කොළඹ, මීතොටමුල්ලේ කූණු කන්ද නායයාමේ ඛේදවාචකය

කොස්ලන්ද/ මීරියබැද්ද, කොත්මලේ හා අරණායක මහා නායයෑම්වල අඳුරු මතක තාමත් සිත්හි දරා සිටින ශී‍්‍ර ලාංකිකයන්ට නාය යෑම් යනු අලූත් අත්දැකීමක් නො වේ. එනමුත්, 2017 අපේ‍්‍රල් 14 වන දා මුඵ රට ම අලූත් අවුරුදු සිරියෙන් ඇළලී සිටිද්දී කොළොන්නාව, මීතොටමුල්ල කුණු කන්දේ සිදු වූ ව්‍යසනකාරී නායයාම, මෙරට එවැන්නක් සිදු වූ පළමු අවස්ථාව වූවා සේ ම “කුණු-මිනිස්” අර්බුදය පිළිබඳ ව අපට නැවත සිතීමට පෙලඹවීමක් විය.

මේ අනතුරින් පවුල් 246ක පුද්ගලයන් 1059ක් විපතට පත් වූ අතර මරණ 32ක්, තුවාලකරුවන් 11ක් සහ අතුරුදන් වීම් 8ක් වාර්තා විය. නිවාස 80ක් සම්පූර්ණයෙන් ම ද 17ක් අර්ධ වශයෙන් ද හානියට පත් විය. වඩාත් සානුකම්පිත සිද්ධිය නම් මෙම ජනතාව මිහිදන් වී ගියේ ස්වාභාවික පස් කන්දකට නො ව මිනිසා විසින් ම ගොඩ නැගූ කුණු කන්දකට වීමයි. එමෙන් ම ඒ ජනතාව කුණු කන්ද පාමුලට පැමිණියා නො ව ඔවුන් අසලින් කුණු කන්දක් ගොඩ නගනු ලැබීම ය.

1990ට පෙර කාලයේ මීතොටමුල්ලේ පිහිටි පොතුවිල කුඹුර, වගුරුමය පහත් බිමක් වශයෙන් පැවති අතර, 1991 පමණ සිට නිවාස සංකීර්ණයක් ඉදි කිරීමේ අරමුණෙන් එයට කුණු ගෙනැවිත් දමා ගොඩ කිරිම ඇරඹුණි. කාලයත් සමග එහි ගොඩ ගැසෙන කුණු ප‍්‍රමාණය අධික වූවා සේ ම 2009 වර්ෂයේ දී ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකින් කොළඹ බ්ලූමැන්ඩල් කුණු කන්ද වසා දැමීමත් සමග කොළඹ නගරයේ ප‍්‍රධාන කුණු බැහැර කිරීමේ ස්ථානය බවට මීතොටමුල්ල පත් විය.

ප‍්‍රදේශවාසින්ගේ උද්ඝෝෂණ හා විරුද්ධ වීම් කොතෙකුත් තිබිය දී දිගින් දිගට ම කසළ බැහැර කිරීම සිදු වූ මීතොටමුල්ල, නායයාම සිදුවන අවස්ථාව වන විටත් 78000 m2 පමණ වපසරියක 45-50 m පමණ උසකට නැගී සිටියේ ය. එයට දෛනික ව කසළ ටොන් 800-900ත් අතර ප‍්‍රමාණයක් මුදාහළ බව සඳහන් වේ.

විපතට පසු ව කුණු කන්ද නායයාම සිදු වූ ආකාරය පැහැදිලි කිරීමට විවිධාකාර මත ඉදිරිපත් වූ අතර ඉන් එකක් වූයේ මීතේන් පිපිරුමක් ඊට හේතු වූ බවයි. එහෙත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කළ පුළුල් පර්යේෂණයකින් අනතුරු ව එම මතය බැහැර කරන ලදී. එම සංවිධානයේ පර්යේෂණ වර්තාවට අනුව, තද වැසි ඇති වීමට ප‍්‍රථම කුණු කන්ද එහි ආන්තික ස්ථායිතාවේ පැවත තිබේ. වර්ෂාව සමග වැසි වතුර කාන්දු වීමෙන් කුණු කන්දේ අමතර බර වැඩි වීමත් සමග එහි ප‍්‍රතිඵලයක් ලෙස කුණු කන්ද යට භූ ස්ථරය පසෙකට තල්ලූ වී යාමත්, ඊට අනුකූල ව පාදස්ථ ප‍්‍රදේශයේ නිවාස සහිත කොටසේ භූ ස්ථරය ඉහළට එසවීමෙන් නිවාස කඩා වැටීමත්් සිදු ව තිබේ. ඒ සමගින් ම අස්ථායී වූ කසළ කන්දේ බෑවුම නිවාස සහිත ප‍්‍රදේශයට කඩා වැටිණි.

ඛේදජනක සිදුවීමකින් වුව ද, වසර ගණනාවක් නොසලකා හරින ලද ගැටලූවක් කෙරෙහි සියලූ පාර්ශවයන්ගේ ඇස් ඇරවීමට මේ සිද්ධිය සමත් විය. මෙම සිද්ධියත් සමග ම මීතොටමුල්ලට කසළ බැහැර කිරීම වහා ම නතර කිරීමට රජය පියවර ගත්ත ද වෙනත් විකල්ප ස්ථානයකට කසළ බැහැර කිරීම හැර වෙන යම් ස්ථීරසාර විසඳුමක් මෙතෙක් ඉදිරිපත් කර නැත.

“කොළඹ කුණු අපට එපා” යන සටන් පාඨයත් සමග විවිධ ප‍්‍රදේශවලින් උද්ඝෝෂණ ඇති වීමට පටන් ගෙන ඇති අතර එය ද නව කසළ කළමනාකරණ වැඩපිළිවෙළක් ඇති කිරීමට බාධාවක් වී ඇත. නාමික ව මේ කුණු කසළ කොළඹ නගරයට එක් රැස් වුව ද ඒවා බොහෝමයක් තම විවිධාකාර කටයුතු සඳහා දිනපතා බැහැරින් කොළඹට පැමිණෙන පුද්ගලයන් මගින් ඇති වන හෙයින් කොළඹ කුණු යැයි කීම කෙතරම් සාධාරණ දැයි ද සිතීමට සිදු වේ. මන් ද යත් දෛනික ව මිලියනයක පමණ ජනතාවක් බැහැරින් කොළඹට පැමිණිය ද කොළඹ නගරයේ පදිංචිකරුවන් සිටින්නේ 650,000ක් පමණ වන බැවිනි.
කෙසේ නමුත් එකිනෙකාට ඇඟිලි දිගු කරමින්, බැන වැදීම් නතර කරන්නට දැන් කාලය එළඹ ඇත. සිදු වූ ව්‍යවසනයෙන් පාඩම් උගෙන, ඒ ඔස්සේ තිරසාර කසළ බැහැර කිරීමේ වැඩපිළිවෙළකට යොමු වීමට සියලූ පාර්ශව ඒකරාශි වීම අත්‍යවශ්‍ය ය. රට ම නීල හරිත යුගයක් කරා පිය නඟින මේ මොහොතේ සියලූ ජනතාවගේ ආකල්පමය වෙනසක් මේ කාර්යය සාර්ථක කිරීමෙහි ලා අත්‍යවශ්‍ය වනු ඇත.

ශිරාන් චාමික වීරතුංග
පර්යේෂණ හා සංවර්ධන ආයතනය

image – https://www.google.com/search?q=Meethotamulla&client=firefox-b-ab&source=lnms&tbm=isch&sa=X&ved=0ahUKEwi1n_28-LLeAhUMPY8KHXNPB2EQ_AUIDigB&biw=1025&bih=503#imgdii=zNwy4gB7LLHT9M:&imgrc=LaLmbpJvVjAOkM: