පහතරට බෙරයේ මූලික ධ්වනි සංගීතාත්මක

පහතරට සම්ප‍්‍රදායේ ශාන්තිකර්මයන්හි මෙන් ම කෝළම් ජන නාටකයේ ප‍්‍රධාන වාද්‍ය භාණ්ඩය වන්නේ පහතරට බෙරය යි. මෙය ඇතැම්හු ඝෝෂක බෙරය, පනා බෙරය, යක් බෙරය, දෙවොල් බෙරය,

රුහුණු බෙරය, දික්/දිග් බෙරය, දෑත හරි බෙරය, වැල්ලකර බෙරය හා කිඳුරු බෙරය යන නාමයන්ගෙන් ද හදුන්වති. මෙකී වාද්‍ය භාණ්ඩයට ආවේණික වු වාදන කලාව මාතර, බෙන්තර හා රයිගම් කෝරළ වශයෙන් ප‍්‍රධාන සම්ප‍්‍රදායයන් තුනක් යටතේ වෙන් කොට දැක්විය හැකි ලක්ෂණයන්ගෙන් යුක්ත ය. මෙකී ලක්ෂණ හා ඒ හා බැඳි ශිල්පක‍්‍රමවල පදනම මෙම බෙරයෙන් බිහි කර ගන්නා වූ ධ්වනි විවිධාකාරයෙන් සුසංයෝග වීම යි. එහි ප‍්‍රතිඵලය වන්නේ විවිධ පද කොටස් බිහි විම යි. එසේ බිහි වන්නා වු පද, තාලම්, සව්දම්, සුරල්, වන්දමානම්, දැකුම්අත් අඩපද, දේව පද, යක් පද, ආදී විවිධ නාමයන්ගෙන් ව්‍යවහාරයට පැමිණ තිබේ.

ශ‍්‍රි ලාංකේය බෙර වාදන ක්ෂේත‍්‍රයේ පොදු මුලික ධ්වනි සතරකි. ඒවා තත්, ජිත්, තොං, නං යනුවෙනි. බීජාක්ෂර වශයෙන් ව්‍යවහාරයේ පවතින මෙකී ධ්වනි සංස්කෘතික මෙන් ම ආගමික ජන සාහිත්‍යයකින් පෝෂණය වී ඇත. මෙම අක්ෂර බෝධිසත්වයන්ගේ බුද්ධත්වය සිදු වූ උතුම් දිනයේ සතර දිසාවේ සිට ගන්ධර්වයන් විසින් වාදනයට පිළිගැනීමක් සාම්ප‍්‍රදායික වාදයක් තුළ පවතී. ඒ අනුව,

‘තත්’ අක්ෂරය දෙවියන්ගේ නල්ලෙනි

‘ජිත්’ අක්ෂරය දෙවියන්ගේ දිවඅගිනි

‘තොං’ අක්ෂරය දෙවියන්ගේ තොල්වලිනි

‘නං’ අක්ෂරය දෙවියන්ගේ නාසිනාවෙනි

යනුවෙන් ව්‍යවහාරයක් පවතී. පහතරට බෙර ධ්වනි මිනිසාගේ වින්දන ක්ෂේත‍්‍රය කරා වඩාත් සමීප වෙන ලක්ෂණයන්ගෙන් යුක්ත වේ. මේ සඳහා කාලාන්තරයක් මුළුල්ලේ සිංහල සමාජයේ පැවති ආකල්ප සංස්කෘතික පසුබිම මෙන් ම බෙර ධ්වනි තුළ අන්තර්ගත නාදමය ගුණාංග ද පාදක වී ඇත’ මෙම ලිපියෙන් පහතරට බෙර ධ්වනි තුළ අන්තර්ගත නාදමය ගුණාංග විද්‍යාත්මක ව විශ්ලේෂණය කිරීමට උත්සහා ගනු ලැබේ.

නාදය, ධ්වනිය, ශබ්දය හඬ ආදී වචන සාමාන්‍ය ව්‍යවහාරයේ සමානාර්ථ පද ලෙස භාවිත කෙරෙන නමුත් ඒවායෙහි වෙනස්කම් වේ. මිහිරි හා අමිහිරි සියලූ ශබ්ද ඇති වීමට හේතුව එමගින් සිදුවන වායු කම්පනය බව භෞතික විද්‍යාත්මක මතය යි. සමහර කම්පන මගින් බිහි වන ශබ්ද මිහිරි වන අතර විෂමාකාර කම්පන මගින් ඝෝෂා ඇති වේ. සංගීතයට ප‍්‍රයෝජන වන්නේ මිහිරි නාදය. පහතරට බෙරයේ ධ්වනි දෙගනයෙන් කුමන ගනයකට අයත් වන්නේ දැයි සොයා බැලීම වැදගත් වේ. විශ්ව වර්ගීකරණයට අනුව අවනද්ධ තූර්ය (Percussion Instrument) තාලම් වාද්‍ය භාණ්ඩ ගනයට අයත් වේ. විද්‍යාත්මක සංගීතය අනුව අවනද්ධ තූර්ය භාණ්ඩ කුලකයෙන් නිපදවන ධ්වනි අක‍්‍රමවත් මෙන් ම කලාවර්තන නොවු ධ්වනි බව පිළිගැනේ.

මේ අනුව පහතරට බෙරයේ තත්, ජිත්, තොං, නං යන මූලික ධ්වනි සංගීතාත්මක නාදයකට හිමි

ගුණාංගයන්ගෙන් යුක්ත ද? යන්න සොයා බැලීමේ දී සංගීතාත්මක නාදයකට හිමි පහත සඳහන් මූලික ගුණාංග පිළිබඳ අපට සලකා බැලීමට සිදු වේ.

  1. තාරතාව (Pitch)
  2. විපුලතාව Loudness, Amplitude, Volume)
  3. ධ්වනි ගුණය (Tone Colour Timore)

යනුවෙනි.

‘තාරතාවය’ යනු හෙඬ් උච්ච- නීච භාවය යි. මෙය කම්පන වාර සංඛ්‍යාව අනුව වෙනස් වේ. ‘විපුලතාව’ යනු හෙඬ් මහත්වය හා හීනත්වය යි. මෙම ගුණාංගය  ඕනෑ ම ශබ්දයකට පොදු ය. නිශ්චිත හඬක් ඒ ඒ භාණ්ඩවලින් නිකුත් වීමේ දී එකී භාණ්ඩයට ආවේණික හඬ අසමාන වන්නේ එහි ධ්වනි ගුණය නිසා ය. මෙකී ගුණාංග සමග පහතරට බෙර ධ්වනි සැසඳීමේ දී ඒවා කුමන ලක්ෂණවලින් යුක්ත වන්නේ දැයි සොයා බැලීම අත්‍යවශ්‍ය ය. බෙරයකින් නිකුත් වන ශබ්දාවලියක් තුළ ඇත්තේ බෙර ඇසෙහි අත හා ඇඟිලි පිහිටුවනු ලබන ආකාරය හා එසේ හැඬවෙන ස්ථානය අනුව ආරෝපණය වන ධ්වනි වර්ණ (Tone Colour) හා දෑත ක‍්‍රියාත්මක වන ශක්තිය මත රඳා පවත්නා ධ්වනි විපුලතාව (Intensity Sound) පමණි. එබැවින් බෙරහඬ සවන්ගත වීමෙන් උපදනා සංවේදනය විග‍්‍රහ කර බැලීමට බෙර වාදනයේ බීජාක්ෂර වශයෙන් සැලකෙන තත්, දිත්, ගුං, නං යන මූලික ධ්වනි සතර නාද විශ්ලේෂණ පරිගණක යන්ත‍්‍රයකට ඇතුළු කිරීමෙන් ලැබෙන ධ්වනි සටහන් අංක 01 යටතේ දැක්වේ.

වගුවේ සිරස් රේඛාවෙන් ධ්වනි සතරේ සංඛ්‍යාතයක් තිරස් රේඛාවෙන් හඬ ගමන් කරන කාලයත් පිළිබිඹු වේ. සංඛ්‍යාතය (Frequency) වෙන් කොට දැක්වෙන ආකාරය අංක 02 රූප සටහනින් පෙනේ.

මෙවැනි යන්ත‍්‍රයකින් සංගීතමය නාද සතරක් මැන බැලූව හොත් ඒවායේ සංඛ්‍යාතය පැහැදිලි තිරස් සෘජු රේඛා සතරකින් දර්ශනය වේ. ඒ බව පහත දැක්වෙන අංක 03 රූප සටහනින් පැහැදිලි කළ හැකි ය.

