මේ අභිමානවත් රට ඔබේ ය

ඉන්දියාවේ හිටපු ජනපති ආචාර්ය අබ්දුල් කලාම් ඉන්දියානු ජනතාවට දුන් පණිවිඩය

ඉන්දියාවේ ‘න්‍යෂ්ඨික ව්‍යාපෘතියේ පියා’ ලෙස ලෝක ප්‍රකට එරට හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම්ගේ දේශනයක් විද්්‍යුත් තැපෑල මගින් ඉන්දියානු ජාතිකයන් අතර, ප්‍රචාරය කරන ලදී. ඉන්දියානු විඥානය කළඹවාලීමට තුඩු දුන් වැදගත් සහ සිතුවිලි පුබුදු වන විවාදාපන්න ගැටලු, එම පණිවිඩයේ අඩංගු විය. ශ්‍රී ලාංකික අපට, අප ගැනත් අපේ රට ගැනත් සිතන්නේ නම් ශ්‍රී ලාංකික විඥාණය කළඹවාලීමට මේ දේශනය සමත් වනු ඇත.

මෙරටේ ජනමාධ්‍ය මේ තරම් සෘණ දෘෂ්ඨිකෝණයකින් බලන්නේ ඇයි? ඉන්දියාවේ අප, අපේ ශක්තීන් හා ජයග්‍රහණ පිළිගැනීමට ලැජ්ජා වන්නේ මන්ද? අපට අපේ රටේ සාර්ථක වූ උත්සාහ පිළිබඳ ආශ්චර්යවත් කතන්දර ගණනාවක් ඇත. ඒවා පිළිගැනීමට අප මැළිවන්නේ ඇයි?

1. ලෝකයේ වැඩියෙන් ම කිරි නිෂ්පාදනය කරන රට අප ය
2. දුරස්ත සංවේදී චන්ද්‍රිකා තාක්ෂණයෙන් අපි පළමු තැන සිටිමු
3. තිරිගු නිෂ්පාදකයන් අතර අපි දෙ වන තැන සිටිමු
4. සහල් නිෂ්පාදකයන් අතර අපි දෙ වන තැන සිටිම

මේ ආකාරයේ සාධනයන් සහ ජයග්‍රහණ මිලියන ගණනක් වුවත්, අපේ මාධ්‍ය නරක ප්‍රවෘත්ති, පරාජයන් සහ ව්‍යසනවලින් ආරූඨ වී ඇත. වරෙක මම ටෙල්අවිව් නගරයේ සිටිය දී ඊශ්‍රායල පුවත් පතක් කියවීමි. පහරදීම් සහ බෝම්බ දැමීම් ගණනාවකට පසු දින මේ පුවත්පත පළ විය. හමාස් සංවිධානය කළ පහර දීමකින් විනාශ සහ මරණ සිදු වී තිබුණි. එහෙත් පුවත්පතේ මුල් පිටුවේ වූයේ, තමාට අයත් කාන්තාර භූමියක්, තම ධෛර්යයෙන් උද්‍යානයක් සහ ධාන්‍යාගාරයක් බවට පත් කළ යුදෙව් මහතෙකු පිළිබඳව යි. මෙවැනි උද්යෝගය දනවන ඡායාරූප දකිමින් සියලු දෙනා අවදි වෙති. මරණ, බෝම්බ දැමීම්, මිණී මැරුම් වැනි පුවත්, පුවත්පතේ ඇතුළු පිටුවල අනෙකුත් පුවත් අතරතුර වැළලී ඇත.

ඉන්දියාවේ දී අප කියවන්නේ මරණ, රෝග, ත්‍රස්තවාදය, අපරාධ ගැන පමණි. අප මෙතරම් සෘණ පැත්තට බර වන්නේ ඇයි?

තවත් ප්‍රශ්නයක් ජාතියක් වශයෙන් අප පිටරට දේවල්වලට මෙතරම් යට වන්නේ ඇයි? වැළඳගන්නේ ඇයි? අපට විදේශ රටවලින් රූපවාහිනි අවශ්‍යයි, ඇඳුම් අවශ්‍යයි, තාක්‍ෂණය අවශ්‍යයි. මේ ආකාරයෙන් ආනයනය කළ සියලු දේ කෙරෙහි අප බැඳී සිටින්නේ ඇයි? ආත්ම විශ්වාසයෙන් ආත්ම අභිමානය මතුවන බව අප තේරුම් ගෙන නැද්ද? වරෙක මම හයිඩ්‍රබාදයේ දේශනයක් පවත්වමින් සිටියෙමි. අවුරුදු 14ක ගැහැනු ළමයකු මට ඇයගේ සමරු පොතේ අත්සන් කරන්න යැයි ඉල්ලු විට, ඇගේ ජීවිතයේ අරමුණ කුමක් දැයි මම විමසීමි. ‘සංවර්ධනය වූ ඉන්දියාවක ජීවත් වීමට මට අවශ්‍යය යයි’ ඇගේ පිළිතුර විය. ඇය වෙනුවෙන් ඔබත් මමත් මේ සංවර්ධනය වූ ඉන්දියාව ගොඩ නැංවිය යුතු ය. ඔබ මෙසේ ප්‍රකාශ කළ යුතු ය. ඉන්දියාව යනු නොදියුණු දේශයක් නො වේ. එය අතිශයින්ම දියුණු දේශයකි. ඔබට ඔබේ රට වෙනුවෙන් විනාඩි 10ක් වෙන් කළ හැකි ද? එසේ නම් මේ ලිපිය දිගට ම කියවන්න. නැත හොත් තෝරා ගැනීම ඔබගේ ය.

■   අපේ රජය අකාර්යක්ෂම යැයි ඔබ පවසනු ඇත
■   අපේ නීති ඉතා පැරණි යැයි ඔබ  පවසනු ඇත
■   නගර සභාව කුණු එකතු කරන්නේ  නැතැයි ඔබ පවසනු ඇත
■   දුරකථන වැඩ නො කරන බවත්,  දුම්රියෙන් වෙලාවට වැඩට යෑමට  කතා කිරීම විහිළුවක් බවත්, ඔබ      පවසනු ඇත
■   ලෝකයේ ඉතා ම නරක ගුවන්  සේවය ඇත්තේ අපට ය
■   ලියුමක් නිසි ලිපිනයට කවදාවත් යැවෙන්නේ නැත
■  අපේ රට බල්ලට ගොස් ඇති බවත්  එය නරා වලක පවත්නා බවත්, ඔබ පවසනු ඇත
මේ ආකාරයෙන් ඔබ කියා ගෙන කියා ගෙන යනු ඇත. එහෙත් ඔබ මේ සම්බන්ධයෙන් කර ඇත්තේ කුමක් ද? සිංගප්පූරුවට යන පුද්ගලයෙකු දෙස බලන්න. ඒ පුද්ගලයා ඔබේ නම සහ මුහුණ ඇති ඔබ ම යැයි සිතන්න. සිංගප්පූරු ගුවන් තොටුපොළෙන් පිටතට යන ඔබ හොඳට අන්තර්ජාතික පුරවැසියෙකු සේ හැසිරෙනු ඇත. සිංගප්පූරුවේ දී ඔබසිගරට් කොට පාරට විසි නො කරනු ඇත. නගරයේ පවතින ආවේණික නීතිවලින් ඔබ අභිමානයට ද පත්වනු ඇත. ඩොලර් 5ක් ගෙවා සිංගප්පූරුවේ ඕචාඩ් පාරේ හවස 5 සිට 8 දක්වා ඔබ ගමන් කරනු ඇත. ඔබ පුරවැසියකු වශයෙන් කුමන මට්ටමේ සිටියත් ආපසු පැමිණෙන විට, වැඩිපුර කාලයක් ගත කළා ද ඒ සඳහා අමතර මුදලක් ගෙවිය යුතු ද යන්න තීරණය කරනු සඳහා ඇතුළු වූ ස්ථානයට වාර්තා කරනු ඇත. මේ පිළිබඳ ඔබ මැසිවිලි නො නගනු ඇත.

ඩුබායි හී දී රාමසාන් කාලයේ දී ප්‍රසිද්ධියේ කෑම නො ගැනීමට ඔබ වගබලා ගනු ඇත. ජෙඩා හී දී හිස ආවරණය කර නො ගෙන මිසක් ඔබ ගමන් නොයනු ඇත. ඔබ ලන්ඩනයේ දී සේවකයකුට මසකට පවුම් 10ක අල්ලසක් දී ඔබගේ දුරකථන බිල වෙනත් අයෙකුට වංචනික ව හැරවීමට කිසිසේත් කටයුතු නො කරනු ඇත. වොෂිංටනයේ දී පැයට සැතපුම් 55ක වේගයෙන් රථය පදවා පොලීසියට අසු වූ විට මම අහවලාගේ අහවලා, ඔබ මා කවුරුන්දැයි දනවා ද? යනුවෙන් පොලිස් කොස්තාපල්ට තම බලය නොපෙන්වනු ඇත. ඔබ කුරුම්බා ගෙඩියක් බී ඉවත දමන්නේ ඕස්ටේ්‍රලියාවේ සහ නවසීලන්තයේ වෙරළේ තැන්පත් කර ඇති ඒවා දැමීම සඳහා වෙන් වූ කුණු බාල්දිවලට ම ය.

ඔබ ටෝකියෝ නගරයේ දී පාරේ කෙළ නො ගසන්නේ ඇයි? බොස්ටන් නගරයේ දී ව්‍යාජ විභාග සහතික මිලට නො ගන්නේ ඇයි? අප තවදුරටත් කතා කරන්නේ ඔබ ගැන ය. විදේශ රටවල පවතින පද්ධතියට එකඟ ව කටයුතු කළ හැකි නමුත් ඔබේ රටේ පද්ධතියට එකඟ නො වන ඔබ ගැන ම ය. ඔබ ඉන්දියානු භූමියට පය තැබූ විගස ම කොළ කෑලි සහ සිගරට් කොට පාරට විසි කරන්නෙහි ය. ඔබට නුපුරුදු රටක දී අමුත්තකු වශයෙන් ඒ රටේ නීතිවලට අනුකූල ව ජීවත් විය හැකි නම්, ඉන්දියාවේ දී එය නො කළ හැක්කේ මන්ද?

බොම්බායේ හිටපු නාගරික කොමසාරිස් තිනයිකර්  මහතාට සම්මුඛ  සාකච්ඡාව මේ ගැන කීමට යමක් තිබුණි. “පෝසත් මිනිසුන්ගේ බල්ලෝ වීදිවල ගමන් කරන විට මළපහ කරති. බල්ලන් රැගෙන ගිය එම මිනිසුන් ම අපිරිසිදු පදික වේදිකාව ගැන සහ ඒවා පිරිසිදු කිරීමේ ලා නගරාධිකාරීන් දක්වන අකාර්යක්ෂමතාව ගැන විවේචන කරති. දොස් පවසති. ඔවුන් නිලධාරින්ගෙන් අපේක්ෂා කරන්නේ කුමක් ද? තමන්ගේ බල්ලන්ට මළපහ කරන්නට සිතුණු ඕනෑ ම අවස්ථාවක කොස්සක් රැගෙන විත් පදික වේදිකාව අතුගාන්නට ද? ඇමරිකාවේ මෙන් ම ජපානයේ ද තමන්ට හිමි බල්ලා කරන අපිරිසිදු කිරීම් පිරිසිදු කරන්නේ එම අයිතිකරුවන් විසින් ය. ඉන්දියානු පුරවැසියකු මෙය ඉටු කරයි ද?

අපි ඡන්දය දී රජය පත් කර ගනිමු. අනතුරු ව සියලු වගකීම්වලින් මිදෙමු. අපේ දායකත්වය බින්දුව ලෙස තිබිය දී හාන්සි පුටුවලට වී රජය විසින් සියලු දේ කරදෙන තුරු බලා සිටිමු. රජය පිරිසිදු කරන තුරු බලා සිටින අපි කුණු සෑම තැන ම දැමීමෙන් නො වැළකෙමු. බිම තිබෙන කොළයක් අහුලා කුණු බඳුනකට නො දමමු. දුම්රිය දෙපාර්තමේන්තුවට පිරිසිදු වැසිකිළි නොසැපයීම ගැන විවේචනය කරන අපි, වැසිකිළි පිරිසිදුව භාවිත කිරීම ගැන ඉගෙන නො ගනිමු.

මෙය ජනතාවට සේවා නො සපයන නිලධාරීන්ට ද එක සේ අදාල ය. කාන්තාව, දැවැද්ද, ගැහැනු දරුවන් වැනි දැවෙන සමාජ විවාදාපන්න ගැටලු මතු වූ විට හාන්සි පුටු විවේචන පවත්වන අප තම තමන්ගේ නිවාසවල දී එම විවාදාපන්න ගැටලු උග්‍ර කිරීමට හැකි වන ලෙස ජීවිත ගෙවති. ඒ සඳහා නිදහසට කරුණු ද ඉදිරිපත් කරති. “මේක පවතින ක්‍රමය, ඒක වෙනස් කරන්නේ කොහොම ද? මගේ පුතාගේ විවාහයට  දැවැද්ද ඉල්ලුවා තමයි, පවතින සමස්ත ක්‍රම වෙනස් නො කර මං විතරක් වෙනස් වුණාට වැඩක් තියෙනව ද?” එසේ නම් පද්ධතිය වෙනස් කරන්නේ කෙසේ ද?

පද්ධතියක් සමන්විත වන්නේ කුමකින් ද? අපට පහසු ලෙස කිව හොත් එය සමන්විත වන්නේ අපේ අසල් වැසියන්, අනෙක් නිවාස, අනෙක් නගර, අනෙක් ප්‍රජාව සහ රජයෙනි. එහෙත් නියත වශයෙන් ම ඊට මම හෝ ඔබ ඇතුළත් නැත. පද්ධතිය ධනාත්මක ව වෙනස් කිරීම සඳහා අවස්ථාවක් පැමිණි විට අප අපේ පවුලේ සාමාජිකයන් සමග ආරක්‍ෂිත වැටක් ඉදිකරගෙන ඇති  රටකින් පිරිසිදු මහත්මයෙකු පැමිණ විශ්මකර්ම වැඩකින් රට දියුණු වේ යැයි සිතා සිටිමු. අප තුළ ඇති බිය වසා ගන්නා බිය ගුල්ලන් සේ ඇමරිකාවට දුවන අපි ඔවුන්ගේ දියුණුව, දියුණුවේ සැප විදිමින් ඔවුන්ට ප්‍රසංශා කරමු. නිව්යෝර්ක් නගරය අනාරක්ෂිත වූ විට ඔව්හු එංගලන්තයට දුවමු. එංගලන්තය විරැකියාව අත් දකින විට අපි ගල්ෆ් කලාපයට යමු. ගල්ෆ් කලාපයේ යුද්ධයෙන් ඇළලෙන අප ආරක්ෂා කරන ලෙසත්, නිවසට ආරක්ෂිත ව කැඳවා ගන්නා ලෙසත් ඉන්දියානු රජයට ඉල්ලීම් කරමු.
සියලු දෙනා රටෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට සහ එය දූෂණය කිරීමට කටයුතු කරති. පද්ධතිය පෝෂණය කිරීම ගැන කිසිවකු සිතන්නේ නැත. අපි අපේ විඥ්ඥානය මුදලට උගස් කර ඇත. ජේ. එෆ්. කෙනඩි ඇමරිකානූ රටවැසියන් සඳහා ඉදිරිපත් කළ වචන මම මෙසේ ඉන්දියානුවන් වෙනුවෙන් ප්‍රතිරාව කරමි. අපට ඉන්දියාව වෙනුවන් කළ හැකි දේ කුමක්දැයි අසන්න, ඇමෙරිකාව සහ වෙනත් බටහිර රටවල් අද සිටින මට්ටමට ඉන්දියාව ගෙන ඒමට කුමක් කළ යුතු දැයි අසන්න.

ඉන්දියාවට අපෙන් අවශ්‍ය දේ අපි ඉටු කරමු. විහිළු කතා හෝ අනවශ්‍යය කුණු ලියුම් යවනු වෙනුවට මේ විද්‍යුත් තැපෑල වෙනසක් සඳහා සෑම ඉන්දියානුවෙකුට ම යවන්න.

පරිවර්තනය
ආචාර්ය ගොඩ්වින් කොඩිතුවක්කු