මෙරට හෝ විදෙස් ගත ව ජීවත් වන ශ‍්‍රී ලාංකික විද්වතුන්ගේ සේවා දායකත්වය පදනම් කර ගෙන “ලෝකෙට යමක් ඉතිරි කළ මිනිස්සු” ලිපි මාලාව ඔබ වෙත ගෙන එනු ලැබේ. එම විද්වතුන්ගේ පෞද්ගලික සහ ශාස්ත‍්‍රිය ජීවන ගමනේ අත්දැකීම් බිඳක් පාඨකයා වෙත ගෙන ඒම මෙම ලිපි මාලාවෙන් අපේක්ෂා කෙරේ. ස්වකීය පෞද්ගලික සහ ශාස්ත‍්‍රීය ක්ෂේත‍්‍රයට අදාළ ව ප‍්‍රගුණ කළ, නිර්මාණය කළ සහ නවීකරණය කළ වෘත්තීය ඥානයෙන් පොදු මහත් සමාජයට ගත හැකි දැනුම- ආදර්ශය කෙබඳු ද යන්න ඉස්මතු කිරීමට මෙහි දී බලාපොරොත්තු වේ. “දේශයේ රැඳුණු විද්වතෙක්” ලෙස මෙවර “ගවේෂණ” හා එක් වන්නේ, “ශ‍්‍රී ලංකාවේ ජන සංගීත” ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයකු වන සංගීතවේදී රෝහණ බැද්දගේ මහතා යි.
ලෝකෙට යමක් ඉතිරි කළ මිනිස්සු
ජීව දත්ත
නම – රෝහණ බැද්දගේ
ලිපිනය – උඩුව දකුණ, කුඩා උඩුව, හොරණ
උපන් දිනය – 1935 නොවැම්බර් 01
අධ්‍යාපනය ලැබීම – සෞන්දර්ය අධ්‍යාපනය ගුරු පුහුණු සහතිකය
(අ. පො. ස.) උ. පෙ. ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත‍්‍රය
වෘත්තිය – ගුරු වෘත්තිය
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (විශ‍්‍රාමික)
බාහිර කථිකාචාර්ය – සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය
සභාපති, සංගීත අනු මණ්ඩලය (කලා මණ්ඩලය)
කලායතනාධිපති, සඳගිරිපාය කලායතනය, හොරණ
ශිල්පීය දක්ෂතා – වේදිකා සහ රූපවාහිනී නාට්‍ය රචනය, අධ්‍යක්ෂණය සහ සංගීත නැටුම් නිර්මාණය
ස්වතන්ත‍්‍ර වේදිකා නාට්‍ය නිර්මාණකරුවෙකි
ගායන ශිල්පීයෙකි
ගීත රචකයෙකි
සංගීත අධ්‍යක්ෂවරයෙකි
වේදිකා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙකි
වේදිකා ප‍්‍රසංග සහ නර්තන ශිල්පියෙකි
නර්තන නිර්මාපකයකු සහ අධ්‍යක්ෂවරයෙකි
රාජ්‍ය සම්මාන – ජනාධිපති සම්මානය- කලාශූරී ස්වර්ණ ජයන්ති සම්මානය (සංස්කෘතික දෙපාර්තමේන්තුව)
හොඳ ම සංගීතවේදී සම්මානය (1988 රාජ්‍ය සංගීත උළෙල)
රචිත ග‍්‍රන්ථ – සිංහල ගීත ශෛලිය
ගම්මානේ උපන් ගීත
අන්දර වැටිය (කෙටි කතා)
ලොකු අයට පුංචි කතන්දර
රෝහණ බැද්දගේ මහතා සංගීතයෙන් අපේ රටේ සංගීතකාමී සිත්-සතන් රසවත් කළ සංගීතඥයෙකි. ගැමි උරුවට ගැයෙන ඔහුගේ ගීතවලට ලොකු කුඩා සෑම දෙනා ම ප‍්‍රිය කළේ ය. වේදිකා නාට්‍ය නිර්මාණයෙන් ද රඟ දැක්වීමෙන් ද හේ රසික සිත් දිනා ගත්තෙකි. පාසල් ගුරුවරයකු ලෙසත්, විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරයකු ලෙසත්, හොරණ ‘සඳගිරිපාය’, කලායතනයේ කලායතනාධිපති ලෙසත් කටයුතු කර ඇති නිසා අපේ රටේ වත්මන් කලා ශිල්පින් බොහෝ දෙනකුගේ ගුරු ඇඳුරා ඔහු විය.
ඔහු ශ‍්‍රී ලංකාවේ ජන සංගීතය පිළිබඳ ප‍්‍රාමාණික උගතෙකි. ජන සංගීතය පිළිබඳ පර්යේෂණ කොට එම දැනුම සමාජ ගත කළේ ය. නවීණ තාක්ෂණික උපාංග භාවිතයෙන් පාරම්පරික සංගීත නාද රටා පිළිබඳ විශ්ලේෂණ ඉදිරිපත් කළේ ය. විදෙස් රටවල ගොස් ඒවායේ ජන සංගීතය අපේ රටේ ජන සංගීතයත් සමග සැසඳුවේ ය. අපේ රටේ පැරණි සංගීතය මෙය යැයි ලොවට පෙන්වන්නට සංගීත වැඩසටහන් ඉදිරිපත් කළළේ ය. ඒ වෙනුවෙන් වෙන ම සංගීත කණ්ඩායම් පුරුදු පුහුණු කළේ ය. ඔහුට උරුම පාරම්පරික ගැමි කට හඩින් ජන ගීත වත්මන් පරපුර වෙත අපූරුවට ඉදිරිපත් කළේ ය. එබැවින් ඔහු අපේ රටේ අභිමානය ලොවට පෙන් වූ යුග පුරුෂයෙකි.
වෘත්තියයෙන් පාසල් ගුරුවරයකු වූ රෝහණ බැද්දගේ මහතා, විශ‍්‍රාම යන විට සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකි. ඔහු පොදු ජනතාව අතරට එන්නේ 1974 දී “මගේ රත්තරන් හෙලේනා” නමැති ගීතය ගුවන් විදුලිය ඔස්සේ ප‍්‍රචාරය වීමත් සමග ය. එයින් ගායකයකු ලෙස සමාජයේ ලැබුණු පිළිගැනීම ඔහුගේ නිර්මාණ දිවිය ආලෝකවත් කිරීමේ දොරටුව බඳු ය. එය තවත් පියවරකින් ඉදිරියට යන්නේ 1990 දශකයේ දී පමණ බන්දුල විජේවීර මහතා සමග එක් ව කළ “මාමයි බෑනයි” වේදිකා සංගීත මාලාව මෙරට මෙන් ම විදෙස් ගත ශ‍්‍රී ලාංකිකයන් අතරේ මහත් සේ ජනප‍්‍රිය වීමත් සමග ය.
“මාමයි බෑණයි ගී ප‍්‍රසංගයේ පින්තූරයක්”
රෝහණ බැද්දගේයන්ගේ ජන සංගීතය පිළිබඳ මූලික අධ්‍යාපන පීඨය වූයේ ඔහු උපන් ගම්මානයයි. වසරක් පාසා ගමේ දේවාල භූමියේ පැවැත්වෙන ‘ගම්මඩුව’ කුඩා කල සිට ම ඔහුගේ ජීවිතය හා බැඳුණු කලා සංදර්ශනයකි. ගම්මඩුවෙහි ඇතුළත් බෙර වාදන ශිල්පය හා ගායන ක‍්‍රම රයිගම් කෝරළ සම්ප‍්‍රදායයට අයත් ඒවා ය. එම වාදන සහ ගායන ඔහු අනුකරණය කිරීමත්, නිරන්තර ඇසුරු කිරීමත් නිසා, කුඩා කල සිට ම ඔහුගේ ශිල්පීය කුසලතා වර්ධනය වන්නට හේතු විය. ඒ හැරෙන්නට ඔහුගේ පරම්පරාවෙන් කලා ශිල්ප උරුම වූයේ නැත. එනම්, මව පියා හෝ පවුලේ වෙනත් කෙනෙක් සංගීත ක්ෂේත‍්‍රයේ කටයුතු කළෝ නො වූහ. එසේ ම ජන සංගීතය ඉගෙන ගන්න යැයි පරම්පරාවේ කිසිවකු හෝ ඔහුට බල කළේ ද නැත.
