පහේ ශිෂ්‍යත්වය ගැන දෙමව්පියන් සැලකිලිමත් විය යුත්තේ ඇයි?

ප්‍රජා වෛද්‍ය විශේෂඥ යමුනා එල්ලාවල
මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය
සෞඛ්‍ය අමාත්‍යාංශය

මීට ටික කලකට පෙර පහේ ශිෂ්‍යත්ව විභාගයට ලියූ දරුවන්ගේ ප්‍රතිඵල නිකුත් වෙලා තියෙනවා. ඉතින් ඇත්තට ම වැදගත් වෙනවා, මේ දරුවන්ගේ මානසික සෞඛ්‍යය ගැන මව්පියන් සැලකිලිමත් විය යුත්තේ කොහොම ද කියන එක ගැන අවබෝධයක් ලබා දෙන එක. අපි දන්නවා පහ වසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන්නේ අවුරුදු දහයේ දරුවන් බව. මේ වයස තමයි නව යොවුන් වියේ ආරම්භය. ඉතින් ළමා වියෙන් නව යොවුන් වියට පා නගන මෙම දරුවන්ගේ ශාරීරික ව මෙන් ම මානසික ව ද වෙනස්කම් රාශියක් වෙන්න පටන් ගන්නවා. හැඟීම්වලට අදාළ මොළයේ කොටස් කලින් ම වර්ධනය වුවත්, තීරණ ගැනීමට අදාළ මොළයේ කොටස් තවමත් වර්ධනය වෙලා නැහැ.

දරුවාගේ මොළයේ සිදු වන වෙනස්කම් එක්ක, මානසික යහපැවැත්මට බලපාන සමාජයීය, චිත්තවේගිය පුරුදු වැඩි දියුණු වන තීරණාත්මක කාල පරිච්ජේදයක් තමයි මේ වයස. මේ දරුවන් ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන්නේ අභියෝගාත්මක කාලයක. ඒ තමයි කොවිඩ් 19 වසංගතය එක්ක අධ්‍යාපනයට වුණු බාධා, අධ්‍යාපන රටාවේ ඇති වූ වෙනස්කම් (උදාහරණයක් ලෙස, මාර්ගගත අධ්‍යාපනයට යොමු වීම තුළ දරුවන්ට යම් යම් මානසික බලපෑම් ඇති වුණා, ඒ වගේ ම තමයි විභාග නියමිත දිනවලට පවත්වන්න නො හැකි වුණා) වැනි අභියෝග මැද මෙම දරුවන් මෙම විභාගයට මුහුණ දීම ම ජයග්‍රහණයක් කියලයි අප මව්පියන් විදිහට සිතන්න ඕනේ.

විභාගයක් කියලා කියන්නේ අධ්‍යාපනයේ එක් කඩඉමක් විතරයි. විභාගයකින් පස්සේ අධ්‍යාපනය නතර වෙන්නේ නෑ. ඒ නිසා දරුවන්ගේ සිතට අනවශ්‍ය බරක් පීඩනයක් නොදීමට දෙමාපියන් වග බලා ගත යුතුයි. තමාගේ ඉටු නො වුණු බලාපොරොත්තු, ආශා තම දරුවන්ගෙන් ඉටු කර ගැනීමට යාම අනුවණ කමක්. දරුවා කියන්නේ හැඩ රුවෙන් බොහෝ දුරට ඔබට සමාන වුවත් වෙනස් පෞරුෂයක් බව අප තේරුම් ගත යුතුයි.

විභාගයක් කියන්නේ නිතැතින් ම ආතතිය හා බැඳුණු දෙයක්. දරුවාට අනවශ්‍ය පීඩනයක් දීමෙන්, තම බලාපොරොත්තු දරුවාට දැනෙන්නට සැලැස්වීමෙන් වෙන්නේ ඒ පීඩනය, ඒ මානසික ආතතිය දෙගුණ තෙගුණ කිරීමක්. තවමත් වැඩෙන දරුවන්ගේ මනසට එය දරා ගන්න අමාරුයි. තම දෙමව්පියන්ගේ වැඩිහිටියන්ගේ බලාපොරොත්තු ඉටු කර දීමට හැකි වේ දෝ යන බියෙන් ආතතියෙන් තමයි ළමයි එවිට විභාගයට මුහුණ දෙන්නේ. ඒක ළමයාගේ මානසික යහ පැවැත්මට විශාල බාධාවක්. ඒ නිසා සමහර විට විභාගයේ දී තම හැකියා-දක්ෂතා හරිහැටි පෙන්වීමට ළමයා අපොහොසත් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථා සිද්ධි ගැන අපට සමාජයේ ඕන තරම් උදාහරණ හොයා ගන්න පුළුවන්.

