‘ඩෙංගු රෝගය’, වරින් වර කරලියට එන ප‍්‍රධාන පෙළේ සමාජමය අර්බුදයක් වී ඇත. පසුගිය වසරවල වාර්තා වී ඇති ‘ඩෙංගු රෝගීන්’ සහ ඩෙංගු මරණ ප‍්‍රමාණය පහත වගුවෙන් දැකගත හැකි ය. මේ ලිපියෙන් විමසා බලන්නට යන්නේ මෙතෙක් මෙරට ඩෙංගු ව්‍යාප්තිය අවම කිරීමට නොහැකි වීමට හේතුව ලෙස සැලකිය හැකි සුවිශේෂ ම කරුණක් පිළිබඳ ව හෙළිදරව්වකට ය.
ඩෙංගි මදුරුවෝ (ඩෙංගි වාහක මදුරුවෝ) දෂ්ට කිරීමෙන් ආරක්ෂා වුව හොත් හෝ සියලූ ඩෙංගි මදුරුවන් විනාශ කර දැමුව හොත් ඩෙංගි රෝගය ව්‍යාප්ත වීම නවතාලිය හැකි බව යමකුට තර්ක කළ හැකි ය. බැලූ බැල්මට එය නිවැරදි ය. එහෙත් ගැටලූව වන්නේ ප‍්‍රායෝගික ව එසේ කළ හැකි ද යන්න ය. එසේ කළ හැකි වූවා නම් මෙතෙක් මෙරට ක‍්‍රියාත්මක කර ඇති ඩෙංගි මර්දන වැඩසටහන් විශාල ප‍්‍රමාණය නිසා මේ වන විටත් සාර්ථක ප‍්‍රතිඵල අත් කර ගෙන තිබිය යුතු ය. එහෙත් එන්න එන්න ම ඩෙංගි රෝගීන් වැඩි වීම මගින් පෙන්නුම් කරන්නේ එහි කොතැනක හෝ යම් අඩුපාඩුවක් ඇති බව නොවේ ද?
ඩෙංගි රෝගය සම්බන්ධ ව ප‍්‍රජා සෞඛ්‍ය විශේෂඥ සහ සමාජ විද්‍යා විද්‍යාඥ ආචාර්ය නිමල් කස්තුරිආරච්චි මහතා ‘ගවේෂණ’ වෙත දැක්වූ අදහස් මෙරට සියලූ ජනතාව වෙත
සන්නිවේදනය කළ යුතු මෙන් ම ඩෙංගි මර්දන බලධාරීන්ගේ ද ඇස් ඉක්මනින් යොමු විය යුතු ව ඇත. ඩෙංගි රෝගීන්ගෙන් ආරක්ෂා විය යුතු බව ජනතාව දැනුවත් නැහැ ආචාර්ය නිමල් කස්තුරිආරච්චි මහතා පවසන ආකාරයට අපට ඩෙංගි මර්දනය කිරීමට නොහැකි වීමට මූලික හේතුවක් වී ඇත්තේ
‘ඩෙංගු රෝගීන්ගෙන් ආරක්ෂා විය යුතු අන්දම’ පිළිබඳ ව ජනතාව දැනුවත් වී නොතිබීම යි. ඩෙංගි රෝගය හැදෙන්නට නම් ඩෙංගි රෝගියකු සිටීම අත්‍යවශ්‍ය ම කරුණක් බව අද අපේ රටේ ජනතාව බහුතරයක් දන්නේ නැහැ. ඒ නිසා හැමෝම වගේ හිතන්නේ ‘ඩෙංගු මදුරුවන් විනාශ කිරීම’ සහ ‘ඩෙංගු මදුරුවන්ගෙන් ආරක්ෂා වීම’ ගැන පමණයි. ඒක එහෙම නෙමේ; ඩෙංගි රෝගියකු ඉන්නවා නම් ඔහුගෙන් අනිවාර්යයෙන් ම පරිස්සම් වෙන්න ඕන. මොකද ඩෙංගි රෝගියකු නැති ව තවත් අයකුට ඩෙංගි හැදෙන්න කිසි ම හැකියාවක් නැහැ. ”ඩෙංගි මදුරුවෝ දෂ්ට කළාට පමණක් ඩෙංගි හැදෙන්නේ නැහැ. ඩෙංගි හැදෙන්නට නම් ඩෙංගි මදුරුවා ඩෙංගි රෝගියකුගේ දෂ්ට කර ඉන් පසු ව නිරෝගි පුද්ගලයකුට දෂ්ට කළ යුතු යි. සරල ව ම පවසනවා නම් ඩෙංගි මදුරුවා සහ ඩෙංගි රෝගියා යන දෙදෙනාගේ ම සුසංයෝගයෙන් පමණයි ඩෙංගි සෑදෙන්නේ”.
ඩෙංගි මදුරුවන් කොයි තරම් හිටියත් අපට ගැටලූවක් නැහැ. ගැටලූව තියෙන්නේ උන් ඉන්න තැන ඩෙංගි රෝගියකු සිටීම යි. එසේ ඩෙංගි රෝගියකු සිටිය හොත්, ඔහුට ඩෙංගි වාහක මදුරුවන් දෂ්ට කර, දෙවනුව අනිත් අයට දෂ්ට කළ හොත් පමණයි ඩෙංගි රෝගය සෑදෙන්නේ. අද රූපවාහිනි, රේඩියෝ, පත්තර, අන්තර්ජාලයෙන් ඕනෑ තරම් ඩෙංගි මදුරුවන්ගෙන් ආරක්ෂා වෙන්න කියා දැනුවත් කෙරනවා; කතාබහ කෙරෙනවා. එහෙත් ඩෙංගි හැදුන රෝගීන්ගෙන් ආරක්ෂා විය යුතු බවට ඒවා මගින් ප‍්‍රචාරය වෙන්නේ නැහැ. ඩෙංගි මදුරුවන් විනාශ කිරීමත්, උන්ගෙන් ආරක්ෂා වීමත් කරන්න ඕන. ඒකේ කිසි දෙගිඩියාවක් නැහැ. එහෙත් ඩෙංගි රෝගීන්ගෙන් ආරක්ෂා වීම පිළිබඳ ව ද විශේෂ අවධානය යොමු කරන්න ඕන. මොකද මදුරුවන් මර්දනය කිරීම අපහසු වුවත් ඩෙංගි රෝගීන්ට මදුරුවන් දෂ්ට කිරීම වැළැක්වීම එතරම් අපහසු දෙයක් නෙමේ”.
සැබැවින් ම ‘ඩෙංගු රෝගීන්ගෙන් ආරක්ෂා වීම’ පිළිබඳ කස්තුරිආරච්චි මහතා පවසන මේ කරුණු පිළිබඳ ව බහුතර ජනතාව දැනුවත් නොමැති බව අප ද කළ සොයා බැලීම්වල දී වඩාත් තහවුරු වුණි. ‘ඩෙංගුවලින් ආරක්ෂා වීමට තමන් ගන්න ක‍්‍රියා මාර්ග මොනවා දැ යි’ යන්න අන්තර්ජාලය ඔස්සේ අප කළ මත විමසුමක දී 98%ක් පමණ දෙනා ප‍්‍රකාශ කර සිටියේ, තමන් මදුරුවන් ඇති වන තැන් විනාශ කිරීමටත්, එසේ ම මදුරුවන්ගෙන් ආරක්ෂා වීමටත් කටයුතු කරන බව යි. තමන් ඩෙංගි රෝගීන්ගෙනුත් ආරක්ෂා වීමට කටයුතු කරන බව ප‍්‍රකාශ කර සිටියේ 02%ක ඉතා ම සුළු පිරිසකි. එයින් පෙන්නුම් කරන්නේ ඩෙංගි
රෝගය ඇති වන ආකාරය පිළිබඳ ව ජනතාව නිසි පරිදි දැනුවත් නැති බව යි. තව ද වඩාත් පුදුමයට පත් වීමට හේතු වන කරුණක් වූයේ, ඩෙංගි රෝගය වැළඳී සුව වූ පුද්ගලයන්ගෙන් බහුතරයක් පවා තමන් රෝගී ව සිටි කාලවකවානුවේ තමන් හරහා අනිත් අයට ඩෙංගි ඇති විය හැකි බව නොදැන සිටීම යි. ඔවුන් ප‍්‍රකාශ කර සිටියේ ඩෙංගි වැළඳී රෝහල් ගත ව සිටිය දී පවා තමන්ට මේ සම්බන්ධ ව රෝහලෙන් හෝ හරි හැටි දැනුවත් කිරීමක් නොකළ බව යි. ඩෙංගි රෝගය වැළඳී සිටින කාලවකවානුවේ දී ඔවුන්ගේ ශරීරය තුළ ඩෙංගි කාරක වෛරස් පවතී. එම කාල වකවානුවේ දී ඔවුන්ට ඩෙංගි වාහක මදුරුවන් දෂ්ට කර පසු ව නිරෝගී අයට දෂ්ට කළ හොත් ඔවුන්ට නියත වශයෙන් ම ඩෙංගි රෝගය ඇති වීමට හේතු වේ.
