නිවුන්නු-ගැටලූවක්? ප‍්‍රශ්න රැසක්? පර්යේෂණ ගොඩක්?

පර්යේෂණය යනු, පියවර සහිත කි‍්‍රයාවලියක් බව අපි ඉගෙන ගෙන ඇත්තෙමු. ඒ පියවර අතරින් ‘ගැටලූව හෝ දැනුම් හිඩැස හඳුනා ගැනීම’, ‘තාර්කිකය ගොඩ නගා ගැනීම’, ‘පර්යේෂණ සාහිත්‍ය විමර්ශනය’ යන පියවර ගැන අපි ඉගෙන ගෙන ඇත්තෙමු. අද අපි ඊළඟ පියවර වන ‘පර්යේෂණ ප‍්‍රශ්න හෝ කල්පිත ගොඩ නගා ගැනීම’ යන පියවරේ ‘පර්යේෂණ ප‍්‍රශ්න’ ගැන අවධානය යොමු කරමු.

මෙහි දී ඔබට මෙවැනි ගැටලූවක් ප‍්‍රශ්නයක්? ඇති වන්නට පුළුවන. පළමු පියවර වන ‘ගැටලූව හඳුනා ගැනීම’ සහ හතර වන පියවර වන ‘ප‍්‍රශ්න ගොඩ නගා ගැනීම’ අතර ඇති වෙනස කුමක් ද?

ගැටලූව              ප‍්‍රශ්නය

මේ පද දෙක සමාන අර්ථ දෙන බවක් සාමාන්‍ය භාවිතයේ දී දැනෙන්නට පුළුවන. එහෙත් පර්යේෂණයේ දී මේ පද දෙක අතර වෙනස්කම් පවතී.

කාන්තාවකට නිවුන්නු ලැබේ. මෙය විශ්මයජනක සිදුවීමකි; මිනිසාට ගැටලූවකි. කාන්තාවන් වැඩි දෙනකුට ලැබෙන්නේ එක් දරුවෙකි. එහෙත් සමහර කාන්තාවන්ට පමණක් නිවුන්නු ලැබේ. මෙය ගැටලූවකි. තවත් කාන්තාවන් සුළු සංඛ්‍යාවකට තුන් නිවුන් දරුවන් ලැබේ. ආ!  ගැටලූව තවත් බරපතළයි. තවත් කාන්තාවන් ඉතා අඩු ගණනකට සිව් දරු, පස් දරු, සය දරු… ලෙස විවිධ ගණනින් දරුවන් ලැබෙන අවස්ථා ගැන අපට ඉඳ හිට හෝ කලාතුරකින් අසන්නට ලැබේ. මේ මිනිසාට ගැටලූවකි; දරු උපත් පිළිබඳ ගැටලූවකි.

මේ ගැටලූවට මුහුණ පාන මිනිසා විවිධ ප‍්‍රශ්න නගයි. ඇයි? කෙසේ ද? කුමක් ද? කවදා ද? කොහොම ද? මෙහෙම වෙන්න බැරි ද? මෙහෙම වුණේ කොහොම ද? යනාදී ලෙස විවිධ හැඩරුවේ ප‍්‍රශ්න අසයි. මෙවැනි ප‍්‍රශ්න ජාලාවක් ඔස්සේ අපේ සිත මෙහෙයවමු. එවිට කුමන ප‍්‍රශ්න, කුමන අරමුණු උදෙසා ඇසිය හැකි දැ යි තේරුම් ගන්නට අපට පුළුවන.

මෙලෙස බහු උපත් සිදු වන්නේ ඇයි? ලෙස ප‍්‍රශ්නයක් ඇසිය හැකි ය. මේ අනුව ගැටලූවට හේතු හඳුනා ගැනීමට ප‍්‍රශ්න ඇසිය හැකි ය. නිවුන් දරුවන් ලබන විට මවට අනතුරක් සිදු විය හැකි ද? එක දරුවකු මව්කුස සිටින විට, මවගෙන් එම දරුවා ලබන පෝෂණය, දරුවන් දෙදෙනකු මව්කුස සිටින නිසා, එකිනෙකාට ලැබෙන පෝෂණය බෙදී ගොස්, ඌන පෝෂිිත දරුවෝ බිහි වෙත් ද? වශයෙන් ගැටලූවේ ප‍්‍රතිඵල ගැන දැන ගන්නටත් අපට ප‍්‍රශ්න ඇසිය හැකි ය.

වඩා හොඳින් ගැටලූව තේරුම් ගන්නට ද එවැනි අමතර ප‍්‍රශ්න ඇසිය හැකි ය. නිවුන්නු යනු කවුරුන් ද? ඒ අයගේ ලක්‍ෂණ මොනවා ද? යනු මෙසේ ඇසිය හැකි ප‍්‍රශ්නයකි.

නිවුන් උපතක් අපේක්‍ෂා කරන මවක ගර්භනී කාලයේ දී ගත කරන ජීවිතයේ ස්වභාවය කෙබඳු ද? යනුවෙන් ප‍්‍රශ්නයක් වෛද්‍යවරයකුට ඇති විය හැකි ය. තනි දරුවකු ලැබෙන්නට සිටින මවක, දරුවකු ලබන්නට සිටින කාලය ගත කරන අයුරු, නිවුන්නු ලබන මවක එම දරුවන් ලබන්නට සිටින කාලය ගත කරන ආකාරයට වඩා වෙනස් වන්නේ කෙසේ ද? යනුවෙන් ප‍්‍රශ්නයක් ද? වෛද්‍යවරයකුට ඇති විය හැකි ය. මේ අනුව ගැටලූවේ ක‍්‍රියාවලිය හඳුනා ගැනීමට ප‍්‍රශ්න ඇසිය හැකි ය.

ලැබෙන්නට සිටින, එසේ ම ලැබුණු නිවුන් දරුවන්ට මව දක්වන්නේ සමාන ආදරයක් ද? නිවුන්නුන්ගෙන් පළමු ව ලැබූ දරුවා දෙවැනි දරුවාට වඩා ශක්තිමත් ද? ඥානවන්ත ද? දෙදෙනා සමාන දක්‍ෂතා ඉගෙනුමේ දී දක්වත් ද? වශයෙන් නිවුන්නු සැසඳීම සදහා ප‍්‍රශ්න ඇසිය හැකි ය.

නිවුන්නුන් උපදින්නේ කෙබඳු රටවල ද? කෙබඳු දේශගුණ – ආර්ථික – සමාජ සාධක පවතින ස්ථානවල ද? ඔවුන් ඉපදෙන සුවිශේෂී මාස තිබේ ද? නිවුන්නු ඉපදීම වැඩි ජන වර්ග හෝ ආගම් තිබේ ද? වැනි නිවුන් උපත් රටා හඳුනා ගැනීමට යොමු වූ ප‍්‍රශ්න ද කෙනකුට ඇති වන්නට පුළුවන. ඒවා රටා හඳුනා ගැනීම සඳහා නැති නම් පවතින ලක්‍ෂණ හඳුනා ගැනීම සඳහා අසන ප‍්‍රශ්න වේ. ගිරවුන් දෙදෙනකුගේ පරිසරය වෙනස් වීම නිසා ඔවුන්ගේ කතා විලාසය හා හැසිරීම් විලාසය වෙනස් වූ අයුරු පිළිබඳ ‘සත්තකුම්භ’ ජාතක කතාව ගැන ඔබ අසා ඇත. මේ අනුව එක කුසින් උපදින නිවුන් දෙදෙනකුගෙන් කෙනකු, දරුවන් නැති යුරෝපීය මවකට හදා-වඩා ගන්නට දුන හොත්, දරුවන් දෙදෙනාගේ උපතේ දී තිබූ සමාන ලක්‍ෂණ කෙසේ වෙනස් වේ දැ යි කුතුහලයක් සහිත ප‍්‍රශ්නයක් කෙනකුට ඇති විය හැකි ය. මෙසේ බාහිර කෙනකු කරන වෙනසක් නිසා ඇති විය හැකි ඵලය හඳුනා ගැනීමට ද ප‍්‍රශ්න ඇසිය හැකි ය.

