‘විදේශ සේවා නියුක්තිය’ මගින් අපේක්ෂිත ගුණාත්මක සංවර්ධනය ළඟා කර ගත හැකි ද?

පර්යේෂණයකින් හෙළි වූ තොරතුරු

රැකියා සඳහා විදේශ ගත වීම ශ‍්‍රී ලාංකික සමාජයේ ඉතා බහුල ව සිදුවන්නකිි. විදේශ සේවා නියුක්තිකයන් විසින් මෙරට ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබා දුන්න ද ඒ හා බැඳුණු අනෙකුත් සමාජීය හා සෞඛ්‍යමය ගැටලූ පිළිබඳ ව ද සැලකිලිමත් වීම වැදගත් ය.

ලාංකික ශ‍්‍රමිකයන් විදේශීය රටවල රැුකියා සොයා යාමට මූලික හේතු කාරණා ලෙස ආර්ථික දුෂ්කරතා, ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය, පවුල් සංස්ථා බිඳී යාම්, අමිහිරි අත්දැකීම් සමග බැඳුණු පරිසරයෙන් මිදීම ආදිය දැක්විය හැකි ය. එහෙත් එමගින් කොතෙක් දුරට එම අපේක්ෂා සාක්ෂාත් කර ගත හැකි දැ යි අවධානයට ලක් කළ යුතු ය.

ශ‍්‍රී ලාංකික විදේශ සේවා නියුක්තිකයන්ගේ ඒකායන අරමුණ වනුයේ ආර්ථික සංවර්ධනය මගින් ගුණාත්මක බවින් ඉහළ මට්ටමකට ළඟා වීම ය. එහෙත් අත්කර ගන්නා ආර්ථික සංවර්ධනයට පසුගාමී ලෙස පවුල්වල පවතින ගැටලූ වඩාත් උග‍්‍ර වීම, විවිධ සමාජීය සහ සෞඛ්‍යමය ගැටලූ ඇති වීම සුලබ සිදුවීම් ය.

විදේශ සේවා නියුක්තිය මගින් ඵලදායී ආර්ථික හා සමාජ සමෘධියක් අත්කර ගැනීම සඳහා මෙරට රජය විසින් විවිධ ප‍්‍රතිපත්ති සහ නීති සම්පාදනය කර ඇත. එනමුදු ඉහළ යන විදේශ සේවා නියුක්තිය සහ විවිධ සමාජිය ගැටලූ නිසා එම නීති සහ ප‍්‍රතිපත්ති ප‍්‍රතිසම්පාදනය කිරීම කාලීන වශයෙන් වැදගත් ක‍්‍රියාවලියකි.

‘සෞඛ්‍ය අමාත්‍යංශය’ සහ ‘විදේශගත වීම පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය’ (International Organization of Migration- IOM) විසින්, මෙරට විදේශගත වීම් හා සබැඳුණු සෞඛ්‍යමය ප‍්‍රතිපත්ති (Migration Health Policy) ගොඩ නැංවීමේ අවශ්‍යතාව හඳුනා ගෙන, ඊට පර්යේෂණාත්මක දත්ත පදනම් කර ගත් ප‍්‍රතිපත්ති සම්පාදනය කරනු වස් දීප ව්‍යාප්ත සමීක්ෂණයක් දියත් කරන ලදි. එහි දී රැකියා සඳහා රට තුළ සිදු වන සංක‍්‍රමණය වීම (Internal Migration) විදේශීය රටවල්වලට සංක‍්‍රමණය වීම (Out bound Migration) සහ රැකියා සඳහා මෙරටට සංක‍්‍රමණය (In bound Migration) වන පවුල් පිළිබඳ ව අධ්‍යයනය කරන ලදී. තව ද එම පවුල්වල ප‍්‍රධාන සාමාජිකයකු (මව හෝ පියා), විදේශ ගත වීමෙන් පසු සිය රට තනි වන පවුලේ අනෙකුත් සාමාජිකයන්ට සිදු වන බලපෑම ද අවධානයට ලක් කරන ලදි.

ජාතික ප‍්‍රතිපත්ති ප‍්‍රතිසම්පාදනය කිරීමේ අරමුණෙන් දීප ව්‍යාප්ත ව කරන ලද මෙම පුළුල් සමීක්ෂණයේ ‘සහකරු විදේශගත වීමෙන් පසු සිය රට තනි වන පවුල කෙරෙහි ඇති වන බලපෑම’ පිළිබඳ ව අධ්‍යයනය කළේ ‘පර්යේෂණ හා සංවර්ධන ආයතනය’ යි. මෙම අධ්‍යයනය දිවයිනේ ඉහළ ම සංක‍්‍රමණ ප‍්‍රතිශතයක් පෙන්නුම් කරන දිස්ත‍්‍රික්ක හයක් (කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, පුත්තලම සහ මහනුවර) ආවරණය වන පරිදි 2011 වසරේ මැයි-ජූලි කාල වකවානුවේ දී කරන ලදී.

පසුබිම

විදේශ සේවා නියුක්තිය මෙරට නිල වශයෙන් ආරම්භ වූයේ 1976 දී ය. එහි දී විදේශ ගත වන ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයන් වෙනුවෙන් කම්කරු අමාත්‍යාංශයට අනුබද්ධ ව ‘විදේශ සේවා නියුක්ති ඒකකය’ ආරම්භ කරන ලදී. 1976 දී ශ‍්‍රි ලාංකිකයන් 500ක් රැකියා සඳහා විදේශ ගත වූ අතර ඉන් 75%ක් දෙනා පිරිමි සේවකයෝ වූහ. මෙම රටාව 1988 සිට වෙනස් වූ අතර 1990 වන විට කාන්තා නියෝජනය 75%ක් පමණ විය. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 2009 වාර්ෂික වාර්තාවට අනුව මිලියන 1.5ක් පමණ ශ‍්‍රී ලාංකිකයන් විදෙස් රටවල සේවය කරන අතර, ඉන් 51%ක් කාන්තාවෝ වෙති.

විදේශ සේවා නියුක්තියේ දී සාමාන්‍ය කොන්ත‍්‍රාත් කාලය වසර 2ක් වූව ද බොහෝ දෙනා දීර්ඝ කාලීන ව සහ අඛණ්ඩ ව විදේශ ගත වී සිටින අවස්ථා සුලභ ය. මෙලෙස විදේශ ගත වන බහුතරයක් කාන්තාවන් දරුවන් සිටින

මව්වරුන් වන බැවින් මිලියනයක් පමණ දරුවන්ට සිය මවගේ උණුසුම තාවකාලික ව අහිමි වේ. මෙම තත්ත්වය පර්යේෂකයන් විසින් විවිධ කෝණවලින් විමර්ශනයට ලක් කළ මාතෘකාවක් වන අතර

බොහෝ අධ්‍යයනවලින් (මෙම අධ්‍යයනයෙන්) අනාවරණය වූයේ ‘විදේශ සේවා නියුක්තිය’ මගින් අපේක්ෂිත ගුණාත්මක සංවර්ධනය ළඟා කර ගත නොහැකි බව යි.

‘පර්යේෂණ හා සංවර්ධන ආයතනය’ විසින් කරන ලද මෙම දීප ව්‍යාප්ත අධ්‍යයනයෙන් පවුල්වල මව හෝ පියා විදේශ ගත වීම නිසා මෙරට තනි වන පවුලේ සාමාජිකයන්ගේ (දරුවන්, බිරිඳ හෝ සැමියා, දරුවන් රැුක බලාගන්නන්) සමාජීය සහ සෞඛ්‍යමය බලපෑම අධ්‍යයනය කරන ලදී. මෙහි දී ලබා ගත් දත්ත විදේශ ගත සාමාජිකයන් නොමැති පවුල්වලින් එක්කර ගත් දත්ත සමග සංසන්දනය කරන ලදී. ඉහත දිස්ත‍්‍රික්ක ආවරණය වන පරිදි මේ සඳහා සහකරු විදේශ ගත වූ පවුල් 410ක් සහ සංසන්දනාත්මක පවුල් 410ක් සහභාගි කර ගන්නා ලදී.

අධ්‍යයනයේ දී හෙළි වූ තොරතුරු

විදේශ සේවාවල නියුක්ත පවුල් අතරින් 73%ක් සිංහල ද, 18%ක් මුස්ලිම් ද, 5%ක් දෙමළ ද, 4%ක් අනෙකුත් ජාතීන්ට ද අයත් පවුල් විය. එහි දී බහුතරයක් මුස්ලිම් පවුල්වල (94%) විදේශ ගත වී සිටියේ ස්වාමිපුරුෂයා වන නමුත් සිංහල පවුල්වල 49%ක් සහ දෙමළ පවුල්වල 33%ක් ස්වාමිපුරුෂයා විදේශ සේවයේ නියුක්ත වී සිටියහ. බහුතරයක් පවුල් (73.2%* ග‍්‍රාමීය ප‍්‍රදේශවල ජීවත් වන්නෝ වූහ.

මෙම පවුල් අතරින් 44.7%ක ප‍්‍රතිශතයක් ණය බරින් යුක්ත වූ අතර, එය සංසන්දනාත්මක පවුල් සමග සැසදීමේ දී සැලකිය යුතු මට්ටමක ඉහළ අගයක් විය.

විදේශ සේවා නියුක්තික පවුල් අතරින් බහුතරයක් (93.6%) තමන්ගේ ම නිවසක හෝ කුලී නොගෙවන නිවසක ජීවත් වෙති. සංසන්දනාත්මක පවුල්වල නිවාස සමග සැසඳීමේ දී එම නිවාසවල ගුණාත්මකභාවය තරමක් ඉහළ විය.

ආහාර පිසීම සඳහා භාවිත කරන ඉන්ධන වඩාත් සෞඛ්‍යාරක්ෂිත ලෙස භාවිත කිරීමට විදේශ සේවා නියුක්තික පවුල්වල සාමාජිකයන් කටයුතු කරන බව පැහැදිලි විය.

විදේශ සේවා නියුක්තිකයාගෙන් එම පවුලට ලැබෙන ආර්ථික දායකත්වය සැලකීමේ දී 48.7%ක් පමණ පවුල් සංඛ්‍යාවක් සතුටුදායක මට්ටමේ විදේශ විනිමයක් ලබන අතර, 11%ක් පවුල් කිසිදු දායකත්වයක් නොලබති. දීර්ඝ කාලීන ව විදේශ සේවයේ නියුක්ත ව සිටි පවුල්වල ණය බර අඩු වී තිබුණු අතර යම් ආර්ථික සංවර්ධනයක් ද අත්කර ගෙන තිබිණි.

දරුවන් රැක බලා ගැනීම බහුතරයක් පවුල්වල (54.2%) මෙරට සිටින මව හෝ පියා විසින් ම ඉටු කරන අතර, 13.4%ක් පමණ පවුල්වල මෙරට සිටින මව හෝ පියාට අමතර ව දරුවන් බලා ගන්නෙක් සිටියේ ය.

32.4%ක් පමණ පවුල්වල සිටියේ මව හෝ පියා පමණි. එවිට එම එක ම මව හෝ පියා විදේශ ගත වූ විට දරුවන් රැක බලාගැනීම, ඇතුළු පවුලේ සියලූ කටයුතු මෙහෙය වන ලද්දේ දරුවන් රැක බලා ගන්නා විසිනි. දරුවන් බලාගන්නා තැනැත්තන් බොහෝ විට වියපත් සහ අඩු අධ්‍යාපනික මට්ටමින් යුක්ත පුද්ගලයන් (මව/පියා, ආච්චි/සීයා) විය.

විදේශ සේවා නියුක්තික සාමාජිකයන්ගේ කාලාත‍්‍රයන්ගේ අධ්‍යාපන මට්ටම ද සංසන්දනාත්මක පවුල්වල කාලාත‍්‍රයන්ගේ අධ්‍යාපන මට්ටම සමග සසඳන විට පහළ මට්ටමක පවතින බව හෙළි විය.

විදේශ සේවා නියුක්තික පවුල්වල දරුවන් රැකබලා ගන්නන් අතර මානසික හැල හැප්පීම් (විෂාදය හෙවත් මානසික අවපීඩනය (Depression)” කාංසාව (Anxiety)” කායානුරූපි මනෝ රෝග (Somatoform Disorder) ඇති වීමේ ප‍්‍රවණතාව වැඩි අතර, සිය රට තනි වූ කාලාත‍්‍රයන් මානසික අවපීඩනයට ලක්වීමේ අවධානම සංසන්දනාත්මක පවුල්වල කාලාත‍්‍රයන්ට වඩා වැඩි ය.

සමස්තයක් ලෙස බැලීමේ දී විදේශ සේවා නියුක්තික පවුල්වල දරුවන් රැුකබලා ගන්නන්ගේ කායික සහ මානසික සෞඛ්‍යය අසතුටුදායක මට්ටමක පැවතිණි. සහකරු විදේශගත වීම නිසා මෙරට තනි වූ

කාලාත‍්‍රයන්ගේ ගුණාත්මකභාවය සංසන්දනාත්මක පවුල්වල කාලාත‍්‍රයන්ට වඩා පහළ මට්ටමක පැවතිණි. විදේශ සේවයේ නියුක්තිකයන්ගේ දරුවන්ගේ බර සැලකීමේ දී නිරෝගි බර පන්තියට අයත් ප‍්‍රතිශතය සංසන්දනාත්මක පවුල්වලට වඩා අඩු විය. එම දරුවන්ගේ උග‍්‍ර බර අඩු පන්තියට වැඩි වශයෙන් අයත් වූ අතර ඇතැම් දරුවන් අධි බර පන්තියට අයත් විය.

භාර්යාව විදේශ ගත වූ පවුල්වල මෙරට තනි වූ ස්වාමිපුරුෂයන් අතර මත්පැන් හා දුම්වැටි භාවිතය සංසන්දනාත්මක පවුල්වලට වඩා සැලකිය යුතු ලෙස වැඩි ය. එම සාධකය ඉතා ගැඹුරින් අවධාරණය කළ යුතු වන්නේ ඉන් බොහෝ බලපෑමක් ඇති කළ හැකි බැවිනි. මත්පැන් හා දුම්වැටි සඳහා විදේශ විනිමය ලෙස ලැබෙන මුදල් වැය කිරීමෙන් ආර්ථික ගැටලූ තවත් උග‍්‍ර වීම මෙන් ම පවුලේ තනි වී සිටින ගැහැනු දරුවන් අපහරණයට ලක් වීමේ අවදානම ද වැඩි වීම කෙරෙහි බලපෑ හැකි ය.

ශ‍්‍රී ලාංකිකයන් විදේශ ගත වීමේ මූලික හේතුව විධිමත් ආර්ථික සංවර්ධනයක් අත්කර ගැනීම යි. එම අවශ්‍යතාව දැඩි ව දැනෙන්නේ පවුලේ දරුවන් සංඛ්‍යාව වැඩි වීමත් සමග ය. එහි දී විදේශ ගත වන්නේ මව නම්, දරුවන් රැුක බලා ගැනීමට සහ පවුලේ සියලූ කටයුතු මෙහෙය වීමට මාතෘ පාර්ශවයේ ඥාතීන් (අත්තම්මා/ආතා හෝ සොහොයුරියන්) ඉදිරිපත් වේ.

විදේශ සේවා නියුක්තිකයන්ගේ කාලත‍්‍රයන් ද බොහෝ විට මෙරට රැකියාවක නිරත වී පවුලේ ආර්ථිකයට දායක වීම දක්නට ලැබිණි. ඔවුන් බහුතරයක් දෙනා ස්වයං රැකියා/ ගොවිතැන හෝ කම්කරුවන් ලෙස කටයුතු කරනු දක්නට ලැබිණි.

බිරිඳ හෝ ස්වාමිපුරුෂයා විදේශ ගත වූ විට සම්පූර්ණ පවුලෙහි වගකීම, ආර්ථිකය හැසිරවීම, දරුවන් රැකබලා ගැනීම සහ රැුකියාවෙහි නිරත වීම යන සියල්ල සිය රට තනි වන කාලත‍්‍රයා මත පැවරෙන නිසා ඔවුන් කායික ව සහ මානසික ව ආතතියට ලක් ව සිටින බව පැහැදිලි විය. විදේශ ගත සාමාජිකයා පවුල සමග නිරන්තරයෙන් සන්නිවේදනය කරන්නේ නම් මෙම තත්ත්වය මදක් සමනය වන අතර, විදේශ

සේවා නියුක්තිකයා විසින් ලබා දෙන ආර්ථික දායකත්වය අසතුටුදායක නම් මෙම තත්ත්වය වඩාත් අයහපත් වේ.

විදේශ ගත සාමාජිකයන් රෝගී තත්ත්වයක් හෝ අපහරණයට ලක්වීමක් හෝ මරණයට පත්වීමක් බඳු අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වූ විට මෙරට සිටින පවුලේ සාමාජිකයන් ක‍්‍රියා කළ යුත්තේ කෙසේ දැ යි පිළිබඳ දැනුම ඉතා අල්ප විය. බොහෝ දෙනා රැකියා නියෝජිත කාර්යාලයක් හරහා විදේශ ගත වූවන් නිසා පවුලේ සාමාජිකයන් අපේක්ෂා කරන්නේ ඒ පිළිබඳ සියලූ කටයුතු එම නියෝජිතායතන විසින් කර දෙනු ඇති බව යි. ඇතැම් පවුල්වල සාමාජිකයන් විදේශ

සේවා නියුක්තිකයන්ගේ කාර්යාංශය  (SLFEB) නමින් විදේශ සේවා නියුක්තිකයන් වෙනුවෙන් ක‍්‍රියා කරන රජයේ ආයතනයක් ඇති බව වත් නොදැන සිටියහ.

සමස්තයක් වශයෙන් ගත් කල විදේශ සේවා නියුක්තිය නිසා මෙරට තනි වන පවුල් සංස්ථාවට විවිධ සාමාජික, සමාජීය, සංස්කෘතික, ආර්ථික හා සෞඛ්‍යමය බලපෑම් රැුසක් ඇති වන බව පැහැදිලි ය. එම නිසා විදේශ සේවා නියුක්තිය හා සබැඳුණු සෞඛ්‍යමය ප‍්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ඒ ඒ සාධක අවධාරණයට ලක් කළ යුතු බව මෙම පර්යේෂණයෙන් තහවුරු විය.

 

වෛද්‍ය සුලෝචනා වීරවර්ණ