ඩෙංගි රෝගය සෑදුණු කෙනකුගෙන් ආරක්ෂා වන්නේ කොහොම ද?
පුද්ගලයකුගේ ශරීරයට ඩෙංගි වෛරස් ඇතුළු වූ දින සිට දින 4-5ක දී පමණ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නට පටන් ගනියි. උපරිම දින 12ක් පමණ දක්වා කාලයක් මෙම රෝග ලක්ෂණ පැවතිය හැකි ය (ලෝක සෞඛ්‍ය සංවිධාන දත්ත අනුව). එම කාලවකවානුවේ දී රෝගියාගෙන්, ඩෙංගි වාහක මදුරුවන් හරහා අන් අයට ඩෙංගි වෛරස ගමන් කිරීමේ හැකියාව පවති. එබැවින් එම කාල පරාසයේ දී ඩෙංගි රෝගියා ව ඩෙංගි මදුරුවන් දෂ්ට කිරීමෙන් වළක්වා ගත හොත් අන් අයට ඩෙංගි ඇති වීම වැළැක්විය හැකි ය.
කෙසේ වෙතත් මදුරුවා දෂ්ට කිරීමෙන් පසු රෝග ලක්ෂණ පහළ නො වී සිටින ඉතා විශාල පිරිසක් ද සිටිය හැකි ය. ඔවුන් ද ඩෙංගි රෝගය ව්‍යාප්ත කිරීමේ හැකියාවෙන් යුක්ත වන නමුත්, රෝග ලක්ෂණ පෙන්වන රෝගීන් තරමට ම අවදානමක් නොමැත. එහෙත් ඔවුහු ද ඩෙංගි සමාජයේ ප‍්‍රචලිත කිරීමට ඉතා ඉහළ දායකත්වයක් ලබා දෙති. ඔවුන් ව හඳුනා ගැනීම අපහසු කාර්යයක් නමුත්, වඩා වැදගත් වන්නේ හඳුනා ගන්නා ලද රෝගීන්ට හෝ මදුරුවන් දෂ්ට කිරීමෙන් වළක්වා ගැනීම යි.
රෝහලෙන් ඩෙංගි ලෙහෙසියෙන් ම බෝ විය හැකි යි
ඩෙංගි රෝගීන් රෝහලේ නේවාසික ව සිටින කාලවකවානුවේ ඉතා පහසුවෙන් ම ඔවුන් හරහා පුද්ගලයන්ට ඩෙංගි සෑදීමේ හැකියාව පවතී. විශේෂයෙන් නේවාසික ඩෙංගි රෝගීන් සාමාන්‍ය රෝගීන්ගෙන් ඉවත් කොට ඔවුන්ට මදුරුවන් දෂ්ට කිරීමෙන් වළක්වා ගැනීමට කටයුතු කිරීමෙන් අනිත් අයට ඇති වීම වැළැක්විය හැකි වනු ඇත.
අද අපට රෝහල්වල පවා මදුරුවන් ඉතා විශාල ලෙස සිටිනවා දැක ගත හැකි ය. ඩෙංගි මර්දනය යැයි කියමින් මෙරට සෑම තැනක් ම ශුද්ධ පවිත‍්‍ර කරනවාට වඩා ඩෙංගි රෝගීන් සිටින නිෂ්චිත ස්ථාන හඳුනා ගැනීමෙන්, එනම් රෝහල්, ඩෙංගි රෝගීන් සිටින නිවාස තෝරා බේරා ගෙන මදුරුවන් සිටින තැන් සම්පූර්ණ වශයෙන් ශුද්ධ පවිත‍්‍ර කිරීමට කටයුතු කිරීම ඉතා ම වැදගත් ය. එසේ කිරීම එතරම් අපහසු කටයුත්තක් ද නො වේ.
ඩෙංගි බෝ වීමට මිනිසුන් දායක වනවා සේ ම බල්ලන්, පූසන් වැනි සතුනුත් දායක වනවා ද?
ඩෙංගි වාහක මදුරුවන්, ඩෙංගි රෝගය වැළඳී ඇති රෝගීන්ට දෂ්ට කිරීම හරහා මිනිසුන්ට ඩෙංගි වැළඳීමට හේතු වනවා සේ ම ඩෙංගි වෛරස ශරීරගත බල්ලන්, පූසන්, හරකුන් වැනි සතුන්ට ද ඩෙංගි මදුරුවන් දෂ්ට කිරීමෙන් පසු මිනිසාට දෂ්ට කළ හොත් ඩෙංගි බෝවීමේ අවදානමක් පවතින බව සොයා ගෙන තිබෙන අතර, එහෙත් එය සැලකිය යුතු මට්ටමේ නොපවතින්නකි.
ඩෙංගි මර්දනය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක නැහැ
ඩෙංගි මර්දනය සඳහා රජය විසින් ගෙන යන වැඩපිළිවෙළ අඩු පාඩු සහිත බව යි ආචාර්ය කස්තුරිආරච්චි මහතා පවසන්නේ. ”ඩෙංගි මර්දන බලධාරීන් බොහෝ දුරට ක‍්‍රියාත්මක වන්නේ මදුරුවන් ඇති වන තැන් විනාශ කරන්නට යි. ඩෙංගි රෝගීන් සිටින නිවාස හදුනා ගැනීමත් එවැනි නිවාස අවට සහ රෝහල් අවට දැඩි අවධානයක් යොමු කරලා මදුරුවන් විනාශ කිරීමටත් කටයුතු යොදන්නේ නැති බව තමයි පේන්න තියෙන්නේ. අනික ඔවුන්ගේ වැඩි කැමැත්තක් තියෙන්නේ මදුරුවන් බෝ වීමට ඉඩ ලබා දී තිබූ නිවාස, ආයතනවලට එරෙහිව නීතිමය ක‍්‍රියා මාර්ග ගන්නට යි”.
නිවාසවලට පැමිණෙන මෙවැනි නිලධාරීන් ගැන අප ද කළ සොයා බැලීම්වල දී මේ කරුණු වඩාත් තහවුරු වුණි. අප හට අනාවරණය වුණේ ඩෙංගි මර්දන බලධාරින් ඩෙංගි මදුරුවන් ඇති තැන් පවතී දැ යි සොයා බැලූවත්, ඩෙංගි රෝගීන් සිටිනවා ද? එසේ සිටී නම් එවැනි ස්ථාන වෙත විශේෂ අවධානයක් යොමු කොට මදුරුවන් මර්දනය කිරීමට කටයුතු නොකරන බව යි.
එසේ ම ඩෙංගි රෝගය මර්දනය කිරීමට පැමිණෙන බලධාරීන්, වතුර නොරැඳෙන සේ පිටුපස හරවා තිබූ බොතල් තිබූ නිවාසවල අයිතිකරුවන්ට පවා නඩු පවරා, මුදල් අය කරගෙන තිබූ බව, මාධ්‍ය වාර්තා පසුගිය දිනවල පළ වී තිබුණි. ඩෙංගි මර්දනයේ නිවැරදි තැන නොසිට කරන මෙවැනි ක‍්‍රියාවලින් මහජනයා පීඩාවට පත් කිරීම කිසිසේත් ම පිළිගත නොහැකි ය.
