නියර රහින යන්ත‍්‍රයක් සාදා ලෝකෙන් ම එක වුණු අපේ රටේ පාසල් සිසුවා

කුඹුරු ගොවිතැන වූ කලී අපේ රටේ ජනයාට බත සපයන ප‍්‍රධානතම මාර්ගය වෙයි. කුඹුරු කරන ගොවීන් නිතර නගන මැසිවිල්ලක් වන්නේ මිනිස් ශ‍්‍රමයේ ඇති හිඟතාව යි. වර්තමානය වන විට සී සෑම, ගොයම් කැපීම, කොළ පෑගීම, ආදී කුඹුරු ගොවිතැනට අදාළ බොහෝ ක‍්‍රියා යාන්ත‍්‍රිකරණය වී තිබිම ගොවීන්ට යම් තරමක හෝ අස්වැසිල්ලක් ගෙන දිමට සමත් වී ඇති බව නොරහසකි. එහෙත් මෙතෙක් කුඹුරුවල නියර ශුද්ධ කිරීම සහ නියර බැඳිමට යන්ත‍්‍ර නොතිබුණි. මෙතෙක් පැවති එම අඩුපාඩුව මකාලමින් අපේ රටේ පාසල් ශිෂ්‍යයෙක් ඒ සඳහා අවශ්‍ය යන්ත‍්‍ර නිර්මාණය කොට තිබීම කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ නියැලෙන්නන්ට සුබ ආරංචියක් වනු ඇත. එසේ ම, ජාත්‍යන්තර තරගාවලියක දී ඊට ලෝකයේ හොඳ ම නව නිර්මාණයක් ලෙස සම්මාන හිමි වීම අපේ රටට ද මහත් මහත් කීර්තියක් ගෙන දුන්නකි.

තවමත් විසි හැවිරිදි වියේ පසුවන පුබුදු දිනේෂ් කපුගේ සිසුවා අපූරු හැකියාවන්ගෙන් යුත් තරුණයෙකි. ඔහු නිර්මාණය කළ ‘නියර රහින යන්ත‍්‍රය’ 2013 මැයි මස දී ඇමෙරිකාවේ, ඇරිසෝනා ප‍්‍රාන්තයේ පැවති ‘ඉන්ටෙල් ජාත්‍යන්තර විද්‍යා හා ඉංජිනේරු ප‍්‍රදර්ශනයේ’ දී ‘විදුලි හා යාන්ත‍්‍රික’ අංශයේ ලොව ප‍්‍රථම ස්ථානය ලැබී ය. රටේ ඈත කෙළවරේ අති දුෂ්කර ගම්මානයක ඉඳන් තමන්ගේ තරුණ ජවය හා නිර්මාණශීලීත්වයෙන් යන්ත‍්‍ර නිපදවා මෙරට හා ජාත්‍යන්තර තරගාවලි ගණනාවක දී සම්මානවලට පාත‍්‍ර වුණු මේ අපූරු තරුණයාගේ හැකියාවන් ගැන ‘ගවේෂණ’ පාඨකයින්ට තොරතුරු ගෙන එන්නට අපි ඔහු සොයා ගියෙමු.

පසුගිය වසරේ (2013) උසස් පෙළ විභාගය සඳහා ඔහු මිහින්තලේ මහා විද්‍යාලයේ ‘කලා’ අංශයෙන් පෙනී සිටි සිසුවෙකි. අනුරාධපුර දිස්ත‍්‍රීක්කයේ ගලෙන්බිදුණුවැව, අලූත්දිවුල්වැව ඔහුගේ උපන් ගම වන අතර, ගමේ විද්‍යාලයෙන් ඔහු සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබීය. උසස් පෙළ හැදෑරීම සඳහා කිලෝමීටර් 70ක් පමණ දුරින් පිහිටි මිහින්තලය මහා විද්‍යාලයට පැමිණීමට ඔහුට සිදු වන්නේ ගමේ පාසලේ උසස් පෙළ පන්ති නොතිබූ බැවිනි.

පුබුදුගේ දෙමාපියන් පවසන අන්දමට ඔහු පුංචි කාලේ සිට ම තරමක් වෙනස් ව හිතන, කටයුතු කරන අයෙකි. මිතුරන් ඇසුරට ඔහු වැඩි ය යන්නේ නැත. පාසල් ගොස් ආ සැණින් දුවන්නේ ගමේ ෂෙල්ටන් අයියාගේ ගරාජය එනම්, සෙව්වන්දි මෝටර්ස් වෙතට ය. වෙල්ඩින් වැඩ, ලේත් මැෂින් වැඩ ඔහුට කජු කන්නා වාගේ ය. යකඩ කෑලි මූට්ටු කරමින් අලූත් දේ අත්හදා බැලීම ඔහුගේ විනෝදාංශය යි. වරෙක ඔහු ව්‍යායාම කරන විට ඉබේ රෙදි සේදෙන යන්ත‍්‍රයක් නිර්මාණය කළේ ය. වරෙක පොල් ගස් නගින උපකරණයක් නිර්මාණය කළේ ය. තවත් වරෙක නියරවල් බඳින යන්ත‍්‍රයක් සේ ම නියරවල් රහින යන්ත‍්‍රයක් ද නිර්මාණය කළේ ය.

ඔහු යන්ත‍්‍ර නිපදවීමෙහි පමණක් නො ව බොහෝ ක්ෂේත‍්‍රවල කුසලතා ඇත්තෙකි. සමස්ත ලංකා පිරිවෙන් චිත‍්‍ර තරගයක දී ඔහු ප‍්‍රථම ස්ථානය දිනා ගන්නට සමත් වෙයි. පවතින විභාග සම්ප‍්‍රදායට ද අභියෝග කරමින් ඔහු මේ ජයග‍්‍රහණය ලබා ගන්නේ සාමාන්‍ය පෙළ විභාගයෙන් චිත‍්‍ර විෂයය අසමත් වී තිබෙන පසුබිමක ය. තව ද පාසල් පෙළ පොත් ඉතා හොඳින් පරිහරණය කිරීම සඳහා වූ සහතික පත‍්‍ර ද ඔහුගේ සහතික පත් ගොන්නේ තිබීමෙන් කියා පාන්නේ ඔහුගේ සාමාන්‍ය ජීවිතයේ ඇති පිළිවෙළයි; ක‍්‍රමවත්භාවය යි.

පුබුදු කුඩා කල සිට ම හැදී වැඩෙන්නේ ගොවිතැන් හා බැඳුනු පරිසරයක ය. නියරවල් රැුහීමේ යන්ත‍්‍රය ගැන මුලින් ම අදහස් ආවේ පාසලේ 6-7 පන්තිවල ඉගෙන ගන්නා සමයේ බව පුබුදු පවසයි. අවුරුදු ගණනාවක් පුරාවට අලූත් කොටස් එක්කරමින්, අත්හදා බැලීම් කරමින් ඔහු සේ ම ඔහුගේ නිර්මාණය ද ක‍්‍රමයෙන් වැඩෙන්නට විය. ෂෙල්ටන් අයියාගේ ගරාජය ඒ සඳහා නිරන්තරයෙන් ම ඔහුට විවෘත ව තිබුණි. අවුරුදු ගණනාවක ඇවෑමෙන් ඔහු සර්පිලාකාර හැඩයෙන් යුත් තාක්ෂණික අංගයකින් සමන්විත නියර රැුහීමේ යන්ත‍්‍රය නිර්මාණය කළේ ය.

ඔහුගේ නව නිර්මාණ කටයුතුවලට අවශ්‍ය මුදල් හදල් උපයා සපයා දුන්නේ ඔහුගේ දෙමාපියන් විසිනි. ගොවිතැන් කිරීමෙන් ලැබෙන මුදලින් එදා වේල සරි කර ගත් එම දෙමව්පියෝ තමන් ජීවත් වන නිවස පවා උගස් කර තම දරුවාගේ නිර්මාණ ව්‍යායාමයට අවශ්‍ය කළමනා ලබා දී තිබුණි. තමන් නිර්මාණය කළ යන්ත‍්‍රයේ අවසානයක් කරා යන්නට තවදුරටත් මුදල් අවශ්‍ය වූ විට ඔහු තම පාසලේ මිතුරන් හා එක් ව බුක් මාර්ක් විකුණා මුදල් සොයා ගැනීමට කටයුතු කර තිබුණේ දෙමාපියන්ට තවත් බරක් වන්නට අකමැති නිසා වන්නට ඇත. කෙසේ හෝ තමන්ගේ අරමුණ කරා යන්නට ඔහුගේ අප‍්‍රතිහත ධෛර්ය හා කැපවීම ලොකු කුඩා අප කා හටත් මහත් ආදර්ශයක් ම වන්නේ ය.

