පර්යේෂණ මනස පාසලෙන් ආරම්භ කිරීමට  ජාතික විද්‍යා පදනමෙන් වැඩසටහනක්

වැඩසටහනේ මූලික අරමුණ වන්නේ ‘පර්යේෂණ සංස්කෘතියක්’ පාසල් ප්‍රජාව තුළ ඇති කිරීමයි

ජාතික විද්‍යා පදනමේ පනතට අනුව, මෙරට ‘විද්‍යාව ප්‍රචලිත කිරීම’ සඳහා සහ ‘විද්‍යා අධ්‍යාපනයේ ප්‍රවර්ධනය’ සඳහා ආයතනයට බලය ලබා දී ඇත. ඒ අනුව ජාතික විද්‍යා පදනම වාර්ෂික ව විවිධ ප්‍රජාව ඉලක්ක කරගෙන, විශේෂයෙන් පාසල් ප්‍රජාව ඉලක්ක කර විවිධ වැඩසටහන්, තරග සංවිධානය කරනු ලැබේ.

පාසල් ළමයින් සඳහා විද්‍යා පර්යේෂණ තරගාවලිය

ජාතික විද්‍යා පදනම, පාසල් ප්‍රජාව තුළ පර්යේෂණ සංස්කෘතියක් ඇති කිරීම සඳහා, 2018 වර්ෂයේ දී මෙම වැඩසටහන ආරම්භ කරන ලද අතර, මුල් කාලයේ දී ජාතික විද්‍යා පදනමෙහි ලියාපදිංචි වූ විද්‍යා සමාජවලට පමණක් විවෘත වූ වැඩසටහනක් වූ අතර පසුකාලීන ව මෙය දීප ව්‍යාප්ත සියලු රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා ජාත්‍යන්තර පාසල්වලට විවෘත කරන ලදී.

මෙම තරගාවලියේ ඉලක්ක ගත කණ්ඩායම් වනුයේ, 9-12 ශ්‍රේණිවල ඉගෙනුම ලබන පාසල් දරුවන් ය. ඉදිරිපත් වන පර්යේෂණ යෝජනාවලින් තෝරා ගත් ව්‍යාපෘති 100-120ත් අතර ප්‍රමාණයක් පුහුණු අදියර සඳහා තෝරා ගනු ලැබේ.

ව්‍යපෘති පුහුණු කාලය

තෝරා ගත් සියලු ව්‍යාපෘති යෝජනා තවදුරටත් සංවර්ධනය කිරීමට, අවශ්‍ය උපදෙස් හා අධීක්ෂණයට විශ්වවිද්‍යාලයක හෝ පර්යේෂණ ආයතනයක විද්‍යාඥයකු, ජාතික විද්‍යා පදනම විසින් නම් කරනු ලබයි. පර්යේෂණ ව්‍යාපෘති පුහුණු කාලය මාස 06කි. සිසුන්ගේ පර්යේෂණ ප්‍රකාශන සහ ඉදිරිපත් කිරීමේ හැකියාව ඉහළ දැමීම හා පර්යේෂණ ව්‍යාපෘති වැඩි දියුණු කිරීම මෙම පුහුණු කාලයේ දී සිදු කෙරේ. 

පුහුණු කාලයෙන් අනතුරු ව තරගකරුවන් විද්වත් විනිශ්චය මණ්ඩලයක් ඉදිරිපිට තම ඉදිරිපත් කිරීම සිදු කළ යුතු අතර, මෙහි දී තරගකරුවන්ගෙන් හොඳ ම ව්‍යාපෘති තෝරා ගනු ලැබේ. මෙම ක්‍රියාවලිය ජාත්‍යන්තර ප්‍රමිති සහ නිර්ණායක අනුව සිදු කෙරේ. ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානයන් ද මෙරට සහ විදෙස් රටවල පැවැත්වෙන ජාත්‍යන්තර මට්ටමේ සමුළු සහ වැඩසටහන්වලට සහභාගි වීමේ සහ තම පර්යේෂණ ඉදිරිපත් කිරීමේ  අවස්ථා ද මින් හිමිවේ.

වැඩසටහනේ අරමුණුමූලික අරමුණ වන්නේ ‘පර්යේෂණ සංස්කෘතියක්’ පාසල් ප්‍රජාව තුළ ඇති කිරීමයි.
මෙහි සෙසු අරමුණු ලෙස,
01 පාසල් දරුවන්ගේ විශ්ලේෂණාත්මක හා තර්කානුකූල සිතීමේ හැකියාව වැඩි දියුණු කිරීම

02 රටට අවශ්‍ය අනාගත පර්යේෂකයන් ගොඩනැගීම

03 දරුවන් පර්යේෂණ ක්‍රියාවලිය සඳහා පුහුණු කිරීම මෙන් ම විශ්වවිද්‍යාල හෝ පර්යේෂණ ආයතනවල  පර්යේෂණ කෙරෙන අන්දම පිළිබඳ අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව සැලසීම. 

ජාතික විද්‍යා පදනමේ මෙම තරගාවලියට අමතර ව ප්‍රාථමික ශේ්්‍රණිවල සිසුන් සඳහා ‘ළමා පරිසරවේදියා’ තරගාවලියට ද STEAM (Science Technology, Engineering, Arts, Mathematics) පාදක කර ගත් විද්‍යා තරගාවලියක් අවුරුදු පතා පවත්වනු ලබයි. මෙම තරග සඳහා ලංකාවේ විවිධ ප්‍රදේශවල පාසල් සිසුන් වාර්ෂික ව 3500-4000ක් පමණ සහභාගි වේ. ජාතික විද්‍යා පදනම විසින් පවත්වා ගෙන යන පාඨශාලික විද්‍යා සමාජ ජාලය ඔස්සේ පාසල්වල විද්‍යා යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ආධාර ලබා දෙන අතර ඊට අමතර ව විද්‍යා අධ්‍යාපන හා විද්‍යා ප්‍රචලිත කිරීමේ වැඩසටහන් සඳහා (පාසල් විසින් සංවිධානය කරන හෝ විශ්වවිද්‍යාල විද්‍යා සංගම් මඟින් පාසල් දරුවන් සඳහා සංවිධානය කරන) ආධාර ලබා දීම සිදු කරයි.විශේෂ ස්තූතිය -ජාතික විද්‍යා පදනම් ආයතනයේ ආචාර්ය දිල්රුක්ෂි රණතුංග මහත්මියට