දේශයේ රැඳුණ විද්වතෙක් – මහාචාර්ය නාරද වර්ණසූරිය

මම ඉපදුණේ මහනුවර, අස්ගිරියේ දී වුවත් මට මතක ඇති කාලයේ සිට ජීවත් වූයේ අම්බලන්ගොඩ, පොල්වත්ත නම් ගමේ දී යි. මගේ පියා එකල මහරගම ගුරු විදුහලේ ඉතිහාසය පිළිබඳ කථිකාචාර්යවරයෙක් ලෙස සේවය කළා. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය යන පාසල් හතරෙන් ම මම පාසල් අධ්‍යාපනය ලැබුවා.

මම පාසල් කාලයේ වැඩි තැනක් දුන්නේ ඉගෙනීමට යි. විෂය බාහිර කටයුතුවලට, විශේෂයෙන් ක‍්‍රීඩාවලට සහභාගි වූයේ ඉතා අල්ප වශයෙන්. එහෙත් සමිති සමාගම්, වාද විවාද ආදියට නම් සම්බන්ධ වුණා.

රාජකීය විද්‍යාලයේ හිටපු පුස්තකාලයාධිපතිතුමා අපට බොහෝම හොඳට කියවීම පුරුදු කළා. ඒ වගේ ම මගේ පියා ද විධිමත් ව අපට පොත් කියවීම හුරු කළා. ඒ නිසා මාර්ටින් වික‍්‍රමසිංහ, ජී. බී. සේනානායක, ඩබ්ලිව්. ඒ. සිල්වා වැනි කර්තෘවරුන්ගේ පොත්, ඉංග‍්‍රීසි සම්භාව්‍ය සාහිත්‍යයේ ගයි ද මෝපසන්ගේ පොත්, පී. ජී. වුඞ්හවුස්ගේ සැහැල්ලූ විකට කතා ආදී පොත් කුඩා කාලයේ ම මම කියෙව්වා. මේවාගෙන් ලබා ගත් දැනුම පසු කාලයේ හරි ම ප‍්‍රයෝජනවත් වුණා. බි‍්‍රතාන්‍ය පසුබිමක ඇති පොත් ගොඩාක් කියවලා තිබුණ නිසා, මම මුලින් ම විදේශ ගත වූ විට එහේ සමාජය මට අමුතු දෙයක් වුණේ නැහැ.

සාමාන්‍ය පෙළ විභාගය  හොඳින් සමත් වෙලා, උසස් පෙළ සඳහා මගේ වැඩිපුර කැමැත්ත/ ආශාව තිබුණේ කලා විෂය ධාරාවෙන් වැඩිදුර අධ්‍යාපනය ලබන්නට යි. උසස් පෙළ විෂය ධාරාව තෝරා ගැනීමේ දී මගේ පියා කිසි ම බලපෑමක් කළේ නැහැ. හැබැයි ඔහු නිතර ම විකල්ප අවස්ථා පිළිබඳ ව මාව දැනුවත් කළා. එහෙත් මගේ මව මාව වෛද්‍යවරයෙක් කරන්නට ලොකු වෑයමක් ගත්තා. ඒ වගේ ම මගේ පාසල් ගුරුවරුනුත් කිව්වේ සුදුසුකම් තියන නිසා නිසා විද්‍යා විෂයයන් කරන්න කියල යි. ඒ නිසා මම අවසානයේ විද්‍යා විෂය ධාරාව තෝරා ගත්තා.

මා කුඩා කාලයේ සිට ම පන්තියේ ළමයින් අතර දක්ෂතාවලින් මුල් ස්ථානවල පසු වුණත් උසස් පෙළ කරන කොට එතරම් දස්කම් පෑවේ නැහැ. කොහොම හරි විශ්වවිද්‍යාල සුදුසුකම් ලබන්නට සාමාන්‍යයෙන් ප‍්‍රමාණවත් වුණා. විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය හදාරන විට වුවත් බොහෝ විට මට ලැබුණේ දෙවැනි පන්තියේ සාමර්ථ්‍ය. මම විද්‍යා විෂයයන්වලට එතරම් ඇල්මක් නොතිබීම ඊට හේතුවක් වෙන්න ඇති.

විශ්වවිද්‍යාල අවධියේ සමසමාජ පක්ෂයට බැඳිලා දේශපාලන කටයුතුවලටත් ක‍්‍රියාකාරී අන්දමින් සම්බන්ධ වුණා. ශිෂ්‍ය සංවිධානවලත් ක‍්‍රියාකාරිකයෙක් වුණා. එකල මහාචාර්ය නන්දදාස කෝදාගොඩ, මහාචාර්ය නිස්ශංක සෙනෙවිරත්න, මහාචාර්ය කාලෝ ෆොන්සේකා, මහාචාර්ය කෝට්ටේගොඩ, මහාචාර්ය ලයනල් වැනි විද්වතුන්ගේ ගුරුහරුකම් වගේ ම ඔවුන්ගේ ආභාෂය ලබන්නට අපට හැකි වුණා. මහාචාර්ය සේනක බිබිලෙ එකල අප පීඨයේ නොසිටියත්, ඔහු සමසමාජ පාක්ෂිකයකු නිසා එතුමා මට පරමාදර්ශී චරිතයක් වුණා. ඉංග‍්‍රීසි භාෂාවෙන් උසස් අධ්‍යාපනය හැදෑරූ අපට වෛද්‍ය විද්‍යාව සඳහා සිංහල භාෂාව උපයෝගි කර ගන්නා ආකාරය පිළිබඳ ව ගැඹුරු අවබෝධයක් ලබා දුන්නේ මහාචාර්ය නන්දදාස කොදාගොඩ මහතා යි. මහාචාර්ය ප‍්‍රියානි සොයිසා මගේ ජීවිතේ අතිශයින් ම ආදර්ශමත් චරිතයක් වුණා. විශේෂයෙන් මට  ළමා සෞඛ්‍යය සහ පෝෂණය ගැන වැඩිදුරටත් ඉගෙන ගන්න අදහසක් ඇති කළෙත් ඇය යි.

විශ්වවිද්‍යාලයේ හතර වන වසරේ ඉන්න විට මටත් තව සිසුන් කිහිප දෙනකුටත් ලොකු අවස්ථාවක් ලැබුණා සමාජීය ළමා සෞඛ්‍ය (Social Pediatrics) පිළිබඳ කළ අධ්‍යයනයක ක්ෂේත‍්‍ර කටයුතුවලට  දායක වන්නට. විශ්වවිද්‍යාලයෙත්, රෝහලෙත් සිර වී සිටි අපට ක්ෂේත‍්‍රයට ගිහින් මහජනයා හා සම්බන්ධ වෙලා කටයුතු කරන්නට ලැබීම බෙහෙවින්  ප‍්‍රියජනක වුණා.

එම අධ්‍යනයේ දී අපට පැවරුණ රාජකාරිය වුණේ තෝරා ගත් පවුලක සෞඛ්‍යයට අදාළ ව සමාජීය සහ පාරිසරික සාධක සොයා බැලීම යි.  වින්නඹු සේවිකාවන් (අද පවුල් සෞඛ්‍ය සේවිකාවන්) මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැනි වෘත්තිකයන් සමග එක්වයි අපට එය කරන්න තිබුණේ. මාස 3ක විතර කාලයක් ක්ෂේත‍්‍රයේ දී කළ මේ අධ්‍යනයයේ දී බොහා දේ ඉගෙන ගන්නටත්, විශාල අත්දැකීම් ප‍්‍රමාණයක් ලබා ගන්නටත් හැකි වුණා.

ඒත් එක්ක ම ‘ලෝක සෞඛ්‍ය සංවිධානය’ විසින් සංවිධානය කළ ප‍්‍රජා සෞඛ්‍ය වෛද්‍ය පාඨමාලා සම්බන්ධ ව ජාත්‍යන්තර විද්වතුන්ගේ කලාපීය සමුළුවක් කොළඹ දී පැවැත්වුණා. එහි දී සිදු වූ සුවිශේෂ දෙයක් වුණේ අප සහභාගි වෙලා කරපු සමාජීය ළමා සෞඛ්‍ය පිළිබඳ ක්ෂේත‍්‍ර අධ්‍යයනයේ, ව්‍යාපෘති වාර්තාව සහ ප‍්‍රායෝගික අත්දැකීම් ඉදිරිපත් කරන්නට මට සහ තවත් එක් සිසුවකුට අවස්ථාවක් ලැබීම යි. අවුරුදු 22-23 තරුණ වයසේ සිටි අපට දෙස් විදෙස් විද්වතුන් ඉදිරියේ කරුණු දැක්වීමට අවස්ථාව ලැබීම විශාල අභියෝගයක් වුණා. අවසානයේ එහි පැමිණ සිටි ළමා රෝග සහ ඒ ආශ‍්‍රිත සමාජ පසුබිම පිළිබඳ ව ලෝකය පිළිගත් ශ්‍රේෂ්ඨයකු වූ මහාචාර්ය ‘ෆ්‍රෙඞ් මිලර්’ සහ මහජන සෞඛ්‍ය පිළිබඳ මහාචාර්යවරයෙක් වූ ‘පෙම්බර්ටන්’ මහතාත් අප ළඟට ඇවිත් පෞද්ගලික ව ම කතා කරලා ස්තූති කළා.

කොහොම හරි අපේ වෛද්‍ය උපාධිය සහ සීමාවාසික පුහුණුව සාර්ථක ව අවසන් කරලා පත්වීම් දෙන කොට අනිත් අය කොළඹ ආශ‍්‍රිත රෝහල්වලට පත්වීම් ගන්න උත්සාහ කරන කොට මම ඉල්ලූම් කළේ මොනරාගල, මැදවච්චිය සහ දික්ඔය වැනි රෝහල්වලට යි. එහි දී මට මුලින් ම මොනරාගල රෝහලේ පත්වීම ලැබුණත් මගේ පියාට හදිසියේ ම ඇති වූ තදබල අසනීප තත්ත්වයක් සහ තවත් හේතු කිහිපයක් නිසා, මට කෙටි කාලයක් කොළඹ රෝහල් මණ්ඩලයේ ම සේවය කරන්නට සිදු වුණා. මහාචාර්ය ප‍්‍රියානි සොයිසාගේ වාට්ටුවේ මහාචාර්ය ඒකකයේ ලේඛකාධිකාරී තනතුරක් ලැබුණේ එම කාලයේ දී යි.

ඉන් පසු විශ්වවිද්‍යාලයේ මහජන සෞඛ්‍ය පිළිබඳ තාවකාලික කථිකාචාර්යවරයකු ලෙසත්,  අනතුරු ව ළමා රෝග පිළිබඳ ස්ථීර කථිකාචාර්යවරයකු ලෙසත් පත්වීම් ලැබූ නිසා දිස්ත‍්‍රික් රෝහලක සේවය කිරීමට මට හැකියාව ලැබුණේ නැහැ.

මගේ වෘත්තීයමය ජීවිතය පිළිබඳ මට ඇති එක ම පශ්චාත්තාපය වන්නේ කෙටි කලකටවත් ග‍්‍රාමීය රෝහලක සේවය කරන්නට නොහැකි වීම යි. එය මගේ වෘත්තීය අත්දැකීම්වල ඇති ලොකු හිඩැසක් ලෙස යි මා දකින්නේ. නැවත මගේ වෘත්තියමය දිවිය හැඩගස්සන්නට අවකාශ ලැබුණි නම් අනිවාර්යයෙන් ම අවුරුදු දෙකක්වත් ග‍්‍රාමීය රෝහලක සේවය කරන්නට මා කැමති යි.

මොන දේ කළත් මගේ ඒ දවස්වල වැඩි ආශාවක්/ උනන්දුවක් තිබුණේ මහජන සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ විශේෂඥයෙක් වෙන්නට යි. සාමාන්‍යයෙන් ලංකාවේ ඒ දවස්වල විශේෂඥයෙක් වෙන්න අවශ්‍ය විභාග තිබූණේ නැති නිසා විදෙස් රටවලට යාම අවශ්‍ය වුණා.

පොදුරාජ්‍ය මණ්ඩලයෙන් විදෙස්ගත ව අධ්‍යාපන ලැබීමට අවශ්‍ය ශිෂ්‍යත්ව කිහිපයක් ලබා දීමේ වැඩසටහනේ දී මටත් ඒ සඳහා අවස්ථාව ලබා ගන්නට හැකි වුණා.   සාමාන්‍යයෙන් බොහෝ අය පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වයක් හම්බ වුණහම යන්නේ ස්නායු රෝග, හෘදයාබාධ රෝග වගේ ක්ෂේත‍්‍රවලට යි. එහෙත් සමාජීය ළමා සෞඛ්‍ය සම්බන්ධ ව ඉල්ලූම් කළ මා හට සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයෙන් හොඳ ප‍්‍රතිචාරත් එක්ක ම ශිෂ්‍යත්වය ද ලැබුණා.

මා බලාපොරොත්තු වුණේ එංගලන්තයේ නිව් කාසල්වලට ගිහින් අධ්‍යාපනය ලබන්නට යි. පශ්චාත් උපාධි හදාරන්නට පිටරට යන අය නැවත මෙරට සේවයට එක් නොවීම පිළිබඳ ව ඒ කාලයෙත් ලොකු ගැටලූවක් වෙලා තිබුණේ. ඒ නිසා අපි යන්්නට සිටි දිනයට සති 2කට විතර කලින් විදෙස්ගත අධ්‍යාපනය ලැබීම සම්බන්ධ ව රජයෙන් දැඩි නීතී මාලාවක් ගෙනාවා. ඊට අනුව පොදු රාජ්‍ය මණ්ඩල ශිෂ්‍යත්ව හරහා විදෙස්ගත ව අධ්‍යාපනය ලබන අය මෙරටෙහි එක් ආයතනයක අවුරුදු 15ක් අඛණ්ඩ ව සේවය කළ යුතු වුණා. එක් තැනක අවුරුදු 15ක් අඛණ්ඩ ව සේවය කිරීමෙන් විවිධ ගැටලූකාරී අවස්ථා ඇති විය හැකි නිසා අපි මේකට විරෝධය පෑවා. එහෙත් වැඩක් වුණේ නැහැ.

නව නීතිරීති නිසා මට ලැබුණු ශිෂ්‍යත්වය ප‍්‍රතික්ෂේප කළා. අලූත් නීතිරීති නිසා මට පැමිණීමට අපහසු බව දන්වා මම යන්නට බලාපොරොත්තුවෙන් සිටි විශ්වවිද්‍යාලයට ලිපියකුත් යැව්වා.

ටික දිනකට පසු ඔවුන් මට පිළිතුරු ලිපියක් එවමින් දන්වා තිබුණේ මගේ සුදුසුකම්වලට ඔවුන් තෘප්තිමත් බැවින්, ශිෂ්‍යත්වය ඔස්සේ එන්න බැරි නම් සායනික පුහුණුවක් ලබමින් අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව දිය හැකි බව යි. එයට මගේ කැමැත්තක් තිබූ නිසා වැටුප් රහිත නිවාඩු දලා එංගලන්තයේ, නිව් කාසල්වලට ගියා. එහි දී රැුකියාවක් කරමින් ම මුල් අවුරුද්ද ඇතුළත MRCP විභාගය පාස් වෙන්න මට හැකි වුණා.

මා නිව්කාසල් විශ්වවිද්‍යාලය තෝරා ගැනීමට හේතු දෙකක් තිබුණා. එනම් සමාජීය සෞඛ්‍ය පිළිබඳ වඩාත් ම ගැඹුරින් අධ්‍යයන කර තිබූ විශ්වවි්‍යාලයක් වීම සහ මා විශ්වවිද්‍යාල සමයේ මෙරට දී හමු වුණ මහාචාර්ය ෆ්‍රෙඞ් මිලර් එහි සේවය කිරීම. ඔවුන් 1950 ගණන්වල  ළමයින් 1000ක් තෝරා ගෙන, උපතේ සිට අවුරුදු 21ක් දක්වා, වැඩිමහල් භාවයට පත්වෙන ආකාරය පිළිබඳ ව ඉතා දැවැන්ත පර්යේෂණයක් පවා එකල කර තිබුණා.

නිව් කාසල්වල දී මටත් පර්යේෂණ කිහිපයකට සම්බන්ධ වීමේ  අවස්ථාව ලැබුණා. තොටිල්ලේ නිදා ගෙන සිටින දරුවන් කිසි ම හේතුවක් නැති ව හදිසියේ ම මිය යාම (Cot death) ඒ දවස්වල එංගලන්තයේ ලොකු ප‍්‍රශ්නයක් වෙලා තිබුණේ. ඒ පිළිබඳ ව රට ම ආවරණය වන ලෙස කළ පර්යේෂණයේ පළාතක් භාර සම්බන්ධීකරණ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා ලෙස සේවය කරන්නට මට අවස්ථාව ලැබුණා. සායනික පුහුණුවට අමතර ව ක්ෂේත‍්‍රයේ කළ මේ පර්යේෂණය නිසා ප‍්‍රජා සෞඛ්‍ය  මෙන්  ම පර්යේෂණ පිළිබඳ බොහෝ දේ ඉගෙන ගන්න මට හැකි වුණා.

අවුරුදු දෙකහමාරකට පසු  මම නැවත ලංකාවට ඇවිත් කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු විධියට 1977 සිට 1989 වන තෙක් සේවය කළා. ඉන් පසු සප්ත වාර්ෂික නිවාඩු ලබා ගෙන මම 1989 සිට අවුරුදු කිහිපයක් සවුදි අරාබියේ සේවය කළා.

1996 දී ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, වෛද්‍ය පීඨය ගොඩ නැගුවහම ළමා රෝග අධ්‍යයන අංශයේ, අංශ ප‍්‍රධානී ලෙස සේවයට එක් වුණා. එතැන් පටන් 2009 දක්වා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සේවය කළා. ඉන් අනතුරුව එහි ආරම්භක ළමා රෝග පිලිබඳ මහාචාර්යවරයා වීමටත්, පසු ව වෛද්‍ය පීඨයේ පීඨාධිපති වීමටත් මට හැකි වුණා. එම විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙසත් අවුරුදු 03ක් පමණ සේවය කළා. මගේ වෘත්තීයමය ජීවිතයේ ඉතා ම ඵලදායී අවධිය ලෙස මා සලකන්නේ මේ අවධිය යි. අලූත් ආයතනයක් ගොඩ නගා ගැනීමට සහ ජාතික වශයෙන් අධ්‍යාපන, සෞඛ්‍යය සහ පෝෂණය පිළිබඳ ප‍්‍රතිපත්ති සැකසීමට දායක වන්නට මට හැකි වූයේ මේ කාලයේ දී යි.

 

***

මට මතකයි මම මුලින් ම විද්‍යාත්මක පර්යේෂණයක් කළේ 1971 දී ‘කසපණු රෝගය’ පිළිබඳ ව යි. අන්ත දුප්පත් පවුල්වල ළමයින්ට මෙම රෝගය බහුල ව තිබුණා. ඒ දවස්වල ඒ රෝගයට බෙහෙත් තිබුණේ නැහැ. විධිමත් වැසිකිළි පද්ධතියක් නොමැති වීමත්, විශාල කුණු කාණු නිසාත් නාගරික මුඩුක්කු ආශ‍්‍රිත ප‍්‍රදේශවල මේ කස පණු රෝගය බහුල ව ව්‍යාප්ත ව තිබුණා. ඉන් පසු මන්දපෝෂණය පිළිබඳ වත්, ළමා වැඞීම සහ සංවර්ධනය පිළිබඳ ව මෙන් ම ළමයින් අතර පවතින අසාත්මිකතාව පිළිබඳවත් පර්යේෂණවලටත් දායක වුණා. ඒ වගේ ම විශ්වවිද්‍යාල කිහිපයක   ඡුයෘල ඵ-ඡුයසකල ඵීජ වගේ උපාධිවල අධීක්ෂක විධියටත් කටයුතු කරලා තියෙනවා.  රෝහලක සේවය කරන එකට වඩා විශ්වවිද්‍යාලයක සේවය කරන විට පර්යේෂණ කිරීමේ වැඩි අවස්ථාවක් වගේ ම වැඩි පහසුවකුත් ලැබෙනවා.

 

***

විද්වතකු ලෙස මම දැනට වෘත්තීමය කටයුතුවලින් බොහෝ දුරට නිදහස් ව සිටින බැවින් මේ වන විට විවිධ කටයුතු කිහිපයකට සම්බන්ධ වෙලා ඉන්නවා. මගේ පසුගිය අවුරුදු 20ක කාලයේ දී වැඩි අවධානයක් යොමු වුණේ Equity (යුක්තිය සහ සාධාරණත්වය මත පදනම් වන සමානාත්මතාව) කියන දේ  පිළිබඳ ව යි. මම කටයුතු කරන සෞඛ්‍ය, පෝෂණය සහ අධ්‍යාපනය යන ක්ෂේත‍්‍ර තුනෙහි දී පවත්වන දේශන, ලියන කියන දේවල්වල ඉලක්කය වෙලා තියෙන්නේ මේ ගැන යි.

අපේ රටට නිදහස ලැබුණට පසු 1977 දක්වා තිබුණේ සුබසාධන සමාජයක්නේ (Welfare society).  ඒ නිසා සෞඛ්‍ය, අධ්‍යාපනය, පෝෂණය,  සමාජසේවා වැනි දේට රජයෙන් ආරක්ෂාවක් තිබුණා. ගෝලීය ආර්ථික ක‍්‍රමයත් එක්ක වර්තමානයේ සුබසාධන ආර්ථිකයක් ඇති රටවල් ඇත්තේ හරි ම ටිකයි. උදාහරණයක් විධියට කියුබාව සමහර අංශවලින් සාර්ථක වුණාට ආර්ථික වශයෙන් සාර්ථකයි කියන්න බැහැ. යථාර්ථය තමයි ගෝලීය ආර්ථිකයට සම්බන්ධ නො වී ස්වාධීන ව කිසි ම රටකට පවතින්න බැහැ. එහි දී අපේ අවධානය යොමු විය යුත්තේ  ආර්ථිකය ස්ථාවර ව තිබුණත් නැති බැරි අයට සමාජයේ ආරක්ෂාවක් තියෙනවා ද කියලා.

ඕනෑ ම ව්‍යාපෘතියක්, සේවාවක් හෝ කාර්යයක් පිළිබඳ ව අපි මනින කරුණු 3ක් තියෙනවා. විශේෂයෙන් ම ගෝලීය ආර්ථිකය යටතේ වැඩිපුර ම අවධානය යොමු වෙලා තියෙන්නේ ගුණාත්මකභාවය (Quality) පිළිබඳ ව යි. දෙ වන කාරණය අදාළත්වය (Relevance). මේක පුද්ගලයාගේ, පළාතේ, ජාතියේ හෝ පොදු ප‍්‍රජාවේ අවශ්‍යතා මත  වෙන්න පුළුවන්. තුන් වන කරුණ තමයි Equality කියන දේ. මෙය Equality හෙවත් සමානත්වය යන්න නො වේ. සමසමාජය යන්නෙන් අදහස් කරන්නේ A සහ B අතර විශාල පරතරයක් තිබිය යුතු නැත යන්න යි. ඒකට ඉංග‍්‍රීසියෙන් ෑට්කසඒරස්බ කියා ද කියනවා. ඒ කියන්නේ ආර්ථික වශයෙන් තියන වස්තුව සෑහෙන දුරට සමාන වශයෙන් හැමෝ ම අතරේ බෙදීමත්, එසේ ම  දුප්පතුන් සහ පෝසතුන් අතර පරතරය අඩු විය යුතු යි කියන දේ.

මාක්ස්වාදී සංකල්පය එය වුණත් නව ගෝලීය ආර්ථික ක‍්‍රමයට පදනම් වූ කෘතියක් වන ‘ඇඩම් ස්මිත්’ ලියපු උැ්කඑය දෙ භ්එසදබ ග‍්‍රන්ථයේ තියෙන්නේ නිෂ්පාදනය වැඩි වෙන්නේ, එහෙම නැත්නම් අවසානයේ දී හැමෝට ම යහපතක් වෙන්නේ, පුද්ගලයකුට ඔහුගේ දක්ෂතාවලින් උපරිම  යමක් කිරීමට නිදහස ලබා දීමෙනු යි කියලා. එසේ නිදහස් නොදුන හොත් මිනිසුන් තමන්ගේ උපරිම ධාරිතාව නොයෙදීමෙන් තමාගේ දියුණුවටත්, පොදු සමාජයේ දියුණුවටත් බාධාවක් වෙන්න පුළුවන්. ඒ නිසා සෑම පුද්ගලයකුට ම ස්වාධීන ව දියුණුවට පත් වීමේ නිදහස ලැබිය යුතු යි. නිර්මාණාත්මක හැකියාවන්වලට සීමා දාලා හැමෝ ම එක සමාන කරන්න ගියොත් වෙන්නේ හැමෝම දුප්පත් කරන බව යි, බොහොම සරල ව කිව්වොත් එ කෘතියේ තියෙන්නේ.

මා හිතන විධියට ඇත්ත තියෙන්නේ මේ දෙක අතරේ, Equity (යුක්තිය සහ සාධාරණත්වය මත පදනම් වන සමානාත්මතාව) කියන සංකල්පය වැදගත් වන්නේ මෙතන දී යි. එය සමාජ සාධාරණයත් (Social Justice) සමග එකට යන සංකල්පයක්. මේ පිළිබඳ ව අපගේ අවධානය මුලින් ම යොමු කළේ ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගලාභී මහාචාර්ය අමර්ත්‍ය සේන්.

අපි Health equity පිළිබඳ ව සලකා බැලූවොත්, ඒක අර්ථ දක්වන්න පුළුවන් මේ විධියට. පුද්ගලයන් දෙදෙනෙක් අතරේ සෞඛ්‍ය පිළිබඳ ව යම් කිසි වෙනසක් තියෙනවා නම්, ඒ වෙනස සමාජීය මැදිහත් වීමකින් වැළැක්විය හැකි වෙනසක් නම්, විශේෂයෙන් ම ඒ වෙනස අසාධාරණ වෙනසක් නම් එතන අසමානාත්මතාවක් කියලා කියන්න පුළුවන්. ඒකට හොඳ ම උදාහරණය අද බටහිර ලෝකයේ හරි ජපානයේ හරි ඉපදෙන කෙනකුට අවුරුදු 80 ගණනක් ජීවත් වෙන්න පුළුවන්. එහෙත් අප‍්‍රිකාවේ සමහර රටවල්වල තවමත් ආයුකාලය 39යි 40යි. මෙතන විශාල සමාජීය අසාධාරණයක් තියෙනවා. ජාත්‍යන්තර වශයෙන් සමාජීය ප‍්‍රතිපත්ති හරි විධියට සැකසිලා තියෙනවා නම් මේ විධියට වෙන්න බැහැ.

