ඔබ සහ ඔබේ පවුලේ උදවිය වැඩිපුර සලකන්නේ “ඔබේ නිවසට ඇපල් මල්ලක් අරන් එන ඥාතියාට ද? නැතිනම් පැපොල් ගෙඩියක් අරන් එන ඥාතියාට ද?”
අපේ රටේ ඇත්තන්ගේ පෝෂණය ඉහළ නංවාලීම පිළිබඳ ව කතා කරන, උනන්දු වන බොහෝ දෙනෙක් නොතකන, නොදකින සමාජ විද්‍යාත්මක මහා බාධකය (Great barrier) හමු වන්නේ මෙතැන දී ය.
“පිටරටින් ගෙනෙනා හැම දෙයක් ම උසස් ය, ගුණදායක ය?” යන ආකල්පය රටේ අති බහුතරයකගේ ගැඹුරු විඥානයේ තදින් පැලපදියම් වී ඇති කාරණාවකි. ජන විඥානයේ ගැඹුරින් ම තැන්පත් වී ඇති මෙම ආකල්ප ඉතාමත් ඕනෑකමකින් හා ස්ථිර ලෙස ම මකා නොදැම්මොත්, අපේ රටේ මිනිසුන්ගේ පෝෂණය හා සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීම ලෙහෙසි පහසු නොවනු ඇත.
ඇපල්වල හානිකර රසායනික ද්‍රව්‍ය 56ක්
මෙයට කලකට පෙර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැළෑටි සංරක්ෂණ ඒකකයේ මහාචාර්ය ජේ.එම්.ආර්.එස්. බංඩාර මහතා එක්තරා දේශනයක දී පවසා සිටියේ, තමා විසින් ‘ආනයනික මිදි’ සහ ‘ඇපල්’ පිළිබඳ ව කළ පර්යේෂණයක දී මිනිස් සෞඛ්‍යයට අහිතකර බැරලෝහ සහ පළිබෝධනාශකවල අවශේෂ 47ක් පමණ ඒවා තුළ අන්තර්ගත ව තිබී සොයා ගත් බව ය.
ආනයනික පළිබෝධනාශක හා රසායනික පොහොර හරහා කැඞ්මියම් වැනි විෂ බැර ලෝහ මෙරටට පැමිණෙන බවට තමා විසින් කළ පර්යේෂණයක දී තහවුරු වුණු බවට පළමු ව ප‍්‍රකාශ කළේ ද එතුමා ය.
කෙසේ වෙතත් අපේ රටේ ඇත්තන් පවසන දෑ පිළිගැනීමට බොහෝ දෙනකු කැමැත්තක් නැති නිසා අප විසින් සුදු යැයි සිතා ගෙන ඉන්න ඇපල් ගැන සුදු ජාතික විද්‍යාඥයින් ම කියන, කළු කතාව මෙතැන් සිට විමසා බලමු.
මහජන සෞඛ්‍යය සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වන ප‍්‍රකට පර්යේෂණ පදනමක් වන, Environmental working group (EWG) විසින් සෑම වසරක දී ම යුරෝපා වෙළෙඳ පොළේ විකිණීමට තිබෙන පලතුරු හා එළවළුවල තිබෙන වස විස පිළිබඳ ව සොයා බලනවා. ඒ අනුව ඔවුන් විසින් දුෂිත ම එළවළු හා පලතුරු වර්ග 12ක් (Derty dozen) තෝරනු ලබනවා. සුපුරුදු පරිදි ම මෙම වසරේත් එම ලැයිස්තුවේ අංක එක බවට පත්වන්නේ ‘ඇපල්’ ය. එම ආයතනය විසින් පර්යේෂණයට ලක් කළ ඇපල්වලින් 95%ක් පමණ මිනිස් පරිභෝජනයට නුසුදුසු මට්ටමකින් විවිධ පළිබෝධනාශක ශේෂ කොටස් සහ හානිකර බැර ලෝහ වර්ගවලින් දුෂිත ව තිබුණු බව හෙළි වී ඇත. ඒ සෑම ඇපල් ගෙඩියක ම හානිකර රසායනික ද්‍රව්‍ය 56ක් වත් අන්තර්ගත ව තිබුණු බව වැඩිදුරටත් එහි දැක්වෙනවා. පර්යේෂකයින් අවධාරණය කරන්නේ මෙම ඇපල් නිතර අනුභව කිරීම නිධන්ගත රෝග රාශියකට ම හේතු වන්නට පිළිවන් බව සහ විශේෂයෙන් කුඩා ළමයින්, ගර්භනී මවුවරුන් සහ රෝගී, දුර්වල උදවිය දුෂිත ඇපල් පරිභෝජනයෙන් වැළකීම, ඔවුන්ගේ ශරීර සෞඛ්‍යයට හිතකර වනු ඇති බවත් ය.
අපේ රටේ නොතිබුණාට ඇමෙරිකානු පාරිසරික ආරක්ෂණ ඒජන්සිය (EPA) විසින් ආහාර ද්‍රව්‍යවල තිබිය හැකි එක් එක් පළිබෝධනාශකයේ උපරිම ප‍්‍රමාණ සඳහා ප‍්‍රමිතීන් හඳුන්වා දී ඇත. එහෙත් පර්යේෂකයින් අවධාරණය කරන්නේ, ඇපල් තුළ ඇතැම් රසායනික ද්‍රව්‍ය, (EPA) විසින් අනුමත ප‍්‍රමාණයන් ඉක්මවා ඇති බව ය. අනෙක් අතට අනුමත ප‍්‍රමාණයන් ඉක්මවා නොතිබුණත්, විවිධ රසායනික ද්‍රව්‍ය පනස් ගණනක් වෙන් වෙන් ව ස්වාධීන ව යම් ආහාරයක් මත හෝ ඒවා පරිභෝජනය කරනු ලබන මිනිසුන්ගේ ශරීර තුළ අක‍්‍රීය ව නොපවතින බවත්, ඒවා අතර සිදු වන සංකීර්ණ අන්තර් ක‍්‍රියාවන් රාශියක් හේතු කොට ගෙන ඇතැම් විට අනපේක්ෂිත භයානක සෞඛ්‍ය ගැටලූ පවා ඇති විය හැකි බවත් ය.
ඇපල් ඉදවීමටත් කාබයිට්
පලතුරු කෘත‍්‍රීම ව ඉදවීම සඳහා කාබයිට් භාවිත කිරීම ලාභදායි මෙන් ම එමගින් පලතුරුවලට ප‍්‍රසන්න ආකර්ෂණිය වර්ණයක් ලබා දීම, යන අතිරේක වාසිය ද නිසා ‘කාබයිට්’ භාවිත කිරීමට වෙළෙන්දෝ වැඩි රුචිකත්වයක් දක්වති. ‘කාබයිට්’ භාවිත කර පලතුරු ඉදවීම, අපේ රටේ පමණක් නො ව ඉන්දියාව, පාකිස්තානය, ඕස්ටේ‍්‍රලියාව, චීනය වැනි රටවල ද කෙරෙන බව ප‍්‍රසිද්ධ කාරණාවකි.
කාබයිට් මෙන් ම කාබයිට්වල ඇති අනෙකුත් විෂ රසායන ද්‍රව්‍ය බොහොමයක් ද පිළිකාකාරක බව සොයා ගෙන ඇත. මෙයට අමතර ව මෙම රසායනික ද්‍රව්‍ය නිතර ශරීරගත වීමෙන් වෙනත් බරපතළ රෝග තත්ත්ව ද ඇති විය හැකි බවත්, ගර්භනී මව්වරුන් කාබයිට් යෙ¥ පලතුරු ආහාරයට ගැනීමෙන්, ගබ්සා වීම්වලට සහ අංගවිකල දරුවන් බිහිවීම වැනි සංකූලතාවලට ද ලක් විය හැකි බවත් සොයා ගෙන ඇත. පර්යේෂණවල දී සොයාගෙන ඇති තවත් අපගේ අවධානයට ලක් විය යුතු ප‍්‍රධාන කාරණාවක් වන්නේ පලතුරුවලට යොදන පළිබෝධනාශක වර්ගවල ශේෂ කොටස් (Residuals) සමග කාබයිට්වල ඇති රසායනික ද්‍රව්‍ය ප‍්‍රතික‍්‍රියා කිරීමෙන් අනපේක්ෂිත භයානක සෞඛ්‍ය ගැටලූ ඇති විය හැකි ය යන කාරණාව ය.
ගහේ තිබෙනවාට වඩා වැඩි කාලයක් කඬේ තිබෙන්නේ කොහොම ද?
