ඩිජිටල් සෞඛ්‍ය සේවාවේ අනාගතය වෙනුවෙන් DIGIPATHS ප්‍රජා සහභාගීත්ව හමුව සාර්ථකව නිම වෙයි! 

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහ ප්‍රාථමික සත්කාර ක්‍රියාවලියේ ඩිජිටල් පරිවර්තනයක් උදෙසා සංවිධානය කරන ලද DIGIPATHS ප්‍රජා සහභාගීත්ව හමුව පසුගියදා කොළඹ මැන්ඩරිනා (Mandarina Colombo) හෝටල් පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.
 
එක් රෝගියෙකුට රෝගාබාධ කිහිපයක් පවතින අවස්ථාවලදී (Comorbid health), එම තත්ත්වයන් වඩාත් විද්‍යාත්මකව කළමනාකරණය කිරීම සඳහා හඳුන්වා දෙන නවීන ඩිජිටල් සෞඛ්‍ය වැඩසටහන DigiPath ලෙස හැඳින්වේ. ලන්ඩනයේ කිංග්ස් කොලේජ් (King’s College London) වැනි ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවල සහයෝගීතාවයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය හරහා, ඩිජිටල් තාක්ෂණය සහ දත්ත විශ්ලේෂණය ඇසුරින් වඩාත් නිවැරදි වෛද්‍ය තීරණ ගැනීමට පර්යේෂණාත්මක මට්ටමින් සහාය ලබා දේ.
 
මෙම සුවිශේෂී අවස්ථාව සඳහා සෞඛ්‍ය හා සමාජ සත්කාර පිළිබඳ පර්යේෂණ හා සංවර්ධන ආයතනය (Institute for Research and Development in Health and Social Care – IRD) නියෝජනය කරමින් එහි අධ්‍යක්ෂ මහාචාර්ය අතුල සුමතිපාල මහතා සහ එහි ප්‍රජා සහභාගිත්වය සහ දායකත්වය පිළිබඳ සම්බන්ධීකාරක මනෝරි විමලසේකර මහත්මිය සහභාගි වූහ. මීට අමතරව යාපනය විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය විද්‍යා අධ්‍යයනාංශයේ අංශ ප්‍රධානී මහාචාර්ය කුමරේන්ද්‍රන් ඇතුළු විද්වතුන් රැසක් ද මීට සහභාගි වූහ. ඩිජිටල් සෞඛ්‍ය සේවා පද්ධති මෙරට තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී පර්යේෂණ දත්තවල ඇති වැදගත්කම සහ සමාජ සත්කාරක සේවාවන් තාක්ෂණය සමඟ බද්ධ විය යුතු ආකාරය පිළිබඳව මහාචාර්යතුමා මෙහිදී ගැඹුරු විග්‍රහයක නිරත විය.
 
DIGIPATHS ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වූ මෙම හමුවේ ප්‍රධාන අරමුණ වූයේ සෞඛ්‍ය සේවාවන් වඩාත් කාර්යක්ෂම ලෙස ජනතාව වෙත ගෙන යාම සඳහා ප්‍රජා සහභාගීත්වය ලබා ගැනීමයි. ක්ෂේත්‍රයේ විද්වතුන්, තාක්ෂණවේදීන් සහ සිවිල් සමාජ නියෝජිතයන් රැසක් මෙහිදී අදහස් හුවමාරු කර ගත්හ.