රබන් වාදනයට සැන්දෑ කළ ගෙය ඉදිරිපිට මිදුලේ රැස් වූ කණ්ඩායමට එක් වීමට කුඩා බැද්දගේට හැකි විය. ගමේ කෝලම් නැටුම් කණ්ඩායමටත් කවි නාඩගමටත් එක් වී රඟපෑමට ඔහුට සිදු විය. කතුරු ඔන්චිල්ලාව බැඳගෙන පැදීමත්, ඔන්චිලිවාරම් ගායනය කිරීමත් වසරක් පාසා ගමේ කළ යුතු චාරිත‍්‍ර වාරිත‍්‍ර විය. ‘සන්නියකුම’, ‘සූනියම් යාගය’ වැනි ගමේ තොවිල්පලවල්වල ඔහුගේ දිනචරියාව ගෙවී ගියේ ය. ගමේ කුඹුරට බැසීම එකල අනිවාර්ය රාජකාරියකි. ගොයම් කපන කලට, ගම්මුන් සමග එක් වී ගොයම් කවි ද පැල් රකින කලට, පැල් කවි ද කීවේ ය. මඟුල් ගෙවල්වල සතුටු සාජ්ජවල බටනලා තබ්ලා වාදනයට ද හේ පුරුදු ව සිටියේ ය.
පාසලේ දී ඔහු උඩරට හා පහත රට නර්තන කලාව විධිමත් ව උගත්තේ ය. හේවුඞ් ආයතනයට බැඳී හින්දුස්තානි සංගීතය ද උගත්තේ ය. නැසීගිය ඩබ්ලිව්. ඞී. අමරදේව මහතාගෙන් ද සංගීතය උගත්තේ, ඒ මහතා භාරතයේ සිට සංගීතය උගෙන මෙරටට පැමිණ උගැන්වීම් සිදු කළ කෙටි අවධියේ ය.
පාසල් හා උසස් අධ්‍යාපනයෙන් පසු හේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු සේවයට එක් වන්නේ නැටුම් ගුරුවරයකු ලෙසිනි. ඒ 1959 වසරේ ය. ඩබිලිව්. බී. මකුලොළුව මහතාගේ ජන සංගීත සංදර්ශනවලට සම්බන්ධ වීමට බැද්දගේ මහතාට හැකි වන්නේ ද එම අවධියේ ම ය. ‘හෙළ මිහිර’ ජන ගීත සංදර්ශණයට ද ‘දෙපානෝ’ නමැති ගීත නාටකයට ද එක් වන්නේ 1960 දශයේ මුලයි. මකුලොළුව මහතා අපේ රටේ විවිධ පළාත්වලින් එන ජන සංගීත කොටස් අනුසාරයෙන් මෙම නිර්මාණ කර තිබිණි. මකුළොළුව මහතාගේ විශේෂත්වය වූයේ එතුමා ජන සංගීතය කෙරෙහි දැක් වූ උනන්දුව නිසා ම රටේ විවිධ පළාත්වලට ගොස් එම ප‍්‍රදේශවලට ආවේණික සංගීත කලාවන් පිළිබඳ හැදෑරීමත්, ඒ අනුසාරයෙන් ජන සංගීත කලාවේ පෝෂණයට දායක වීමත් ය.
මකුලොළුව මහතා ජන සංගීතයේ උන්නතිය උදෙසා කළ මෙහෙවර, ඉදිරියට ගෙන යාමේ මී ළඟ ප‍්‍රාප්තිකයා වූයේ සී. එස්. කුලතිලක මහතා ය. 1970 වසරේ දී කුලතිලක මහතා යටතේ ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පිහිටුවන ලද සංගීත පර්යේෂණ අංශය මගින් ජන සංගීතයට වූ මෙහෙය අති විශාල ය. බැද්දගේ මහතාට ද ආධුනික සංගීතකරුවකු ලෙස එම ගුවන් විදුලි වැඩසටහන්වලට සම්බන්ධ වීමේ භාග්‍ය හිමි විය.
