යහපත් පරිසර ආකල්ප ප‍්‍රාථමික සිසුන්ට ඇති කරමු

මිනිස් සංස්කෘතිය ආරම්භයේ දී මිනිසා ගත කළේ ඉතා සරල දිවි පෙවෙතකි. එහෙත් දියුණුවේ හිනි පෙත්තට ම නැගී සිටින වර්තමානය වන විට අවශ්‍යතා බහුල, ඉතා සංකීර්ණ ජීවිත ගත කරන්නකු බවට මිනිසා පත් ව ඇත. නවීන විද්‍යා තාක්ෂණය දියුණුව නිසා වර්තමාන ජන ජීවිත පහසු කරවන්නට සමත් වී තිබීම ඉතා හොඳ ප‍්‍රවණතාවකි. එහෙත් එකී සුබදායක ප‍්‍රතිඵල සේ ම ඊට පරිබාහිර ව පරිසරයේ යහපැවැත්මට සිදු ව ඇති හානිය පිළිබඳ සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය ය.

වර්තමානය වන විට වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, සන්නිවේදනය ආදී ක්ෂේත‍්‍රවල ඉහළ ම දියුණුවක් ඇත. අති නවීන සබ්මැරීන, ගුවන් යානා, පරිගනක තාක්ෂණය වැනි ඉහළ මට්ටමේ නිෂ්පාදන නිසා ජන ජීවිතය පහසු කරවමින් පවතී. එමෙන් ම කෘෂි හා කාර්මික ආදී ක්ෂේත‍්‍රවල ද විශාල දියුණුවක් දක්නට ලැබේ. නව ඉදිකිරිම්, මානව සංවර්ධන සැලසුම් නිසා ස්වභාවික පරිසරයට එල්ල වී ඇත්තේ මහත් තර්ජනයකි. එහි ප‍්‍රතිඵලය වන්නේ ස්වාභාවික සම්පත් ඉතා ඉක්මනින් විනාශ වී යාම යි. මිනිසා හට පොදුවේ හිමි වී ඇති ස්වාභාවික සම්පත් අතර වනාන්තර, ජලය, ඛනිජ ලවණ, ආහාර යනාදිය ගත හැකි ය. එහෙත් නවීන තාක්ෂණයේ අනිසි භාවිතය නිසා අද වන විට මේ ස්වාභාවික සම්පත් විනාශ මුඛයට ඇද දමා ඇත.

ස්වාභාවික වෘක්ෂලතා මිනිසාට සහ සතා සිව්පාවාට අප‍්‍රමාණ ප‍්‍රයෝජන ගෙන දෙයි. සෙවන මෙන් ම පිරිසිදු වායුව ද මිනිසාට ගෙන එයි. මේ සීමිත ස්වාභාවික සම්පත් අතරේ අසීමිත ජන සම්පත් ද ඇති කර ගැනිමට මිනිසා දරන උත්සාහයේ ප‍්‍රතිඵලයක් ලෙස ස්වාභාවික සම්පත් විනාශ වී යාමට මූලික හේතුවක් වේ. ස්වාභාවික සම්පත් විනාශ විම අවම කිරීමට මිනිසා එතරම් සැලකිල්ල නොදක්වන බව පෙනේ. ඒ සඳහා පරිසරය ආශ‍්‍රිත මූලික ප‍්‍රාථමික අභ්‍යාස මගින් ස්වාභාවික සම්පත් පිළිබඳ සුබවාදී ආකල්ප ලබා දීමට වඩා සුදුසු ය. එබැවින් කුඩා පන්තිවලට පරිසරය ආශ‍්‍රිත ක‍්‍රියාකාරකම්වලට මුල්තැන දීම වඩා උචිත බව පෙනී යයි.

අනාගතය පවරා දෙන ආයතනයක් ලෙස පාසල මගින් මෙම උදාර කටයුත්තට පාර සෙවිය හැකි ය. මේ සඳහා කළ යුත්තේ ප‍්‍රාථමික පාසල් දරුවා පරිසර හිතකාමී, ස්වභාව සෞන්දර්යයට හිතැති දරුවකු බවට පත්කිරීමට අවශ්‍ය මග පෙන්වීම යි. පාසල් විෂය මාලාවේ පරිසර ආශ‍්‍රිත ක‍්‍රියාකාරකම් මගින් පරිසරය සම්බන්ධ පහත කරුණු ඇති කර ගනී.

  1. පරිසරය පිළිබඳ ව කුතුහලයක් ඇති කර ගනී
  2. පරිසරය හා සම්බන්ධ අත්දැකීම් ලබා ගනී
  3. පරිසර සම්පත් ප‍්‍රශස්ත ලෙස ප‍්‍රායෝජනයට ගනී
  4. විද්‍යාත්මක ක‍්‍රමයට අවශ්‍ය මූලික සරල දැනුම ලබා දීම
  5. ඵලදායී සමාජ යුතුකම් ලබා ගනී

ඉහත අරමුණු බොහෝ දුරට ප‍්‍රාථමික දරුවන්ගේ පරිසර හිතකාමී අත්දැකීම් සමග සමපාත වේ. එබැවින් පරිසර සංරක්ෂණය උදෙසා යොමු කළ හැකි විෂයයක් ලෙස පැහැදිලි ය. එමෙන් ම දරුවා තුළ වඩාත් යහපත් ආකල්ප ඇති කිරීමට පරිසර අධ්‍යයනය විෂය ක‍්‍රියාකාරම් සුදුසු ය. උදාහරණයක් ලෙස ප‍්‍රාථමික පාසල් දරුවා පරිසර හිතකාමී, ස්වභාව ධර්මයට ඇළුම් කරන පුද්ගලයකු බවට පත් කිරීමට පරිසර දත්ත, සිදුවන දේවල් පිළිබඳ නිරීක්ෂණය ඉතා වැදගත් ය. මේ සඳහා සොබා දහම් දින පොත සුදුසු ය. කුඩා ප‍්‍රමාණයේ පොතක් සකස් කර එදිනෙදා සිදුවීම් මෙමගින් නිරූපණය කළ හැකි ය.

