තුන් වන ලෝකයේ රටක දේශීය පර්යේෂණ ආයතනයක අපේ අභිමානය

සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණය පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ වසර 25ක ගමන් මග
පර්යේෂණ යනු ලෝකයේ දියුණු රටවලට පමණක් උරුම වූවක් ද? නැත. එහෙත් ආර්ථික හැකියා මත, දියුණු රටවල්වල පර්යේෂණ සහ නව දැනුමේ ආධිපත්‍ය පැතිරී තිබීමට පුළුවන. එහෙත් අපි ඒ ගැන කලබල විය යුතු නො වේ. අපි අපිට හැකි ආකාරයෙන් දේශීය පර්යේෂණ ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා කටයුතු කළ හැකි ය. ‘සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණය පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන ආයතනය’ යනු එලෙස අපේ රටේ ස්ථාපිත කර ඇති පර්යේෂණ ආයතනයකි. එහෙත් එය තවත් එක් රාජ්‍ය නො වන සංවිධානයක් පමණක් නො වේ. මහාචාර්ය අතුල සුමතිපාල මහතා ප්‍රමුඛ දේශයට හිතැති විද්වතුන් කුඩා කණ්ඩායමක් විසින් 1997 වසරේ ඇරඹි මෙම පර්යේෂණ ආයතනය අද වන විට මෙරට විශ්වවිද්‍යල, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මෙන් ම ලෝකයේ ප්‍රමුඛ විශ්වවිද්‍යාල ගණනාවක් සමග සහයෝගිත්වයෙන් පර්යේෂණ කරන, අන්තර්ජාතික පර්යේෂණ ආයතනයක් බවට පත් වී හමාර ය. ආයතනයේ කාර්යභාර්ය පිළිබඳ කෙටියෙන් මෙහි දැක්වේ.

ආයතනයෙන් මෙතෙක් නිකුත් කර ඇති පර්යේෂණ පත්‍රිකා ගණන

150
පර්යේෂණ පත්‍රිකාවක් නිකුත් කිරීම පර්යේෂණයක අත්‍යවශ්‍ය ම පියවරකි. එසේ නිකුත් කරනු ලබන පර්යේෂණ පත්‍රිකා ඉහළ බලපෑමක් සහිත අන්තර්ජාතික ජර්නලයක පළ කිරීම පර්යේෂකයෙකුගේ ඉහළ ම බලාපොරොත්තුවකි.

පර්යේෂණ ආයතනයේ ප්‍රධාන බලකනු ත්‍රිත්වය

පර්යේෂණ ආයතනය ප්‍රධාන බලකනු 03ක් පාධක ව ගොඩ නගා ඇත. ඒවා නම් පර්යේෂණ, පර්යේෂණ ආචාරධර්ම සහ CEI බලාත්මක කිරීමයි (පර්යේෂණවල ප්‍රතිලාභ ලබන්නන් පර්යේෂණය කිරීමේ දී පාර්ශවකරුවන් බවට පත් කර ගැනීම CEI නමැති සංකල්පයෙන් අර්ථ ගැන්වේ. මේ සංකල්පය පිළිබඳ වෙන ම ලිපියක් මෙවර කලාපයේ අන්තර්ගත වේ).

ඔව්, ශ්‍රී ලංකාව ජාන තාක්ෂණයට සූදානම්

ජාන පර්යේෂණාගාර දියුණු රටවල පැවතිය ද අප වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල පිහිටුවා නැති තරම් ය. එහෙත් 2007 වසරේ ආයතන පරිශ්‍රයේ ජාන පර්යේෂණාගාරයක් ස්ථාපිත කොට ඇත. පර්යේෂණ කටයුතු සඳහා අපේ රටේ ජාන පිටරට යැවීමට විරෝධී පදනමින් ද අපේ රටේ පර්යේෂකයන්ට තම පර්යේෂණ කිරීමට අවස්ථාව ව සලසමින් ද මෙම පර්යේෂණාගාරය ස්ථාපිත කොට ඇත.

විද්‍යාව සහ තාක්ෂණය ප්‍රවර්ධනය සහ සංවර්ධනය සඳහා තනි පුද්ගලයකු ලෙස දුන් විශිෂ්ට නායකත්වය’ උදෙසා ආයතනයේ ගරු අධ්‍යක්ෂ මහාචාර්ය අතුල සුමතිපාල මහතා තම සම්මානය ලබා ගත් අවස්ථාව

ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබීම

 මෙරට විද්‍යාව, තාක්ෂණය සහ පර්යේෂණ ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා කළ කාර්යභාර්ය වෙනුවෙන් 2018 වසරේ ජනාධිපති සම්මාන හිමි විය. ‘ජාතික විද්‍යා පදනම’ විසින් මෙම ඇගයීම් සිදු කළ අතර, ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සුරතින් සම්මාන ප්‍රදානය කෙරිණි.‘විද්‍යාව සහ තාක්ෂණය අභිවර්ධනය පිණිස ගොඩ නගා ගත් අන්තර්ජාතික සහයෝගිතාව’ උදෙසා ජාතික සම්මානයෙන් ‘සෞඛ්‍ය සහ සමාජ සත්කාර පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන ආයතනය’යේ සභාපති ආචාර්ය ගොඩ්වින් කොඩිතුවක්කු, අධ්‍යක්ෂ මහාචාර්ය අතුල සුමතිපාල සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ යන මහත්වරු විසින් එම සම්මානය ලබා ගත් අවස්ථාව

පර්යේෂණ සහ විද්‍යාත්මක දැනුම සන්නිවේදනය

සන්නිවේදනයපර්යේෂණ සහ විද්‍යාත්මක දැනුම “පර්යේෂණයක් අනාවරණය වන තරමට බැබලෙන්නේ ය” යැයි කියමනක් ඇත. එබැවින් පර්යේෂණ අනාවරණ සමාජගත කිරීමත්, පර්යේෂණ කුසලතා දැනුම සමාජයට සන්නිවේදනය කිරීමත් අරමුණින් ‘ගවේෂණ’ ත්‍රෙයිභාෂික වාරික සඟරාව ආරම්භ කරන ලදී. 2004 වසරේ සිට මේ දක්වා අඛණ්ඩ ව සඟරාව නිකුත් කොට ඇත.

‘විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා වූ සම්මානය’ 2019 වසරේ ‘ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය’ විසින්, සඟරාවේ ප්‍රධාන කර්තෘ ආචාර්ය ගොඩ්වින් කොඩිතුවක්කු හා කර්තෘ අරුණ ප්‍රශාන්ත වලිසුන්දර යන මහත්වරුන්ට පිරිනැමිණි