතු කිරීමට පැමිණෙන කාර්ය මණ්ඩලවලට පවරා ජනතාව එම කාර්යභාරයෙන් බැහැර වුණු අතර, අපද්‍රව්‍ය ඉවත් කිරීම පළාත් පාලන ආයතනවල දෛනික කාර්යයක් විය.

මෑතක දී සිදු වූ මීතොටමුල්ල කුණු කන්ද නාය යාම නොවන්නට ජාතියක් වශයෙන් අපි දිගින් දිගට ම මේ ක‍්‍රියාවලියේ යෙදෙන්නට ඉඩ තිබුණි. තවදුරටත් කුණු කඳු නිර්මාණය කරමින් සිටීම ප‍්‍රශ්නයට උත්තරය නො වන බව අපි තේරුම් ගත යුතු වෙමු.

මෙලෙස තෝරා ගත් ස්ථානවලට කුණු බැහැර කිරීම, ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ විසඳුම ලෙස සමාජ ගත වීම නිසා සිදු වූයේ,

x        එකතු වන සියලූ “කුණු” බැහැර කිරීම පළාත් පාලන ආයතනවල වගකීමක් ලෙස සලකා එය තමාගේ වගකීමක් යැයි නිවැසියන් නොසිතන්නට පුරුදු වීමත්

x        පළාත් පාලන ආයතන එය තමන්ගේ හිතවතුන්ට ආදායම් මාර්ග උපයා ගැනීමට අවස්ථාවක් ලෙස යොදා ගැනීමත් ය.

මේ නිසා පළාත් පාලන ආයතනවලට කුණු ක‍්‍රමානුකූල ව ඉවත් කිරීමට නො හැකි වූ සෑම විට ම සිදු වූයේ පරිසරයේ කැළි කසළ එකතු වීම සුලබ දර්ශනයක් වීම ය. වෙනත් කිසිවකු ඒ පිළිබඳ වගකීමක් ගත්තේ නැත. බොහෝ දෙනා අදාළ පළාත් පාලන ආයතනවලට හෝ ආණ්ඩුවට දෝෂාරෝපණය කිරීමට සීමා වූහ. ඊට අමතර ව කුණු බැහැර කිරීමේ ස්ථාන සැම විට ම අනිවාර්යයෙන් කුණු තිබිය යුතු ස්ථාන ලෙස සැලකීමට පුරුදු වුණ අතර, ඒ පිළිබඳ ව සැලකිල්ලක් නොදක්වන තත්ත්වයකට පත් වුණි. පළාත් පාලන ආයතන කුණු ඉවත් කිරීමේ ක‍්‍රියාවලිය ක‍්‍රමානුකූ ල ව සිදු නො කරන සෑම විට ම නිවැසියෝ තම නිවෙස් අවට පිරිසුදු කිරීම් පසුවට කල් තැබූ අතර, කුණු ගෙන යන විට පමණක් කුණු ඉවත දැමීමට පුරුදු වූහ.

ඩෙංගු බෝ කරන ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බො පික්ටස් මදුරුවන්ට එම ස්ථාන තම වාසස්ථාන වූ අතර, විටින් විට ඩෙංගු රෝගය පැතිරවීම උත්සන්න විය. ජලය එකතු වන  ඕනෑ ම ස්ථානයක මදුරුවන් බෝ වීමට ඉඩ ඇති බැවින් අප විසින් නිර්මාණය කර දුන් මෙම ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ ස්ථාන නිසා නිවෙස් අවට මදුරු ඝනත්වය සීඝ‍්‍රයෙන් ඉහළ ගියේ ය.

ඊඩිස් ඊජිප්ටයි (Aedes aegypti)

 

එබැවින් කසළ බැහැර කිරීම සඳහා අවසාන විසඳුම විය යුත්තේ ක‍්‍රමවත් ව එම ඝන අපද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රිකරණය කිරීම පමණක් ම ය. නිවෙස්වල එකතු වන ඝන අපද්‍රව්‍ය වර්ගීකරණය කරමින් බැහැර කළ යුතු කුණු වෙන් කර ගත යුතු අතර, තොරා ගත් ස්ථානවල සහ ඉඩ ඇති සෑම පරිශ‍්‍රයක ම කොටසක් කොම්පෝස්ට් ක‍්‍රමයට දිරා යන ද්‍රව්‍ය බැහැර කිරීම සඳහා තොරා ගැනීම අනිවාර්ය විය යුතු ය. පළාත් පාලන ආයතවල වගකීම විය යුත්තේ ප‍්‍රතිචක‍්‍රිකරණය කළ හැකි ඝන අපද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රිකරණය සඳහා යාන්ත‍්‍රණය නිර්මාණ කිරීම සහ සෑම නිවාසයකට ම හෝ නිවාස පද්ධතියකට ම දිරා යන අපද්‍රව්‍ය බැහැර කිරීමට කොම්පොස්ට් භාජන හඳුන්වා දීම සහ ඒ පිළිබඳ වගකීම තමන්ට පවරා ගෙන නිශ්චිත වැඩපිළිවෙළක් සැකසීම ය. එවිට කුණු සම්පතක් කර ගත හැකි අතර ඩෙංගු රෝගය වැනි මදුරුවන් සහ මැස්සන් මගින් බෝ වන අනෙකුත් රෝග ද පාලනය කර ගත හැකි ය.

 

 

විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ

වසංගත රෝග විද්‍යාඥ (2003-2008)

වසංගත රෝග විද්‍යා අංශය

සෞඛ්‍ය අමාත්‍යාංශය

 

image- https://www.google.com/search?q=(Aedes+aegypti)&client=firefox-b-ab&source=lnms&tbm=isch&sa=X&ved=0ahUKEwjCqJmyirPeAhVJT30KHUVuBswQ_AUIDigB&biw=686&bih=495#imgrc=SHUyBYSJ2YgmcM: