හරිත අවකාශ සහ විශේෂයෙන් ගස්, අපගේ ශාරීරික හා මානසික සෞඛ්‍යයට ප්‍රයෝජනවත් වන බව විද්‍යාත්මක අධ්‍යයන බොහොමයක් මගින් පෙන්වා දී තිබේ. ගස් ඉදිරියේ සිටීමෙන් රෝගාබාධවලින් මිදීම ඉක්මන් වන අතර, මානසික ආතතිය අඩු කර ගැනීමට ද හැකි වේ. රෝගීන්ට තම රෝහල් ඇඳේ සිට ගස් සහිත හරිත අවකාශ දෙස බලන විට වේදනා නාශක සඳහා ඇති අවශ්‍යතාව අඩු කරගෙන, පශ්චාත් ශල්‍යකර්ම ගැටලු පවා අඩු කර ගත හැකි බව පර්යේෂණවලින් සොයා ගෙන තිබේ.
2009 වර්ෂයේ දී ඔක්ස්ෆර්ඩ්හි ප්‍රමුඛ පෙළේ මහජන සෞඛ්‍ය විශේෂඥවරියක් වන රේචල් ස්ටැන්ක්ලිෆ් තම පියාට ආඝාතයක් වැළඳීමෙන් පසු රෝහල්ගතව සිටිය දී ඔහුගේ චිත්ත ධෛර්ය ඉහළ නැංවීමට උපකාර කිරීම සඳහා රෝද පුටුවකින් ඔහු ව රෝහල් මිදුලට ගෙන යාමට තීරණය කළා ය. “එහෙත් රෝහල් සංකීර්ණයේ අශෝභන කොන්ක්‍රීට්වලින් ගැලවීමට තැනක් තිබුණේ නැහැ; ගහකොළ තිබුණේ ද නැහැ. ඇයට හමු වුණේ මඟ හරහා තිබූ කුඩා පොකුණක් පමණයි” ඈ සිහිපත් කරයි. ඒ අත්දැකීමෙන් පසු ව ඇය තීරණය කළේල රෝහල් පරිශ්‍රයේ ගස් සිටුවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ය. රේචල්ගේ ව්‍යාපෘතිය මුලින් ම ලිවර්පූල්හි ක්‍රියාත්මක කළ අතර, එය 2013 වසරේ ඉදිකිරීම් කටයුතුවලින් පසුව ‘උද්‍යානයේ රෝහල’ නමින් ප්‍රතිනිර්මාණය කරන ලදී. රෝහලේ කළමණාකාරිත්වය, ගස් සිටුවීම නැවත නැවත ක්‍රියාත්මක කළ නිසා ඒ රෝහලට බොහෝ හරිත අවකාශ ඇති බවත් ඔවුන්ගේ අරමුණ රෝහල් පරිශ්‍රය වඩාත් පරිසර හිතකාමී වගේ ම රෝගීන්ටත්, කාර්ය මණ්ඩලයටත් සෞඛ්‍ය සම්පන්න ස්ථානයක් බවට පත් කිරීම බවත් රේචල් තව දුරටත් පවසා සිටියා.
එතැන් සිට විද්‍යාත්මක සාක්ෂි ක්‍රමානුකූල ව වැඩි වී ඇති බව රේචල් පවසයි. ගස් විශාල ප්‍රමාණයක් ඇති නාගරික ප්‍රදේශවල ළමුන්ට ‘ඇදුම’ රෝගය අඩු අනුපාතයක් ගන්නා බවත්, මිනිසුන්ගේ හාත්පස පරිසරයේ ගස් ඇති විට, එමගින් ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ ආරක්ෂාව ඉහළ යන බවත්, එවිට ඔවුන්ගේ වේදනා මට්ටම්, රුධිර පීඩනය සහ ආතතිය පහත වැටෙන බවත් අධ්‍යයන මගින් පෙනවා දී ඇත.
ෂින්රින් – යෝකු’ (Shinrin-yoku) හෝ ‘වනාන්තර ස්නානය‘ (forest bathing) යනුවෙන්, සෞඛ්‍යය නංවාලීම සඳහා ගස් භාවිත කිරීමට අනන්‍ය වූ නමක් ඇති ජපානයේ එවැනි අදහස් දැනටමත් පිළිගෙන ක්‍රියාත්මක කරමින් ඇත. ඇතැම් ජපන් රෝහල් රෝගීන්ට විවේක ගත හැකි පරිදි Rooftop Forests තැනීමට පෙළඹී ඇත. Journal of Hygine නමැති ජපන් සඟරාවේ 2011 අධ්‍යයනයකින් අනාවරණය වී ඇත්තේ මෙම හරිත ප්‍රදේශවල මිනිත්තු පහක් පමණක් ගත කිරීම පවා රෝගීන්ට සන්සුන්, වඩාත් ධනාත්මක සහ ඔවුන්ගේ සුවය සඳහා වැඩ කිරීමට වැඩි පෙළඹවීමක් ඇති කිරීමට උපකාරි වන බවයි.
ජපානයේ චිබා විශ්වවිද්‍යාලයේ (Chiba University) මනෝවිද්‍යාඥයින් විසින් 2018 වසරේ International Journal Of Environmental Research And Public Health සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකට අනුව, රෝහල් වාට්ටුවල බොන්සායි ගස් තිබීමෙන් පවා රෝගීන්ගේ ආතතිය සහ වේදනා නාශක සඳහා ඇති අවශ්‍යතාව අඩු කිරීමට පිළිවන. පර්යේෂකයන් රෝගීන්ගේ මොළය පරිලෝකනය කළ අතර කුඩා ගස් දැකීමෙන් පසු, මොළයේ ආතති ප්‍රතිචාර හා සම්බන්ධ කොටසක් වන Left prefrontal cortexys ක්‍රියාකාරිත්වය අඩු බව සොයා ගන්නා ලදී.
ගස්වල ඡායාරූප බැලීමෙන් ද සුව කිරීමේ ප්‍රතිලාභ ලබා ගත හැකි ය. ස්වීඩන් රෝහලක හෘද සැත්කම්වලින් සුවය ලබන රෝගීන් 160 දෙනෙකු ආශ්‍රිත ව වෛද්‍ය උල්රිච් විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ, ගස් පෙළක් සහිත පින්තූර බැලීමට ස්ථානගත වූ රෝගීන්, වියුක්ත සිතුවම් හෝ බිත්තියක් හෝ සුදු පුවරුවක් හෝ දෙස බලා සිටි අයට වඩා කාංසාව සහ වේදනා නාශක අවශ්‍යතාව අඩු කර ගෙන ඇති බවයි.
‘එය එසේ විය යුත්තේ ඇයි දැයි සොයා බැලීම අපහසු නැහැ. අපි වසර දහස් ගණනාවක් ගත කළේ වනාන්තරවලින් පිරුණු භූ දර්ශන මධ්‍යයේ අපගේ සංවේදී හා කායික ක්‍රියාකාරකම් පරිණාමය කිරීමටයි. අපි නගරවල ජීවත් වීමට පටන් ගත් දා සිට, මෙම කාර්යයන් ආතතියට පත් වී තිබෙනවා. අප සෞඛ්‍යයට අහිතකර නම්, එක්කෝ අපගේ ශරීරයට මුහුණ දීමට ඖෂධ අවශ්‍ය විය හැකි ය, නැත හොත් ස්වාභාවික පරිසරයේ ප්‍රතිලාභ නැවත සොයා ගැනීමට අපට අවශ්‍ය විය හැකි ය.” යන්න තව දුරටත් රේචල් ස්ටැන්ක්ලිෆ් පවසයි.
JAMA Network Open සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණයකට අනුව, අප සැමට හරිත අවකාශ අවශ්‍ය වන නමුත් එහි දී විශේෂ ප්‍රතිලාභ ගෙන එන ගස් විශේෂ ය. වසර දහයක් පුරා පුද්ගලයන් 45,000කට වැඩි පිරිසකගේ යහපැවැත්ම පිළිබඳ අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ හරිත අවකාශ අසල ජීවත් වීමෙන් ඔවුන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යයට කිසිදු වෙනසක් නො වන බවයි. ඕස්ට්‍රේලියවේ නිව් සවුත් වේල්ස්හි Wollongong විශ්වවිද්‍යාලයේ (University of Wollongong) පර්යේෂක කණ්ඩායමක් ප්‍රකාශ කර ඇත්තේ හරිත අවකාශයේ ගස් සහිත වූ විට පමණක් ප්‍රතිලාභ ඇති වූ බවයි.
මේ අතර අපගේ පරිසරයෙන් ගස් අහිමි වීම අපගේ සෞඛ්‍යයට විශාල බලපෑමක් ඇති කළ හැකි බව අනාවරණය වී තිබේ. පසුගිය වසර 30 තුළ‘emerald ash borer’ නම් කෘමියාගේ ආක්‍රමණ හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ගස් මිලියන 100ක් මිය ගොස් ඇත. 1990 සහ 2007 අතර එක්සත් ජනපද වන සංරක්ෂණ සේවය විසින් ජාතික සෞඛ්‍ය වාර්තා විශ්ලේෂණය කිරීමේ දී පළිබෝධකයන්ට ගස් ගොදුරු වූ ස්ථානවල හෘද වාහිනී සහ ශ්වසන රෝග සම්බන්ධ මරණ ඉහළ ගොස් ඇති බවත්, අධ්‍යයන කාලය තුළ අමතර මරණ 20,000කට වඩා වැඩි ප්‍රමාණයකට බලපා තිබෙන බවත් අනාවරණය කර ගෙන තිබේ.
රජයේ උපදේශකයින්ට අනුව එක්සත් රාජධානිය හරිතාගාර වායු – කාබන් ඩයොක්සයිඩ් විමෝචනයට සාපේක්ෂ ව ජාතිකමය වශයෙන් ගස් හිඟයකින් පෙළෙන බැවින්, මෙයට එරෙහි ව සටන් කිරීම සඳහා 2050 වන විට එක්සත් රාජධානියේ ගස් බිලියන 1.5ක් සිටුවිය යුතු බව දේශගුණික විපර්යාස පිළිබඳ කමිටුව නිර්දේශ කර ඇත.
දූෂක සහ විෂ වායු අවශෝෂණය කර ගැනීමෙන් ගස්, වාතයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කරයි. එක් ගසකට වසරකට වායු දූෂක රාත්තල් 10ක් අවශෝෂණය කර ගත හැකි බව එක්සත් ජනපද වන සංරක්ෂණ සේවය වාර්තා කර ඇත. එහෙත් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ජෛව විවිධත්වය පිළිබඳ මහාචාර්ය කැතරින් විලිස් පවසන පරිදි, මෙම ප්‍රතිලාභ ගෙන ඒමට සමහර ගස් වර්ග අනෙක් ඒවාට වඩා සුදුසු ය. “සමහර dwarf Korean lilac වැනි කුඩා හා පඳුරු සහිත ශාක වාතයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සඳහා පුදුම සහගත ලෙස කාර්යක්ෂමයි,” ඇය පවසයි.
රේචල් තවදුරටත් මෙසේ පවසයි. ‘අපි සෑම කෙනෙකුට ම කියන්නේ, ඔබට ඕනෑ ම තැනක ඔබේ ස්ථානය හරිතකරණය කළ හැකි ය. ඉතිං ඇයි ඔබ එසේ නො කරන්නේ?’ යනුවෙනි.
Daily Mail පළ වූ How trees can heal: Research shows that patients looking at greenery from their hospital beds can cut the need for painkillers and even reduce post-op problems ලිපිය ඇසුරෙනි.
ප්‍රභාත් චින්තක මීගොඩගේ