ඩෙංගි මර්දනය පිළිබඳ රජයේ චක‍්‍ර ලේඛය ගිලිහිලා
ඩෙංගි මර්දනය සඳහා යම් ක‍්‍රමවේදයක් පවතිනමුත් එම ක‍්‍රමවේද නිසි පරිදි වර්තමානයේ ක‍්‍රියාත්මක නො වන බව යි ආචාර්ය කස්තුරිආරච්චි මහතා පවසන්නේ. “ඩෙංගි මර්දන ක‍්‍රියාවලියේ දී ඩෙංගි රෝගීන් හඳුනා ගැනීම සඳහා වැඩි අවධානයක් යොමු කරන්න අවශ්‍ය යි. වසංගත රෝග පාලනයට අදාළ රජයේ චක‍්‍රලේඛයට අනුව, ඩෙංගි රෝගියකු වාර්තා වුණා ම ඔහු සිටින ප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා (MOH) ට දැනුම් දෙන්න ඕන. එවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ක‍්‍රියාත්මක වෙලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) මාර්ගයෙන් අදාළ රෝගියා සිටින නිවස අවට සිටින සියලූ මදුරුවන් විනාශ කරන්නට කටයුතු කරන්න ඕන. එසේ කළ යුතු වන්නේ ඩෙංගි වාහක මදුරුවන් ඩෙංගි රෝගියාගේ දෂ්ට කිරීමෙන් පසු දෙවනුව අසල්වාසීන්ට දෂ්ට කිරීමෙන් ඔවුන්ට ද රෝගය වැළඳිය හැකි නිසා. එතකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගි මර්දනයට අදාළ බලධාරීන් මේ දේ අධීක්ෂණය කරන්න ඕන. උදාහරණයක් විධියට ඩෙංගි රෝගීන් 4000ක් ඉන්නවා කියා සිතමු. එතකොට මේ සියලූ ම රෝගින් පිළිබඳ ව ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කරල ද බලන්න ඕන. ඔවුන් අදාළ රෝගියා ජීවත් වන නිවාස හෝ ස්ථාන අවට සියලූ ම මදුරුවන් මර්දනයට කටයුතු කරලා තියෙනවා ද බලන්න ඕන.
“මේ කටයුතු අතර පවතින වෘත්තීය සම්බන්ධතාව සහ ඔවුන්ගේ වගකීම අද ගිලිහිලා. මෙච්චරට ම ඩෙංගි මර්දනය කර ගන්නට අද බැරි වෙලා තියෙන්නේ ඒකයි” කස්තුරිආරච්චි මහතා අවසාන වශයෙන් පැවසී ය.
මදුරුවන් සිටින සියලූ තැන් විනාශ කළ හැකි යයි සිතීම එතරම් නුවණට හුරු ක‍්‍රියාවක් නො වේ. කළ යුතු වන්නේ ඩෙංගි රෝගීන් වාර්තා වන නිවාස, රෝහල් ආදී තැන් තෝරා බේරා ගෙන එම ස්ථාන අවට සම්පූර්ණ ලෙස ම මදුරුවන් මර්දනය කිරීමට කටයුතු කිරීම යි. පරිසරය පිරිසිදු ව තබා ගැනීම, මදුරුවන් බෝවිය හැකි තැන් විනාශ කර දැමීම අතිශයින් ම වැදගත් ය. එහෙත් එමගින් ම පමණක් ඩෙංගි මර්දනය කළ හැකි යැයි සිතීම ද නුවණට හුරු නැත. එබැවින් ඉහත අප කතා කළ පරිදි ඩෙංගි රෝගීන්ගෙන් ආරක්ෂා වීම සඳහා කටයුතු කළ හොත් අපේ රටට මහත් හිසරදයක් වී ඇති ඩෙංගි රෝගය අවම කිරීමට හැකි වනු ඇත.
ඩෙංගි රෝගීන්ගෙන් ආරක්ෂා වීම පිළිබඳ ව ජනතාවට ඇත්තේ අල්ප අවබෝධයක් බවත්, අත්‍යවශ්‍ය කටයුත්තක් සේ සලකා ඒ පිළිබඳ ව ජනතාව දැනුවත් කළ යුතු බවත් කියනු වටී. මෙරට ඩෙංගිවලින් තොර රටක් බවට එය මූලික ම හේතුවක් වනු ඇත.
අරුණ ප‍්‍රශාන්ත වලිසුන්දර