එලෙස ම ජන සංගීතය ඇසුරින් දයානන්ද ගුණවර්ධනයන් නිර්මාණය කළ ‘ජසයා සහ ලෙන්චිනා’, ‘ගජමන් පුවත’, ‘මධුර ජවනිකා’, ‘ආනන්ද ජවනිකා’ වැනි වේදිකා නාට්‍යවලට සංගීත නිර්මාණ පැවරුණේ රෝහණ බැද්දගේට ය. මෙසේ ක්ෂේත‍්‍රයේ සිටි ප‍්‍රවීණයන් සමග ඔවුන්ගේ නිර්මාණවලට දායක වීමෙන් ලැබූ පන්නරය ඔහුගේ සංගීත දිවිය පෝෂණයට ඉමහත් අත්වැළක් විය.
බැද්දගේ මහතා ලෝකයේ විවිධ රටවල ජන සංගීතයෙහි ගායන ශෛලිය සහ සිංහල ජන සංගීතයෙහි ගායන ශෛලි එකිනෙක විග‍්‍රහ කොට බලමින් අනෙකුත් රටවල පාරම්පරික ජන සංගීතය ඔවුන්ගේ නූතන සංගීතය කෙරෙහි බලපා ඇති ආකාරය විමර්ශනය කිරීමෙන් පසු සිංහල ජන සංගීතය, සිංහල සංගීතය වශයෙන් සංවර්ධනය විය යුත්තේ කෙසේ ද යන්න සෙවීමට හේ උත්සාහ ගත්තේ ය. විදේශ සංචාරවල දී ඔහුගේ වැඩි අවධානය යොමු වූයේ එම රටවලට ආවේණික සංගීත සම්ප‍්‍රදායයන් පිළිබද අධ්‍යයනයට ය. මෙරට ජන සංගීතය පිළිබඳ දැක් වූ උනන්දුව සහ එම විෂයයෙහි විශේෂඥයකු වූ නිසා ම ඇතැම් ජාත්‍යන්තර ජන සංගීත සමුළුවලට අපේ රට නියෝජනය කිරීමට සිදු වූයේ ද එතුමන්ට ය.
විදෙස් සංචාරයක නියැළි නිර්මාණ කාර්යයක ඡායාරූපයක්
ගීතයක් සම්පූර්ණ වීමට තිදෙනකු දායක වේ. එනම් පද රචකයා, තනු නිර්මාපකයා සහ ගායකයා ය. බැද්දගේ මහතා මේ තුන් ඈදුතු ක‍්‍රියාවලිය ම කළ හැකි ජගතෙකි. ඔහු ගයන ගීත අල්පයක හැරෙන්නට ඉතිරි සියල්ල ම ඔහුගේ නිමැවුම් ය. තව ද ඔහු විසින් ලියා, සංගීතවත් කොට වෙනත් ගායකයනට ලබා දුන් ගීත බොහෝ ය. ඔහුගේ මේ කොයි නිමැවුම ගත්තත්, ඒ හැම එකකින් ම ‘ගැමි වහර’ දිස් වීම විශේෂත්වයකි. ඊට හේතුව විධිහට ඔහු සලකන්නේ තමා ගමේ ඉපදීමත්, තමාගේ මෙතෙක් ජීවිත කාලය පුරා ම ගැමියන් සමග ම දිවි ගෙවීමත් බවයි.