වැසි දවසක සහ පායන දවසක සංකේත අනුසාරෙන් ළමයාගේ මනසට ගෝචර වන පරිදි සිතුවම් ඇසුරින් ඉතා මනස්කාන්ත දින පොතක් සකස් කිරීම මගින් පරිසරයට හිතකාමී ආකල්ප ඇති ළමයින් පිරිසක් අනාගතේ බිහි කිරිමට හැකි වනු ඇත.

මේ ආකාරයට බලන කල සොබා දහමේ එදිනෙදා සිදුවන සාමාන්‍ය තොරතුරු කාලගුණික, දේශගුණික තොරතුරු දීර්ඝ කාලීන ව සොබා දහමේ සංරක්ෂණය, රැුක ගැනීම වැනි ආකල්ප ලබා දීම මෙහිදී වඩාත් සුදුසු ය. මේ සඳහා ප‍්‍රාථමික පන්තියේ පරිසර අධ්‍යයන විෂය ආකල්ප සංවර්ධනයට ඉතා උචිත ය. එම විෂය යටතේ ළමයාගේ කුසලතා හැකියාවන්, නිපුණතා රාශියක් වර්ධනය කර ගැනීමටත් පරිසරය කෙරේ ඇල්මක් ඇති කරගැනීමටත් ඉවහල් වේ. ඒ සඳහා උචිත ක‍්‍රම ශිල්ප කිහිපයක් මෙසේ දැක්විය හැකි ය.

01) විද්‍යාත්මක ක‍්‍රමය

02) නිරීක්ෂණය

03) පැවරුම්

04) ව්‍යාපෘති

05) සොබා දහමේ දින දර්ශන

06) සොබා දහමේ දින පොත

07) කරුණු අධ්‍යයනය

08) බිත්ති පුවත්පත

09) ඒකක

ඉහත අන්දමේ ක‍්‍රියාකාරකම් ඉටු කිරීමේ දී ළමයා නිතැතින් ම පරිසරයට ඇල්මෙන් ක‍්‍රියා කිරීමට සමත් වේ. එමගින් පරිසරය සංරක්ෂණයත් සොබා දහම මගේ ය යන හැඟිමත් ඇති කිරීමට හේතුවනු ඇත. පරිසරය අධ්‍යයන විෂය අරමුණු අනුවද පරිසර සංරක්ෂණ සංකල්පය ප‍්‍රාථමික දරුවා තුළ වර්ධනයට හේතු බව පෙනී යයි. පරිසර අධ්‍යයනයේ අරමුණු අතර සොබා දහම, ගහ කොළ, පරිසරය කෙරේ ඇල්මක් ඇති කර ගැනීමටත් සමත් වේ. එසේ ම ප‍්‍රාථමික දරුවා පරිසර අධ්‍යයන විෂය තුළ දී නිරික්ෂණය පදනම් කර සාර්ථක ක‍්‍රමයට සංසන්දනය මිනිස් ඇගයීම් කළ හැක. එහි දී ප‍්‍රාථමික දරුවාගේ පරිසර ඇගයීම්, මෙන් ම පරිසරයට නැඹුරු කරවීමේ ප‍්‍රවණතාව වැඩි වේ.

සමස්තයක් වශයෙන් ගත් කල පරිසර අධ්‍යයනය විෂය ස්වාභාවික සම්පත් කළමණාකරණයට මෙන් ම, සංරක්ෂණයට දරුවා යොමු කළ හැකි බව පෙනී යයි. විශේෂයෙන් ම දරුවා පරිසර අධ්‍යයනයේ දී ලබා ගන්නා විෂය දැනුම නිසා තමා පරිසරයේ ම සාමාජිකයකු බව වටහා ගනී. ඒ අනුව පරිසරයට ගැළපෙන පරිදි ජිවත් වීමට හුරුවේ. ඔහු ලබාගන්නා විවිධ කුසලතා උපයෝගි කරගෙන පරිසරයට ගැළපෙන පරිදි ජීවත් වීමට ද උත්සාහ ගනී. එමෙන් ම දරුවා ලබා ගන්නා විවිධ කුසලතා මගින් පරිසරය තමාට අවශ්‍ය අයුරු සකසා ගනී. පරිසරයට ගැළපෙන පරිසර හිතකාමී පුද්ගලයකු ලෙස ජීවිතය සකස් කර ගැනීමට පෙලඹේ. මෙම යහපත් ආකල්ප නිසා පරිසරය සංරක්ෂණය ද කළ යුතු බව පිලිගනී. ඒ අනුව දැයට හිතකාමී රටට හිතැති උදාර දරු පරපුරක් උදෙසා පරිසර අධ්‍යයනය විෂය මගින් විශාල කාර්යභාර්යක් කළ හැකි බව අප වටහා ගත යුතු ය. පරිසරය සමග මිතුරු වී ස්වභාව ධර්මයට උචිත ආකල්ප දරන, දැරූ පිරිසක් බිහි කළ හැකි නම් වඩාත් පරිසර හිතකාමී සමාජයක් බිහි කිරීම අපහසු නො වනු ඇත.

ඩබ්ලිව්. ඒ. විමලසේන

(BA, MA, Mphil)

නියෝජ්‍ය විදුහල්පති,

මිනු/සෙනරත් පරණවිතාන ජාතික පාසල,

උඩුගම්පොල.