පර්යේෂණ ජර්නල (Research Journals)

“තමන් සොයා ගත් නව දැනුම ලොව පුරා විසිරී සිටින අනෙක් පර්යේෂකයන් අතර ප‍්‍රචලිත කිරීමටත් එමගින්  ලොව පවතින දැනුම තවදුරට වර්ධනය වීමටත් ඇති හොඳ ම මාධ්‍යය ‘පර්යේෂණ ජර්නල’ වේ.”

ස්වභාව ධර්මය පිළිබඳ දාර්ශනිකයකු වූ ජර්මානු ජාතික Henry Oldenburg විසින් 16 වන සියවසේ දී පර්යේෂණ ජර්නල පිළිබඳ ව ලබා දුන් අර්ථකථනය මෙයයි.

අලූතින් පර්යේෂණ ලෝකයට පිවිසෙන ඔබ පර්යේෂණ ජර්නලවල අන්තර්ගතය, මෙරට හා විදේශ රටවල දැනට පළ වන ප‍්‍රධාන පර්යේෂණ ජර්නල සහ තම පර්යේෂණ සඳහා මෙම ජර්නල භාවිත කරන්නේ කෙසේ ද යන්න  ගැන දැන සිටීම ඉතා වැදගත් වෙයි.

පර්යේෂණ ජර්නලවල ආරම්භය වර්ෂ 1665 දී ප‍්‍රංශයේ  “des scavas” නම් ජර්නලය ප‍්‍රකාශයට පත් වීමයි. එම වසරේ ම බි‍්‍රතාන්‍යයේ අධ්‍යාපනික ආයතනයක් වන  “Royal Society” විසින්  “Philosophical Transactions” නමින් පර්යේෂණ ජර්නලයක් ආරම්භ කළේ ය. මේ සඳහා එවකට  “Royal Society” හි ලේකම් වූ  “Henry Oldenburg” මූලිකත්වය ගෙන කටයුතු කළේ ය. මෙම බි‍්‍රතාන්‍ය ජර්නලය පසු කාලීන ව ජීව විද්‍යා සහ භෞතික විද්‍යා අංශවලට ගැළපෙන අයුරින් පර්යේෂණ ජර්නල දෙකක් ලෙස ප‍්‍රකාශයට පත් වූ අතර, 18 වන සියවසින් පසු ලොව පුරා සිදු වූ පර්යේෂණ ජර්නල ප‍්‍රකාශනයේ සීඝ‍්‍ර වර්ධනයට මෙම  “Philosophical Transactions” ජර්නලය ඉතා වැදගත් විය. වර්තමානයේ ලොව පුරා පර්යේෂණ ජර්නල අතිවිශාල සංඛ්‍යාවක් (නිශ්චිත ගණනක් කිව නොහැකි ය) ප‍්‍රකාශයට පත් වන අතර ශ‍්‍රී ලංකාවේ පමණක් 50කට වැඩි සංඛ්‍යාවක් පවතී.

ලෝකය පුරා කෙරෙන විද්‍යාත්මක පර්යේෂණවලින් සොයා ගත් තොරතුරු පර්යේෂණ ජර්නලවල අන්තර්ගත  වේ. බොහෝ පර්යේෂණ ජර්නල එක් විෂය ධාරාවකට අදාළ පර්යේෂණ පත‍්‍රිකා පමණක් පළ කළ ද සමහර ජර්නල විෂය කිහිපයකට අදාළ පර්යේෂණ පත‍්‍රිකා පළ කරයි.

පර්යේෂණ පත‍්‍රිකා (Research papers) සාරාංශ (Abstracts)  මෙන් ම කලකට ඉහත කළ පර්යේෂණ සහ මෑතක දී පළ වුණු අධ්‍යාපනික ග‍්‍රන්ථ පිළිබඳ විචාර ලිපි පර්යේෂණ ජර්නලවල පළ වෙයි.

පර්යේෂණ ජර්නල ප‍්‍රධාන වශයෙන් මුද්‍රිත සහ ඉලෙක්ට්‍රොනික යන මාධ්‍යවලින් පළ වේ. බොහෝ පර්යේෂණ ආයතන, විශ්වවිද්‍යාල හා ජර්නල ප‍්‍රකාශන සංවිධාන, මුද්‍රිත ජර්නල සම්පාදනය කරන අතර පාඨකයන්ට අදාළ දායක මුදල් ගෙවා ජර්නල තැපැල් සේවා මගින් ගෙන්වා ගැනීමේ හැකියාව පවතී. එමෙන් ම ඉලෙක්ට්‍රොනික ජර්නල භාවිත කරන්නන්ට අන්තර්ජාලය ඔස්සේ අදාළ පර්යේෂණ ආයතනවල වෙබ් අඩවිවලින් හෝ අනුමත දත්ත ගබඩා වෙබ් අඩවි මගින් තමන්ට අවශ්‍ය පිටපත් ලබා ගත හැකි වෙයි.

