සිංහලට පෙම් බැඳි චීන මහාචාර්යවරයා

“මට ශ‍්‍රී ලංකාව උපන් බිම වාගෙ යි. දැන් මම වැඩිපුර ම ආශ‍්‍රය කරන්නේ ලාංකිකයෝ. මෙහෙ ඉන්න අය මට සලකන්නේ චීන ජාතිකයෙක් විධිහට ම නෙමෙයි, භාගයක් සිංහල වෙච්ච අයකුට වගෙ යි. අපි දකින විධිහට මෙහෙ මිනිස්සු හරිම සංවර භාවයෙන් යුතු,  ආගන්තුක සත්කාර ඉතා ඉහළින් ම සිදු කරන අය යි. බෞද්ධ ශිෂ්ඨාචාර මත ගොඩ නැගුණු සිංහල ජාතිය හරිම කරුණාවන්ත යි”.

“ඒ වාගේ ම ලංකාවේ මිනිස්සුන්ගේ සාක්ෂරතාවත් ඉතා ඉහළ යි. විශේෂයෙන් මේ වගේ පොඩි රටක නිදහස් සෞඛ්‍යය සහ නිදහස් අධ්‍යාපන පහසුකම් ගත්තහම ලෝකයේ අනිත් රටවලටත් ආදර්ශයක්. සමාජවාදී රටක් වූ චීනයේ පවා උසස් පෙළ, විශ්වවිද්‍යාල අධ්‍යයන පහසුකම් මුදල් ගෙවලා තමයි ලබා ගන්න තියෙන්නේ”. යැයි ඔහු ඉතා අපූරුවට සිංහල වචන උච්චාරණය කරමින් පවසයි.

ඔහුගේ නම ‘හව් වේ මින්’ ය. දැනට සබරගමුව විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයන අංශයේ චීන භාෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා ඔහු ය. ඔහු ප‍්‍රථම වතාවට ලංකාවට පැමිණෙන්නේ 1983 දෙසැම්බර් මාසයේ දී යි. ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිංහල භාෂා සාහිත්‍ය සහ බුදුදහම හැදෑරීමට අධි ශිෂ්‍යත්වයක් ලැබිමේ ප‍්‍රතිඵලයක් ලෙස යි.

“මේ මගේ රට ම යි, මේ මිනිස්සු මගේ ම අය”, මින් ගේ සිතට පාළුවක් නොදැණිනි. අරුණාචලම් ශාලාවේ තනි කාමරයක් ඔහුට ලැබුණු අතර ඔහුගේ ආහාර පිළියෙල කර ගත්තේ ඔහු විසින් ම ය. මහාචාර්ය පී. බී. මීගස්කුඹුර, මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න, මහාචාර්ය වරකාවේ ධම්මාලෝක හිමි, මහාචාර්ය මයිකල් ප‍්‍රනාන්දු, මහාචාර්ය පියසීලි විජේමාන්න, මහාචාර්ය ඩබ්ලිව්. එම්. ගුණතිලක, මහාචාර්ය ආරිය රාජකරුණා, මහාචාර්ය උදය ප‍්‍රශාන්ත මැද්දේගම, වැනි මහා වියතුන්ගෙන් සිංහල භාෂාව ඉගෙනගත් ඔහුට මහාචාර්ය ලිලී ද සිල්වා, මහාචාර්ය චේතිය විතානාච්චි, මහාචාර්ය යතගම ධර්මපාල හිමි, වැනි වියතුන්ගෙන් පාලි භාෂා සාහිත්‍ය සහ ථේරවාද බුදුදහම පිළිබඳ දැනුම ලැබුණි.

මේ කාලයේ මින්ට මහාචාර්ය සරත්චන්ද්‍ර හඳුනා ගැනීමට අවස්ථාව ලැබුණු අතර චීන සාහිත්‍ය පිළිබඳ මින් ලියූ ලිපි සරත්චන්ද්‍රයන්ගේ පැසසීමට ලක් විය. “මින් සිංහල අගේට ලියනවානේ, කතා කරනවානේ” යැයි සරත්චන්ද්‍ර මහතා සතුටින් කීහ.

සාර්ථක ව අධ්‍යාපනය හැදෑරූ මින් නැවත 1985 දෙසැම්බරයේ දී චීනය බලා පිටත් වන්නේ සිංහල ඩිප්ලෝමා සහතිකය ද පාලි හා බෞද්ධ සාහිත්‍ය සහතිකය ද ලබා ගෙන ය. නැවත ‘පෙයිචිං’ විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ සේවයට යන ඔහු සිංහල අංශයේ අංශ ප‍්‍රධාන, උප පීඨාධිපති, විශ්වවිද්‍යාල පර්යේෂණ හා පශ්චාත් උපාධි පාලක ආදි තනතුරු රාශියක් හොබව යි.

ඔහු උපන්නේ 1955 පෙබරවාරි මස 4 වැනිදා ය. ඒ උතුරු චීනයේ කහ ගං ඉවුරේ පිහිටි පැරණි නගරයක් වූ ‘ශිආන්’(Xian) නම් ප‍්‍රදේශයේ ය. ඔහුගේ පියා ‘හව්සංෆු’, වෘත්තියයෙන් ගමනා ගමන මණ්ඩලයේ කළමණාකරුවකු විය. මව පෙහෙ කම්හලක සේවය කළ අතර, තමා උපන් පසු ඇය සේවයෙන් විශ‍්‍රාම ගියා ය. මින්ට සහෝදරියක් සහ සහෝදරයෙක් ද සිටී.

වර්ෂ 1949 දී චීනය රදළ ධනපති අත්වලින් මිදී පොදු ජන අයිතියට පැවරෙමින් තිබූ අතර, 1949ට පෙර ඔහුගේ මවගේත් පියාගේත් ජීවිත දුකින් පිරී තිබුණි. එකල මාවෝ සේතුං නමැති ශ්‍රේෂ්ඨ ජන නායකයා පීඩිත පන්තියේ යහපත උදෙසා සටන් වදින බව දැන ගත් මින්ගේ පියා වයස අවුරුදු 14 දී ජපන් ආක‍්‍රමණිකයන්ට හා චීන රදළ ධනපතීන්ට එරෙහි ව විමුක්ති හමුදාවේ බටයකු වී තුවක්කුව අතට ගත්තේ ය. කොමියුනිස්ට්වාදය පීඩිත ජනතාවගේ එක ම විමුක්ති දහම ලෙස දුටු ඔහු, කොමියුනිස්ට්වාදය හදාරමින් පීඩිතයෙන්, සූරාකෑමෙන් තොර සමාජයක් උදෙසා කැප වූයේ ය. එකල මින්ගේ මව ද විමුක්ති හමුදාවේ සෙබළියක් වූවා ය.

හව් වේ මින් කුඩා කල පදිංචි ව සිටි නිවස අවට කම්කරුවන්, වැඩ මූලිකයන්, කළමණාකරුවන් මෙන් ම රජයේ සංස්ථා ප‍්‍රධානින්ගේ නිවාස ද විය. මේ සෑම දෙනෙක් ම ඇඳුමෙන් ආහාර පානවලින් හැසිරීමෙන් සමාන වූහ. ධන තන්හාවත්, තරගයත් එකල ජනතාව අතර නොතිබිණි.

පුංචි හව් වේ මින් මුලින් ම පාසල් ගියේ ‘ශ්යැන් යං’ නුවර පිඟන් කම්හලට නුදුරින් පිහිටි පාසලට ය. පිඟන් කම්හලේ දස දහස් ගණනක් වූ සේවකයන්ගේ දරුවන් වෙනුවෙන් ඒ පාසල පිහිටුවා තිබිණි. 1961 සිට 1964 දක්වා අවුරුදු 03ක කාලයක් මින් ඒ පාසලෙන් අධ්‍යාපනය ලැබිය. එම වසර 03 දී ම ඔහු පන්තියේ දක්ෂතම ශිෂ්‍යයා විය.