”එක බොක්කෙන් ආව තමයි. ඒ වුණාට එයා හිතන්නේ වෙනස් විදියට” වශයෙන් සහෝදර සහෝදරියන් අතර ආරවුල්වල දී කියවෙනු ඔබ අසා ඇති. නිවුන්නු උපදින්නේ එකට නමුත් ඉදිරි අවුරුදු 80, 90 තුළ ඔවුන් ජීවත් වන්නේ එක ම අයුරින් ද? ජීවත් වන අයුරු ගැන සිතන්නේ එක ම රටාවෙන් ද? වශයෙනුත් කෙනකුට ප‍්‍රශ්න ඇසිය හැකි ය. මෙසේ නිවුන්නුන්ගේ ජීවන රටාවේ ක‍්‍රමික සංවර්ධනය හා අඛණ්ඩතාව හඳුනා ගැනීමට කෙනකුට ප‍්‍රශ්න ඇසිය හැකි ය.

නිවුන්නු අවට සමාජය ගැන දරන මත හා ආකල්ප මොනවා ද? නිවුන්නු ගැන සමාජය දරන ආකල්ප හා මත මොනවා ද? ලෙසින් මත හා ආකල්ප හඳුනා ගැනීමටත් ප‍්‍රශ්න ඇසිය හැකි ය.

එකට උපදින නිවුන්නු සිතන්නේ සමාන ලෙස ද? ඔවුන් එකිනෙකා ගැන සිතන්නේ මොනවා ද? එකිනෙකාට මව පියාගෙන් ලැබෙන ආදරය ගැන සිතන්නේ මොනවා ද? ඔවුන් තනි ව උපන් අය ගැන සිතන්නේ මොනවා ද? ඔවුන් සමාජ, දේශපාලන, ආර්ථික ප‍්‍රශ්න විග‍්‍රහ කරන්නේ සමාන ලෙස ද?  මේ ආකාරයෙන් නිවුන්නුන්ට ආවේණික අභ්‍යන්තර චිත්ත පර්යාලෝකය ගැනත් කෙනකුට ගැඹුරු ප‍්‍රශ්න ඇසිය හැකි ය.

නිවුන්නුන්ගේ සමිති සමාගම් ගැන ඔබ අසා ඇති. මේ සමිති සමාගම්වල ක‍්‍රියාකාරිත්වය කෙබඳු ද? ඒ වටා රොක් වන නිවුන්නු කරන කියන දේ මොනවා ද? ඔවුන්ට සුවිශේෂී වූ ජීවන පැවැත්මක් වේ ද? වශයෙන් ද ප‍්‍රශ්න නැගිය හැකි ය.

සමාජයට පරිබාහිර ව, තනි යුගලක් ලෙස සහ තනි පුද්ගලයන් ලෙස මේ අය කටයුතු කරන්නේ කෙසේ ද? ජීවත් වන්නේ කෙසේ ද? ඒ ගැන ද ගැඹුරින් හැදෑරිය හැකිි ය.