වර්තමානයේ බොහෝ ග‍්‍රාහකයන් ඉලෙක්්ට්‍රොනික ජර්නල භාවිත කිරීමට වැඩි කැමැත්තක් දක්වන අතර මෙයට හේතු වනුයේ තමන්ට අවශ්‍ය පර්යේෂණ පත‍්‍රිකා, ජයාරූප සහ වීඩියෝ දර්ශන ඇතුළත් ජර්නල මෙන් ම මුද්‍රිත ප‍්‍රකාශනවල ඉලෙක්ට්‍රොනික පිටපත් ද අන්තර්ජාලය ඔස්සේ ඉතා ඉක්මනින් ලබා ගත හැකි වීම යි. මෙලෙස අන්තර්ජාලය භාවිත කරන ග‍්‍රාහකයන් සෙවුම් යන්ත‍්‍රයකට (Search Engine), තමන්ට අවශ්‍ය ජර්නලයේ නම, පර්යේෂණ පත‍්‍රිකාවේ මාතෘකාව හෝ මාතෘකාවේ මූලික වදන් (Key Words) ලබා දිය යුතු වෙයි. ප‍්‍රධාන අන්තර්ජාල සෙවුම් යන්ත‍්‍ර වන ගුගල් (Google Search) බින්ග් (Bing Search) සහ (Yahoo Search) හරහා අන්තර්ජාලයේ ඇති දත්ත ගබඩා සමග සම්බන්ධ වී පාඨකයාට අවශ්‍ය තොරතුරු ලබා දෙයි.

මෙහි දී පාඨකයා පොදු විෂය කරුණු පමණක් සෙවුම් යන්ත‍්‍රයට ඇතුළත් කළේ නම් (උදා: Depression,  Dementia, Metabolism) ඒ සම්බන්ධ ව ලියැවුණු පර්යේෂණ පත‍්‍රිකා, පර්යේෂණ සාරාංශ සහ අර්ථකථන රාශියක විස්තර, ප‍්‍රතිඵල ලෙස ලබා දෙයි. මෙම ක‍්‍රමයේ දී තොරතුරු ඉතා විශාල ප‍්‍රමාණයක් ලැබීම නිසා බොහෝ පාඨකයෝ තමන්ට අවශ්‍ය තොරතුරු වෙන් කර හඳුනා ගැනීමට නොහැකි ව අපහසුතාවට පත්වෙති. එම නිසා වර්තමානයේ පර්යේෂණ පත‍්‍රිකා සහ පර්යේෂණ ජර්නල පමණක් සොයා දෙන සෙවුම් යන්ත‍්‍ර ලෙස ක‍්‍රියා කරන වෙබ් අඩවි (උදා: OJOSE, World Wide Science, Google Scholar) ආරම්භ කර ඇති අතර බොහෝ පර්යේෂණ දත්ත ගබඩාවල එම වෙබ් අඩවියට පමණක් සිමා වූ සෙවුම් යන්ත‍්‍ර සේවා පවතී. මෙවැනි පර්යේෂණ දත්ත ගබඩාවල ජර්නල, පර්යේෂණ පත‍්‍රිකා, වාර්තා, නිබන්ධ සහ විචාර ලිපි අඩංගු වන අතර දිනපතා යාවත්කාලීන (Update) වේ. PubMed, PubMedCentral, PsycINFO” POPLINE, Scopus, ERIC, AGRIS, JSTOR, DOAJ යනු එවැනි ප‍්‍රධාන වෙබ් අඩවි කිහිපයකිි.

මේ ආකාරයට ගබඩා කළ තොරතුරු පාඨකයන්ට ලබා ගත හැකි ප‍්‍රධාන ක‍්‍රම තුනකි. ඒවා නම් මුදල් ගෙවා ලබා ගැනීම (Subscription based),  දෙමුහුම් ක‍්‍රමය (Hybrid Open Access) සහ විවෘත ක‍්‍රමය  (Open Access and Delayed Open Access) යි. මෙහි දී මුදල් ගෙවා පමණක් ලබා ගත හැකි මුද්‍රිත හෝ ඉලෙක්ට්‍රොනික ජර්නල පරිශිලනය කිරීමට පාඨකයින් අනිවාර්යයෙන් ඍජු ග‍්‍රාහකයකු හෝ ග‍්‍රාහක අයිතිය හිමි පුස්තකාලයක සාමාජිකයකු විය යුතු අතර දෙමුහුම් ක‍්‍රමයේ දී පාඨකයින් පර්යේෂණ ලේඛනයක සමහර කොටස් සඳහා පමණක් මුදල් ගෙවිය යුතු වෙයි. විවෘත ක‍්‍රමය පිළිපදින ජර්නල තම ජර්නලයේ පළ වන පර්යේෂණ පත‍්‍රිකා පාඨකයින්ට නොමිලේ ලබා දෙන අතර සමහර ලිපි යම් කාල සීමාවකට පසු ව නොමිලේ ලබා දෙයි.

මෙලෙස පර්යේෂණ ජර්නලය පරිශීලනය කිරීමේ හැකියාව අනුව කාණ්ඩ ගත වීම, ජර්නලයේ මූල්‍යමය වටිනාකම මත පදනම් ව සිදු කෙරෙයි. පර්යේෂණ ජර්නල සම්පාදනය කරන ආයතන විවිධ නිර්ණායක අනුසාරයෙන් තම ජර්නලයේ වටිනාකම තීරණය කරන අතර මෙහි දී පර්යේෂණ ජර්නලය අමතන විෂය ධාරාව,  පර්යේෂණ පත‍්‍රිකා පළ කිරීමට ප‍්‍රථම සමියුරු සමිතුරු ද ප‍්‍රතිනිරීක්ෂණයකට (Peer Review) ලක් කිරීම සහ උපුටා ගැනීම් ප‍්‍රමාණයෙහි බලපෑම (Impact Factor) ප‍්‍රධාන සාධක වෙයි.

සමියුරු ප‍්‍රතිනිරික්ෂණ ක‍්‍රමයේ දී අදාළ විෂය ධාරාවට සම්බන්ධ ප‍්‍රවීණයන් ඇතුළත් කමිටුවකට එම පර්යේෂණ පත‍්‍රිකාව ලබා දෙන අතර ඔවුන් එහි නව්‍යතාව, වැදගත්කම, පර්යේෂණ අදහස සහ ශ්‍රේෂ්ඨත්වය යන කරුණු මත පදනම් ව ඇගයීමකට ලක් කරයි. මෙම ඇගයීම ස්වාධීන වීම සදහා පර්යේෂණ පත‍්‍රිකාව පළ කළ පර්යේෂකයන්ගේ නම් සහ රටවල් අදාළ ප‍්‍රතිනිරීක්ෂණ කමිටුවට ලබා නො දීමට සංස්කාරක කමිටුව කටයුතු කරයි. මෙම ඇගයීම අවසානයේ අදාළ කලාපයේ පළ කිරීමට යොමු කෙරුණු පර්යේෂණ පත‍්‍රිකා රාශියක් අතුරින් සීමිත ගණනක් පමණක් පර්යේෂණ ජර්නලයේ පළ කිරීමට තෝරා ගන්නා අතර මෙම හේතුව නිසා සමියුරු ප‍්‍රතිනිරීක්ෂණයට ලක් කරන ජර්නල අනෙක් ඒවාට වඩා තත්ත්වයෙන් උසස් වෙයි. 2014 වසරට අයත් කලාපවල පළ කිරීමට  “Nature” නමැති ජර්නලයට පර්යේෂණ පත‍්‍රිකා 11,000කට අධික ප‍්‍රමාණයක් යොමු වී තිබී ඇති මුත් ඉන් පර්යේෂණ පත‍්‍රිකා 826ක් පමණක් පළ කිරීම සඳහා තෝරා ගැනීම මේ බව පැහැදිලි වන කදිම උදාහරණයකි.