සටහනේ දෙවැනි කොටසින් පිළිවෙළින් ස-රි-ග-ම යන ස්වර ස්ථාන සතරේ සංඛ්‍යාත තිරස් සෘජු රේඛා වශයෙන් සටහන් වී ඇති අතර එම රේඛා එකිනෙකට ඉහළින් පිහිටා තිබීමෙන් තාරතාවේ ඇති වෙනස ද පැහැදිලි කරයි. ඒ අනුව තත්, දිත්, ගුං, නං යන බීජාක්ෂර සතරේ සංඛ්‍යාත පෙන්වන සටහනේ රේඛා ක‍්‍රමානුකූල තත්ත්වයක් නොගැනීමෙන් එකී ධ්වනි බිහි කළ බෙර අක්ෂරවල කම්පනය ක‍්‍රමානුකූල ව සිදු නොවූ බවක් සනාථ වේ. ක‍්‍රමානුකූල කම්පන වාර සංඛ්‍යා මගින් උපදින මිහිරි නාද හෙවත් සංගීතමය නාදයක් යනු එම නාදය සතු මූලික සංඛ්‍යාතයෙහි හා එහි ගුණාකාර වශයෙන් ලැබෙන සංඛ්‍යාතයන්හි සංකලනයකි. පියවි කනට ඇසෙන්නේ මූලික සංඛ්‍යාතය හිමි නාදය පමණකි. එහෙත් නාදය නිකුත් කරන්නා වූ සංගීත භාණ්ඩයෙහි හෝ කටහඬෙහි ධ්වනි ගුණය නිර්ණය කරනු ලබන්නේ මූලික සංඛ්‍යාතයෙහි ගුණාකාර වශයෙන් ලැබෙන රාව හෙවත් උපරිතාන/ ප‍්‍රසංවාද මගිනි. සංගීත ස්වරයක් විශ්ලේෂණ යන්ත‍්‍රයට යොමු කළ විට එම ස්වරය සතු මූලික සංඛ්‍යාතය මුල් නාදයට ඉහළින් පිහිටන උපරිතාන හෙවත් ප‍්‍රසංවාද පැහැදිලිව දැකගත හැකි ය.

මෙහි ‘ගුං’ ධ්වනිය සිව් වතාවක් වාදනය කළ බව දක්වා ඇති අතර, පළමු සහ දෙවැනි වාරයන්හි හඬෙහි විපුලතාව සමාන තත්ත්වයක් පෙන්වා ඇත. තුන් වන වාරයේ එය මදක් වැඩි වී ඇති බවත් සිව් වැනි වාරයේ හඬෙහි විපුලතාව අනෙක් තුන් වතාවට ම වඩා වැඩි වී ඇති බවත් යන්ත‍්‍රයෙහි සටහන් වී තිබේ. පහත දක්වා ඇති අංක 04 සටහනේ පහළ කොටසින් දැක්වෙන්නේ ‘ගුං’ ධ්වනිය වාදනය කළ සිව් වාරයේ දී ම ධ්වනි විශ්ලේෂණ යන්ත‍්‍රය ලබා දුන් සංඛ්‍යාතය යි.

එය ක‍්‍රමානුකූල තිරස් රේඛා සතරක් වශයෙන් පෙන්නුම් කොට ඇති අතර, අවස්ථා සතරේ දී ම සංඛ්‍යාතය 231ක් වේ. මෙයින් එළඹිය හැකි එක් නිගමනයක් නම් ‘ගුං’ අක්ෂරය නිශ්චිත කම්පන වාර ගණනක් මගින් උපදින ධ්වනියක් බව යි. මේ දත්තය තව තවත් තහවුරු කොට දැක්වීම සඳහා බීජාක්ෂරවලින් ම උපදින වෙනත් ධ්වනියක් වූ ‘තත්’ ධ්වනිය හා ‘ගුං’ ධ්වනිය පිළිවෙළින් විශ්ලේෂණයට යොමු කෙළෙමු. එයින් ලබාගත් සටහන අංක 05 පහත දැක්වේ.

ඉහත සඳහන් කරුණුවලින් ගම්‍ය වන්නේ පහතරට බෙරයේ බීජාක්ෂර සතරින් ‘ගුං’ අක්ෂරය වඩාත් සංගීතාත්මක ගුණාංගවලින් යුක්ත වන බවකි. මෙකී ලක්ෂණය නිසා පහතරට බෙර වාදන ශිල්පයේ ‘ගුං/ ‘ගුම්’ ධ්වනිය ප‍්‍රබල ම අක්ෂරය වශයෙන් විද්‍යාමාන වේ.

 

මහාචාර්ය පී. එම්. කරුණාරත්න බංඩාර,

අධ්‍යක්ෂ, සෞන්දර්ය විශ්වවිද්‍යාලය, විවිෘත හා දුරස්ථ අධ්‍යයන කේන්ද්‍රය.

අධ්‍යක්ෂ, පොලිස් සංස්කෘතික අංශය.