කෙසෙල් ගෙඩි ඇවරියක ඇති බද්ධ වූ කෙසෙල් ගෙඩි ගැන ඔබ දරන්නේ කෙබඳු ආකල්පයක් ද? බොහෝ දෙනා ඒවා කෑමට මැලි වෙති. එකී දෙබිඩි කෙසෙල් නමැති සංකේතය ගැන අමුතු අර්ථ නිරූපණයක්  ඔවුන් තුළ ඇත්තා සේ ය. මේ ආකාරයෙන් අපි, රටකට නිවුන්නු ගැන සිතිය හැකි අයුරු ගැන සිතමු. මහජන චීනය ”පවුලකට එක් දරුවෙක් පමණයි” යන ප‍්‍රතිපත්තිය අනුගමනය කරයි. එක දරුවකු ලැබූ පසු උපත් පාලනය අනිවාර්ය වේ. මේ නීතිය කඩ කරන විට දැඩි සමාජ දඬුවම් හිමි වේ. එහි නිවුන් උපතක් ලැබුණ හොත් එක් දරු ප‍්‍රතිපත්තිය කෙසේ අර්ථ නිරූපණය කළ යුතු ද? දරුවන් වැඩි ගණනක් ලබා ගැනීමට ආශාවෙන් සිටින කෝටි ගණන් චීන ජනතාවට නම් එවන් උපතක් ස්වර්ගයෙන් ලැබුණු තෑග්ගක් සේ දැනෙනු ඇත. එහෙත් රජයට? රජය මෙවැනි උපතක් කෙසේ අර්ථ නිරූපණය කළ යුතු ද? දෑවැදි ප‍්‍රශ්නයට මුහුණ දීමට නොහැකි නිසා ගැහැනුු කළල ගැබෙහි දී විනාශ කිරීමේ ප‍්‍රවණතාවක් ඉන්දියාවේ සමහර ප‍්‍රාන්තවල පවතී. එය ඉන්දීය රාජ්‍ය ප‍්‍රතිපත්තියට පටහැනි වුවත් සමහර අය එසේ කරති.  චීන රජයට මෙසේ නිවුන් කළල දෙකින් එක කළලයක් විනාශ කිරීමට තීරණය කළ හැකි ද? අනෙක් අතට චීන ජාතිකයන්, රජයේ එක් දරු නීතියෙන් මිදීමට, නිවුන් උපත්වලට හේතුවක් වෙතැයි උපකල්පනය කෙරෙන කෘතී‍්‍රම හෝමෝන, තම ශරීරවලට ලබා ගැනීමට පෙලඹේවි ද? මෙසේ විවිධාකාර සමාජ තල, නිවුන්නු හා දරු උපත් ගැන දරන සංකේතාත්මක අර්ථකථන හඳුනා ගැනීමටත් ප‍්‍රශ්න ඇසිය හැකි ය. ඒ සමග ම රාජ්‍ය ප‍්‍රතිපත්තිය ගැනත් ප‍්‍රශ්න ඇසිය හැකි ය.

සම නිවුන්නු සදෘශ්‍යභාවය නිසා ම සමාජයේ දී හඳුනා ගැනීමේ ගැටලූවකට මුහුණ පාති. මේ ගැටලූවෙන් මිදීමට නිවුන්නු විවිධ උපක‍්‍රම භාවිත කරති. කොණ්ඩය පීරන අයුරු, කරාබු පළදින අයුරු, කරාබු පාට වෙනස් කිරීම වැනි ආකාර රැුසකි. මෙසේ නිවුන් පුද්ගලයින් වීම නිසා තමන් මුහුණ පාන ගැටලූවලින් මිදීමට නිවුන්නුන් යොදන සැලසුම් හා ඒ අනුව තමන් ම ගැටලූ විසදා ගන්නා අයුරු කෙබඳු ද? යනු නිවුන්නුන්ට නැගිය හැකි ප‍්‍රශ්නයකි.

මෙසේ ගැටලූවක් මතු වූ විට විවිධ ප‍්‍රශ්න ඉස්මතු කර ගන්නේ කෙසේ ද? ඒ සඳහා අප සතු කුතුහලය ප‍්‍රයෝජනයට ගත යුතු ය. පර්යේෂකයකුට කුතුහලය අත්‍යවශ්‍ය වේ. අපි අපේ දරුවන්ගේ කුතුහලය-පරිකල්පනය සංවර්ධනය කිරීමට කටයුතු කළ යුත්තේ මේ නිසා ය. කුතුහලයට අමතර ව පවතින දැනුම කියවීමෙන් ද ප‍්‍රශ්න මතු කර ගැනීමට අප පුරුදු විය යුතු ය. ගැටලූවලට අදාළ ව ලියැවී ඇති පොත පත, කර ඇති පර්යේෂණ අඩංගු සාහිත්‍යය කියවන විට-හදාරන විට සමහර ප‍්‍රශ්න විසදෙයි; තවත් ප‍්‍රශ්න මතු වෙයි; සමහර ප‍්‍රශ්නවල නව පැති මතු වෙයි. මේ නිසා ගැටලූව හා ප‍්‍රශ්න යා කරන පාලමක් සේ ‘පර්යේෂණ සාහිත්‍ය විමර්ශනය’ සැලකිය හැකි ය.