කැපූ මල් ව්‍යාපාරයේ දී මල් ඉති හා මල් පොහොට්ටු වියළීම හා හැළීම නවතා සජීවි තත්ත්වයෙන් වැඩි කාලයක් (ෆ්‍රෙෂ් ගතියෙන්) තබා ගැනීමට වාණිජමය වශයෙන් භාවිත කරනුයේ ‘සිල්වර් නයිටේ‍්‍රට්’ ද්‍රාවණයකි. ‘සිල්වර් නයිටේ‍්‍රට්’ සාදනු ලබන්නේ ‘තනුක නයිට්ටි‍්‍රක්’ අම්ලය තුළ ‘සිල්වර්’ ලෝහය දිය කිරීමෙනි. මෙම ද්‍රාවණය මතුපිට තැවරීම හානිකර නොවූවත්, ශරීර ගත වීම බෙහෙවින් ම හානිකර ය. කෙසේ වෙතත් මෙම ද්‍රාවණය කැපූ මල් ව්‍යාපාර පමණක් නො ව, එළවළු සහ පලතුරු ව්‍යාපාර තුළ ද සුලභ ව භාවිතයට ගැනෙන බව, ලංකාවේ අප දැන නොසිටියාට ලෝක ප‍්‍රසිද්ධ රහසකි. එබැවින් අපට කිසි දිනක පර වුණු, කුණු වුණු ඇපල් හෝ පිටරටින් ගෙන්වනු ලබන ඇට නැති නාරං හෝ මිදි දැක ගන්නට නොලැබෙනු ඇත. ‘සිල්වර් නයිටේ‍්‍රට්’ පලතුරු මතට යෙදීමෙන් පලතුරු ස්වාභාවික ව ඉදීමේ ක‍්‍රියාවලියට හේතු වන ‘එතිලීන්’ නිෂ්පාදනය වීම නවතින බැවින් පලතුරු දීර්ඝ කාලයක් නැවුම් ව සහ සජීවී ව තබා ගැනීමට පිළිවන.
කෙසේ වෙතත් ‘සිල්වර් නයිටේ‍්‍රට්’ කාලයක් තිස්සේ ශරීර ගත වීමෙන් ස්නායු ආබාධ, මොළයට සිදුවන හානි, පිළිකා වැනි රෝගබාධ රාශියකට ම ඉවහල් වන බව යි විද්‍යාඥයින් ප‍්‍රකාශ කරන්නේ.
එහිදී ‘සිල්වර්’, මෙහිදී ‘ෆෝමලින්’
ශ‍්‍රී ලංකාවේ පලතුරු අලෙවි කරන්නන්, නිතර නිතර තම පලතුරු මතට යම් ද්‍රාවණයක් ඉසිනු ලබන බව ඔබ නිරීක්ෂණය කර ඇති. මේ නම් පිරිසිදු ඇල් වතුර යැයි ඔබ ද සිතන්නට ඇත. එහෙත් අවාසනාවකට ඔවුන් මේ ඉසිනු ලබන්නේ ජලයේ දියකර ගත් ෆෝමලින් ද්‍රාවණයක් වන්නට බොහෝ දුරට ඉඩ ඇත.
විස සහිත ඇපල් දවටන
ඇපල් වැනි පලතුරු ඔතා ඇති සවිවර සහිත ‘සෘජුෆෝම්’ දවටන සකස් කර ඇත්තේ, පලතුරු දිලීර හා බැක්ටීරියා ආසාදනවලින් බේරා ගැනීමට හැකි ප‍්‍රබල පළිබෝධනාශක වර්ග ඒවා මත ගැල්වීමෙන් පසු ව බවට කරුණු අනාවරණය වී ඇත. මේ සඳහා තහනම් පළිබෝධනාශක වර්ග වන තිරාම් (Thiran) සහ ආසනික් අඩංගු දිළීර නාශක ද භාවිත කෙරෙන බව සොයාගෙන ඇත. මෙම හානිකර කටයුත්ත සුලභ වශයෙන් සිදු කෙරෙන්නේ චීනය තුළ වන අතර, වර්තමානයේ දී ලොව ප‍්‍රමුඛ ම ඇපල් වෙළෙන්දා වන්නේ ද චීනය යි.
