අපි මීට පෙර ලිපියේ දී පර්යේෂණ ක‍්‍රියාවලියේ පියවර සුවිශේෂි ව දැක්වීමු. එසේ ම මෙතෙක් අපි ‘ගවේෂණ’ සඟරා කලාපවල පළ කළ ලිපිවලින් පර්යේෂණ ක‍්‍රියාවලියේ පහත සඳහන් පළමු වන පියවර හතර ගැන මූලික අදහස් විවිධාකාර උදාහරණවලින් ඉදිරිපත් කළෙමු.
එහෙත් එම පියවර පිළිබඳ අදහස් ක‍්‍රමානුකූල ව ඔබට මතක් කර ගැනීම පහසු වීම සඳහා නැවතත් කෙටියෙන් පියවර වශයෙන් සමාලෝචනය කරමු.
මිනිසාට තමා ගැනත් තමා ජීවත් වන පරිසරය ගැනත්, ඇති දැනුමේ හිඩැස පර්යේෂණ ගැටලූවකට පදනම් වේ. මේ ‘ගවේෂණ’ කලාපයේ ගවේෂණ, මැයි-අගෝස්තු 2006 පළ වන මලියදේව බාලිකා විද්‍යාලයේ මේධානි වික‍්‍රමසිංහ සිසුවියගේ ව්‍යාපෘතියට පදනම් වූ ‘දැනුමේ හිඩැස’ කුමක් දැ යි සලකා බලමු. ඇය ජිවත් වන පරිසරය වන එප්පාවල තිබෙන ‘එ්කීය සුපර් පොස්පේට්’, වී වගාව සඳහා යොදා ගත හැකි ද? යනු ඇයට මතු වූ ගැටලූව යි. මේ ගැටලූව ඇයට මතු වූයේ එම විෂයය ගැන ඇයට දැනුමක් නැති නිසා ය. ගොවීහු ද තම ප‍්‍රදේශයේ ඇති ‘ඒකීය සුුපර් පොස්පේට්’ භාවිතය ගැන දැනුමින් තොර නිසා, ආනයනය කළ පොහොර වී වගාව සඳහා භාවිත කරති. මේ නිසා පොහොර ආනයනයට හෙවත් පිටරටින් ගෙන්වීමට විදේශ විනිමය වැය වේ.
මේ පදනම මත පර්යේෂණයේ දෙ වන පියවර මතු වේ. එනම් පර්යේෂණයට තාර්කිකයක් මතු වේ. එප්පාවල තිබෙන අපේ ම රටේ පොහොර වී වගාවට යොදා ගත හැකි නම් විදේශවලින් පොහොර ආනයනයට වැය වන වියදම ඉතිරි කර ගත හැකි වේ. අපේ ම පොහොර අපේ රටේ ම නිපදවා ගැනීමෙන් අප රටේ රක්ෂා උපදවා ගත හැකි නිසා එය රැුකියා හිඟය සඳහා වන පිළියමක් ද වේ. මේ නිසා එප්පාවල පොහොර වී වගාවට යෙදිය හැකි දැ යි සොයා බැලිම සඳහා දැනෙනසුලූ අවශ්‍යතාවක් ඇති වේ. පර්යේෂණයේ තාර්කිකය මතු වන්නේ මේ දැනෙනසුලූ අවශ්‍යතාවෙනි.