ඇසිය හැකි විවිධාකාර ප‍්‍රශ්න ගැන සිත යොමු කළ ඔබට ‘ගැටලූව’ යන වචනය දැන් අමතක වී ඇතැයි කියා මට සිතේ. කෙසේ නමුත් ගැටලූවක් මතු වූ විට ඒ ගැටලූවේ පැති ගැන පිරිසිඳ දැන ගන්නට කෙතරම් නම් ප‍්‍රශ්න ඇසිය යුතු දැ යි, ප‍්‍රශ්න ඇසිය හැකි දැ යි දැන් ඔබ සිතනු ඇත. එසේ පර්යේෂණ ප‍්‍රශ්න ඇසීම, නව අදහස් ජනනය කර ගැනීම සඳහා ඉතා අත්‍යවශ්‍ය වේ. ගැටලූව තිබූ පමණින් එයට විසදුම් ලැබෙන්නේවත් එය අවබෝධ කර ගත හැකි වන්නේවත් නැත.

ගැටලූව විවිධ පැතිවලට හරවා, ඒ ගැන ප‍්‍රශ්න ඇසූ තරමට, අපට පර්යේෂණ කළ හැකි විවිධ මං පෙත් ද විවර කර ගත හැකි ය. මේ මං පෙත් විවිධ පර්යේෂණ ක‍්‍රම බවට ද පත් වේ. අසන ප‍්‍රශ්නයේ ස්වභාවයේ අනුව, එයට පිළිතුරු සොයා යාමේ මාර්ගය වෙනස් වේ. ඒ ඒ මාර්ගයේ යාමට උචිත මාර්ගයක් සොයා ගත යුතු සේ ඒ ඒ ප‍්‍රශ්නයට උචිත පර්යේෂණ ක‍්‍රමයක් ද සොයා ගත යුතු ය. මේ අනුව ප‍්‍රශ්න ඇසීම, පර්යේෂණ ක‍්‍රමය සුවිශේෂී ව හඳුනා ගැනීමට අත්‍යවශ්‍ය වේ.

අසන ප‍්‍රශ්නය අනුව අරමුණ ද තීරණය වේ. ඒ අනුව ප‍්‍රශ්නයේ ස්වභාවය, අරමුණු තීරණය කරයි. අරමුණු ඉටු කර ගැනීමට සුදුසු පර්යේෂණ ක‍්‍රමයක් ද ඒ සමග ම මතු වෙයි. මෙසේ ප‍්‍රශ්නය, අරමුණ, පර්යේෂණ ක‍්‍රමය සම්බන්ධ වන අයුරු ගැන අදහසක් ඔබට පහත සඳහන් වගුවෙන් ලබා ගත හැකි ය. එහි සඳහන් එක් එක් පර්යේෂණ ක‍්‍රමයෙන් කරනුයේ කුමන ආකාරයේ ප‍්‍රශ්නවලට පිළිතුරු දීමක් ද? කුමන අරමුණකට අනුව කටයුතු කිරීමට උදව් දීමක් ද? යනු ඔබට වැටහෙනු ඇත. දැනට මෙම පර්යේෂණ ක‍්‍රමවල නම් පමණක් දක්වා ඇත. ඒවා ගැන වැඩි විස්තර පසුව ඉගෙන ගනිමු. දැනට විවිධ ප‍්‍රශ්න අනුව, අරමුණු විවිධ වී, පර්යේෂණ ක‍්‍රම වෙනස් වන අයුරු ගැන අදහසක් පමණක් ලබා ගනිමු.

 

‘ගවේෂණ සඟරාව’ 2008 ජනවාරි-අපේ‍්‍රල් / 11 වන කලාපය