මහජන සෞඛ්‍ය පර්යේෂණවලින් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට දියුණු රටකින් පාඩම්

ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රොනල්ඩ් ඔ’ඩොනල් සමග කළ සම්මුඛ සාකච්ඡාවකි

ඔබ මේ වන විට ගිණිකොණ ආසියාවේ රටවල් සමග සහයෝගි ව කරන පර්යේෂණ අත්දැකීම් සමග අපි මේ සාකච්ඡාව පටන් ගනිමු?

   ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ අලුතින් ඇරඹු චර්යාමය සෞඛ්‍යය පිළිබඳ ආචාර්ය උපාධි වැඩසටහනේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළා. එහි අරමුණ වූයේ සායන හා කළමනාකරණ කුසලතා ඒකාබද්ධ කිරීමයි. දියවැඩියාව වැළැක්වීම, දුම්පානය නැවැත්වීම, අහිතකර මත්පැන් භාවිතය අවම කිරීම, අවපීඩනය සහ කාංසාව කළමනාකරණය වැනි විවාදාපන්න ක්ෂේත්‍රවල චර්යාමය වෙනස්කම් සදහා විශේෂඥයන් යොදා ගැනීම මෙහි දී සිදු කෙරෙනවා.
   2010 දී පමණ මට හමු වූ හොංකොං දූපතේ මනෝවිද්‍යාඥයකු මේ විෂයමාලාව චීනයටත් උචිත බව පැවසුවා. ඒ අනුව චීනයට කිහිප වරක් ගොස් එහි රෝහල් හා විශ්වවිද්‍යාලවල මේ පිළිබඳ උනන්දුව වැඩි කර ගත හැකි වුණා. පසු ව, කොවිඩ් 19 අර්බුදය ඇති වීමට පෙර, නැවත චීනයේ කළ දේශන හා ඉදිරිපත් කිරීම්වලින් චීනයේ භෞතික චිකිත්සකයන්, හෙදියන්, මනෝ විද්‍යාඥයන් පුහුණු කළ හැකි වුණා. අනතුරු ව තායිවානය, වියට්නාමය, තායිලන්තය, කාම්බෝජය, ඉන්දියාව හා බංග්ලාදේශය යන රටවල ද මේ කාර්ය ව්‍යාප්ත කළ හැකි වුණා. මෙහි දී මා කළේ සමෝධානිත සෞඛ්‍ය ආරක්ෂාව බල ගැන්වීම හා සේවකයන් පුහුණු කිරීමයි. උදාහරණයක් විධියට, රෝගින් ගැන සමීක්ෂණ පර්යේෂණ කර, කායික හා මානසික ගැටලු ද ජීවන රටා අභියෝග ද අත්දකින ප්‍රමාණය හඳුනා ගන්නට කටයුතු කළා. ඒ අනුව සේවකයන්ට, ඒ ගැටලුවලට විසඳුම් ලබා ගැනීමටත් පෝෂණය හා ආහාර වර්ධනයට අවශ්‍ය චර්යා වෙනස් කර ගැනීමටත්, ව්‍යයාම වැඩි කර ගැනීමටත් පුහුණුව ලබා දෙන ලබා දුන්නා. දකුණු ආසියාවේ සංස්කෘතියට උචිත පරිදි, ආතතිය හා කාංසාව පිළිබඳ මැදිහත් වීමට ද කටයුතු කළා.

ඔබ ආසියානු රටවල ලද අත්දැකීම්, ඇමරිකාවේ ලද අත්දැකීම්වලට වඩා වෙනස් ද?

ඔව්. සම්පත් සැලකුව හොත්, චීනයේ හා ගිණිකොණ ආසියා රටවල සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතිය, ඇමරිකාවට වඩා පසුපසින් තිබෙන්නේ. මුල්‍යමය දුෂ්කරතා පවතිනවා. එය නැති කර ගන්න නිලධාරින්ට අල්ලස් දෙන්න වෙනවා. අන්තර් ජාතික සෞඛ්‍ය ආරක්ෂණය සහිත මැනවින් සම්පත් ඇති රට වන්නේ තායිලන්තයයි. ඒ මගින් ඔවුන්ගේ සංස්කෘතිය හා නායකත්ව ලක්ෂණ ද නිරූපණය වෙනවා. වියට්නාමය, තල කීපයකින් ම පහළ මට්ටමක තියෙන්නෙ. ඔවුන්ට විශේෂයෙන් මානසික සෞඛ්‍යයට අදාළ සම්පත් තිබෙන්නෙ ඉතා ම අඩුවෙන්. අනික් රටවල ද සම්පත් පවතින්නේ ඇමරිකාවට සාපේක්ෂ ව ඉතා ම අඩුවෙන්.

ඔබේ මතය අනුව, ඇමරිකා එක්සත් ජනපදයට වඩා, ගිනිකොණ ආසියානු රටවලට තිබෙන ශක්තීන් මොනවා ද?

   ඇමරිකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සපයන භෞතික චිකිත්සකයකු දිනකට බලන්නේ ලෙඩුන් 25 දෙනකු පමණයි. ඒත් චීනයේ 50 සිට 125 දක්වා ලෙඩුන් බලනවා. මෙය රෝගි ප්‍රතිකාරයට අදාළ ඉහළ ම මට්ටමේ රටාවක් නොවුණත් අවම මට්ටමින් හෝ රෝගින්ට පහසුකම් සැපයීමක් කෙරෙනවා. වියට්නාමයේ හා තායිලන්තයේ ප්‍රජා සෞඛ්‍ය සේවක සහාය පළල් ලෙස භාවිත කරනවා. සෞඛ්‍ය සේවා සදහා විශ්‍රාමිකයන් පුහුණු කිරීම නිසා, කායික සෞඛ්‍යය සේවයේ වැඩි වීමක් හා ආතතිය සදහා ප්‍රතිකාරවලට මැදිහත් වීමක් ද වෙනවා. ආතතිය කළමනාකරණයට දහස් ගණන් සාමාන්‍ය පුරවැසියන් පුහුණු කර තිබෙනවා.
   නව තාක්ෂණය සෞඛ්‍ය සේවා සමෝධානයට, ඇමරිකාවට වඩා හොඳින් තායිලන්තයේ භාවිත වෙනවා. සංස්කෘතික වටපිටාව ද මෙහි සැලකිය යුතු බලපෑමක් සිදු වෙන බව විශේෂයෙන් කිව යුතුයි. උදාහරණයක් විධියට තායිලන්තයේ නිවෙස් අහිමි පුරවැසියන් අඩුයි; ඊට හේතුව වෙන්නෙ තායිලන්ත සංස්කෘතියේ පවුල හෝ බෞද්ධ ස්ථානවලින් ඒ සඳහා අදාළ සේවා සපයන නිසා. ඉන්දියාවේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙන්, කායික හා මානසික සෞඛ්‍ය සමෝධානය කර ප්‍රතිකාර ලබා දෙනවා. සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම, ඒ අනුව, නූතන සෞඛ්‍ය සේවාවලට සමගාමී ව භාවිත කෙරෙනවා.

ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක්. ඔබේ අත්දැකීම් අනුව ශ්‍රී ලංකාව වැනි  රටවල පර්යේෂණ පාදක සංවර්ධනය සඳහා අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර මොනවා ද?

   මට ශ්‍රී ලංකාව ගැන ඇත්තේ මූලික දැනුමක් පමණයි. දුප්පත් රටක් නිසා මනොවිද්‍යාඥයන් මේ කාර්යයට යොදවන්න හැකියාවක් නැහැ. දැනට සිටින සේවකයන්, විශේෂයෙන් සමාජ සේවකයන්, කායික හා මානසික සෞඛ්‍ය සේවා සැපයීමට පුහුණු කරන්න පුඵවන්. එහෙත් ඔවුන් දැනට කරනුයේ ප්‍රජාව සතු සම්පත් හඳුනා ගැනීම පමණයි.

අන්තර්ජාතික පර්යේෂණ සහයෝගිතාව (international research collaboration)සංවර්ධනය වෙමින් පවතින රටවලට වැදගත් වන්නේ සහ උදව් වන්නේ කෙසේ ද? 


අන්තර්ජාතික පර්යේෂකයන් මේ සම්බන්ධයෙන් සැලකිය යුතු වැඩ කොටසක් කර තිබෙනවා. මම පර්යේෂණ මනෝවිද්‍යාඥයෙක් නෙවෙයි. සායනික මනෝවිද්‍යාඥයෙක් සහ මහාචාර්යවරයෙක්. මම රටවල් ගණනාවක සමීක්ෂණ පර්යේෂණ කර තිබෙනවා. පර්යේෂණ ප්‍රදාන ලැබුණත් ඒවා නිම වූ පසු අඛණ්ඩ ව කර ගෙන යාමට රජයේ අරමුදල් නොයෙදවීම ඌනතාවක්.

අපි දැන් ඇමරිකාව දෙසට හැරෙමු. ඔබේ දැක්ම අනුව, ඇමරිකාවේ මහජන සෞඛ්‍ය පර්යේෂණ, රටේ දියුණුවට උදවු වී තිබෙන්නේ කෙසේ ද?