අනවශ්‍ය ලෙස බලාපොරොත්තු තබා ගැනීමෙන් වෙන්නේ හදිසියේවත් ඒවා බිඳ වැටුණ හොත් දරුවාටත් වඩා ඔබට එය දරා ගත නො හැකි වෙන එක. දරුවා ගැන අධිතක්සේරුවෙන් සිටීම මෙන් ම අවතක්සේරුවෙන් සිටීම ද නො කළ යුතු දෙයක්. ඒ වගේ ම ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් ඔබේ දරුවාගේ මානසික මට්ටම පහත හෙලන අයුරින් ද දරුවා අධෛර්යවත් වන ආකාරයෙන් ද කතා නො කළ යුතුයි. ළමයාට තව ඉදිරියට මීටත් වඩා තරගකාරී කඩයිම් විභාගවලට මුහුණ දීමට සිදු වෙනවා. ඒ නිසා ශිෂ්‍යත්ව විභාගය පිළිබඳ ව ළමයාගේ සිතෙහි මහා බරක් පැටවීම මගින් විභාගයක් යනු ‘කටු ඉත්තක්‘ යන හැඟීම දරුවා තුළ ඇති වීමෙන් ඉදිරි විභාගවලට මුහුණ දීමේ දී වැඩි වශයෙන් මානසික ආතති තත්ත්ව ඇති විය හැකියි. මේ කාලයේ ඇති වන මානසික සෞඛ්‍ය ගැටලුවලට නිසි පිළියම් නො යෙදුව හොත් එම තත්ත්ව තරුණ විය සහ වැඩිහිටි විය දක්වා ම විහිදී ගොස් අනාගතයේ වැඩිහිටියන් ලෙස තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට බාධා වෙන්න පුළුවන්.

එනිසා පහ වසර ශිෂ්‍යත්ව විභාගයට මෙවර පෙනී සිටි දරුවන්ගේ මෙන් ම ඉදිරියේ දී ඒ සඳහා සූදානම් වන දරුවන්ගේ දෙමව්පියන්, දරුවාගේ මානසික සෞඛ්‍යයට අහිතකර බලපෑමක් ඇති නො වන ආකාරයෙන් කටයුතු කරන්න සිතට ගත යුතුයි. දරුවාගේ වටිනාකම විභාග ප්‍රතිඵලයේ තියෙන ලකුණට ලඝු කරන්න එපා. ඒ මත මනින්න එපා. සමහර දෙමව්පියන්ට ළමයා විභාගය සමත් වුවත් ලැබූ ලකුණු ගණන ගැන සෑහීමකට පත්වෙන්න අපහසුයි. තම දරුවාගේ ලකුණු අනිත් දරුවන්ගේ ලකුණු හා සසඳමින් පසු තැවෙනවා විතරක් නෙවෙයි, දරුවාටත් අහිතකර මානසික බලපෑම් ඇති වෙන ආකාරයට කටයුතු කරනවා. තාම වර්ධනය වන මට්ටමේ පසු වෙන ළමා මනසට ඒවා දරා ගන්න හරි ම අමාරුයි.

පහේ ශිෂ්‍යත්වය වගේ ම අනිත් විභාගවලින් විශිෂ්ට සාමර්ථ්‍ය නො ගත් විද්වතුන් පිළිබඳ අපි ඕන තරම් අහල තියෙනව. අනවශ්‍ය ලෙස බලාපොරොත්තු තබා ගැනීමෙන් වෙන්නේ ඒවා බිඳ වැටුණු විට දරුවාටත් දෙමව්පියන්ටත් එය දරා ගන්න බැරි වෙන එක; දෙමව්පියන් ද මානසික ව වැටෙන එක. ඔබේ බලාපොරොත්තු ඉටු කරන්නට බැරි වීම නිසා ඔබේ දරුවා ඔබට හොරා කොච්චර හිතින් තැවෙනවා ඇති ද? හැම දරුවෙක් ම එකිනෙකාට වෙනස්. ඔවුන්ගේ වෙනස් හැකියා තියෙනවා. ඒවා හඳුනා ගෙන දරුවාගේ ඉදිරි අනාගතය යහපත් කර ගන්න උදව් වෙන්න ඕන. දෙමව්පියන් ලෙස අපි මෙහි දී හොඳින් බුද්ධිමත් ව හැසිරිය යුතුයි. මොක ද ඉදිරියට මීට වඩා ඉතා වැදගත් කඩයිම් විභාග තියෙනවා. ඒක නිසා ළමයට මේ විභාගය කියන අත්දැකීම ‘කටු ඉත්තක්‘ බවට පත් නො කරන්න අපි දෙමාපියන් විදිහට වග බලා ගත යුතුයි.

සමහර වෙලාවට දරුවා ගෙදර ඇවිත් කියන්නේ තමන්ගේ ඇත්ත කතාව නො වෙන්න පුළුවන්. හරියට ලිව්වේ නෑ කියලා කිව්වොත් දෙමාපියන් තමන්ට බනියි – නැත්නම් දුක් වෙයි කියලා සමහර දරුවන් විභාගයේ දී තමන් මුහුණ දුන්න දුෂ්කරතා කියන්න මැලි වෙනවා. ඇත්ත ප්‍රතිඵලය දකින්න පුළුවන් වෙන්නේ ප්‍රතිඵල නිකුත් වුණා ම. එතකොට තමන්ගේ දරුවා විභාගයට හොඳට ලිව්වා කියන මානසිකත්වයෙන් ඉන්න දෙමව්පියන්ට මේක දරා ගන්න හරි ම අමාරුයි. මොක ද පහේ ශිෂ්‍යත්වය කියන්නේ දරුවන්ට වඩා දෙමව්පියන්ගේ තරගයක් නිසා. මේ සඳහා දෙමව්පියන් කොච්චර වෙහෙස වෙනව ද කැප කිරීමක් කරනවා ද? ඒවායේ ප්‍රතිඵල නැති වුණා ම හිතට දුකක් කලකිරීමක් දැනෙන බව ඇත්ත. ඒත් ඒවා දරුවාට දැනෙන්නට සැලැස්වීමෙන් වෙන්නේ පීඩනයෙන් ඉන්න දරුවාගේ මානසික මට්ටම තවත් පහළට හෙලීමක්.

අපේ රටේ ඉන්න විද්වතුන් විශිෂ්ට පුද්ගලයින් ගත්තා ම ඒ අය අතර ඕන තරම් අය ඉන්නවා ශිෂ්‍යත්වය සමත් නො වුණු. ඒ නිසා ශිෂ්‍යත්වය කියන්නේ තවත් එක් විභාගයක් පමණයි යන්න අවබෝධ කර ගැනීම හරි ම වැදගත්. දරුවාට ඇති වූ ‘මානසික තුවාලය‘ හොඳ වෙන්න කල් යනවා. තවත් සමහරුන්ට ඒක මුළු ජීවිත කාලය පුරා ම මතක හිටිනවා; සැරින් සැරේ හිතට වද දෙනවා. අපි දන්නවා විභාගයක් ඉවර වුණා කියලා එතනින් අධ්‍යාපනය ඉවර වෙන්නේ නෑ නේ. ඉතින් ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල ඇවිල්ලා, ඒ ප්‍රතිඵල ගැන සෑහීමකට පත් වන, කනස්සල්ලක් ඇති නො වී සිටින කොටසකුත් ඉන්නවානේ. ගොඩක් වෙලාවට ඔවුන් අපේක්ෂාවෙන් සිටි ප්‍රතිඵලයටත් වඩා ‘අපේක්ෂිත බලාපොරොත්තු‘ වෙන්න පුළුවන්. සමහරවිට ඒ දරුවාගේ බලාපොරොත්තුව නෙවෙයි. දරුවා වෙනුවෙන් දෙමාපියන් වැඩිහිටියන් තැබූ බලාපොරොත්තුව වෙන්න පුළුවන්.

අපි දන්නවා අපේ දරුවා මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන්නේ විශාල අභියෝග මැද කියලා.

■ එක දිගට පාසල් අධ්‍යාපනය ලබන්න බැරි වුණා.
■ අධ්‍යාපන රටාවේ වෙනස්කම් ඇති වුණා.
■ අනෙක් ළමයි සමග යාළු වෙවී රණ්ඩු වෙවී පාසලේ ගත කරන කාලයට වැට බැදුණා.
■ මාර්ගගත අධ්‍යාපනයට යොමු වුණා. ඒක අලුත් දෙයක් වුණා. සමහර ළමයින්ට හරියට තාක්ෂණික පහසුකම් නැති වුණා.
■ ඒක නිසා සාමාන්‍ය විභාග ආතතියට තවත් ආතති එකතු වෙලා දරුවාගේ මානසික සෞඛ්‍යයට යම් බලපෑමක් ඇති කරා.
   ඒ විදිහට බලන කොට ඒ අභියෝග ජය ගෙන විභාගයට මුහුණ දෙන්න පුළුවන් වුණා කියන්නෙත් විශාල ජයග්‍රහණයක්. විභාගය කෙසේ වෙතත් ඔබේ දරුවා අභියෝග ජය ගත් දරුවකු විදියටයි ඔබ දකින්න ඕනා.
   දැන් කරන්න ඕනේ ඔබේ අරමුණ කරා යන්න මේ ප්‍රතිඵලය ප්‍රමාණවත් නැති නම් අතීතය ගැන පසු තැවෙන එක නෙවෙයි. අලුත් ජවයකින් ඒ අරමුණට යන්න ඔබ වැඩ පටන් ගන්න එක.

රජින්ද්‍රා සිරිවර්ධන
පර්යේෂණ සහ සංවර්ධන ආයතනය