සෞඛ්‍ය සේවා පිළිබඳ ව රෝගියකු මුහුණු පෑ ජීවන අත්දැකීම් (Lived experiences)

 “ආරෝග්‍යා පරමා ලාභායන්න අප කාගේත් ප‍්‍රාර්ථනාවයි. සන්තුෂ්ටි පරමං ධනංඒ හා සමාන ව ම අපගේ බලාපොරොත්තුවයි. පුද්ගලයකු සෞඛ්‍ය සම්පන්න නම් ඔහුගේ ජීවිතය බොහෝ විට සාර්ථක ය. එහි දී කායික, මානසික, ආධ්‍යාත්මික හා සමාජයීය සෞඛ්‍ය සම්පන්න භාවය ළඟා කර ගත යුතු ය. එලෙස නො වූ කල කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් සෞඛ්‍ය සේවාවල සහාය පැතීමට සිදු වේ. සෞඛ්‍ය සේවා ලබා ගැනීම සෑම මනුෂ්‍යයකුගේ ම අයිතියකි. එම අයිතිය සුරැුකීමට ජාතික, ප‍්‍රාදේශීය, මූලික ඒකක හා පුද්ගල මට්ටමින් සෞඛ්‍ය අංශ බැඳී ඇත. රෝගී අයිතීන් රැුකීම 100%ක් සිදු නොවනවා සේ ම, අයිතීන් කඩ වීම් සැම විට ම රෝගියාට හෝ ඥාති හිතමිත‍්‍රාදීන්ට මෙන් ම සෞඛ්‍ය සේවකයන්ට ද ගැටලූකාරි වන්නේ ය.

 

මා හට මුණ ගැසුණු හෝමාගම පදිංචි 24 හැවිරිදි හර්ෂණී සමයවර්ධන කියූ, ඇගේ ජීවන අත්දැකීම (Lived experience) ඊට එක් උදාහරණයකි. පවුලේ වැඩිමලා වන ඇය රෝගී වන විට විශ්වවිද්‍යාල බාහිර උපාධි අපේක්ෂිකාවක් වූවා ය.

 

හර්ෂණීට මොක ද වුණේ?

දැනට අවුරුද්දකට විතර පෙර මගේ කකුලේ රිදීමක් ඇති වුණා. වේදනා නාශකවලට අඩු වුණේ නැහැ. ක‍්‍රමයෙන් වැඩි වුණු වේදනාව නිසා මගේ වැඩකටයුතු කර ගැනීමට නො හැකි වුණා. අම්මා මාව ගෙවල් ළඟ ඩොක්ටර් කෙනෙක් ළඟට එක්ක ගෙන ගියා. ඩොක්ටර් මුලින් බෙහෙත් දුන්නා. ඒත් ප‍්‍රශ්නෙ විසඳුනේ නෑ. එක්ස්රේ එකක් අරගෙන එන්න කිව්වා. ඒක බලලා අප ව රජයේ රෝහලකට යොමු කළා

 

ඒ රෝහලේ දී මොක ද කිව්වේ?

මුලින් ම ලියුම බලලා සායනයකට යොමු කළා. ඒ සායනයෙන් දිනයක් දුන්නා. දිනේ තිබුණේ සති තුනකට පස්සේ. වේදනාව ඒ වගේමයි. මම වේදනාවට හරියට ඇඬුවා. අම්මලා පුළුවන් හැම බෙහෙතක් ම ගෑවා. අපි හඳුනන, රෝහලේ වැඩ කරන අයකු මාර්ගයෙන් කොහොම හරි සතියකට පස්සේ සායනයට යොමු වෙන්න හැකි වුණා.

සායනයට ගියාට පස්සේ මොක ද වුණේ?

ඩොක්ටර් කෙනෙක් බලලා තව ඩොක්ටර් කෙනකුට මාව පෙන්නුවා. ලේ පරීක්ෂණ හතරකුයි, එක්ස්රේ එකකුයි අරගෙන සති දෙකකින් එන්න කිව්වා. මම අඬලා කිව්වා වේදනාවට බෙහෙතක් දෙන්න කියලා. එක සැරේට බෙහෙත් කරන්න බැහැ. පරීක්ෂණවල ප‍්‍ර‍්‍රතිඵලවලට අනුවයි බෙහෙත් කරන්න පුළුවන්කියලා ඔවුන් කිව්වා. ඒත් බේත් ජාති දෙකක් ලියලා දුන්නා. ඒ බෙහෙත්වලට ටිකක් විතර වේදනාව අඩු වුණා. ඒ බෙහෙත් දවස් තුනක් බොන කොට බඩදැවිල්ල දැනුණා. බඩ පිච්චෙනවා වගේ. ගෙවල් ළඟ ඩොක්ටර් කෙනකුට පෙන්නලා බඬේ දැවිල්ලට බෙහෙත් ගත්තා. කොහොම වුණත් සති දෙක ඉවර වෙන කාලෙ වෙන කොට කකුලේ වේදනාවට වඩා බඩ දැවිල්ල නිසා පීඩා වින්දා.