පසු ව ‘ශිආන්’ නුවර මධ්‍යම මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේ දි ඔහුට උසස් සාහිත්‍ය ගූරුවරයකු ඇසුරු කිරීමට අවස්ථාව ලැබුණු අතර එමගින් ඔහුට චීන මහා ලේඛක ‘ලූ ශූන්’ ගේ පොත්පත් කියවීමට අවස්ථාව ලැබිණි. සමාජ යථාර්ථය මතු කෙරුණු එම පොත් කියවීමෙන් ඔහු මහත් ආශ්වාදයක්, ධෛර්යයක් ලැබිය. 1966 දී ඇරඹු චීන සංස්කෘතික විප්ලවයට මධ්‍යම මහා විද්‍යාල ශිෂ්‍යයකූ වු හව් වේ මින්ට ද මුහුණ දිමට සිදු විය. ඔහු තම සහෝදර ශිෂ්‍යයන් සමග කම්හලට ගොස් කම්කරුවන් සමග එක්ව වැඩ කළෝ ය. උපන් දා සිට කම්කරු පවුල් සමග වැඩුණු මින්ට මෙය අමුත්තක් නොවිය.

විශ්වවිද්‍යාල ප‍්‍රවේශ පරික්ෂණයෙන් සමත් වු මින්ට විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයකට ඇතුළු විමට අවස්ථාව ලැබිණි. එහෙත් සංස්කෘතිය සහ භාෂාව පිළිබද ව විෂයයන්ට ඇලූම් කළ ඔහුගේ වාසනාවට ‘පෙයිචිං’ විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ තේරිම් කණ්ඩායම එම සතියේ ම ‘ශිආන්’ නගරයට පැම්ණි අතර, හව් වේ මින් ද ඔවුන් විසින් ඒ සදහා තෝරා ගත් එක් අයෙක් විය.

එහි දී අරාබි, පෘතුගීසි සහ සිංහල යන භාෂාවලින් එකක් තෝරා ගැනීමට ඔහුට සිදු විය. සිංහල, චීන බසින් උච්චාරණය වූයේ ‘සංචාලෝ’ යන නමිනි. මේ වචනය ඇසුණු මොහොතේ ම මින්ට සිහි වූයේ සංඝයා වහන්සේලා ය. ‘සංචා’ යනු සංඝයා ය. සංඝයාට බැඳුණු භාෂාවත්, බුදු සමයට බැඳුණු භාෂාවත් යන අදහස ඔහු තුළ ඇති විය. බුදු දහම පිළිබඳ ඇල්මකින් සිටි ඔහු ඒ නිසා සිංහල භාෂාව තෝරා ගත්තේ ය. ඔහුගේ දෙ වන  විදේශ බස ඉංග‍්‍රිසි වූ අතර දර්ශනය හා ඉතිහාසය ද ඔහුගේ විශ්වවිද්‍යාල විෂය මාලාවට ඇතුළත් විය.

එම විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ප‍්‍රමුඛාචාර්යවරයා ලෙස කටයුතු කළ සිරිපාල ලිලාරත්න මහතා යටතේ ඉතා උද්යෝගයෙන් සිංහල ඉගෙන ගත් මින් ඉතා ඉක්මනින් ඇසීම, කතා කිරීම, කියවීම, ලිවීම සහ පරිවර්තනය කිරීම ආදියට මහත් රුසියකු විය.

1977 දී මින් සිංහල ශාස්ත‍්‍රවේදි ගෞරව උපාධිය පළමු පෙළ සාමාර්ථයක් ලබා ගනිමින් විශ්වවිද්‍යාල ජීවිතය අවසන් කරන ලදි. එහෙත් ලීලාරත්නයන් විසින් ඔහුට සරසවියෙන් ඉවතට යාමට නුදුන් අතර, සිංහල අංශයේ සහකාර කථිකාචාර්ය තනතුරක් ඔහුට ලැබිණි. එහි දී ඔහු වඩාත් සිංහල සම්භාව්‍ය සාහිත්‍ය හැදෑරූ අතර එනිසා ම තමා තුළ ආධ්‍යත්මික වෙනසක් ඇතිවෙනවා ඔහුට දැණිනි. මේ නිසා ම සිංහල භාෂාවට ඔහුගේ ආදරය වැඩි විය. ඒ කාලයේ දී ලීලාරත්න මහතා ප‍්‍රමුඛ සෙසු ආචාර්යවරුන් සමග එක් වූ මින් ‘සිංහල චීන ශබ්ද කෝෂය’ සහ ‘සිංහල පාඨමාලා ග‍්‍රන්ථ’ නිපද වූයේ ය.

පසු ව 1981 දී කථිකාචාර්ය හව් වේ මින් මහා විද්‍යාලයක ඉංග‍්‍රිසි ගුරුවරියක වූ ‘ත්සව්යැන්’ සමග විවාහ වූ අතර ඔවුන්ට දුවක් ද උපන්නා ය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සාර්ථක ව අධ්‍යාපනය ලබා චීනයේ පෙයිචිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ සේවයට ගිය මොහුට නැවත ශ‍්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාව උදාවන්නේ කැළණිය විශ්වවිද්‍යාලයෙන් තම ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා ය. ඔහුට ඒ සඳහා චීන රජය සහ හොංකොං බෞද්ධ සංවිධානය විසින් ශිෂ්‍යත්වයක් පිරිනැමිණි. කැළණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු, මහාචාර්ය තිලක් කාරියවසම්, යන මහත්වරුන්ගේ උපදෙස් ලබමින් ඔහු තම ආචාර්ය උපාධිය ලබා ගැනීම සඳහා තොරතුරු එක් රැස් කරන්නට විය. ඔහු ථෙරවාදී සම්ප‍්‍රදායයන් හඳුනා ගැනීම සඳහා ලංකාව පුරා සංචාරය කළේ ය. වෙසක් පොසොන් උත්සව නැරඹුවේ ය. ධර්ම සාකච්ඡුා, ශීල ව්‍යාපාරවලට සම්බන්ධ වූයේ ය. සුප‍්‍රකට අප‍්‍රකට බෞද්ධ ආරාම නැරඹුවේ ය. පුරා වස්තු පරීක්ෂා කළේ ය. සිංහල පාලි දහම් පොත් හැදෑරුවේ ය. අලූත් දැනුම චීන යුන්නන් පළාතේ ථෙරවාදය සමග සැසදුවේ ය. ලංකාවේ ථෙරවාදී බුදු දහම පිරිසිදු ව ආරක්ෂා වි ඇති ආකාරය ඔහුට පෙණිනි.

ඔහුගේ උපාධි නිබන්ධය කැළණිය විශ්වවිද්‍යාලය විසින් පිළිගණු ලැබිමෙන් අනතුරු ව ඔහුට එම විශ්වවිද්‍යාලයේ ම චීන භාෂා ආචාර්යවරයා ලෙස පත්විමක් ලැබෙයි. ඔහු එතැන් පටන් අද දක්වා ම අපේ රටේ විශ්වවිද්‍යාල කිහිපයක ම චීන දර්ශනය, චීන මූලාශ‍්‍ර පරිශීලනය, චීන බුදු දහම, චීන භාෂාව ආදී විෂය ක්ෂේත‍්‍ර ගණනාවක ම කථිකාචාර්යවරයෙක් ලෙස සේවය කරයි. එමෙන් ම ඔහු චීන ශ‍්‍රී ලංකා සංස්කෘතික කේන්ද්‍රයේ චීන භාෂා පාඨමාලාවේ කථිකාචාර්යවරයෙක් ලෙස ද කටයුතු කළේ ය. එසේ ම බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ, ශ‍්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සහ සංචාරක මාර්ගෝපදේශකයන්ගේ සංගමයේ ද චීන භාෂාව උගන්වයි. තරුණසේවා සභාවේ සහ බස්නාහිර පළාත් අමාත්‍යාංශය විසින් සංවිධානය කළ චීන භාෂා පාඨමාලාවල ද ප‍්‍රමුඛාචාර්යවරයා වූයේ ද ඔහු ය. ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, සංචාරක මණ්ඩලය ආදී මෙරට ආර්ථිකයට ඝෘජු ලෙස සම්බන්ධ වන ආයතනවල වෙබ් අඩවි, මාර්ගෝපදේශන අත්පොත් ආදිය සැකසීමෙහි දී චීන භාෂාව පිළිබඳ උපදේශකවරයා වෙමින් අපේ රටේ දියුණුවට මහත් වූ සේවයක් මහාචාර්ය හව් වෙ මින් විසින් සිදු කර ඇත.

මීට වසර 06කට පමණ පෙර සබරගමුව විශ්වවිද්‍යාලයේ චීන භාෂා පාඨමාලාව ආරම්භ කිරීමට ඔහු පුරෝගාමී මෙහෙවරක් ඉටු කරන ලදී. මේජර් සහ මයිනර් වශයෙන් පැවැත්වෙන මෙම උපාධි පාඨමාලා සඳහා සිසු සිසුවියන් 100කට වැඩි පිරිසක් ඇතුළත් වී සිටිති.

චීන සාහිත්‍ය කෘති සිංහලට නැගී ඇත්තේ ඉතා අල්ප වශයෙන් බව මින් පවසයි. ලේඛකයන් කිහිප දෙනකු විසින් ග‍්‍රන්ථ සහ ලිපි සුළු ප‍්‍රමාණයක් සිංහලට නගා ඇති මුත් චීන සාහිත්‍ය කෘති විශාල ප‍්‍රමාණයක් ඇති බවත්, ඒවා සිංහලට මෙන් ම සිංහල කෘති චීන බසටත් නැගිය යුතු යැයි ඔහු පවසයි.

මේ කාර්යභාර්ය තම දෙවුරට ගත් ඔහු, ඩබ්ලිව්. එම්. ගුණතිලක, අශෝක පේ‍්‍රමරත්න, දර්ශන රත්නායක, වැනි මහාචාර්යවරුන් සහ සේනාරත්න වීරසිංහ, වරුණ චන්ද්‍රකීර්ති යන අය සමග එක් වී කෘති රැුසක් සිංහලයට නගා ඇත. මේ කෘති අතරින් ‘සුන් ත්ස’ තුමාගේ ‘යුද්ධ කලාව’, ‘ලා  ඕ ත්ස’ තුමාගේ ‘තා ඕ තචිං’, කොන්ෆියුසියස්තුමාගේ ‘ලූන් යු’ සහ ‘ශා ඕ චිං’ ග‍්‍රන්ථ ද්වය ද, ‘චීන පැරණි උපමා හා උපහාස කතා’ ආදිය විශේෂ තැනක් ගත් කෘති වේ.එමෙන් ම සිංහල භාෂාව සහ බුදු දහම පිළිබඳ විශ්වවිද්‍යාල ග‍්‍රන්ථ රාශියක් චීන බසට නගා ඇත. ‘ශුයි හු චුඅන්’ නම් කොටස් 43කින් යුක්ත චීන රූපවාහිණී ටෙලි නාට්‍ය ‘දිය කඩ ඉම’ නමින් සිංහලට පරිවර්තනය කර ඇත්තේ ද මහාචාර්ය මින් විසිනි.