ඉටි ගෑ ඇපල්
පලතුරු කල් තබා ගැනීමට කරන තවත් ක‍්‍රියාවක් වන්නේ පලතුරු මත ආහාරයට ගත හැකි ඉටි වර්ගයක් තැවරීම යි. මේ සඳහා බහුල ව ම භාවිත කෙරෙනුයේ ‘මොර්පොලීන් (Morpholine)’ සහ ‘පැරෆින් (Paraffin)’ නමින් හඳුන්වනු ලබන ඉටි වර්ග ය. මින් ‘මොර්පොලීන්’ රසායනික පිළිකාකාරක ලක්ෂණ පෙන්නුම් කරන බවට සැක කරන බැවින්, යුරෝපා සංගමයේ රටවල භාවිත කිරීම තහනම් කර ඇත. එහෙත් අවාසනාවකට ශ‍්‍රී ලංකාවට ඇපල් ගෙන්වන රටවල් වන චීනය, ඕස්ටේ‍්‍රලියාව වැනි රටවල මෙය තහනම් කර නොමැත. ‘පැරෆින්’ යනු පෙට්‍රෝලියම් පිරිපහදුවේ අතුරු ඵලයකි. සංශුද්ධ පැරෆින් හානිකර නොමැති බවට පිළිගැනුණත්, ඇතැම් ව්‍යාපාරිකයින් විසින් වැඩි ලාභයක් උදෙසා තත්ත්වයෙන් බාල පැරෆින් තුළ බෙන්සීන්, ටොලූවීන් වැනි පිළිකාකාරක පවා අන්තර්ගත විය හැකි බවට සොයාගෙන ඇත. (මෙහි දී අප හොඳින් මතකයේ තබා ගත යුතු කාරණාවක් වන්නේ ශ‍්‍රී ලංකාව වැනි රටවලට ගෙන්වනු ලබන්නේ තත්ත්වයෙන් උසස් නො වූ පලතුරු බවත් උක්ත පර්යේෂණවලට ලක් කොට ඇත්තේ දියුණු රටවල අලෙවි කෙරෙන උසස් යැයි සම්මත පලතුරු බවත් ය.)
වසරකට ඇපල් ගෙඩි කෝටි 20ක් කන රටක්
‘ඇල්ල’ වැනි විදේශිකයින් සුලභ ව ගැවසෙන ප‍්‍රදේශවල ඇපල් කඩ දකින්නට නොමැත. ඒ විදේශිකයින් ඒවා මිල දී නොගන්නා බැවිනි. සාමාන්‍යයෙන් වසරකට අපේ රටට ආනයනය කරනු ලබන පලතුරු ප‍්‍රමාණය මෙට්ටි‍්‍රක් ටොන් 42,000ක් පමණ වේ. ඉන් ඇපල් පමණක් සැලකූ විට ගෙඩි කෝටි 20ක් පමණ වේ. රට වට කර වරකා ගස්, පේර ගස්, කෙසෙල් තිබෙන රටක ජීවත් වන අපට වස විස කන්න මේ තරම් ජාතික ධනයක් වැය කරන එක ගැන අපි හඬා වැළපිය යුත්තෙමු.
ඇපල් ගෙඩියට එරෙහි ව පැපොල්
අපේ රටේ ස්වාභාවික ව හැදෙන නෙල්ලි, පැපොල්, ජමනාරං, වරකා, කාමරංගා, වෙරළු, ජම්බෝල වැනි පලතුරුවල තිබෙන පිළිකා වළක්වන ප‍්‍රතිඔක්සිකාරක ගුණය ද ඇතුළු පෝෂණ ගුණ පවතී. අපේ රටේ බොහෝ දෙනකු තවමත් හිතාගෙන ඉන්නේ ඇපල් වනාහි මහ පුදුමාකාර ගුණ කන්දරාවක් ඇති පලතුරක් ලෙස ය. එහෙත් ඇත්ත කතන්දරය වන්නේ පැපොල් ගෙඩියේ පෝෂණය අහලකටවත් ඇපල් ගෙඩියට ළං වන්නට නොහැකි බවය. දැන් ඔබට වැටහෙනවා ඇති “දිනකට ඇපල් ගෙඩියක් අනුභව කිරීමෙන් වෛද්‍යවරයා ඔබේ නිවසට නොගෙන්වා සිටිය හැකි ය” යන බටහිර ප‍්‍රකට කියමන වහා ම වෙනස් කළ යුතු ව ඇති බවත් එසේ ම එය “දිනකට ඇපල් ගෙඩියක් ආහාරයට ගැනීමෙන් ඔබේ වෛද්‍යවරයා පොහොසත් වනු ඇත” ලෙසත් වෙනස් කළ යුතු ව ඇති බවත් ය.
ගැමුණු සාලිය පෙරේරා
මහජන සෞඛ්‍ය පරීක්ෂක – ඇල්ල
gemunusaliyaprr@gmail.