මානසික අවපීඩනයට සරල මෙන් ම ඵලදායි නව ප‍්‍රතිකාර ක‍්‍රමයක්…

මානසික අවපීඩනය හෙවත් විශාදය නමැති මානසික රෝගී තත්ත්වය අද ලෝකය පුරා බහුල ව කතාබහට ලක්වන රෝගයක් බවට පත් ව ඇත. ලෝකය පුරා ලක්ෂ ගණනක් වැඩිහිටියන් මෙන් ම ළමයි ද මෙම රෝගයෙන් පීඩා විඳිති.

“ප‍්‍රජනන-චර්යා ප‍්‍රතිකාරය” (Cognitive Behavior Therapy (CBT)) යනු විශාදයෙන් පෙළෙන්නන් සඳහා වූ ඉතාමත් ඵලදායි, ඖෂධ ප‍්‍රතිකාර තරමට ම යහපත් ප‍්‍රතිඵල ලබා දීමට සමත් ප‍්‍රතිකාර ක‍්‍රමයක් නමුත් CBT ප‍්‍රතිකාර ඉතාමත් පළපුරුදු මනෝ චිකිත්සකයන් විසින් පමණක් කළ යුත්තකි. CBT ප‍්‍රතිකාර ලබා ගැනීමට බි‍්‍රතාන්‍යයේ පවා රෝගීන් දස දෙනකුගෙන් එක් අයකුට වසරක පමණ කාලයක් බලා සිටීමට සිදු වේ. එමෙන් ම එය මිල අධික ප‍්‍රතිකාර ක‍්‍රමයකි.

මිට පිළියමක් ලෙස CBT තරමට ම ඵලදායී නවතම මනෝ චිකිත්සක ප‍්‍රතිකාර ක‍්‍රමයක් බි‍්‍රතාන්‍ය පර්යේෂක කණ්ඩායමක් විසින් සොයාගනු ලැබ ඇත. මෙම ප‍්‍රතිකාර ක‍්‍රමය හඳුන්වන්නේ Behavioral activation නැත හොත් “චර්යා සක‍්‍රියනය” යන නමිනි. ඒ පිළිබඳ ව ප‍්‍රධාන පර්යේෂක මහාචාර්ය ඬේවිඞ් රිචඞ්ස් පවසනුයේ මෙවැන්නකි. “මෙම ප‍්‍රතිකාරය මගින්  විශාද රෝගීන්ගේ චර්යා සහ ඔවුන්ගේ මනෝ භාව අතර මනා සබඳතාවක් ගොඩ නගනවා. එය විශාදයෙන් පෙළෙන්නන්ට ඔවුන්ගේ චර්යා රටාවන් යහපත් ලෙස වෙනස් කර ගැනීමට උදව් කළ හැකි සරල ප‍්‍රතිකාර ක‍්‍රමයක්. චර්යා සක‍්‍රියනය මගින් රෝගීන් ගේ එදිනෙදා ජිවිතයේ කටයුතු පිළිබඳ ව ධනාත්මක ව සිතීමට පුරුදු පුහුණු කළ හැකියි. එමගින් ඔවුන්ට දුෂ්කර අවස්ථාවන්ට මුහුණ දීමට සහ සෘණාත්මක චර්යාරටාවන් වෙනස් කර ගැනීමට අවස්ථාවක් ලබා දිය හැකියි.” වඩාත් ම වැදගත් වන්නේ කෙටිකාලීන පුහුණුවක් ලබා දීමෙන් පසු කනිෂ්ඨ සෞඛ්‍ය සේවකයන් යොදාගෙන වුව ද මෙම ප‍්‍රතිකාර ක‍්‍රමය කළ හැකි වීමයි.

මෙම පර්යේෂණය සඳහා මහාචාර්ය රිචඞ්ස් ඇතුළු පිරිස විශාදයෙන් පෙළෙන, වයස 18ට වැඩි පුද්ගලයන් 440ක් සම්බන්ධ කරගනු ලැබුහ. ඔවුන් අතරින් අහඹු ලෙස තෝරාගත් කණ්ඩායමක් (221) කණිෂ්ඨ මනෝ සෞඛ්‍ය සේවකයන් විසින් පැවැත්වූ Behavioural activation සැසිවාර සඳහා යොමු කළ අතර ඉතිරි පිරිස (219) පළපුරුදු ජ්‍යෙෂ්ඨ මනෝ චිකිත්සකයන් විසින් පැවැත්වූ CBT සැසිවාර සඳහා යොමු කරනු ලැබුහ. උපරිම සැසිවාර ගණන 20ක් වූ අතර ප‍්‍රතිකාරය වසරක් පුරා සිදුකරනු ලැබුවේ ය.

සාමාන්‍යයෙන් සිදු වන පරිදි පර්යේෂණයට සහභාගි වූ අයගෙන් 20-30%ක් අතර ප‍්‍රමාණයක් සැසි වාර 8ක් හෝ ඊට අඩු ගණනක් ඇතුළත පර්යේෂණයෙන් ඉවත් වූ අතර ඔවුන්ගේ තොරතුරු දත්ත විශ්ලේෂණයට ඇතුළත් කර නොමැත. අවසන් ප‍්‍රතිඵලවලට අනුව පෙනී ගියේ CBT ප‍්‍රතිකාරය තරමට ම Behavioral Activation ප‍්‍රතිකාර ක‍්‍රමය ද සාර්ථක වූ බවයි. වසරක් පුරා ම ප‍්‍රතිකාරය ලබා ගත් කණ්ඩායම් දෙකේ ම රෝගීන්ගේ විශාද රෝග ලක්ෂණ 50%ක අඩු වීමක් දක්නට ලැබුණි. වැඩිදුරටත්, කණ්ඩායම් දෙකේ ම රෝගීන්ගේ කාංසාව හා විශාද සිතුවිලිවලින් තොර වූ දින ගණන් සහ රෝගී තත්ත්වය මැඩ පැවැත්වූ වාර (remissions) ගණන සමාන බව වාර්තා වුණි.

පර්යේෂණයෙන් සොයා ගත් පරිදි “චර්යා සක‍්‍රියන” ප‍්‍රතිකාර ක‍්‍රමය සඳහා වැය වන්නේ CBT ප‍්‍රතිකාර ක‍්‍රමයට වැයවන පිරිවැයෙන් 20%ක් පමණ අඩු ප‍්‍රමාණයක්. ඊට අමතර ව කෙටි කාලීන පුහුණුවක් ලැබූ සෞඛ්‍ය සේවකයන් එයට ඉතාමත් ඉක්මනින් සහ සහසුවෙන් සහභාගි විය හැකියි. මෙය ප‍්‍රතිඵල අතින් ඉතාමත් ඵලදායී එමෙන් ම සරල ප‍්‍රතිකාර ක‍්‍රමයක්. මහාචාර්ය රිචර්ඞ්ස් පවසන පරිදි, “චර්යා සක‍්‍රියනය බි‍්‍රතාන්‍යයේ පමණක් නොවෙයි, ලොව පුරා වසන විශාද රෝගීන් සඳහා වූ ප‍්‍රමුඛ පෙළේ ප‍්‍රතිකාර ක‍්‍රමයක් ලෙස නිර්දේශ කළ හැකියි.”

References:

Richards D.A, Ekers D, Mc Millan D, et al.(2016) Cost and outcome of  behavioral activation versus cognitive behavioral therapy for depression (COBRA). A randomized, controlled, non-inferiority trial. Lancet doi: 10.106/ s 0140-6736 (16)31140-0

-කල්පනී අභයසිංහ-