“නවීන සැප පහසුකම්වලින්, මුදල් ඉපැයීමේ පහසුවෙන් හෝ තව කොතෙකුත් ප‍්‍රතිලාභවලින් මා අවනත කර ගන්න නගරයෙන් මට කොච්චර අත වැනුවත්, මං උපන් ගම දාලා නගරට ආවේ නැහැ. නොයෙකුත් වාසි බලාගෙන නගරයේ පහසුකම් පැත්තට හැරෙන ණුවනක්කාරකමට වඩා ගහ කොළවලින් පවා ආශිර්වාදය ලැබෙන ගමේ ලෙන්ගතුකම පැත්තට නැමෙන මගේ මොඩකම මට හොඳයි; ගැමි පරිසරය මට හොඳයි; ගැමි වහර මට හොඳයි; ගැමි නුවණ මට හොඳයි”
“මගේ ගීත ගායනයෙහි අමුත්තක් තියන බව සමහරු කියනවා. මගේ හඩ නුපුහුණු ගැමි හඩක් හින්දා සම්භාව්‍ය සංගීතය ප‍්‍රගුණ කළොත් මගේ ගැමි හඩ නැති වී යා හැකි බවත් සමහරුන් කියනවා. මාත් දැනුම ලබා ගත්තේ උතුරු ඉන්දියානු සංගීතයෙන් නිසා මා එයට ගරු කරනවා. උතුරු ඉන්දියානු පරීක්ෂකවරුන් ඉදිරියේ මා පෙනී සිටි විභාගවල දී ඒ අය මගේ ගායනයෙහි කිසි වරදක් පෙන්නුම් කළේ නැහැ. ඕනෑ ම කෙනකුට ඕනෑ ම සංගීතයක් ඉගෙන ගන්න පුළුවන්. ඒ වුණත් ඒ තමන්ගේ පාරම්පරික ගායන ශෛලිය හඳුනා ගත්තොත් කාට වුණත් ඒ ශෛලියෙන් ගායනා කරන්නට බැරිකමක් නැහැ කියල යි මා හිතන්නේ” යැයි බැද්දගේ මහතා පවසයි.
රෝහණ බැද්දයන්ගේ ජන සංගීත නිර්මාණ දෙස බැලූ විට ඒවායේ හාස්‍ය රසය ඉස්මතු වෙයි; සමාජ විවරණ සහිත ය; උපදේශාත්මක ය. ජන සංගීතය ඇසුරෙන් ඔහුගේ සියලූ නිර්මාණ සිදු වුවත්, ඒවායේ ඒකාකාරී බවක් නොදැක්වෙන බව මේ පිළිබඳ අදහස් දක්වන ඇතමුන්ගේ මතයයි. ඔහුගේ නිර්මාණ බොහෝ විට නාට්‍යමය ස්වෑපයකින් යුක්ත වේ. තමාගේ හඩ පිහිටුවා ඇත්තේ කොතන ද? තමා සතු සංගීත හා නර්තන කුසලතාවන් මුදා හැරිය යුත්තේ කවර පරාසයක් කරා ද? තමා විසින් ස්පර්ශ කළ යුතු විෂය ක්ෂේත‍්‍රයේ සීමා මොනවා ද? යන්න අවබෝධයෙන් නිර්මාණකරණයේ යෙදෙන්නෙකි.
මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා, බැද්දගේ මහතාගේ සංගීත නිමැවුම් පිළිබඳ මෙසේ අදහස් දක්වයි. “ඔහුගේ පදමාලා, තනුව හෝ ගායනය යන කොයි එකෙන් බැලූවත් ඔහු තුළින් දිස් වෙන්නේ පාරම්පරික සිංහල ජන සංගීතකාරයෙක්. ඔහුගේ පදමාලා සියල්ල ම පෝෂණය වී තිබෙන්නේ ජන සංගීතයෙන්. චිරන්තන සාහිත්‍යයට උරුමකම් කියන කිසි ම රචනාවක් ඔහු කර නැහැ. හිතා මතා යෙදු උපමාලංකාර, රූපාලංකාර, ශබ්දාලංකාර කිසිවක් ඔහුගේ ගීවල නැහැ. ඒ නිසා ඒවා බොහොම අව්‍යාජයි”.
ඔහු පොදු රසිකයන් අතරට එන්නේ 1974 “මගේ රත්තරන් හෙලේනා” ගීතය ගුවන් විදුලි ඔස්සේ ප‍්‍රචාරය වීමත් සමග ය. එම ගීතය නිර්මාණය වීමේ පසුබිම ගැන අද බැද්දගේ මහතා පවසන්නේ මෙවැන්නකි. ”මම හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ නැටුම් ගුරුවරයකු ලෙස කටයුතු කළ වේදිකා නාට්‍යයකට ගීතයක් නිර්මාණය කරන්න මට අවශ්‍ය වුණා. ඒ නාට්‍යයේ කතා පුවතේ හැටියට, පොසත් ගෙදරක වැඩකාරකමකට ඇවිත් හිටි ගමේ තරුණයෙක් ඒ ගෙදර හිටිය ‘හෙලේනා’ නමැති ලස්සන තරුණිය සමග හාද වෙලා ගෙදරින් පැනලා හඳ පානේ ආ හැටි විස්තර කරමින් තමයි ඒ නාට්‍ය පටන් ගන්නේ.
එවැනි ගීයක් සඳහා යොදා ගත යුතු රිද්මය ගැන කල්පනා කරමින් සිටින අතර, දවසක් දා මම මෝටර් සයිකලයෙන් කොළඹ යන්න පිටත් වුණා. ‘කෝරලේ ඉම’ කියන හරිය පහු කර ගෙන යද්දි හරි ම අපූරු රිද්මයකට මෝටර් සයිකලය ඉහළ පහළ පැදෙන බව මට දැනුණා. ඒ එක්ක ම මට මතක් වුණා ‘බන්දනී’ කියන චිත‍්‍රපටියේ දුටු හිරකාරිය කුරහන් අඹරමින් ගයන ගීතයේ රිද්මය ‘ටටක් ටොටොක් ටටක් ටොටොක්’ යන ආකාරයටයි මට එහි රිද්මය මතක් වුණේ. ඒ මොහොතේ දී මා පසු කරමින් සිටියේ ද රබර්වතු සහ බඩවැටි සහිත ලස්සන පරිසරයක්. ඒ සමග ම ‘මගේ රත්තරන් හෙලේනා, පසු කරමින් මහ කඳු වැටි ඕවිටි, පාළු සොහොන් පිටි, රබර් වතු, බඩ වැටි යන වචන අර රිද්මයට අනුව මගේ මතකයට නැගුණා. ටික වේලාවකට නැවතිලා බයිසිකලය උඩ ඉඳ ගෙන ම සාක්කුවේ තිබුණු කොළ කෑල්ලක් අරගෙන වචන ටික සටහන් කර ගත්තා”
මගේ රත්තහෙලේනාරන්
දැසමන් මලක් වගෙයි- පියංකරයි සුකෝමලයි
සුරංගනාවියන් වගෙයි- අහිංසකයි රටක් වටියි
කවු ද?…
මගේ රත්තරන් හෙලේනා…..
රාජ භෝජන නැත මට දෙන්නට
සීන් සිනිදු සළු නැත මට දෙන්නට
ගේ දොර වතු පිටි නැත ගරු සරුවට
යාන්තමට ඇත දිවි රැක ගන්නට
කවු ද?…
මගේ රත්තරන් හෙලේනා…..
පසු කරමින් මහ කඳු වැටි ඕවිටි
පාළු සොහොන් පිටි රබර් වතු බඩවැටි
ගල්මුල්වල පය පැටලී වැටි වැටි
මතකයි හඳපානේ කැන්දන් ආ හැටි
කවු ද?…
මගේ රත්තරන් හෙලේනා…..
වර්තමාන සංගීත කලාව පිළිබඳ සමාජයෙන් එල්ල වන්නේ දොස් මුරයකි. අද ඇත්තේ අර්ථ විරහිත ගීත බවත්, කන්කරච්චලය ඇති කර වන සංගීතයක් බවත් ඔවුන්ගේ දෝෂාරෝපණයයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන බැද්දගේ මහතා පවසන්නේ මෙම තත්ත්වය සංගීතයට පමණක් සීමා වූවක් නො ව මුළු මහත් සමාජ රටාවේ ම පරිවර්තනය නිසා සිදු වන දෙයක් බව ය. ”මේක සමාජ ජීවන රටාවත් එකක් යන වෙනස් වීමක්. කලබලකාරි; අවුල්සහගතයි; මනස අවුල්; ඉතින් සංගීතයත් අවුල් තමයි. වේග රිද්මය කියන්නේ අපිත් වේගයෙන් යනවා කියන එකනේ. 77න් පස්සේ අපිත් කොච්චර වේගෙන් ද යන්නේ. සංගීතයත් ඒ ගමනෙ ම එක්තරා ලක්ෂණයක්.
