වයස් ගත වන ජනගහනය විසින් මතු කරන අලුත් අභියෝග……

වයස්ගත වීම නිසා ශරීරය තුළ ස්වාභාවික ඇතිවන වෙනස්කම්, අනිවාර්යෙන්ම රෝගී තත්ත්වයක් නොවේ. එනමුදු මෙම වෙනස්කම් වයස්ගත වූ පුද්ගලයන්ගේ කාර්යක්ෂමතාව අඩු කිරීමට හේතු වේ. පෙනුම දුර්වල වීම ඇසීම අඩුවීම මතකය අඩු වීම තුළ ඔවුහු යම් මට්ටමකට දෛනික කටයුතු සඳහා අනෙක් අය මත යැපෙන තත්ත්වයට පත්වෙති.

 

මීට අමතරව ඩිමෙන්ෂියාව නමින් හඳුන්වන රෝගී තත්ත්වයක ද ඔවුන් ගොදුරු විය හැකිය. මෙම රෝගය, වයස්ගත වීම තුළ ඇතිවන අමතක වීමට වඩා  ප්‍රමාණයෙන් හා ගුණයෙන් වෙනස් තත්ත්වයකි. ලෝකයේ ජනගහනයෙන් මිලියන 24 කට මෙම තත්ත්වය ඇත. මෙම රෝගයෙන් පෙළෙන සංඛ්‍යොව 2040 වනවිට මිලියන 48 දක්වා වැඩි විය හැකි බවට ඇස්තමේන්තු කර ඇත. ශ්‍රී ලංකාව තුළ කී දෙනෙකුට මෙම රෝග තත්ත්වය ඇතිවිය හැකි ද යන වග නිවැරදි ලෙස ගණනය කරන ලද පර්යේෂණයක් මෙතෙක් සිදුවී නැත. මීට අමතරව මානසික අවපීඩනය ද බරපතළ ප්‍රශ්නයක් වනු ඇත. ලෝකයේ ආබාධ තත්ත්වයට පත් කරන ප්‍රධාන රෝග දහය අතුරින් 5ක් මානසික ආබාධයන් ය. මානසික ආබාධ වයස්ගත වීම තුළ වැඩියෙන් ඇති විය හැක. ලෝකය පුරා මේ වන විට මිලියන 400ක් මානසික ආබාධවලින් පෙළෙති. අප රට තුළ තත්ත්වය තවමත් නිසි ලෙස තක්සේරු කර නැත.

 

මේ ආකාරයට නිදන්ගත (කල් පවත්නා) බෝ නොවන රෝග ගණයේලා වැටෙන දියවැඩියාව අධික රුධිර පීඩනය වැනි ශාරීරික රෝගී තත්ත්වයන්ද වයස්ගත සමාජය තුළ වඩාත් සුලබ රෝගය.

 

වයසින් වඩා වැඩි එනම් සාපේක්ෂ ලෙස වයස්ගත වූ සමාජ ස්ථරය වැඩිවීමට බලපෑ ප්‍රධාන 2කි. මින් පළමුවැන්න උපත් අඩුවීම සහ ආයුකාලය වැඩි වීමයි. රටින් පිටවන සංක්‍රමණිකයන් සංඛ්‍යාව වැඩි වීමටද මෙය බලපා ඇත. ජාන විකාශන සංක්‍රාන්තිය (Demographic transition)  නමින් හඳුන්වන මෙම සංසිද්ධියට බලපෑ ප්‍රධාන හේතු කිහිපයකි.

 

ආයු කාලය වැඩි වීමට ප්‍රධාන ලෙස බලපෑ ප්‍රධාන සාධකයක් වූයේ, විද්‍යාව හා තාක්ෂණයේ; විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යාවේ දියුණුව යි. අධ්‍යාපන ක්‍රමයේ වර්ධනය හා පෝෂණ තත්ත්වය ඉහළ යාම මෙයට බලපෑ අනෙක් සාධකයි. පිරිසිදු ජල සැපයුම, වැසිකිලි පහසුකම් ඇති කිරීම වැනි මූලික රෝග වැළැක්වීමේ ක්‍රම මගින් ලබාදුන් දායකත්වය අතිමහත්ය. මීට අමතරව එන්නත් සොයා ගැනීම් නිසා බෝ වන රෝග වැළඳීම අඩුවීම හා එම රෝග වලට අදාළව සිදුවන මරණ අඩු වීම සුවිශේෂ ලෙස බලපෑ කරුණු ය.

 

සමාජය වයස්ගත වන වේගය

 

වඩා වයස්ගත සමාජ ස්ථරය එනම් වයස අවුරුදු 60ට වඩා වැඩි ජනගහන ප්‍රතිශතය දෙගුණයක් වීමට ගතවන කාලය-සමාජය වයස්ගතවීමේ මිනුම් දණ්ඩකි. මේ අනුව බලන කල ලංකාව සඳහා මෙම කාලය අවුරුදු 20කි. මෙය කොරියාව, තායිලන්තය, සිංගප්පූරුව වැනි රටවලට ද වඩා අඩු කාලයකි. ප්‍රංශය වැනි දියුණු රටක් හා සැසැඳීමේදී මෙය හයෙන් එකකි. එනම් ප්‍රංශය තුළ වයස අවුරුදු 60ට වැඩි ජනගහනය දෙගුණයක් වීමට අවුරුදු 120ක් ගත වෙද්දී එය ලංකාවේදී අවුරුදු 20ක් තුළ දෙගුණ වේ. 1946 වන විට ලංකාවේ ජනගහනයෙන් වයස්ගත සමාජ ස්ථරය එනම් වයස අවුරුදු 60ට වඩා වැඩි ස්තරය 5% ක් පමණ විය. 1999 වන විට මෙය 10% පමණ විය. මෙම දෙගුණ වීම සඳහා අවුරුදු 50ක්  පමණ ගතවිය. නමුත් 2040 වනවිට ලාංකීය ජනගහනයෙන් 1/3ක් වයසින් අවුරුදු  80 වඩා වැඩි වනු ඇත.

 

මෙම සමාජය වියපත්වීම විසින්, දියුණුවන ලෝකයට ඇතිකරවන පීඩනය අතිමහත්ය. ආර්ථික වර්ධනයට වඩා වැඩි වේගයකින් වයස්ගත සමාජ ස්ථරය වැඩිවීම නිසා, ලංකාව වැනි රටකට වඩාත් අවාසිදායක තත්ත්වයක් උද්ගත වේ. ප්‍රතිපත්ති සම්පාදනය කොට සේවා සැපයුම් ස්ථාපිත කිරීමේ දේශපාලන න්‍යාය පත්‍රයට ලැබෙන කාලය කෙටිය. ආර්ථික ශක්තිය හීන ය. එසේම සඳහා අවශ්‍ය කරන පුහුණු ශ්‍රම සම්පත, ආයතන ප්‍රමාණය මෙන්ම කාර්ය ඥානයද හිඟය.

 

විශ්‍රාමිකයන්ගේ ආර්ථික ආවරණය

 

පවතින විශ්‍රාමික වැටුප් හා රක්ෂණය ක්‍රම මඟින් දැනට ආවරණය සපයනු ලබන්නේ, විශ්‍රාමිකයින් 25%කට පමණි. මෙසේ ආවරණය සපයනු ලබන සමාජ ස්ථරයෙන් බහුතරයක්ද ආර්ථික වශයෙන් ඉහළ ස්ථාවරයක පවතී. මෙයින් පැහැදිලි වන්නේ විශ්‍රාමික වැටුප් හා රක්ෂණය මගින් දරිද්‍රතාවෙන් පෙළෙන විශ්‍රාමිකයන්ට කිසිදු රැකවරණයක් නොලැබෙන බවයි.

 

මේ අනුව බලන කල වෙනස්වන ජනගහන සංයුතිය තුළ ඇති කරන ප්‍රශ්න ගැටලු වැඩි ප්‍රමාණයකට මුහුණ දීමට සිදුවන්නේ අඩු ආදායම්ලාභී පවුල්වලට මෙම අයගෙන් 75% කට විශ්‍රාම වැටුප් හෝ රක්ෂණයක් නොමැත. එසේම මෙවන් අඩු ආදායම්ලාභී පවුල්වල කාන්තාවන් සැලකිය යුතු ප්‍රමාණයක් රැකියා සඳහා විදේශගත වීම නිසා, වැඩිහිටියන් රැකබලා ගැනීම සඳහා තවත් ගැටලු සහගත තත්ත්වයක් උදා වී ඇත.

විශේෂඥ වෛද්‍ය අතුල සුමතිපාල.