එහෙත් ඒකේ අනිත් පැත්ත බලන්න. ගැහැනු අය පිරිමින්ට වඩා  අවුරුදු 5-6ක් වැඩි ආයු කාලයක් තියෙනවා. මේක සමාජ අසාධාරණයක් නෙමේ; ජීව විද්‍යාත්මක කරුණු මත පදනම් වන දෙයක්. හැබැයි නොදියුණු රටවල ගැහැනුන්ට තියෙන්නේ පිරිමින්ට වඩා අඩු ආයු කාලයක්. එසේ වන්නේ එවැනි රටවල සමාජයේ ගැහැනු අයට ලැබෙන්නේ අඩු තත්ත්වයක් නිස යි. එනිසා එය පැහැදිලිව ම අසමානාත්මතාවක්.

තිරුචෙල්වම් අනුස්මරණ දේශනයේ දී හාවර්ඞ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ‘ගවර් රිස්වි’ කියන පරිදි හුදෙක් දළ දේශීය නිෂ්පාදිතය (G.D.P.) වැඩි කර ගැනීමට පමණක් උත්සාහ කරන විට අසමානාත්මතාවක් එක වැඩි විය හැකි යි. දළ දේශීය නිෂ්පාදිතය වැඩි කරන්න කටයුතු කරන අතර ම ශිෂ්ට සමාජයක් නම් නැති බැරි පුද්ගලයන් ව ආරක්ෂා කරන්න අනිවාර්යයෙන් ආරක්ෂිත දැලක් (Safety Net) තිබිය යුතු යි. පසුගිය අවුරුදු 20 තුළ ලෝකය දෙස බැලූවහම පොහොසත්කම 20-30 ගුණයකින් වැඩි වුණත්, අසමානාත්මතාව වැඩි වෙලා.

ශ‍්‍රී ලංකාව 1977න් පසු ගෝලීය ආර්ථිකයට පරිවර්තනය වූ පසු ව තාක්ෂණික දියුණුවක් ඇති වූ බව පිළිගත යුතු යි. එහෙත්් ප‍්‍රශ්නය වෙලා තියෙන්නේ මේ ගෝලීය ආර්ථික ක‍්‍රමයේ දී Quality, Relevance & Equity කියන තුනෙන් Equity වලට අඩු අවධානයක් ලැබීම යි.

ලෝකයේ විශාලතම ව්‍යාවසායකයෙක් මෙන් ම ධනවතෙක් වන බිල් ගේට්ස් ඔහු අධ්‍යාපනය ලැබූ හාවර්ඞ් විශ්වවිද්‍යාලයේ දේශනයක දී ප‍්‍රකාශ කළා, තම වෘත්තීය ජීවිතයේ මුල් කාලයේ දී තමන්ට ගෝලීය වශයෙනුත්, ජාතික වශයෙනුත් පවතින සමාජ අසාධාරණය පිළිබඳ ව කිසිදු හැඟීමක් නොතිබූ බව. ඔහු කළ  අලූත් දේවල්වලින් මුළු මිනිස් සංහතියට සේවයක්  වන්නේ දැ යි මුල දී නොසිතූ බවත්, මෙවැනි නිෂ්පාදන සොයා ගැනීමට වඩා අභියෝගයක් වන්නේ නිෂ්පාදනවලින් ලැබෙන ප‍්‍රතිලාභ සෑම දෙනකුට ම සාධාරණ ලෙස බෙදී යාම බවත් ඔහු ප‍්‍රකාශ කළා. එ නිසා ම ඔහු ‘බිල් ගේට්ස්’ පදනම ගොඩ නගමින් සමාජ සුබසාධන කටයුතුවලට දායක වන්නට කටයුතු කරලා තියනවා.