අපිට දකින්න පුළුවන් රියැලිටි තරගවල පැරණි ගීත ගායනා කරනවා. පැරණි ඒවා ආදර්ශයට අරගෙන ඔවුන් ඒවායින් ඉස්සරහට එන ගතියකුත් තියනවා. ඒ කියන්නේ ඒ අය ළඟත් පැරණි ඒවා පිළි ගැනීමක් තියනවා. ඒක පාරම්පරික ව ජානවලින් එන දෙයක්. කොච්චර නූතන සමාජ රටාව තුළ හිටියත් බෙර පදයක් ගහලා ගන්නකොට ආකර්ශණයක් එනවානේ. ඒකෙන් අපිට පේන දෙයක් තමයි අලූත් අය පරණ ඒවා ප‍්‍රතික්ශේප කරන්නෙත් නැහැ කියන එක.
භාතිය සන්තුෂ් වැනි තරුණ අය පැරණි ගීත අලූත් විධියට ගායනා කරනවා අපිට දකින්න පුළුවන්. සමහරු ඔවුන්ට බණිනනවා පැරණි ඒවා විනාශ කරනවා කියලා. එහෙත් අපි අගය කරන්න ඕන ඔවුන් පැරණි දේ අලූත් විධියට නවීකරණය කරලා තියන එක ගැන. මානව වංශ සංගීතයේ තියනවා, නූතන ලෝකයේ තරුණ පෙළ පැරණි ඒවා ගවේෂණ කරමින් යම් යම් නිර්මාණ කරන බව.
අපේ රටේ ජන සංගීතයේ අනාගතය ගැන කෙබඳු වේ ද? බැද්දගේ මහතා පවසන්නේ මෙවැන්නකි. ”හින්දුස්ථානි සංගීතය අපේ රටේ දැන් ස්ථාපනය වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට ඒකෙන් මිදෙන්න බැහැ. ජන සංගීතය උගන්වන්න හෝ මිනිසුන්ට කියා පාන්න හෝ පිහිට කර ගත්තේ හින්දුස්ථානි සංගීතයේ මූලධර්ම. හින්දුස්ථානි ස්වරයෙන් තමා ගායනය කරන්නේ. අපිට ජන සංගීතය ස්වරවලින් ලියලා පෙන්වනවා නම් පෙන්වන්න වෙන්නේ හින්දුස්ථානි ක‍්‍රමයට තමා. එහෙත් මෙහෙම දෙයක් තිබිලා තියනවා කියලා විතරක් අපිට පෙන්වන්න පුළුවන්. එතැනින් එහාට ජන සංගීතයේ ප‍්‍රායෝගික භාවිතාවක් කරන්න අමාරුයි”.
තමා උපන් රටට, රටේ සංස්කෘතික අනන්‍යතාවට ගරු කළ යුතු යැයි, ඒවාට ආදරය කළ යුතු යැයි නීතියක් නැත. එහෙත් එසේ කරන්නකු වීම මනසින් දියුණු පුද්ගලයකුගේ ගති ලක්ෂණ දක්වන්නකිි. හින්දුස්ථානි හා බටහිර මහා සංගීත සම්ප‍්‍රදායට හසු ව අවශේෂ වී යන දේශීය සංගීත කලාවට පණක් දීමට එතුමන් දරන ප‍්‍රයත්නය අගය කළ යුත්තේ ය. ජන සංගීතය ඇසුරෙන් කළ ඔහුගේ කලා නිර්මාණ බොහෝ ය; පොත පත බොහෝ ය. ඒවා නිසි පරිදි කළමනාකරණය කරමින් ඉදිරි පරම්පරාව වෙත ගෙන යාමේ කාර්යභාර්ය වත්මන් පරපුර වෙත පැවරී ඇත.
සංගීතයෙන් මානසික රෝග සුව කරන්න පුළුවන් ද?