යන්ත‍්‍රය සකසා අවසානයේ ඔහු ඊට ‘පුබුදු සරුකෙත’ ලෙස නමක් ද යෙදුවේ ය. ශ‍්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් සංවිධානය කරන කනිෂ්ඨ අංශයේ නව නිපැයුම් තරගාවලියේ දී දිවයිනේ පළමු ස්ථානය ලැබීමෙන් අනතුරුව 2013 මැයි මස ඇමෙරිකාවේ, ඇරිසෝනාහී පැවති ‘ඉන්ටෙල් ජාත්‍යන්තර විද්‍යා හා ඉංජිනේරු ප‍්‍රදර්ශනය’ සඳහා ද ‘පුබුදු සරුකෙත’ ඉදිරිපත් කිරීමේ භාග්‍ය හිමි විණි. ලෝකයේ රටවල් 60ක් අතුරින් පාසල් තරගකරුවන් 1600ක් මේ සඳහා නව නිර්මාණ ඉදිරිපත් කර තිබුණි. එහි දී ‘විදුලි හා යාන්ත‍්‍රික’ අංශයෙන් ලොව හොඳ ම නව නිපැයුම ලෙස ‘පුබුදු සරුකෙත’ ඇගයීමට ලක් විණි. ඒ සඳහා පිදෙන සම්මානය සහ ත්‍යාග මුදලට අමතර ව පුබුදුගේ නිර්මාණයට විශේෂ සම්මානකුත් හිමි වීම ඔහුගේ නිර්මාණයේ ඇති විශිෂ්ඨත්වය විදහාපායි. ඔහුගේ ජයග‍්‍රහණය ඔහුට පමණක් නො ව මුළු ශ‍්‍රී ලංකාවාසීන්ට ම ජාත්‍යන්තරයේ අත් කර දුන් මහත් කීර්තියක් වන්නේ ය.

මේ සතුටුදායක පුවත ඇසූ සැණින් නාසා ආයතනයේ සේවයේ නියුතු අපේ රටේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයකු වන මහාචාර්ය සරත් ගුණපාල මහතා පුබුදුට කතා කර දැනුම් දී ඇත්තේ ‘කපුගේ තරුව’ නමින් තරුවක් නම් කරන්නට තමන් කටයුතු කරන බව ය.

“අපි ඒ සහභාගි වූ තරගයේ දී අවුරුදු 12ක ගැහැනු ළමයෙක් චාජර් එකක් නිර්මාණය කරලා තිබුණා. එකෙන් තත්පර 20කින්  ඕන ම බැටරියක් චාර්ජ් කරන්න පුළුවන්. අපේ ඇස් පනාපිට ම එක්තරා සමාගමකින් ඇයගේ එම තාක්ෂණය මිල දී ගන්නටත්, ඇය ව එම සමාගමේ අධ්‍යක්ෂකවරියක් ලෙස බඳවා ගන්නටත් කටයුතු කළා. ඇය තරගය දිනලා එළියට එද්දින් බිලියනපතිනියක්… අපිටත් හරි ම පුදුමයි. පිටරටවල එහෙමයි අලූත් නිෂ්පාදනවලට තැන ලැබෙන්නේ. ඒ අතින් අපේ රටේ නව සොයා ගැනීම්වලට ලැබෙන තැන ගොඩාක් පහළ මට්ටමක යි තියෙන්නේ”. යැයි පුබුදු පවසයි.

‘පුබුදු සරුකෙත’ යන්ත‍්‍රයෙන් අඩි 03ක් දක්වා උස නියරවල් පවා ශුද්ධ පවිත‍්‍ර කළ හැකි හැකි ය. සාමාන්‍යයෙන් කුඹුරු අක්කරයක නියරවල් රැුහීමට වැඩිහිටියන් 06 දෙනකුට දිනක් ගතවන මුත්, තමාගේ උපකරණයෙන් පැය 03ක දී ඒ කටයුත්ත කළ හැකි බව පුබුදු පවසයි.

මෙම උපකරණය සාර්ථක ව නිමවා අවසන් කිරීමට පවුලේ උදවිය සේ ම  ඥාතීන්, අසල්වාසීන්, පාසලේ සිසු සිසුවියන්, ගැරුවරුන් මෙන් ම ප‍්‍රදේශයේ දේශපාලාඥයන්ගෙන් ද යම් යම් උපකාර ලැබුණු බව පුබුදු කපුගේ කෘතවේදී ව සිහිපත් කරයි. මේ වැයවූ මුදලින් අඩකට වැඩි ප‍්‍රමාණයක් ඔවුන්ගේ උදව්වලින් ලැබුණු බවත් ඔහු පැවසී ය.

යන්ත‍්‍රයේ ගුණාත්මක භාවය වැඩිදියුණු කර ගන්නට ශ‍්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ කොළඹ කාර්යාලයේ හා උතුරුමැද පළාත් කාර්යාලයේ නිලධාරීන් ලබා දුන් ගුරුහරුකම් බෙහෙවින් වැදගත් වූ බව පුබුදු පවසයි. ඔහුට වටිනා ලැප්ටොප් යන්ත‍්‍රයක් පවා තම පෞද්ගලික වියදමින් ලබා දෙන්නට එහි ඇතැම් නිලධාරීන් කටයුතු කර තිබුණි.

මේ වන විටත් පවතින සුළු අඩුපාඩු කිහිපයක් නිසා ඔහුට මේ නිර්මාණයේ පේටන්ට් බලපත‍්‍රය ලැබී නැති අතර, පේටන්ට් බලපත‍්‍රය ලැබුණු වහා ම යාන්ත‍්‍රික උපකරණ නිෂ්පාදනය කරන සමාගමක් හා එක් වී මෙම උපකරණය නිෂ්පාදනය කිරීම තම අරමුණ බව පුබුදු පවසයි. ”අපේ රටේ යාන්ත‍්‍රික උපකරණ නිෂ්පාදනය කරන සමාගමක් සමග එක්වෙලා අපේ රටේ නිෂ්පාදනයක් විධියට එළි දැක්වීමයි මගේ අරමුණ. අපේ රටේ හැමදේම පිටරටින් ගෙන්නනවනේ. මගේ ලොකූ ආශාවක් තියනවා ‘මේඞ් ඉන් ශ‍්‍රී ලංකා’ කියලා අපේ රටේ නිෂ්පාදනයක් විධියට අපේ ප‍්‍රයෝජනයට ගන්නත්, ඒ වගේ ම පිටරටට අපනයනය කරන්නත්” යැයි පුබුදු පවසයි.

පුබුදු ගේ පරමාදර්ශී චරිතය ලෙස ඔහු පවසන්නේ ගමේ ගරාජයේ ෂෙල්ටන් අයියා ය. ”මම පාසල් ගිහිල්ලා, ඊට පස්සේ පිරිවෙන් ගිහිල්ලා කෙලින් ම යන්නේ ෂෙල්ටන් අයියාගේ ගරාජයට. මට ලෝකය ජය ගන්න අවශ්‍ය මූලික පහසුකම් සියල්ල ලැබුණේ ඔහුගේ පුංචි ගරාජය නිසා. ඔහු පුදුම දක්ෂ කෙනෙක්. මගේ යන්ත‍්‍රය සාදන්න ඔහු ලබා දුන් තාක්ෂණික දැනුම වගේ ම අනිකුත් සියලූ උපකාර මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ආර්ථික අගහිඟකම් මැද්දේ ඔහු ජීවත් වුවත්, මගේ කිසි ම වැඩකට සත පහක් අරගෙන නැහැ. මට හැකි වූ  දවසට ඔහුගේ ගරාජය හදා ගන්න මම අනිවාර්යයෙන් උදව් කරනවා” යැයි පුබුදු පවසයි.