ඔහු දැනට චීන භාෂාව උගන්වන, ‘ලූං හුවා’ (Long hua) නමින් සංස්කෘතික ආයතනයක් පවත්වාගෙන යයි. රාජ්‍යතාන්ත‍්‍රික කටයුතුවලට, සංචාරක මාර්ගෝපදේශකයින්, අධ්‍යාපනික කටයුතුවලට, ව්‍යාපාරික කටයුතුවලට හෝ වෙනත් කාරණාවලට චීනයට යන සහ චීනයේ සිට මෙරටට පැමිණෙන බොහෝ දෙනා පළමු ව පැමිණෙන්නේ මොහු වෙත ය. ඔහුගෙන් භාෂාව ඉගෙන ගැනිමට එන අයවලූන්ට චීන සමාජ, සංස්කෘතික දැනුම ද ලබා දීමට මහාචාර්ය මින් ලෝබ නො වේ. චීන ශ‍්‍රී ලංකා මිත‍්‍ර සබඳතා, තව දුරටත් ශක්තිමත් කිරීම උදෙසාත්, චීන භාෂාව, සංස්කෘතිය හා සමාජය පිළිබඳ මනා අවබෝධයක් ඇති කරලීම උදෙසාත්, චීන ත‍්‍රිපිටක බෞද්ධ ග‍්‍රන්ථ පිළිබඳ අවබෝධයක් ඇති කරලීම උදෙසාත් ‘චීන අධ්‍යයනය’ නමින් නව ශාස්තී‍්‍රය සඟරාවක් එළි දැක්වීමට ඔහු කටයුතු යොදමින් සිටින අතර, ඒ සඳහා මෙරට මෙන් ම චීනයේ ද විද්වත්හූ රාශියක් එක්රොක් වී සිටින බව මින් මහතා පවසයි.

අපේ රටේ විද්වතුන් රට හැර යන යුගයක බලවත් චීන දේශයේ සිට මේ පුංචි ලක්දිවට පැමිණ සිංහලූන් සමග කටයුතු කරමින් සිංහලෙන් කතා කරමින් දේශයේ රාජ තාන්ත‍්‍රික බැඳීම්වලට සම්බන්ධ වෙමින් කටයුතු කරන මෙවැනි විද්වතුන් අපට මහත් ආඩම්බරයක් සේ ම ඔවුන් රැුක ගැනීම අප සතු යුතුකමක් මෙන් ම වගකීමක් ද වන්නේ ය. ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි. ආතර් සී ක්ලාක් වැනි මහා ප‍්‍රාඥයින් නොරටින් මෙරටට පැමිණ සිදු කළ මහා මෙහෙවර අපේ රටේ සමාජ පන්තියේ නව චින්තන ධාරාවක් ඇති කරලීමට සමත් වූවා මෙන් ම අපේ රට ලෝකයා ඉදිරියේ ඔසවා තැබීමට මහගු මෙහෙවරක් වු බව  ඕනෑ ම කෙනකුට සරල ව වටහා ගත හැකි ය. අවුරුදු 20කට අධික කාලයක් මෙරටෙහි සිසු සිසුවියන්ගේ ඇස් පාදමින් ගුරුහරුකම් දෙමින් සිටින මේ මහාචාර්යතුමා ව තවමත් මෙරටෙහි පුරවැසියකු නො වන අතර සම්මාන පුරවැසිකමක් හෝ ලබා දෙමින් ඔහු ව රැක ගැනීමට කටයුතු කිරීම අදාළ බලධාරීන්ට දෑස් විවර වේවා යන්න මාගේ පැතුම යි.

 

ඔහු ගේ ලිපිනය සහ දුරකථන අංකය – අංක 134/A, ලෝරිස් පාර, කොළඹ 04.

0718293899

 

සටහන සහ ඡායාරූප

අරුණ ප‍්‍රශාන්ත වලිසුන්දර