 

දෙ වැනි සායන වාරයට සහභාගි වුණා ම මොකද වුණේ?

පරීක්ෂණ ප‍්‍රතිඵල සහ එක්ස්රේ බලලා, ඩොක්ටර්ස්ලා සාකච්ඡා කරලා කිව්වා MRI පරීක්ෂණයක් කරන්න  ඕනේ ඒ නිසා වාට්ටුවේ නවතින්න කියලා. මට හරියට බය හිතුණා. මම කවදාවත් රෝහලක ඉඳලා නැහැ. අම්මා හිටියෙත් සායනයෙන් එළියෙ නිසා මට හිතා ගන්න බැරි වුණා මොක ද කරන්නේ කියලා.

 

වාට්ටුවේ නතර වෙන්න ගියා ද?

ඔව්, කියපු දිනයට ගියා. ඒත් MRI පරීක්ෂණය කරන්න දවස් තුනක් විතර ඉන්න වුණා. ඒ දිනේ ගන්නත් අර හිතවතා උදව් කළා. පරීක්ෂණ කරලා වාර්තාව එනකන් වාට්ටුවේ ඉන්න වුණා. මම බාහිර උපාධි කරන නිසා මට ගෙදර ගිහින් එන්න පුළුවන් ද කියලා ඇහුවත් ඊට කැමති වුණේ නැහැ. වාර්තාව එන්න දින තුනක් ගියා. ඒක බලන්න ලොකු මහත්තයා එන්නේ තව දවස් දෙකකින් කියලා ඒ දවස් දෙකත් වාට්ටුවේ තියා ගත්තා. ලොකු ඩොක්ටර් වාර්තාව බලලා අස්ථියේ ගෙඩියක් තියෙනවා, ඔපරේෂන් එකක් කරන්න  ඕනේ කිව්වා. ඒකට දිනයක් දෙන්න සායනයට එන්න කියලා කිව්වා. මට බය හිතුණා. අම්මලත් හරියට බය වුණා. අර අඳුරන කෙනාගෙන් ඇහුවත් හරි විස්තරයක් කියන්න එයා දන්නෙ නෑ කියලයි අපට තේරුණේ.

 

හර්ෂණි ආයෙත් සායනයට ගියා ද?

ඔව්, ළඟ ම තිබුණු සායන දිනේට ගියා. එදත් ඔපරේෂන් කරන්න දිනයක් ගන්න පැය තුනකට වඩා ඉන්න වුණා. කොහොම හරි මාසයකින් දිනයක් ලැබුණා.

 

ඔපරේෂන් එක කළා ද?

ඒක නම් මතක් වෙන කොටත් ඒ කාලේ ගෙවා ගත්තේ කොහොම ද කියලා හිතෙනවා. කියපු දිනේට වාට්ටුවේ නැවතුණා. ලේ පරීක්ෂණ වගයක් ආයෙත් කළා. දවස් දෙකක් ම ඔපරේෂන් එක ගැන කිසි ම දෙයක් කිව්වේ නැති නිසා අම්මා මාව බලන්න ආපු වෙලාවේ ඇහුවා.

 

කාගෙන් ද ඇහුවේ?

අම්මලා එන වෙලාවට ඩොක්ටර්ස්ලා නැහැනේ. වාට්ටුවේ නර්ස්ලාගෙන් ඇහුවේ. එයාලා කියලා දොස්තරලයි ඔපරේෂන් කරන ලිස්ට් එක හදන්නෙ කියලා. එයාලට ලිස්ට් එක ආවා ම ලෙඩාට කියන්නම් කියල කිව්වාලූ.

 

ඔපරේෂන් එක කරන්න කොච්චර විතර කල් ගියා ද?

මාස හයක් ම ගියා. අට වතාවක් වාට්ටුවේ නැවතුණා. එයින් ඔපරේෂන් එක කරන්න ඔපරේෂන් කාමරයට එක්ක ගිහින් තුන් සැරයක් ම වාට්ටුවට එව්වා. තව හතර සැරයක් වාට්ටුවේ කන්න බොන්න එපා කියලා බලාගෙන හිටියා.

 

ඔපරේෂන් එක කළාට පස්සේ?

හරිම වේදනයි. ට්‍රොලියෙන් ට්‍රොලියට මාරු කරන කොට කෑ ගැහෙනවා. මගේ වේදනාව ගැන සැලකුවෙ නැහැ. එක එක්ස්රේ එකක් අරගෙන ඒක හරි නැහැ කියලා තවත් ගත්තා. ඇඳේ හිටපු දවස් ටික නම් එපා වෙනවා. වැසිකිළි යන්න  ඕනේ වෙලා බෙඞ්පෑන් එකක් ඉල්ලලා පැයකට වඩා බලාගෙන ඉන්න වෙනවා. හරිම අමාරුයි.

 

ඊට පස්සේ සායනවලට ගියා ද?

ඔව් සායනවලට ගියා. සායනයට ගියා ම ඩොක්ටර් එක්ස්රේ ලියනවා. ඒක පෝලිමේ ඉඳලා අරගෙන එනකොට ලියපු ඩොක්ටර් නැහැ. ආයෙ දිනයක් දෙනවා. එදාට ආයෙත් එක්ස්රේ ගන්නවා. අර එක්ස්රේ එක පරණයි කියලා. ආයෙත් එනකොට ඩොක්ටර් නැහැ. පස්සේ අපි එදා උදේට පෞද්ගලික රෝහලකින් එක්ස්රේ එකක් අරගෙන සායනයට යන්න පුරුදු වුණා. 

 

ආයෙත් අමාරුව වැඩි වුණා ද?

ඔව් මාස දෙකක් විතර ඇතුළත දරා ගන්න බැරි වේදනාවක් ක‍්‍රමයෙන් වැඩි වුණා. ආයෙත් ලොකු ඩොක්ටර් එක්ක කතා කරලා කිව්වා, ගෙඩිය ආයෙත් හැදිලා කියලා. ආපහු MRI එකක් කරලා ඔපරේෂන් කරන්න  ඕනේ කිව්වා. අපි සායන පොත් භාර නොදීම අරගෙන ගිහිල්ලා කන්ද උඩරට රෝහලකට පෙන්නුවා.

 

ඒ රෝහලේ  දී රෝගය ගැන කිව්ව ද?

මගෙ ලෙඬේට සුදුසු ප‍්‍රතිකාරය නෙමෙයි, මේ වැරදි ඔපරේෂන් එකක් තමා කරල තියෙන්නෙ කිව්වා. ඒක නිසා ගෙඩිය වැඩි වෙලා කිව්වා. හරියට බය හිතුණා එතකොට. ආයෙත් MRI කරන්න  ඕනේ කිව්වා. එතනත් මාස දෙකක් විතර ම මුකුත් ම වෙන්නේ නැති කොට අපි හරියට අසරණ වුණා.

 

ඊට පස්සේ  හර්ෂණී ලා මොක ද කළේ?

අඳුරන කෙනෙක් මාර්ගයෙන් කන්ද උඩරට ම දුර රෝහලක ඩොක්ටර් කෙනෙක් හොයා ගෙන ගියා. අපි එහේ ගියේ පෞද්ගලික රෝහලකින් MRI එකක් අරගෙන.

 

ඒ රෝහලේ දී ආයෙත් ඔපරේෂන් කළා ද?

ඔව්, ඒ ඩොක්ටර් ලෙඬේ ගැන මටයි, අම්මලාටයි හොඳින් ම පැහැදිලි කරලා දුන්නා. නැවත නැවතත් ඇති වෙන්න පුළුවන් කියලත් කිව්වා. ඒත් ඩොක්ටර් උපරිම උත්සාහ කරලා ආයෙ ඇති නො වන විධිහට කරලා දෙන්නම් කිව්වා. වේදනාවට අත් බෙහෙත් වර්ග කීපයක් සැරින් සැරේ මාරුවෙන් මාරුවට ගන්න නියම කළා. සති දෙකකින් ඔපරේෂන් එක කළා.

 

ඒ රෝහලේ අය හොඳට සැලකුව ද?

ලොකු වෙනසක් නැහැ. ලෙඞ්ඩුන් ව ගණන් ගන්නෙ නැති එක නම් එහෙමමයි. ඒත් ලොකු ඩොක්ටර් දෙවියෙක් වගේ හරි ම කරුණාවන්තයි. අනිත් ලෙඞ්ඩුත් කියනවා. කතා කරපුවා ම ලෙඬේ භාගයක් හොදයි.

 

දැන් හර්ෂණිට කරන්න තියෙන ප‍්‍රතිකාර මොනවා ද?

මාසයෙන් මාසෙට සායනවලට එන්න කිව්වා. වේදනාව නැති වුණාට ආයේ ආයේ පරීක්ෂණ කරලා බලන්න  ඕනේ කිව්වා, ටික කාලයක් යනකම්.

 

එච්චර දුර යන්න කැමති ද?

රෝගයට හරි ප‍්‍රතිකාරය ලැබෙනවා නම්, අපිට ගැටලූවක් කතා කරලා විසඳ ගන්න පුළුවන් නම් දුර ප‍්‍රශ්නයක් නෙමේ.

 

දැන් ඔයාගේ නවත්තපු උපාධිය ආයෙ කරන්න ගන්නවා ද?

ඔව්, දැන් ආයෙ පංති යන්නයි ඉන්නේ.

 

ඒ ඇගේ සත්‍ය කතාවයි. ඇගේ ඉල්ලීම පරිදි රෝහල්වල නම් සඳහන් කර නොමැත.

 

චමරි ශ්‍යාමා නිලන්තිකා විතානගේ

හෙදි නිලධාරිණී

ශ‍්‍රී ලංකා ජාතික රෝහල