දේශපාලන පරිවර්තනය, සමාජ පරිවර්තනයකට යොදා ගනිමු

දේශපාලන බල හුවමාරුවකට පසු, නව රජයක් බලයට පත් වීමේ දී, හුදෙක් පක්ෂ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමකට හෝ දී ඇති පොරොන්දු ඉටු කිරීමකට පමණක් සීමා විය යුතු නැත. ප්‍රධාන ම අරමුණ විය යුත්තේ රටේ සහ මහජනතාවගේ යහපත උදෙසා අවශ්‍ය හොඳ ම දේ කිරීමයි. ඒ සඳහා යාවත්කාලීන වන විද්‍යාත්මක සහ තාක්ෂණික දැනුම ද විචලනය වන සමාජ පරිසරය ද හඳුනා ගෙන නිසි ප්‍රතිචාර දැක්විය යුතු ය.

දැඩි නීති පමණක් පිළිපදිමින් ක්‍රියා කිරීම හෝ නීති ආවරණයෙන් බැහැර ව කටයුතු කිරීම යන ක්‍රම දෙක ම නුසුදුසු ය. අවශ්‍ය විට ‘නම්‍යතාව’ ද සහිත ව කටයුතු කළ යුත්තේ, රජය මානව ප්‍රජාව වෙනුවෙන් තීරණ ගන්නා බැවිනි. එහෙත් එම නම්‍යතාවේ ප්‍රමාණය තීරණය කළ හැක්කේ, මහජන විශ්වාසය රජය කෙරෙහි පැවතීම සහ ඒ විශ්වාසය ප්‍රත්‍යාවර්ත වශයෙන් රජය විසින් මහජනතාවට ලබා දීම අතර, සජීවී සබඳතාවක් පැවතිය හැකි වන ලෙස ය.

රජය සහ මහජනතාව අතර මෙවැනි අන්‍යෝන්‍ය විශ්වාසයක් ගොඩ නැගීමට බලපාන තාක්ෂණික සහ සාමාජිය සාධක අතර, මහජන ආකල්පය ද විපක්ෂයේ බලපෑම ද රටේ ආර්ථික තත්ත්වය ද පරිපාලන පළපුරුද්ද ද ප්‍රමුඛ ලෙස හේතු විය හැකි ය. ඒ සමග ම පර්යේෂකයන් ද විද්වතුන් ද වෘත්තියවේදීන් ද පොදු මහජනතාවගෙන් ද ලැබෙන ධනාත්මක යෝජනා ද ගවේෂණාත්මක සහ පර්යේෂණ දැනුම ද, පක්ෂ-පාඨ-භේද නොසලකා මහජන ප්‍රතිපත්ති සම්පාදනය ඔස්සේ, ජාතික අභිවෘද්ධියට යොදා ගැනීමේ සම්ප්‍රදාය රට තුළ ස්ථාපනය කිරීමල යහපත් සංස්කෘතික අවශ්‍යතාවකි.

මෙම පසුබිම මත පදනම් ව, ‘ශ්‍රී ලංකාවේ පර්යේෂණ සහ නවෝත්පාදන සංස්කෘතියේ පරිවර්තනයක්: ජනතාවගේ යහපත උදෙසා පර්යේෂණ යොදා ගනිමු’ නමින් මහාචාර්ය අතුල සුමතිපාල මහතා විසින් රචිත ලිපිය, මෙම කලාපයේ ප්‍රධාන ලිපිය ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබේ. දේශීය සහ ජාත්‍යන්තර පර්යේෂණ අත්දැකීම්වලින් සන්නද්ධ එතුමාගේ අදහස්, දේශපාලන පරිවර්තනයක් සිදු වන කාලයක දී, විද්‍යාත්මක පරිවර්තනයක් ද සිදු විය යුතු බව සනාථ කරයි. එවැනි පර්යේෂණ ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා සිදු වන යෝජනා, විචාර හා ලිපි ‘ගවේෂණ’ සඟරාවෙන් නිතිපතා ප්‍රකාශයට පත් කිරීම අපගේ යුතුකමක් බව ද අපි විශ්වාස කරමු.

එමෙන් ම, මෙම කලාපය තුළ විශේෂ අතිරේක පිටු ප්‍රමාණයක් යොදා ගන්නා ලද්දේ, මෙරට පැවැත්වෙන ‘ජාත්‍යන්තර නිවුන් පර්යේෂණ සමුළුව’ වෙනුවෙනි. මෙම සමුළුව සංවිධානය කරනු ලබන්නේ ‘සෞඛ්‍ය සහ සමාජ සත්කාර පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන ආයතනය’ වන අතර, එය නිවුන් පර්යේෂණ සමුඵවේ දී මෙරට නියෝජිත ආයතනය ලෙස කටයුතු කරයි. මෙය ශ්‍රී ලංකාවට ලැබෙන අනර්ඝ අවස්ථාවක් වන අතර, විද්‍යාත්මක හා ආර්ථික ව ද බහුල ඵලදායිතාවක් ඇති කරවිය හැකි සම්භාවිතාවක් ද එහි අඩංගු ව ඇත. මෙවැනි ජයග්‍රහණ, ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ විද්‍යාත්මක හා අධ්‍යාපනික කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ ලා වන වැදගත් පියවරක් ලෙස ද සැලකිය හැකි ය.

-සංස්කාරක සටහන-
(2025 මැයි-අගෝස්තු කලාපය / 44 වන කලාපය)