මේ ලොවට බිහි වන දරුවා, පළමු දවසේ සිට ම පර්යේෂකයකි. එහෙත් මෙසේ පර්යේෂකයකු ලෙස බිහි වන දරුවාගේ පර්යේෂණ මනස තවදුරටත් සංවර්ධනය වෙනවා ද? නැති නම් මොට වෙනවා ද? යන්න පිළිබඳ ව අප හොඳ කල්පනාවෙන් සිතා බැලිය යුතු ය. අපගේ අධ්‍යාපන පද්ධතිය තුළ පර්යේෂණ සංස්කෘතියක්/ පර්යේෂණ මනසක් ඇති පුරවැසියකු බිහි කිරීම සඳහා ප්‍රමාණවත් යොමු වීමක් තිබේ ද යන්න ද ගැඹුරින් සිතා බැලිය යුතු ව ඇත.
‘උසස් පෙළ ව්‍යාපෘති’ මේ අප සඳහන් කරන පර්යේෂණ මනස සැකසීම උදෙසා ඉඩකඩ සලසන සාධනීය මාවතකි. එහෙත් උසස් පෙළ ව්‍යාපෘති, එහි උපරිම ඵල නෙළා ගැනීම සඳහා යොදා ගනු ලබනවා ද යන්න සැක සහිත ය. ඒ සඳහා ප්‍රමාණවත් බරක් යොදා ඇත්දැයි ප්‍රශ්න කළ යුතු ව ඇත. වසර ගණනාවක් උසස් පෙළ ව්‍යාපෘති සඳහා අතහිත දුන් සංවිධානයක් ලෙස අප මේ පිළිබඳ ව සෑහීමකට පත්වන්නේ නැත. මන්ද යත් මෙයට වසර 06කට පමණ පෙර, උසස් පෙළ ව්‍යාපෘති සඳහා ළමයින් මෙන් ම ගුරුවරුන් ද විධිමත් ලෙස පුහුණු කිරීම මගින් එම ව්‍යාපෘතිවල ගුණාත්මක භාවය වැඩි දියුණු කර ගත හැකි ද යන්න ගැන පර්යේෂණයක් මගින් තක්සේරුවක් ලබා ගැනීම සඳහා පර්යේෂණ ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කළෙමු. එය ඉදිරිපත් කරනු ලැබුවේ ජාතික විද්‍යා පදනම (National Science Foundation ) වෙත ය. එහෙත් එම අයදුම් පත සැලකිල්ලට නොගෙන ම ඉවත් කරනු ලැබූයේ, වසර 02ක් ඇතුුළත උසස් පෙළ ව්‍යාපෘති නවතා දමන්නට තීරණයක් ගෙන ඇති බව ද පවසමිනි. ඒ පිළිබඳ අප කම්පා වූයේ අපට පර්යේෂණ මූල්‍යාධාර නොලැබීම පිළිබඳ ව නො වේ. උසස් පෙළ ව්‍යාපෘති නවතා දමන ප්‍රවෘත්තිය නිසා ය. එහෙත් දැන් වසර 06ක් ගෙවී ගොස් ඇත. සාධනීය ප්‍රවෘත්තිය නම් උසස් පෙළ ව්‍යාපෘති නවතා දමා නොමැති බව ය. එහෙත් කනගාටුවට කරුණ එම ව්‍යාපෘතිවලින් වන බලපෑම විද්‍යාත්මක ව ඇගයීමට අවශ්‍ය මූල්‍යාධාර අපට නොලැබීම ය.
එහෙත් අපි එයින් නොසැලෙමු. එම ඇගයීම කිරීම සඳහා මූලික ව්‍යාපෘතියක් අපගේ ශක්කි ප්‍රමාණය මත ආරම්භ කර ඇත. එපමණක් නො ව පාසල් දරුවන්ගේ මනස, පර්යේෂණ මාවත වෙත යොමු කිරීම උදෙසා ‘පාසල කේන්ද්‍ර කර ගත් පර්යේෂණ සංස්කෘතියක් සඳහා’ වැඩසටහන් මාලාව මේ වන විටත් ආරම්භ කර ඇත.
ලාංකේය ජාතිය, අභිමානවත් ලෙස ගොඩ නැගීම සඳහා බලාපොරොත්තු වන කිසිවකුට පර්යේෂණ මගින් නව දැනුම නිර්මාණය කිරීමෙන් තොර ව ඒ ගමන යෑමට නොහැකි වනු ඇත.
පාසල් දරුවන් තුළ පර්යේෂණ මනසක් ස්ථාපිත කර, එය විශ්වවිද්‍යාල පද්ධතිය දක්වා තවදුරටත් පුළුල් කොට, ඉන් ඔබ්බට ද ගොස් වෘත්තිකයන් තුළ පුරා විහිදුණු පර්යේෂණ මනසක් ගොඩ නැගීම වර්තමානයේ අත්‍යවශ්‍ය කටයුත්තකි.
පර්යේෂණ යනු යාන්ත්‍රික ලෙස විද්‍යාගාර තුළ පමණක් ම කෙරෙන කටයුත්තක් නො වේ. පර්යේෂණ කටයුතු විද්‍යාගාරවලින් එළියට විත් සෑම බිම් අඟලක ම, සෑම ක්ෂේත්රයක ම සිදුවිය යුතු අනිවාර්ය කටයුත්තකි.
නව දැනුම නිර්මාණය කිරීම සඳහා දේශීය පර්යේෂණ සංස්කෘතියක්/ පුරා විහිදුණු පර්යේෂණ සංස්කෘතියක් තහවුරු කිරීම සඳහා පාසල් පද්ධතියේ ළමා මනස තුළ ඒ බීජ වැපිරිය යුතු ව ඇත.
අධ්‍යාපන විෂයමාලාවලට (Curricular) දොස් තබා නිහඩ වීම නො කොට පවතින ඉඩ කඩෙහි අවම වශයෙන් උසස් පෙළ ව්‍යාපෘති සකී‍්‍රය ලෙස යොදා ගනිමින් ඒ කටයුත්ත කළ හැකි ය. සර්ව සම්පූර්ණ වැඩපිළිවෙළක් නොමැතිකම නිදහසට කරුණක් ලෙස යොදා නොගෙන ඒ සඳහා නිවැරදි ප්රවේශයකට යොමු වීමට පවතින සියලූ ඉඩකඩ ප්‍රයෝජනයට ගන්නා ලෙස අපි සියලූ දෙනාගෙන් ඉල්ලා සිටිමු. අපි අපේ යුතුකම ඉටු කරමින් සිටිමු.
Editorial – 23rd volume