පර්යේෂණය සඳහා තාර්කිකයක් දැනෙනසුලූ අවශ්‍යතාව මතින් මතු වුණත්, මතු වූ ගැටලූව විසඳීම සඳහා එක වර ම පර්යේෂණ ගැටලූවට අදාළ දත්ත රැුස් කිරීමේ පියවරට නොපිවිසෙයි. එම පියවරට පිවිසීමට පෙර මතු වූ ගැටලූවට වෙනත් පර්යේෂකයන් විසින් විසඳුම් ලබා දෙනු ලැබ තිබේ ද? යනු විමර්ශනය කිරීම හෙවත් විමසීම අවශ්‍ය වේ. මෙය ‘පර්යේෂණ සාහිත්‍ය විමර්ශනය’ යන පර්යේෂණ ක‍්‍රියාවලියේ තෙ වන පියවරට පිවිසීමක් වේ. වී වගාවට පොහොර යෙදීම පිළිබඳ පර්යේෂණය ගත හොත්, එප්පාවල හමු වන පොහොර වී වගාවට යෙදීම පිළිබඳ ව මීට පෙර වෙනත් අය විසින් පර්යේෂණ කර තිබේ ද යනු පිළිබඳ ව සොයා බැලීම අවශ්‍ය වේ. එය එම ගැටලූව පිළිබඳ ව කරනු ලබන සාහිත්‍ය විමර්ශනයක් වේ. එවැනි පර්යේෂණ හමු නො වී නම් පොදුවේ වී වගාවට යෙදෙන පොහොර ගැන කර ඇති පර්යේෂණවලින් කරුණු හා සංකල්ප එකතු කර ගෙන සාහිත්‍ය විමර්ශණයෙන් තවදුරටත් ඉදිරි පියවරවලට යා හැකි ය.
‘සාහිත්‍යය’ යනුවෙන් අදහස් කරනුයේ මතු වී ඇති ගැටලූවට අදාළ ව පවතින ‘ප‍්‍රකාශිත’ දැනුම ය. එම ප‍්‍රකාශිත දැනුම ලිඛිත ව, පටිගත ව හෝ විද්‍යුත් මාධ්‍ය ලෙස පැවතිය හැකි ය. ප‍්‍රකාශිත ව පවතින දැනුම එය පවතින මාධ්‍ය අනුව එසේ වර්ග තුනකට බෙදිය හැකි සේ ම එම දැනුමේ ප‍්‍රකාශකගේ ස්වභාවය අනුවත් සාහිත්‍යයේ වර්ග දෙකක් හදුනා ගත හැකි වේ. ප‍්‍රාථමික මූලාශ‍්‍ර ආශි‍්‍රත සාහිත්‍යය හා ද්වීතීයික මූලාශ‍්‍ර ආශි‍්‍රත සාහිත්‍යය වශයෙනි.
ස්වකීය ඇසින් දුටු සාක්ෂ්‍ය අනුව කෙනකු යමක් කියා හෝ ලියා තිබේ නම් ඒ ප‍්‍රාථමික මූලාශ‍්‍ර වේ. මහරගම මංසන්ධියේ වාහන තදබදය දෑසින් දැක ඒ ගැන වාර්තාවක් ලියු පුවත්පත් වාර්තාකරුවකුගේ පුවත්පත් ලිපියක් ප‍්‍රාථමික මූලාශ‍්‍රයක් වේ. එහෙත් ‘මහා මාර්ග’ ගැන ව්‍යාපෘතියක් කරන ශිෂ්‍යයකු එම පුවත්පත් වාර්තාව උපුටා ගෙන ව්‍යාපෘති වාර්තාවේ සඳහන් කළේ නම්, එම ව්‍යාපෘති වාර්තාව, වාහන තදබදය ගැන දැනුම අඩංගු ද්විතීයික මූලාශ‍්‍රයක් වේ. ඒ, මහා මාර්ග ගැන ව්‍යාපෘතිය කරන ශිෂ්‍යයා, මහරගම වාහන තදබදය සිය දෑසින් නො දැකීමත් එය දෙ වන ඇසකින් බලා නැවත ඉදිරිපත් කිරීමත් නිසා ය.
ඔබ ‘රොබර්ට් නොක්ස්’ ලියු ‘එදා හෙළ දිව’ පොතත්, ‘ඈන් ෆ‍්‍රෑන්ක්’ ලියු ‘යෞවනියකගේ දින පොතත්’ කියවා ඇතැයි සිතමු. ඒවායේ මුල් කෘති ප‍්‍රාථමික මුලාශ‍්‍ර වේ. 15 වන සියවසේ කන්ද උඩරට සිරකරුවකු ලෙස ගත කළ ඉංග‍්‍රිසි ජාතිකයකු වු ‘රොබර්ට් නොක්ස්’ තමා ඇසින් දුටු දේ වාර්තා කර ලියු නිසා ‘එදා හෙළ දිව’ පොත ප‍්‍රාථමික මූලාශ‍්‍රයකි. 1940 දශකයේ තමා ජිවත් වු නගරයේ, ඉගෙන ගත් පාසලේ සහ හිට්ලර්ගේ නාසි හමුදාවට බියෙන් සැඟවී සිටි නිවසේ සිට තම අත්දැකිීම් ලියු ‘ඈන් ෆ‍්‍රෑන්ක්ගේ’ ‘දිනපොත’ ද ප‍්‍රාථමික මූලාශ‍්‍රයක් වේ.
අපි දැන් ඈන් ෆ‍්‍රෑන්ක්ගේ දිනපොතේ සිංහල පරිවර්තනයෙන් කොටසක් උපුටා ගනිමු.
පන්ති කාමරවල ඉගෙන ගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මානසික තත්ත්ව ගැන පර්යේෂණයක් කරන කෙනකුට, ‘ඈන් ෆ‍්‍රෑන්ක්’ නම් ශිෂ්‍යාවගේ අදහස් විමසා බැලීම අත්‍යවශ්‍ය වේ. එමගින්, 1940 දශකයේ ඕලන්දයේ පාසලක ගත කළ ළමයකුගේ මානසික තත්ත්ව ගැන දත්ත ලැබෙන නිසා ය. ළමයින් පන්ති කාමරයේ ගත කරන අවස්ථා ගැන පර්යේෂණ සඳහා ද එම කෘතිය පරිහරණය කළ හැකි ය.
ප‍්‍රාථමික හා ද්විතීයිික මූලාශ‍්‍ර යන සංකල්ප තවදුරටත් පැහැදිලි කර ගැනීම සඳහා අපි දැන් ‘ඈන් ෆ‍්‍රෑන්ක්’ ඕලන්ද භාෂාවෙන් ලියූ මුල් පොතේ ඇගේ ම අත්අකුරුවලින් කොටසක් සහ එම අත්අකුරුවල පරිවර්තනය ඔබ වෙත ඉදිරිපත් කරමු.
මේ උපුටා ගැනීම් දෙක ප‍්‍රාථමික මුලාශ‍්‍ර හා ද්විතීයික මුලාශ‍්‍ර සඳහා හොඳ උදාහරණ දෙකක් සපයයි. ‘ඈන් ෆ‍්‍රෑන්ක්’ ස්වකීය අත්අකුරින් ලියු දිනපොත ප‍්‍රාථමික මූලාශ‍්‍රය වන්නේ ය. එය පරිවර්තනය කර සිංහල මාධ්‍යයෙන් ලියු ‘ගංගා නිරෝෂණි සුදුවැලිකන්ද’ගේ ‘යෞවනියකගේ දින පොත’ නම් කෘතිය ද්විතීයික මුලාශ‍්‍රයක් වේ. ‘ඈන් ෆ‍්‍රෑන්ක්’ ඇසින් දුටු දේ වාර්තා කිරීමත්, එසේ වාර්තා කළ දේ දෑසින් නුදුටු අයකු නැවත පරිවර්තනය කර සිංහල භාෂාවෙන් ලියූ නිසාත් මේ ආකාරයෙන් ප‍්‍රාථමික හා ද්විතීයික මුලාශ‍්‍ර අතර වෙනස ඇති වේ.
පර්යේෂණයේ දී ප‍්‍රාථමික හා ද්විතීයික මුලාශ‍්‍ර දෙක ම වැදගත් වේ.
අපි පර්යේෂණයට පිවිසෙන්නේ පළමු ව ද්විතීයික මුලාශ‍්‍ර පරිහරණය කිරීමෙනි. ද්විතීයික මූලාශ‍්‍ර සොයා යාම සාපේක්ෂ ව පහසු නිසා ය. පෙළ පොත් හා විශ්ව කෝෂවල ඇත්තේ ද්විතීයික දැනුම ය. එහෙත් දිනපොත්, හැන්සාඞ් වාර්තා, වාර්ෂික වාර්තා, නඩු වාර්තා, ඡුායාරූප ආදී මුල් ලේඛන, ඒවා තැන්පත් කර ඇති පුස්තකාල හෝ ලේඛනාගාරවලින් ලබා ගත යුතු නිසා, පහසුවෙන් පරිහරණය කිරීම දුෂ්කර වේ. මේ නිසා පළමු ව ද්විතීයික මුලාශ‍්‍ර පරිහරණය කර, ඒ අනුව, ප‍්‍රාථමික මුලාශ‍්‍ර සොයා යාම අවශ්‍ය වන්නේ ය.
මේ ආකාරයෙන් මතු වූ ගැටලූවට වෙනත් පර්යේෂකයන් විසින් විසඳුම් ලබා දී තිබේ ද යන්න සෙවීමේ ක‍්‍රියාවලියේ හෙවත් පර්යේෂණ සාහිත්‍ය විමර්ශනයේ* නිරත වන පර්යේෂකට අදාළ ගැටලූව ගැන පවතින දැනුම ද එම දැනුමේ ශක්තීන් හා සීමා ද පැහැදිලි ව හඳුනා ගැනීමට අවකාශ ලැබේ. මේ හඳුනා ගැනීම පදනම් කර ගෙන තීරණ කිහිපයක් ගැනීමට පර්යේෂකයකුට අවකාශ ලැබේ.
දැනට ඇති දැනුම අනුව මගේ ගැටලූවට විසඳුම් ලබා දී තිබේ. එහෙයින් තවදුරටත් මේ ගැටලූව ගැන පර්යේෂණයක් කිරීමේ අවශ්‍යතාව භූමියේ තිබෙන පැන නො නගී. උදාහරණයක් වශයෙන්, එප්පාවල ‘ඒකීය සුපර් පොස්පේට්’, ආනයනික පොහොර වෙනුවට භාවිත කිරීමෙන් අස්වනු වැඩි විය හැකි බවට පර්යේෂණවලින් තහවුරු වී ඇති නිසා, ඒ ගැන නැවත පර්යේෂණයක් කිරීම අවශ්‍ය නැත.
දැනට ඇති දැනුම අනුව මගේ ගැටලූවට විසඳුම් ලබා දී තිබේ. එහෙත් ඒ දැනුම පදනම් කර ගත් විසඳුම ගැන මට සැහීමට පත්විය නොහැකි ය. එහෙයින් එම දැනුම නිවැරදි ලෙස නැවත පරීක්්ෂා කිරීම සඳහා පර්යේෂණයක් කළ යුතු ය. උදාහරණයක් වශයෙන් එප්පාවල තිබෙන ‘ඒකීය සුපර් පොස්පේට්’, ආනයනික පොහොර වෙනුවට භාවිත කිරීමෙන් අස්වනු වැඩි විය හැකි බවට පර්යේෂණවලින් තහවුරු වී ඇතත්, මේ පර්යේෂණ අනාවරණයක් මට සැක සහිත ය. එහෙයින් ඒ ගැන නැවත පර්යේෂණ කළ යුතු ය.
පවතින දැනුමින් මගේ පර්යේෂණ ගැටලූව ගැන කිසිදු විසඳුමක් ලබා දී නැත. එහෙයින් ගැටලූව ගැන නව පර්යේෂණයක් කිරීම අත්‍යවශ්‍ය වේ.
ගොඩ්වින් කොඩිතුවක්කු
‘ගවේෂණ සඟරාව’ (2006 මැයි-අගෝස්තු / 08 වන කලාපය*