පර්යේෂකයකු තමන් කළ පර්යේෂණයට අදාළ පර්යේෂණ පත‍්‍රිකාව සම්පාදනය කිරීමේ දී එහි ඇතුළත් කරුණු, පර්යේෂණය කිරීමේ දී භාවිත කළ නිර්ණායක හා ක‍්‍රම වඩා හොඳින් පාඨකයින්ට පැහැදිලි කිරීම ඉතා වැදගත් වෙයි. මෙමගින් පර්යේෂණයේ නිරවද්‍යතාව ඔප්පු වන අතර ම පර්යේෂණ පත‍්‍රිකාවේ වලංගුභාවය ද වැඩි වේ. එම නිසා පර්යේෂණයට සමානකම් ඇති ව ලොව පුරා වෙනත්  පර්යේෂකයන් විසින් කළ පර්යේෂණවලට අදාළ ලිපි, ලියැවුණු ග‍්‍රන්ථවල නම් සහ පිටු අංක පර්යේෂණ පත‍්‍රිකාවේ උපුටා ගැනීම් කොටසට ඇතුළත් කරනු ලැබේ.

යම් පර්යේෂණ පත‍්‍රිකාවක් වෙනත් පර්යේෂකයන් රැුසක් විසින් තමතමන්ගේ පර්යේෂණ පැහැදිලි කිරීමට යොදා ගත හොත් අදාළ පර්යේෂණ පත‍්‍රිකාවේ ද එය පළ කළ ජර්නලයේ ද වටිනාකම ඉහළ යයි. මෙම සාධකය ජර්නලයේ වටිනාකම නීර්ණය කිරීමට බොහෝ විට යොදා ගැනෙන අතර, එය යම් කාල සීමාවක් ඇතුළත කළ  “උපුටා ගැනීම් ප‍්‍රමාණයෙහි බලපෑම (Impact factor) ලෙස සඳහන් වෙයි. මෙහි දී වසරක් ඇතුළත පළ වුණු පර්යේෂණ පත‍්‍රිකා වෙනත් පර්යේෂකයින් විසින් උපුටා ගෙන ඇති ප‍්‍රමාණයේ සාමාන්‍ය ගණනය කරනු ලබයි. මෙලෙස ගණනය කිරීමෙන් ඉහළ අගයක් ලබන ජර්නල (උදා: Ca-A Cancer Journal for Clinicians – 162.5, New England Journal of Medicine – 54, Nature – 42, The Lancet – 33, Genome Biology – 10) පර්යේෂණ ලෝකයේ වැඩි පිළිගැනීමකට ලක් වන අතර මේ හේතුව නිසා ම පර්යේෂකයෝ තමන් කළ පර්යේෂණ ඇතුළත් වාර්තා මෙවැනි ජර්නලවල පළ කිරීමට වැඩි උනන්දුවක් දක්වති.

මෙවැනි හේතූ නිසා බොහෝ පර්යේෂණ ජර්නල සම්පාදකයින් තම ජර්නලයට ඉතා ඉහළ වටිනාකමක් ලබා දෙන අතර මෙහි දී අඩු පහසුකම් සහ අඩු මුල්‍යමය සම්පාදන සහිත පාඨකයින්ට වන අපහසුතා වැළකීමට සමහර පර්යේෂණ ආයතන තම ඉලෙක්ට්‍රොනික ජර්නලයේ අඩංගු පර්යේෂණ පත‍්‍රිකාවල හැදින්වීම කොටස පමණක් නොමිලේ කියවීමට පාඨකයාට අවස්ථාව ලබා දෙයි. එමගින් සම්පූර්ණ පර්යේෂණ පත‍්‍රිකාව හෝ ජර්නලය ලබා ගැනීම සඳහා අවශ්‍ය පුද්ගලයන්ට එම ජර්නලය සඳහා ග‍්‍රාහකයන් වීමේ අවස්ථාව උදා වේ.

පර්යේෂණ ජර්නලයක වටිනාකම මෙලෙස තීරණය වුව ද තමන්ට අවශ්‍ය ජර්නලයක් තේරීමේ දී සහ තම පර්යේෂණ පත‍්‍රිකාව ජර්නලයක පළ කිරීමේ දී පර්යේෂකයකු විසින් සැලකිලිිමත් විය යුතු කරුණු රාශියකි. ඒ අතුරින් පර්යේෂණ ජර්නලයේ ඉතිහාසය, සංස්කාරක මණ්ඩලයේ සංයුතිය, ජර්නලයේ ලියාපදිංචි අංකය, ප‍්‍රකාශිත විශ්වවිද්‍යාලය හෝ පර්යේෂණ ආයතනය, එහි මුල්‍යමය වටිනාකම සහ පර්යේෂණ පත‍්‍රිකා ජර්නලයේ පළ කිරීමට සංස්කාරක මණ්ඩලය වැය කරන කාලය මුලික වේ.