***

ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සභිකයෙක් විධියට මේ දවස්වල මගේ අවධානය  යොමු කරලා තියෙන තවත් දෙයක් තමයි ‘භාෂාව’. විශේෂයෙන් භාෂාවත්, චින්තනයත්, අධ්‍යාපනයත් අතර ඇති සම්බන්ධය. යුද්ධයෙන් පසු ව අපේ රටේ භාෂා 3ක් ඉගෙනීමේ වැදගත්කම පිළිබඳ ව අවධානය යොමු වෙලා තියෙනවානේ. විශේෂයෙන් ගෝලීය වශයෙන් ඉංග‍්‍රීසි භාෂාව ඉගෙන ගැනීමේ දැඩි අවශ්‍යතාවක් ඇති වී තිබෙනවා. ඉංග‍්‍රීසි ඉගෙනීමට ඇති  හොඳ ම ක‍්‍රමවේදයක් විධියට පිළි ගන්නේ ඉංග‍්‍රීසියෙන් වෙනත් විෂයයන් ඉගෙන ගැනීමේ ක‍්‍රමය යි (Content & Language Integrated Learning – CLIL). එහෙත් එලෙස සියලූ විෂයයන් ඉංග‍්‍රීසියෙන් ම ඉගැන්වීම සුදුසු නැහැ. අධ්‍යාපනික වශයෙන් ගත්තත් කොච්චර හොඳ දක්ෂයෙක් වුණත් ගැඹුරු සංකල්ප තමන්ගේ මව් භාෂාවෙන් ඉගෙන ගන්න කොට ධාරණය කර ගැනීමේ හැකියාව වැඩි යි. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිටින අවධියේ මහාචාර්ය සුනිල් ආරියරත්න වැන්නන් සහ විවිධ විද්වත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා සමග සමීප ව කටයුතු කරන්න ලැබුණා. මට ඒ අයත් එක්ක සාකච්ඡ කරන කොට තමයි සිංහල භාෂාව කොයි තරම් ලස්සන ද, ඒ වගේ ම කොයි තරම් ගැඹුරු සංකල්ප සරල විධියට සාකච්ඡ කරන්න පුළුවන් ද කියලා තේරුම් ගියේ.

වෛද්‍ය තාරා ද මෙල් අධ්‍යාපන ලේකම් ලෙස කටයුතු කළ අවධියේ පාසල්වල ද්වීභාෂික (Bilingualism) වැඩපිළිවෙළක් ආරම්භ කළා. එහි දී පාසල්වල ඉංග‍්‍රීසි ගුරුවරුන් ඉන්නවා නම් විෂයයන් 1ක් 2ක් ඉංග‍්‍රීසි භාෂාවෙන් ඉගෙන ගන්න ඉඩ දිය යුතු යි කියල යි සඳහන් වුණේ. මම හිතන්නෙත් මේක හොඳ අදහසක්. එහෙත් දැන් වෙලා තියෙන්නේ කවුරුත් මේකට bilingual කියලා කියන්නේ නැහැ. අම්මලා, ළමයි මේකට කියන්නේ English Medium කියල යි. ඔවුන්ගේ අපේක්ෂාවත් එය යි.

මේ නිසා සමාජීය වශයෙන් ඇති විය හැකි ගැටලූකාරී තැන් බොහොමයක් පවතිනවා. මේ දිනවල අපි ප‍්‍රතිපත්මය වශයෙන් සාකච්ඡුා කර ගෙන යනවා සුපිරි පැලැන්තියක් නිර්මාණය වීමට දායක නො වී පොදුවේ කාටත් වැඩදායි විධියට ද්විභාෂික වැඩපිළිවෙළ හඳුන්වා දෙන ආකාරය ගැන.

ඒ සඳහා දැනටමත් ගුරුවරුන් පුහුණු කර ගෙන යනවා. අපේ බලාපොරොත්තුව සෑම ළමයකුට ම විෂයයන් 1ක් 2ක් වත් ඉංග‍්‍රීසියෙන්  ඉගෙන ගන්නා අතර, සෙසු විෂයයන් තම මවු භාෂාවෙන් ඉගෙන ගන්නත් අවශ්‍ය වැඩපිළිවෙළක් සැකසීම යි.  ‘ජාත්‍යන්තර’ යැයි කියා ගන්නා පාසල්වල දැන් තියන ඉතා ම ලොකු අඩුපාඩුවක් තමයි සියලූ විෂයයන් ඉංග‍්‍රිසියෙන් ම ඉගැන්වීම. එනිසා එම ළමයින්ට මවු බස ගැනත්, ජාතික වශයෙන් වැදගත් වූ සංස්කෘතික සංකල්ප පිළිබඳ තියෙන අවබෝධය අවම විය හැකි යි. මේ ක‍්‍රමය රාජ්‍ය ක්ෂේත‍්‍රය තුළත් අනුගමනය කළොත් එය නරියා වලිගය කඩා ගත්තා වගේ වැඩක් කියල යි මට සිතෙන්නේ.

 

සංවාද සටහන

ලෝකයට යමක් ඉතිරි කළ මිනිස්සු

අරුණ ප‍්‍රශාන්ත වලිසුන්දර