ව්‍යාපාරයක වටිනාම සම්පත පාරිභෝගිකයායි

ඔබ ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් පාරිභෝගික තෘප්තිය අංක එක බව මතකයේ තබා ගන්න

“අනේ ඒ කෑම කන්න බෑ”
“ඒ නිෂ්පාදිතය හරි නෑ”
“ඒ අවන්හලේ කිසිදු පිරිසිදුකමක් නෑ”

මෙසේ පාරිභෝගිකයින් ඇතැම් විට මැසිවිලි නගනවා ඔබ දැක ඇතිවාට සැක නැත. වෙළෙඳ දැන්වීමක් ප්‍රචාරණය කරනවාට වඩා ඉතා ඉක්මනින් යම් වෙළඳ සන්නාමයක් පාරිභෝගික අදහස් ඔස්සේ සමාජගත කළ හැකි ය. අනෙක් අතට යම් ව්‍යාපාරයක් පිළිබඳ ව ඇති වන සෘණාත්මක අදහසක් ධනාත්මක අදහසකට වඩා ප්‍රබල වේ.
මේ නිසා, විවිධ කාලවල දී ව්‍යාපාරවලට සම්බන්ධ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සහ ප්‍රතිචාර පිළිබඳ ව විමසිලිමත් ලෙස සලකා බැලීමට ප්‍රමුඛත්වයක් ලබා දිය යුතු ය. වර්තමානයේ, පාරිභෝගිකයන් වැඩි ප්‍රවේශමක් සහ විමසිල්ලක් සහිත ව කටයුතු කරති. මන්ද, විවිධ තෝරා ගැනීම් අතරින් ඔවුහූ තමන්ගේ අවශ්‍යතා සපුරාලන ව්‍යාපාර පමණක් තෝරා ගනිති. මෙය ව්‍යාපාර සඳහා අභියෝගයක් වුණත්, සාර්ථක ව්‍යාපාර, පාරිභෝගික තෘප්තිය ඉහළ නංවා ගෙන කටයුතු කිරීමට විවිධ අයුරින් උත්සාහ කරති.
රූපවාහිනී තිරය මත මඳක් ඔබ බලා සිටින්න. එහි යන වෙළෙඳ දැන්වීම් ප්‍රමාණය කොතෙක් ද යන්න, මම ඔබට අමුතුවෙන් කිව යුතු නැත. එහෙත්, ඔබ මතකයෙහි සටහන් වන්නේ කොපමණ ප්‍රමාණයක් ද? ඇසට ඉතාමත් ප්‍රිය, කනට ඉතාමත් මිහිරි දෑ පමණක් ඉක්මනින් ඔබ මතකයෙහි සටහන් වෙයි. ඒ කෙසේ වුවත් වෙළඳ දැන්වීමක දකින දේටත් වඩා, අප ළඟින් ඇසුරු කරන පුද්ගලයකු පවසන වෙළඳ භාණ්ඩයක් මිල දී ගැනීමට අප කිසිසේත් පැකිලෙන්නේ නැත. උදාහරණයක් ලෙස, ඔහු/ඇය නිර්දේශ කරනවා නම් යම් රූපලාවණ්‍ය භාණ්ඩයක් – කෑමක් – හෝ වෙන යම් දෙයක්, අප එය නිසැක ව ම මිල දී ගන්නේ නැති ද? එය නො වේ ද යම් ව්‍යාපාරයක සාර්ථකත්වය?
කෙසේ වුවත් ගෝලීය පාරිභෝගික තෘප්තිමත් දර්ශකවල තවමත් ශ්‍රී ලංකාව මධ්‍යස්ථ ව ශේණිගත වී ඇත. ඒ වගේ ම ශ්‍රී ලංකාවේ සේවා ව්‍යාපාර, පාරිභෝගික අභිප්‍රාය අධික කර ගැනීම සඳහා, සේවා පියසර වැනි උපාය මාර්ගික උත්සාහ ගනිමින් සිටියි. තව ද නව තාක්ෂණය සහ අන්තර්ජාල අලෙවිය මගින් පාරිභෝගිකයන්ට ඉක්මන් සහ පහසු සේවා ලබා දෙමින්, පාරිභෝගික තෘප්තිය ඉහළ දැමීම, නව ප්‍රවණතාවක් බවට පත්වෙමින් පවතියි.
ඒ වගේ ම හොඳ පාරිභෝගික සේවයක් සෑම වෙළඳ ව්‍යාපාරයකින් ම සෑම වෙළඳ භාණ්ඩයකින් ම ලබා දීමටත් සියලු වෙළඳ ව්‍යාපාරිකයන් වග බලා ගත යුතු ය. සෑම අවස්ථාවක ම පාරිභෝගිකයන් තම වටිනා ම සම්පත බව ඔවුන්ට පසක් වීමට සැලැස්වීමෙන් හොඳ වෙළඳ සන්නාමයක් දීර්ඝ කාලීන ව ව්‍යාපාරිකයන්ට ලබා ගත හැකි ය.

ආර්. ආර්. ශලිනි මධුෂානි
වාණිජ හා කළමනාකරණ පීඨය
ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලය