සිංහල ගීතය පිළිබඳ සංගීතවේදාත්මක විග‍්‍රහයක් 3

මෙම කලාපයේ දී අවධානයට ලක් වන්නේ සිංහල ගීතය කෙරෙහි බටහිර සංගීත ශෛලිවල ආභාසය පිළිබඳ ව ය.

සිංහල ගීතය කෙරෙහි බටහිර සංගීත ශෛලිවල ආභාසය

ව්‍යවහාර සංගීත ක‍්‍රමයේ ප‍්‍රධාන ශාඛාවක් ලෙස බිහි ව ව්‍යාප්ත වූ ගීතය ආකෘතිය අතින් වෙනත් සංගීත සම්ප‍්‍රදායයන්ගේ ලක්ෂණවල ආභාසයෙන් ද පෝෂණය වුණි. නිර්මාණකරණයේ දී බටහිර ගායන ශෛලිවල අංග ලක්ෂණ මෙරට නිර්මාණ ශිල්පින් විසින් යොදා ගනු ලැබුණි. ඒ අතර පෘතුගීසින්ගෙන් පැවත එන්නේ යැයි සැලකෙන බයිලා, කපිරිඤ්ඤා, මාඤ්ඤ වැනි ජන සංගීතාංගවල අන්තර්ගත ලක්ෂණත් ස්පාඤ්ඤ (Spanish),  රොක් ඇන්ඞ් රෝල් (Rock’n Role),  Country and Western,  ලතින් ඇමරිකානු (Latin American) සහ ජෑස් (Jazz) වැනි ශෛලිවල ලක්ෂණත් ශ‍්‍රී ලාංකේය ගීතයේ ආකෘතිය කෙරෙහි බලපා ඇත.

බයිලා, කපිරිඤ්ඤා, මාඤ්ඤ සංගීත ශෛලියේ ආභාසය

බයිලා, කපිරිඤ්ඤා සහ මාඤ්ඤ යන සංගීතාංග පෘතුගීසින්ගෙන් පැවත එන ජන සංගීත ශෛලි ලෙස හැදින්වෙයි. ඒවා ගායනය විෂයයෙහි මෙන් ම වාදනය විෂයයෙහි ද බලපා ඇත. ශ‍්‍රී ලාංකේය ගීත නිර්මාණ සඳහා මෙවැනි රාග තාල සහ රිද්ම රටාවලින් ද ආභාසයක් ලැබී ඇත.

උදා :-  1. මායාවෝ අකලි මකුව… ගීතය නිර්මාණය කොට ඇත්තේ සාම්ප‍්‍රදායික මායාවෝ අකලිමකුව… නම් මාඤ්ඤ ගීතය අනුව ය.

  1. ඉස්සර ආදි කාලෙ වයන වියෝලේ… ගීතය කපිරිඤ්ඤා ගායන ආභාසය අනුව නිර්මාණය කොට තිබේ ( මෙය මකුලොලූවගේ පහනින් පහන මුද්‍රා නාට්‍යයේ ඇතුළත් වූ ගීතයකි. එහෙත් එය ප‍්‍රචලිත ව ඇත්තේ සරල ගීතයක් ලෙසිනි).
  2. “සිහ ශක්ති” කණ්ඩායම ගයන පරසිදු කරලියද්ද… යන ගීත නිදසුන් ය.

 

ඒ අතර ම අවශ්‍යතා මූලික කොට ගෙන ද මෙවැනි බයිලා සහ කපිරිඤ්ඤා ආභාසය සහිත ගීත නිර්මාණය කොට ගත් අවස්ථා ශ‍්‍රී ලාංකේය ගීත සාහිත්‍යයෙන් හමු වේ.

 

උදා :-   1. “සංදේශය” චිත‍්‍රපටය සදහා සුනිල් සාන්ත නිර්මාණය කළ පෘතූගීසිකාරයා රටවල් අල්ලන්න ශූරයා… ගීතය, චිත‍්‍රපටයේ අවස්ථාවකට අදාළ ව නිර්මාණය කොට ගත් ගීතයකි.

  1. නන්දා මාලනීගේ “පවන” කැසට් පටයේ එන නිදහස් බයිලා… නම් ගීතය ද එවැනි අවස්ථාවක් නිරූපණය කිරීම වෙනුවෙන් නිර්මාණය කළ ගීතයකි.
  2. “භාග්‍යා” ටෙලි නාට්‍යය වෙනුවෙන් නිර්මාණය කළ ආජු තපර ලාහිලා… ගීතය ද නිදසුනකි.

 

කපිරිඤ්ඤා ගීත ශෛලියෙහි ආභාසය වර්තමාන සිංහල ගීත ක්ෂේත‍්‍රයේ පවා විද්‍යමාන වේ. ඒ අතර ම කපිරිඤ්ඤාවේ වාදන ශෛලියේ ස්වරූපය ද බොහෝ සිංහල ගීත සදහා යොදා ගෙන තිබේ.

උදා:- නන්දා මාලනිගේ සූකිරි බටිල්ලන්ගේ… ගීතයේ හදුන්වා දීමේ වාදනයෙහි මෙම ලක්ෂණය දක්නට ලැබේ.

 

කපිරිඤ්ඤා ගීත වාදනයේ දී දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයක් වන්නේ ස්වර සංඝාත වාදනය කිරීමයි. කපිරිඤ්ඤා ශෛලිය අනුව මෙරට දී නිර්මාණය කළ ගීතවල දී පවා ස්වර සංඝාත වාදනය කිරීම දක්නට ලැබේ. සූකිරි බටිල්ලන්ගේ… ගීතයේ හදුන්වා දීමේ වාදනයේ එම ලක්ෂණය දැකිය හැකි වේ. එවැනි අවස්ථාවල දී වාදන භාණ්ඩ වශයෙන්  යොදා ගෙන ඇත්තේ ද වයලීනයයි.

 

ඉන්දියාවේ ගෝව ප‍්‍රදේශය පෘතුගීසීන්ගේ යටත් විජිතයක් වීම නිසා ගෝවෙහි “කොන්කනි” ජන ගීතවලට (Konkani songs) ද බටහිර සංගීත ලක්ෂණ මිශ‍්‍ර වුණි. ගෝව ප‍්‍රදේශයේ හින්දු හා කිතුණු ආගමික ගායනාවලට පවා බටහිර සංගීතාංග මිශ‍්‍ර වී තිබේ. ශ‍්‍රී ලාංකේය ගායකයින් මෙවැනි කොන්කනි ගීත ද “බයිලා ගීත” ලෙස ගායනය කර තිබේ.

 

උදා:- ඉන්ද්‍රාණී පෙරේරා සහ ඩෙස්මන් ද සිල්වා ගයන යේ යේ කැතරිනා… ගීතය කොන්කනි භාෂාවෙන් ගැයෙන්නකි.

 

මෙවැනි සාම්ප‍්‍රදායික ජන ශෛලි පාදක වූ නිර්මාණවලට අමතර ව 6/8 රිද්ම රටාව අනුව නිර්මාණය කරනු ලැබූ ගීත “බයිලා ගීත” ලෙස අර්ථ දක්වන්නට යෙදුණු බව පෙනේ. එවැනි ගීතවල අතරින් පතර පෘතුගීසි වචන ද යොදා ගෙන තිබේ. මීටත් පෙරාතු ව සිට ම ඉංග‍්‍රීසි ගීතවල නාද රටාවලට සිංහල වචන යොදා ගායනය කරන ලද අතර එවැනි ගීත ද බයිලා ලෙස හඳුන්වා තිබේ (Abeywicrama, 2006:  21-23).

 

උදා:-    1. වොලි බැස්ටියන් ගයන හායි හූයි බබි ආච්චිගේ බයිසිකල් එක… ගීතය ජර්මන් ජාතික සංගීතඥයකු වූ (Charles C. Sweeley (1901) විසින් රචිත Repasz Band තනුව අනුව රචනා කර තිබේ (Abeywicrama, 2006: 21-23).

 

මෙවැනි ගීතවල සාම්ප‍්‍රදායික බයිලා ගීතවල ඇති ලක්ෂණ ප‍්‍රකට නොවෙතත් වේග රිද්මයට නිර්මාණය වූ ගීත “බයිලා” වශයෙන් හැදින්වීමට පෙලඹීම මෙරට දී දක්්නට ලැබෙන විශේෂ ලක්ෂණයකි. මෙවැනි ගීත අර්ථ දැක්වීම කෙරෙහි මූලික ව බලපා ඇත්තේ රිද්මය හෙයින් සංගීත නිර්මාණයක් රිද්මය පමණක් පාදක කොට ගෙන වර්ග කිරීම යෝග්‍ය නො වේ. එබැවින් මෙවැනි ගීත “බයිලා” ලෙස අර්ථ දැක්වීම සාවද්‍ය ය.

 

ආර්. ඒ. චන්ද්‍රසේන නිර්මාණය කළ විලේ මලක උපන්නේ… ගීතය ගුවන් විදුලියේ වර්ග කොට තිබුණේ බයිලා ගීතයක් ලෙසින් හා බයිලා ගී තීරයේ පමණි. ඊට හේතුව වූයේ මෙම ගීතය 6/8 රිද්ම රටාවට අනුව නිර්මාණය වීම ය. මේ පිළිබද ව පර්යේෂණයක් පැවැත්වීම සදහා ඒලියන් ද සොයිසාගේ ප‍්‍රධානත්වයෙන් යුත් කමිටුවක් ද පත් කරන ලදි (ආරියරත්න, 1997: 103) (ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු කෘතියේ සඳහන් නො වේ).

 

බයිලා සහ කපිරිඤ්ඤා පිළිබඳ ව විග‍්‍රහ වන සෑම ලිපියක ම සඳහන් වන්නේ අදාළ ශෛලිය 6/8  රිද්මයට ගයනා කරන බවයි. එහෙත් එය සාවද්‍ය ය. බයිලාවල දී යොදා ගැනෙන්නේ ද 3/4  රිද්ම රටාව ම වේ. 3/4  රිද්ම රටාව වාදනය කරන්නේ Syncopated  ක‍්‍රමයට ය.

 

මෙලෙසින් නිර්මාණය වූ බයිලා ගීත පසුකාලීන ව චිත‍්‍රපට ගීත හා ගුවන් විදුලි ගීත මගින් ද ප‍්‍රචාරය වූ අතර ඒ ඇසුරින් බයිලා ගායකයෝ පිරිසක් ද බිහි වූහ. බයිලා නමින් හැදින්වුණු ගීතවල විශේෂත්වය වූයේ එහි ආකෘතිය හා රිද්මයයි. මහාචාර්ය සුනිල් ආරියරත්න (1999: 124-128) පවසන්නේ 18 වන සියවසෙන් ආරම්භ වන නාඩගම් කලාවේ සිට නූර්තිය, ගුවන් විදුලිය වැනි යුග පසු කරමින් නූතන බයිලා සහ කපිරිඤ්ඤා පැවත එන බවයි.  ඔහු එසේ පවසන්නේ ගී පද රචනා මූලික කොට ගෙන ය. එහෙත් එවැනි ගීතවල පද රචනය මූලික ව සංගීතමය ශෛලිය පිළිබද ව විග‍්‍රහ කිරීම සාවද්‍ය වන අතර නාද රටාව සහ ශෛලිය අනුව වර්ගීකරණය කරන්නේ නම් ඊට වඩා වාස්තවික බවක් තිබෙනු ඇත. කෙසේ වෙතත් පසුකාලීන ව නිර්මාණය කෙරුණු වේග රිද්ම ගීත සියල්ලක් ම පාහේ බයිලා නමින් හැදින්විණි. එවැනි ගීත ගැයූ ගායකයින් පවා බයිලා ගායකයින් ලෙස හඳුන්වා තිබේ. උදාහරණයක් ලෙස ක්ලැරන්ස් විජේවර්ධන බයිලා ගායකයකු නොවුණ ද Wikipedia ශබ්ද කෝෂයේ පවා ඔහු හඳුන්වා ඇත්තේ බයිලා ගායකයකු ලෙසිනි (http://en.wikipedia.org/wiki/Baila  2007.05 15).

ඒ අතර ම එවැනි වේග රිද්ම ගීතවලට ද සරල ගී ශෛලියේ ලක්ෂණ ආදේශ වී තිබේ. සරල ගීතයේ සංගීත ආකෘතිය ගුරු කොට ගැනීම ඊට හේතු වූ ප‍්‍රධාන ලක්ෂණය වේ. 1950-60 වසරවල දී බයිලා ගායකයින් නමින් හැඳින්වුණු වේග රිද්ම ගී ගැයූ ගායකයින්ට ද ගුවන් විදුලියේ විශිෂ්ට ශ්‍රේණි පිරිනැමීම මේ සදහා බලපෑ හේතුවක් ප‍්‍රධාන විය (කරුණානායක, 1990: 210-211). මේ නිසා ම එම්.එස්. ප‍්‍රනාන්දු වැනි  ගායකයින් සරල ගීත ගායනයට යොදා ගනු ලැබුණි. එම හේතුව නිසා බයිලා යැයි හැඳින්වූ ගීතවලට සරල ගීතවල ලක්ෂණ පැමිණීමත් සරල ගීතවලට බයිලා ගීතවල ලක්ෂණ පැමිණීමත් දක්නට ලැබුණි.

ආචාර්ය මනෝජ් අලවතුකොටුව, ලලිත කලා අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය.

 

 

ආශ‍්‍රිත ග‍්‍රන්ථ

 

ආරියරත්න, සුනිල්, 1997. ගාන්ධර්ව ආපදාන-3: සමරදිවාකර සහ චන්ද්‍රසේනග කොළඹ: ඇස්ගගොඩගේ සහ සහෝදරයෝ.

 

ආරියරත්න, සුනිල්, 1999. බයිලා කපිරිඤ්ඤා විමර්ශනයක්. දෙවැනි මුද්‍රණය. කොළඹ, ඇස්ගගොඩගේ සහ සහෝදරයෝ.

 

අලවතුකොටුව, මනෝජ්, 2009. විසි වන සියවස තුළ ලාංකේය සංගීතයේ බටහිර සංගීත ආභාසය පිළිබඳ අධ්‍යයනයක්. අමුද්‍රිත දර්ශනපති නිබන්ධය. පේරාදෙණිය විශ්වවිද්‍යාලය.

 

Abeywickrama, Maya, 2006. Harmonious Illusions: A Study of Western Influence on the Music of Sri Lanka. Colombo: Vijitha Yapa Publications.