ජෛව විද්‍යාත්මක ක්ෂේත්‍රයේ ඇතැම් නියාමන පර්යේෂණ සහ සංවර්ධනයට බාධා වන අයුරු

ජෛව විද්‍යාත්මක ක්ෂේත්‍රයේ, රජයෙන් ක්‍රියාත්මක කරන විවිධ නියාමන පවතී. යහපැවැත්ම උදෙසා නියාමන අත්‍යවශ්‍ය නමුත් ඇතැම් නියාමන නිසා මෙම ක්ෂේත්‍රයේ ‘පර්යේෂණ සහ සංවර්ධනය’ට බාධා එල්ල වෙයි.

උදාහරණයක් ලෙස පර්යේෂණ හෝ අධ්‍යාපන කටයුතු සඳහා පමණක් (Research Use Only-RUO)  විදේශයෙන් ආනයනය කරනු ලබන උපකරණ/නිෂ්පාදනවලට ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් (NMRA) අනුමැතිය ලබා ගත යුතු ය. මෙය මුදල්, කාලය හා ශ්‍රමය අනවශ්‍ය ලෙස වැය වන ක්‍රියාවලියක් ලෙස පර්යේෂකයෝ, අධ්‍යාපනඥයෝ හා භාණ්ඩ ආනයනය කරන්නෝ පවසති.

ඇතැම් විට ශාක හෝ සත්ත්ව ලෙඩ රෝග හඳුනා ගැනීම සඳහා, ඇතැම් විට විද්‍යාගාර ඇතුළේ පර්යේෂණ කරනු ලබයි (In house diagnostic development) එවැනි අධ්‍යයනවලට ලෝකයේ කොහේ හෝ නියාමනයට ලක් කරන්නේ නැත. පර්යේෂණ සඳහා පමණක් නිර්දේශිත භාණ්ඩ එවැනි අධ්‍යයනවලට යොදා ගැනීමේ දී ඉහත කී නියාමන බලපෑම් කරන නිසා, නව අත්හදා බැලීම් කිරීම අධර්යවත් වීමක් සිදුවේ.

එලෙස ම විද්‍යාගාරවලට දැනට පවතින නියාමන පද්ධතිය නිසි ආකාරයෙන් සිදු නො වීම අවධානයට ලක් කළ යුතු කාරණාවකි. Good Laboratory Practice (GLP) යනු ඉන් එකකි. එහි දී ශ්‍රී ලංකා ප්‍රනීතන මණ්ඩලය (Sri Lanka Accreditation Board) මගින් ලබා දෙන අනුමැතියත් ඉතා වැදගත් වේ. වැරදි දේ කිරීමේ අවස්ථා ඉන් වැළකී යයි. එහෙත් එමගින් ආනයනය කිරීමට ඇති බාධා ඉන් වලක්වන්නේ නැත. යම් පර්යේෂණයක් කිරීමට අවශ්‍ය නම්, ක්ෂනික ව අවශ්‍ය උපකරණ, ගෙනැවිත් පර්යේෂණ කළ හැකි ය. සෑම පර්යේෂණයක් ම සාර්ථක වන්නේ නැත. අසාර්ථක වීම් ද විය හැකි ය. එහෙත් එසේ වීමටත් ප්‍රථම කිසි දෙයක් ගෙන්වීමට නොහැකි වන සේ බාධාවකවී ඇති නම් පර්යේෂණ සිදු වන්නේ ම නැති බව අවබෝධ කර ගත යුතු ය.

පර්යේෂණ හෝ නිරීක්ෂණ කටයුතු සඳහා ආනයනය කරන රෝග විනිෂ්චය සඳහා :(IVD) වන නිෂ්පාදන සඳහා, NMRA විසින් ලියාපදිංචි කිරීමේ අවසර ලිපියක් නිකුත් කිරීම, සීමාසහිත ප්‍රමාණවලින් හා පරිශීලකයන්ගෙන් ප්‍රතිපෝෂණ ලබා ගැනීම සුදුසු වේ. දුර්ලභ රෝග නිර්ණය සඳහා (IVD) නිෂ්පාදන සඳහා ද මෙය සුදුසු වන අතර, වෙළඳපොළ විශාල වීමෙන් පසු සම්පූර්ණ ලියාපදිංචිය සිදු කළ හැකි ය.

පශු වෛද්‍ය හෝ ශාකවල රෝග නිර්ණ, නිෂ්පාදන, NMRA නියාමනයට ලක් නො කර, අදාළ කෘෂිකාර්මික හෝ සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් අනුමත කළ හැකි ය. විවිධ විද්‍යාත්මක භාවිත සඳහා අත්‍යවශ්‍ය වන සාමාන්‍ය රසායනික ද්‍රව්‍ය, විශේෂයෙන් ම NMRA යටතට නො ගත යුතු ය. අවසාන වශයෙන්, රෝග විනිෂ්චය සඳහා IVD නිෂ්පාදන සඳහා NMRA නියාමනය අවශ්‍ය නමුත් ලියාපදිංචි කාර්යය වේගවත් කළ යුතු ය.

ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව සමඟින් නව්‍යකරණයේ අවශ්‍යතාව පවත්වාගෙන යමින්, භඵඍ් ක්‍රියාවලි සුමට කිරීමට, අත්‍යවශ්‍ය අනුමැති ඉක්මනින් ලබා දීමට සැලැස්විය යුතු ය. එවැනි පියවර මඟින් ශ්‍රී ලංකාවේ ජෛව විද්‍යාත්මක ක්ෂේත්‍රයේ පර්යේෂණ හා සංවර්ධනයට වඩාත් සුදුසු පරිසරයක් උදාවිය හැකි ය.

විශේෂ වාර්තාකරුවෙකු විසිනි