වෙනත් රැකියාවලට සාපේක්ෂ ව රියදුරු රැකියාවේ විශේෂ සුවිශේෂීතාවක් වේ. එනම් සේවයේ නියැළෙන සම්පූර්ණ කාලයේ ම දැඩි අවධානයෙන් යුතු ව තම රැකියාව කළ යුතු වීම යි. වසර 25ක් සේවයට පැමිණීම සඳහා මහනුවර – කොළඹ බස්රථවල ගමන් කළ-කරන අයකු ලෙස මා අත්දැක ඇත්තේ මගීන් සියලූ දෙනා පාහේ ගමන් කාලයේ, නිදාගෙන හෝ අඩ නින්දේ ගමනේ යෙදෙන විට රියදුරු පමණක් අවදි ව ස්වකීය රාජකාරියේ නියැළෙන බව ය. සමහර විට ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් කරන කොන්දොස්තර තැන ද විවේකය පිණිස ඇස් පියා ගනු දක්නට ලැබේ. එහෙත් රියදුරුට එවැනි ඇසිපිය හෙළන මොහොතකටවත් විවේක ගත නොහැකි ය.
රියදුරුවරයකු සතු මේ අවධානමය නිපුණතාව පිළිබඳ පර්යේෂණ කිරීමේ අවශ්‍යතාව පවතී. ඇස්වලින් පාර සහ පාර අවට පරිසරය පිළිබඳ අවධානය ද, කන්වලින් වාහනවල නළා ශබ්ද, රේඩියෝ ශබ්ද ඇතුළු විවිධ ශබ්ද පිළිබඳ අවධානය ද රඳවා ගන්නා රියදුරු ස්වකීය අත් ද, පාද ද, මනස ද නිරතුරු ව තම රැකියාවේ නියැළෙන විට මෙහෙයවයි. මුළු ශරීරය ම එක දිගට ම මේ ආකාරයෙන් පැය තුනක් හෝ සමහර විට පැය 10ක් දක්වා හෝ (කොළඹ-අම්පාර, මඩකලපුව-යාපනය බස්වලට ගත වන කාලය උදාහරණය) ඒකාකාරී අවධානයකින් තබා ගන්නේ කෙසේ ද? යන්න ගැන පර්යේෂණාත්මක අවධානය යොමු කළ යුතු ය. සුපුරුදු පරිදි මාධ්‍ය මගින් අවධාරණය කරනු ලබන්නේ වාහන අනතුරු සහ ඒවා සඳහා බලපෑ රියදුරන්ගේ ඌනතා පමණකි. ශ‍්‍රී ලංකාවේ වාහන සංඛ්‍යාවට ද එම වාහනවල ගමන් වාර සංඛ්‍යාවට ද එම ගමන්වල යෙදුණු රියදුරන්ගේ සුදුසුකම් හෝ පළපුරුද්දට ද සාපේක්ෂ ව අනතුරු සිදු වන්නේ කෙතරම් ප‍්‍රතිශතයකින් ද? යනු ගැන නිශ්චිත දත්ත සොයා ගත නො හැකි ය. එකී දත්ත විශ්ලේෂණය කළ හොත් ‘රියදුරු අනතුරු’ සාපේක්ෂ ව ඉතා අඩු ප‍්‍රතිශතයක් ගන්නවා විය හැකි යැයි අනුමාන කළ හැකි ය.
වාහනයේ ගමන් කරන විට හදිසි අවස්ථාවක දී ද සාමාන්‍ය අවස්ථාවක දී ද රියදුරු වහා තීරණ ගෙන වාහනය පැදවිය යුතු ය. උදාහරණයක් ලෙස, හදිසියේ පාර හරහා පනින පූසකු දුටුව හොත් ක්ෂණික ව වාහනය හසුරුවා ඌ බේරා ගත යුතු ව තිබේ. පූසා යට වෙන්නට ඉඩ දිය යුතු ද? බේරා ගත යුතු ද? ඌ බේරන්නට ගොස් මා පදවන වාහනය පල්ලමට පෙරළී යයි ද? වෙනත් වාහනයක හැප්පෙයි ද? යනාදී ලෙස සිත සිතා චින්තනයේ යෙදෙමින් සිටින්නට කාලයක් රියදුරාට නැත. ක්ෂණික ව ගන්නා තීරණය වැදගත් වන අතර එම ක්ෂණික තීරණය දෝෂ සහිත වුව හොත් අනතුරක් වූවා යයි කියන්නට පුළුවන.
ෂෙල්ටන් මහතාගේ උදාහරණයෙන් පෙනෙන්නේ තීරණ ගැනීම පිළිබඳ රියදුරන් සතු විය යුතු විශේෂතාව යි. ඒ අතර ම රියදුරු වෘත්තියට අදාළ දර්ශනය යි. මෙකී ‘රියදුරු දර්ශනය’ තව තවත් වඩ වඩාත් විග‍්‍රහ කර සමාජ ගත කිරීම සමාජ අවශ්‍යතාවකි.
‘රියදුරු භූමිකාවේ සංස්කෘතිය’ ගැන ද අවධාරණය කළ යුතු ය. මෑතක දී මට හමු වූ ඕස්ටේ‍්‍රලියාවේ සිට පැමිණි මහතකු කීවේ ඕස්ටේ‍්‍රලියාවේ දී වාහන පැදවීම කම්මැලි කටයුත්තක් බව ය. ශ‍්‍රී ලංකාවේ දී නම් එහාට මෙහාට හරවමින්, වාහන සමග තරගයට යමින් ඒ ඒ වාහනය දෙස සාපේක්ෂ ව බලමින් සංකීර්ණ ලෙස වාහන පැදවිය හැකි ය. එහෙත් ඕස්ටේ‍්‍රලියාවේ එක් දිශාවකට පමණක් විහිදෙන මාර්ගය දිගේ ‘ඔහේ’ රිය පදවා ගෙන යා යුතු ය. මෙය ශ‍්‍රී ලංකාවට සාපේක්ෂ ව කම්මැලි අත්දැකීමකි. මෙය ශ‍්‍රී ලාංකික රියදුරු සංස්කෘතියේ අංගයක් යැයි සිතමි.
මීට අදාළ තවත් උදාහරණයක් ෂෙල්ටන් මහතාගෙන් ම උපුටා දක්වන්නට කැමත්තෙමි. වරෙක මා ඔහු පැදවූ වාහනයේ ගමන් කරන විට පාරේ අක‍්‍රමවත් ලෙස වාහන ගමන් කළ අවස්ථා ගැන කතා කළෙමි. මගියකු ලෙස මට දැනුණේ අක‍්‍රමවත් ලෙස වාහන පදවන, එක වරට ම අතුරු පාරකින් විත් මහ පාරට දමන වාහනවල රියදුරන් අසංවර, අනුන් ගැන නොසිතන, විනයකින් තොර පිරිසක් බව යි. එවැනි රියදුරන් පිළිබඳ ව මද කේන්තියක් ද මා තුළ ඇති විය. එහෙත් ෂෙල්ටන් මහතා සන්සුන් ස්වරයෙන් පැවසුවේ ”කවුරුත් බලන්නේ තම ගමන යන්නනේ” කියා ය. ශ‍්‍රී ලංකාවේ වාහන පැදවීමේ සංස්කෘතිය අනුව එවැනි අවස්ථා ඉවසා සිටින, ඒ දෙස සන්සුන් ව බලන රියදුරුගේ සංස්කෘතික හික්මීම ද මෙහි දී අගය කළ යුතු ය.
අවසන් වශයෙන් රියදුරු වෘත්තිය පිළිබඳ යෝජනාවක් කිරීමට කැමැත්තෙමි. මීට වසර 27කට පෙර, ෂෙල්ටන් මහතා තරුණ කල රියදුරකු ලෙස ‘වේරහැර’ පුහුණු වෙද්දී, ඉහත සඳහන් ‘කොටු’ පිළිබඳ උදාහරණය දේශක මහතකු විසින් ඉදිරිපත් කර තිබේ. එම දේශනවල දී ද පුහුණුවේ දී ද ගීත රසවින්දනය ගැන පවා අවධානය යොමු කර තිබේ. එහෙත් අද රියදුරු පුහුණුව ‘බලපත‍්‍රයක්’ ලබා ගැනීමට පමණක් සීමා වී තිබේ. ඒ නිසා පළල් වූ ද ගැඹුරු වූ ද පාඨමාලා සංවර්ධනය කර රියදුරු වෘත්තිය ශාස්ත‍්‍රීය වශයෙන් ද පොහොසත් කිරීමට පියවර ගත යුතු වේ. රියදුරු වෘත්තීය ගැන උසස් අධ්‍යාපන පාඨමාලා මෙන් ම රියදුරන් සඳහා උසස් අධ්‍යාපන පාඨමාලා ද ඇරඹිය යුතු ය.
ආචාර්ය ගොඞ්වින් කොඩිතුවක්කු