-රෝහණ බැද්දගේ
රෝගයකට බටහිර හෝ ආයුර්වේද ප‍්‍රතිකාර ක‍්‍රමවලින් බෙහෙතක් නියම කරන්න පුළුවන්. එහෙත් සංගීතය රෝගවලට ප‍්‍රතිකාරයක් විධියට භාවිත කළ හැකි යැයි මා පිළි ගන්නේ නැහැ. ඇතැම් අය විවිධ මානසික තත්ත්ව ආරෝපණය කර ගෙන සංගීතයෙන් ලෙඩ රෝග සුව කරනවා යැයි පැවසුවත් ඒවායේ කිසිඳු විද්‍යාත්මක පදනමක් නැහැ.
ඉන් බැහැරට ගියොත් අපේ සමාජයේ පාරම්පරික ව කර ගෙන එනු ලබන තොවිල්වලින් කෙනෙක් මානසික ව සුවපත් කිරීමේ හැකියාව පිළිබඳ කියන්න ඕන. තොවිලයක දී කෙරෙන්නේ රෝගියාට පූර්ණ විශ්වාසයක් ඇති කරනවා මෙයින් තමාගේ රෝගෙ සුව වෙනවා කියලා. තොවිලයක දි අදාළ මානසික රෝගියා …………යෙහි තබා ගෙන රැුයක් එළි වෙනකම් ඔහුගේ විශ්වාසය දිනා ගැනීමේ දේ ආතුරයා විසින් අහන්නට දකින්නට සලස්වනවා. බෞද්ධ ආගමිකයකු නම්, ඔහු විශ්වාස කරන බුදු ගුණ ගායනා කිරීම වැනි දේ කරනවා. රෝගය සුව වීමේ පූර්ව නිමිත්තක් තමයි එයා වෙනුවෙන් මේ දේ කැප වෙලා කරනවා ය කියන හැඟීම ඔහුට ඇති කරවන එක. තොවිල්වල දී කඩතුරාවෙන් වසා පසු ව එක්වර ම එහි ඇති …… රෝගියාට පෙන්වීමට කටයුතු කිරීමෙන් කරන්නේ එම කැප කිරීමයි. සන්නියකුම වගේ ඒවායේ දී රෝගියා ව හිනස්වනවා, සතුටු කරවනවා. මෙවැනි උපක‍්‍රමවලින් ඔහු ව රෝගී ලෝකයෙන් මුදවලා වෙනත් ලෝකයකට අරගෙන යනවා.
තොවිලයක දි බෙර පද තාලයකට ගහනවා, විවිධ නැටුම් ශෛලීන් ඉදිරිපත් කරනවා, විවිධ ගායන ශෛලීන් තියනවා. ඒ කියන්නේ සංගීතය පැත්තෙන් විශේෂ කාර්යභාර්යයක් ඉටු කෙරෙනවා. එය ශාස්ත‍්‍රිය සංගීතය නොවූවත්, වැඩි කාලයක් රෝගියා ව ඒ සංගීතය තුළ එක්තරා භාවනාවක් වගේ රඳවගෙන ඉන්නවා. මානසික රෝගයක් සුව වීමට ඒ සංගීතමය පසුබිම ඉතා වැදගත්.
එහෙම නැතිව, සංගීතය විතරක් යොදා ගෙන රෝග නිවාරණය කරනවා කියන දේ මම 100%ක් විශ්වාස කරන්නේ නැහැ. ඒක මගේ පෞද්ගලික විශ්වාසය. මානසික වශයෙන් යම් කිසි සුවයක් ඇති වෙනවා. එහෙත් ඒක ස්ථිර වශයෙන් රෝගයක් සුව කිරීම ගණයට ගන්න බැහැ.
මම දැකලා තියනවා, ඇතැම් අය සිතාරය වැනි සංගීත භාණ්ඩ භාවිත කරමින්, විවිධ රෝග නිවාරණ වැඩසටහන් කරනවා. හැබැයි රෝගයට මේක කොච්චර අදාළ ද නැත් ද මම දන්නේ නැහැ. ඔතන පළවැනි කාරණය විශ්වාසය. කෙනෙකුට සම්පූර්ණ විශ්වාසයක් එනවා නම් දැන් මේක කරන කොට මට සුව වෙනවා කියලා යම් කිසි මානසික සුවයක් ඇති වෙන්නත් පුළුවන්.
අරුණ ප‍්‍රශාන්ත වලිසුන්දර