ඇමරිකාව මේ පිළිබද ව ඉදිරියෙන් ඉන්නවා; අධික වියදමක් ද දරනවා. හිටපු ජනාධිපති ඔබාමා, සම්මත කළ ‘සෞඛ්‍ය සේවා ප්‍රතිසංස්කරණ’ අනුව සමෝධානිත සෞඛ්‍ය සේවා සදහා බොහෝ මුදල් වෙන් වූවා. පර්යේෂණ, තාක්ෂණය හා විද්‍යුත් සෞඛ්‍යය බොහෝ ඉදිරියට ගියා. රක්ෂණ ආවරණය ඉහළ ගියා. එහෙත් දුර්වලතාත් තියෙනවා. වියදම ඉහළ ගියත් ඒ සෞඛ්‍ය සේවා ඉහළ ගිය නිසා නෙවෙයි; භෞතික විද්‍යාඥයන්, හෙදියන්, බෙහෙත්ශාලා, ආදියේ මිල අධික වූ නිසයි.
ඇමරිකාවේ පර්යේෂණ ප්‍රදාන අවස්ථා විශාල වශයෙන් තිබෙනවා. ඒ මගින් නවෝත්පාදන ඇති වෙනවා. කොවිඩ් ප්‍රශ්නය ආවත් මේ ප්‍රවණතාව අඩු වෙලා නෑ. රජය මගින් ද පර්යේෂණ ප්‍රදාන ලබා දීම දිගට ම කෙරෙනවා. ඒවා සීමා කර නැහැ. රජය මගින් හෝ රූපවාහිනිය, සමාජ මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය මගින් මීට අදාළ දැනුම හා තොරතුරු සමාජයට රැගෙන යනවා.

මෙය කණ්ඩායම් හැඟීමෙන් කරන්නක් බව පැහැදිලියි. උගතුන්ගෙන් මේ සඳහා ඇති දායකත්වය කෙබදු ද?

උගතුන් නිතර ම, පර්යේෂණ සඳහා  රජයේ ආධාර මත රඳා පවතිනවා. ආධුනික පර්යේෂකයන්ට පළමු ව ආධාර ගැනීමේ දී අභියෝග මතු වුණත් පළපුරුදු පර්යේෂකයන්ට ඒ අභියෝගය ඇති වන්නේ නැහැ.

ඇමරිකාවේ ‘පර්යේෂණ සහ සංවර්ධන’ මොඩලයෙන් ලංකාව වගේ රටකට ගත හැකි සුවිශේෂී පාඩම් මොනවා ද?

විද්‍යාවේ ක්‍රියාත්මකභාවය මෙහි දී ඉතා වැදගත්. උදාහරණයක් ලෙස පර්යේෂණ ප්‍රදානයක් ලැබුණු පසු සහ එය ක්‍රියාත්මක කර අවසන් වූ පසු, අදාළ පසුතලයේ ක්‍රියාත්මකභාවය, නැවතුණොත් පලක් නැහැ. පර්යේෂණ ප්‍රදානය නැතත් ක්‍රියාත්මකභාවය දිගට ම පැවතිය යුතුයි. පර්යේෂණ සදහා වන වියදම් අඩු කර ගන්නත් කටයුතු කළ යුතුයි. මෙය අපහසු වන්නේ, පර්යේෂකයන්ගේ ගෙවීම් අඩු කර ගැනීම, දේශපාලනික වසයෙන් වුවත් අපහසු වන කරුණක් වන නිසා ය.

ශ්‍රී ලංකාවේ ‘පර්යේෂණ සහ සංවර්ධන’ ශක්‍යතා වැඩි කරන්න, ප්‍රතිපත්ති සම්පාදකයන්ට ඔබ දෙන උපදේශය කුමක් ද?

සෞඛ්‍ය සේවා සඳහා අයවැය සකසන රජයේ නිලධාරින් මේ ගැන දැනුම්වත් කරන්න අවශ්‍යයි. සෞඛ්‍යයෙන් වන සේවය (උදා- දියවැඩියාවට ප්‍රතිකාර කළොත්, ඒ සදහා වන වියදම අඩු වී එරටේ ආර්ථිකය දියුණු කරන්න පුඵවන්) ගැනත් ඔවුන් ව ගැඹුරට හිතන්න යොමු කරන්න ඕන.

අවසන් වශයෙන් ඔබ ශ්‍රී ලංකාවේ පර්යේෂකයන්ට ලබා දෙන උපදේශය කුමක් ද?

තිරසර බව සලකා, ඔබට ලැබෙන පර්යේෂණ ආධාර එක්ක කටයුතු කරන්න අවශ්‍යයයි. ප්‍රදාන ලැබෙයි කියා බලා සිටීමට වඩා ඒවා ලබා ගන්න සැලසුම් කරන්න වුවමනායි.

සම්මුඛ සාකච්ඡා කර ලෙඛනගත කළේ
බිනෝලි හේරත්
ආචාර්ය උපාධි අපේක්ෂිකා, ඇරිසෝනා රාජ්‍ය විශ්වවිද්‍යාලය,

සිංහල පරිවර්තනය
ආචාර්ය ගොඩ්වින් කොඩිතුවක්කු

මෙම සම්මුඛ සාකච්ඡාවේ සම්පූර්ණ ලිපිය www.gaveshana.lk වෙබ් අඩවියෙන් කියවිය හැකි ය