ඔහුගේ වයසේ තරුණ තරුණියන්ට දෙන්න තියන උපදේශය කුමක් දැයි ඇසූ විට ඔහු දුන්නේ මෙවැනි පිළිතුරකි. “අපි අරමුණක් කරා යනකොට නැති දේවල් ගැන නොහිතා තියන දෙයින් ප‍්‍රයෝජනය ගෙන තනි ව ම තමයි ගමන යන්න සිද්ධ වෙන්නේ. තමන් දක්ෂ මොනවට ද දක්ෂ නැත්තේ මොනවට ද කියලා හඳුනා ගන්න  ඕන. පොල් අතු පැලක ඉඳලා හරියට වැසිකිළියක්වත් නැති ව මේ වගේ ලොකු ගමනක් ආපු එක ගැන මට ගොඩක් ආඩම්බරයි. රට හැදෙන්නේ අලූත් නිර්මාණ එක්ක, අපි තබන පියවරක් පාසා අලූතින් දකින්න  ඕන”.

තමාගේ අරමුණ යාන්ත‍්‍රික ඉංජිනේරුවරයෙක් වීම බව ඔහු පවසයි. ඒ සඳහා ඔහුට දැනටමත් විවිධ ආයතන හා පරිත්‍යාගශීලී භවතුන් විසින් කොරියාවේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලැබීම සඳහා විදෙස් ශිෂ්‍යත්වයක් ලැබී ඇති බව දැනුම් දෙන්නේ මහත් සතුටිනි. තමන්ගේ දක්ෂතා ඔප් නංවා ගන්නටත්, තව තව අලූත් නිර්මාණ බිහි කිරීමට එය මනා පිටුවහලක් යැයි ඔහු කියයි. ඔහුගේ නව නිර්මාණ පිළිබඳ ව දැනගන්නත්, ඒවා සංවර්ධනය උදෙසා ඔහුට ශක්තියක් වෙන්නත්, ඔහුගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා උපකාර වීමටත් හැකි අයට පහත සබඳතා ඔස්සේ ඔහු ව සම්බන්ධ කර ගත හැකි ය.

ලිපිනය : 146, අභය පෙදෙස, නව නගරය, අනුරාධපුර.

දුරකථන  :  0788947251, 0255724519

විද්‍යුත් තැපෑල : kapuge.jiy2012@gmail.com

 

ලිපිය අවසන් කරන්නට මත්තෙන් ‘ගවේෂණ’ සඟරාවේ පළමු කලාපයේ (2004)  සංස්කාරක සටහනෙන් ‘මෙය කියවීමට පමණක් නො වේ’ යන මාතෘකාව ඔස්සේ පළ වූ පහත කොටස උපුටා දක්වනු වටී.

“ලොව ඉදිරියට ඇදෙන්නේ නව දැනුම ඔස්සේ පමණක් ම ය. නව දැනුම නිර්මාණය වන්නේ නිර්මාණශීලි පර්යේෂණ ඔස්සේ සිදු කරන නව සොයා ගැනීම් තුළ ය. රෝදය, කාර්මික විප්ලවයට කරන කරන ලද දායකත්වයේ සිට ජාන තාක්ෂණය විසින් 21 වන ශතවර්ෂයේ සිදු කරනු ලැබ ඇති විප්ලවය දක්වා ලොව ගමන් කරනු ලැබුවේ ලෝකය දෙස තියුණු ඇසකින්, වෙනස් ඇසකින් බැලූ, පවතින දැනුම තුළ සෑහීමට පත් නො වූ මිනිසුන් නිසා ය. මෙවන් ගවේෂණශීලී මිනිසුන් තම පර්යේෂණ කරනු ලැබූයේ පරීක්ෂණාගාර තුළ පමණක් නො වේ. ඇළවේලි, වතුපිටි, ක‍්‍රීඩා පිටි, යුධ බිම් සෑම තැනක් ම පර්යේෂණාගාර විය”.

“නූපන් පරපුරේ හෙට දවස වෙනුවෙන් අද පරම්පරාවේ සැබෑ බුද්ධිමය දායකත්වය සහතික කළ හැකි වටපිටාවක් සඳහා උපරිම ලෙස මැදිහත් වීම අවධාරණය කළ යුතු ය.”

අරුණ ප‍්‍රශාන්ත වලිසුන්දර