පර්යේෂණ ජර්නලයක් දිගු කාලයක් අඛණ්ඩ ව පවත්වා ගෙන යාම ඉතා අපහසු කටයුත්තක් වන අතර එය ප‍්‍රකාශ කරන ලිපිවල තත්ත්වය මත සහ ප‍්‍රකාශකයන්ගේ සංවිධානාත්මක බව මත රඳා පවතී. එම නිසා දිගු ඉතිහාසයක් හිමි ජර්නල තත්ත්වයෙන් උසස් වෙයි. ජර්නල සංස්කාරක මණ්ඩලය ප‍්‍රවීන පර්යේෂකයින්ගෙන් සමන්විත වීම ද ඔවුන් අතර විවිධත්වයක් පැවතීම ද පර්යේෂණ ජර්නලය නිවැරදි ලෙස ලියාපදිංචි කර තිබීම ද  පිළිගත් විශ්වවිද්‍යාලයක් හෝ පර්යේෂණ ආයතනයක් මගින් ප‍්‍රකාශයට පත් කිරීම ද ජර්නලයක උසස් තත්ත්වය මනින මිනුම් ලෙසට දැක්විය හැකි ය.

පර්යේෂණ ජර්නලයක පෙර කලාප අධ්‍යයනය කිරීමෙන් ජර්නලය මුලිකත්වය ලබා දෙන විෂය පිළිබඳ අදහසක් ලබා ගත හැකි ය. බොහෝ පර්යේෂණ ජර්නල සම්පාදක මණ්ඩල යම් පර්යේෂණ පත‍්‍රිකාවක් තම ජර්නලයේ පළ වීමට සපුරාලිය යුතු කරුණු පිළිබඳ විස්තර ඇතුළත් උපදේශන පත‍්‍රිකාවක් ඉදිරිපත් කරයි. මෙමගින් පර්යේෂකයන්ට තම පර්යේෂණ පත‍්‍රිකාව ජර්නලයට උචිත අයුරින් සකස් කළ යුතු ආකාරය පිළිබඳ ව අදහසක් ලබා ගත හැකි වෙයි.

ජාතික විද්‍යා පදනමේ (National Science Foundation)  වාර්තාවලට අනුව වර්තමානයේ මෙරට පර්යේෂණ ජර්නල 59ක් පවතින අතර මේවාගෙන් ජර්නල 40කට ආසන්න ප‍්‍රමාණයක් ක‍්‍රියාකාරී මට්ටමේ පවතී. මෙයින් බොහෝමයක් විශ්වවිද්‍යාල මගින් සම්පාදනය කරන පර්යේෂණ ජර්නල ය. මෙවැනි ජර්නල පිළිබඳ ව වැඩි විස්තර http://www.sljol.info/ වෙබ් අඩවියෙන් ලබා ගත හැකි ය.

ලොව පිළිගත් ප‍්‍රධාන පෙළේ ජර්නල අතර Nature, American Journal of Public Health, The Lancet, Immunity, Journal of Algebra, Journal of Animal Science, The Canadian Journal of Action Research  වැනි ජර්නල ඉදිරියෙන් සිටියි . මේවායේ ඡුැැර රුඩසැඅ අගය ඉතා ඉහළ අගයක් ගනී. මෙවැනි ජර්නලවල පර්යේෂණ පත‍්‍රිකා පළ කිරීමේ දී නියමිත උපදේශන ක‍්‍රියා පටිපාටියක් පිළිපැදීමට මෙන් ම සමහර අවස්ථාවල දී යම් මුල්‍යමය ගෙවීමක් කිරීමට ද පර්යේෂකයනට සිදු වෙයි.

2014 වසරේ දී ලොව පුරා පර්යේෂණ ජර්නල 10,000ක් පමණ පළ වී ඇති අතර මේවා අතරින් උපුටා ගැනීමේ ප‍්‍රමාණය ඉතා ඉහළ අගයක් ගන්නා ජර්නල සහ විවෘත ක‍්‍රමයට පරිශීලනය කළ හැකි ජර්නල පිළිබඳ ව තොරතුරු ඔබට  (http://www.citefactor.org/journal-impact-factor-list-2014.html) වෙබ් අඩවියෙන් ලබා ගත හැකි ය.

 

ලසිත් දිසානායක