‘වේ ප්‍රෝටීන්’? ‘ක්ලොස්ටී‍්‍රඩියම් බොට්‍යුලිනම්’ බැක්ටීරියා? මොනව ද මේ?

‘වේ ප්‍රෝටීන්’ (Whey Protein) සම්බන්ධ ව සමාජයේ බොහෝ දෙනා කතාබහ කරන්නට ගත්තේ පසුගිය අගෝස්තු මාසයේ සිට ය. ඒ නවසීලන්තයෙන් ගෙන්වන කිරි ආශ‍්‍රිත නිෂ්පාදනවල ශරීරයට යම් අහිතකර ද්‍රව්‍ය ඇතැයි පැවති සැකයත්, එම නිෂ්පාදන වරායෙන් නිදහස් කිරීම තාවකාලික ව අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් තීරණය කිරීමත් සමග ය. නවසීලන්තයේ කිරි නිෂ්පාදන සමාගමක නිෂ්පාදන ක‍්‍රියාවලියේ දී සිදු වූ බව කියන යම් අපිරිසිදු තත්වයක් මුල් කර ගනිමින් චීනය හා රුසියාව කිරි නිෂ්පාදන මිල දී ගැනීම අත් හිටුවීමට මීට පෙර තීරණය කර තිබුණි.

මෙරට පසුගිය දිනවල වඩාත් කතාබහට ලක්වුයේ ‘වේ ප්‍රෝටීන්’ අධිසාන්ද්‍රණය සහිත කිරි සහ එම නිෂ්පාදනවල ‘ක්ලොස්ටී‍්‍රඩියම් බොට්‍යුලිනම්’ (Clostridium botulinum) නම් බැක්ටීරියාව අඩංගු බවට පැවති සැකය යි.

ඇත්තට ම මොකක් ද මේ ගැටලූව? ‘වේ ප්‍රෝටීන්ද ? නැතිනම් ක්ලොස්ටී‍්‍රඩියම් බොට්‍යුලිනම්බැක්ටීරියාව ද ?

කිරි මුදවීමේ දී හා කේජු සැකසීමේ දී ‘මෝරු’ ලෙස ලැබෙන අතුරු ඵලය ‘වේ ප්‍රෝටීන’ ලෙස හඳුන්වන අතර, ඉන් පළමු ව සකසන්නේ ‘වේ පවුඩර්’ ය. පසු ව ‘වේ ප්‍රෝටීන’ හා ඉන් පසු අධිසාන්ද්‍රිත ‘වේ ප්‍රෝටීන’ නිෂ්පාදනය කෙරේ. කිරිවල ඇති ඉතා ම ඉහළ ප්‍රෝටීන ප‍්‍රමාණයක් අඩංගු වන්නේ මේ ‘වේ ප්‍රෝටීන’වල ය. මේවායේ නයිටි‍්‍රජන් සංයුතිය අධික ය. පෝෂණ ගුණයෙන් ඉතා ඉහළ වන අතර, ශක්ති ජනක ආහාරවල බහුල ව අඩංගු වේ. කාය වර්ධනයට පාවිච්චි කරන අධි පෝෂණ කිරි වර්ගවල ද මේවා අඩංගු වේ.

‘ක්ලොස්ටී‍්‍රඩියම් බොට්‍යුලිනම්’ යනු උග‍්‍ර විෂ සහිත ශ‍්‍රාවය නිපදවන බැක්ටීරියාවක් වන අතර, මෙමගින් මිනිසාට මරණය පවා කැඳවීමට හේතු විය හැකි ය. සාමාන්‍යයෙන් බැක්ටීරියාවක් වර්ධනයට ඔක්සිජන් අවශ්‍ය වන නමුත් ‘බොට්‍යුලිනම්’ නිර්වායුක තත්ත්ව යටතේ වැඩෙන බැක්ටීරියාවකි. බීජානු අවස්ථාවේ පවතින මෙම බැක්ටීරියාව සක‍්‍රිය වීමට හිතකර තත්ත්වයක් ඇති වන තෙක් බොහෝ කලක් පැවතිය හැකි ය. උතුරන ජලයේ පවා මේ බීජානුවලට නොනැසී පැවතිය හැකි ය. එහෙත් එම බීජානුවලින් ඇති වන බැක්ටීරියා මගින් නිපදවන විෂ රත් කිරීමෙන් විනාශ කළ හැකි ය (උදා : අභ්‍යන්තර උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඞ් අංශක 85 යටතේ මිනිත්තු 5ක් හෝ ඊට වැඩි කාලයක් තැබීමෙන්). තව ද මෙම බැක්ටීරියාව අධික අම්ල සහිත හෙවත් PH අගය අඩු (PH < 4.6) තත්ත්ව යටතේ වර්ධනය නො වේ.

ඔක්සිජන් සහිත වාතාශ‍්‍රයේ දී වැඞීමට නොහැකි වුවත් නිර්වායුක තත්ත්ව යටතේ දී මේ බීජානු සක‍්‍රීය වී බැක්ටීරියා බවට පත්වී වැඞීමට පටන් ගනී. එබැවින් මේ බීජානු බෝතල් කළ, ටින් කළ හෝ අසුරණ ලද ආහාරවල පැවතිය හැකි ය. එම ආහාරවල වැඩෙන ක්ලොස්ටී‍්‍රඩියම් බොට්‍යුලිනම් බැක්ටීරියාව පිට කරන විෂ ද්‍රව්‍ය එම ආහාර සමග අපගේ ශරීර ගත විය හැකි ය.

ක්ලොස්ටී‍්‍රඩියම් බොට්‍යුලිනම් බැක්ටීරියා නිකුත් කරන විෂ ද්‍රව්‍ය අපගේ ශරීරයට බලපාන ආකාරය

මෙම විෂ බලපාන්නේ අපගේ ස්නායු පද්ධතියට යි. මොළයෙන් නිකුත් කරන සංඥා ‘ස්නායු ආවේග’ ලෙස පේශිවලට ගමන් කරයි. ස්නායු-පේශි සන්ධියේ දී ්ජැඑහකජයදකසබැ නම් රසායනික ද්‍රව්‍යයක් නිකුත් කෙරේ. එසේ නිකුත් කරන රසායනික ද්‍රව්‍ය

ස්නායු-පේශි සන්ධිය හරහා ගොස් පේශිවලට සම්බන්ධ වීමෙන් එම ස්නායු ආවේගවලට අනුව පේශි ක‍්‍රියාත්මක වේ. එහෙත් මේ විෂ ශරීර ගත වුව හොත් එම ස්නායු-පේශි සන්ධියේ දී acetyl choline රසායනික ද්‍රව්‍ය නිකුත් කිරීම වැළැක්වීමත් එමගින් ස්නායු හා පේශි අතර සම්බන්ධතාව ගිලිහීමත් සිදු වේ. එවිට අපට අවශ්‍ය පරිදි ශරීර අංග ක‍්‍රියාත්මක කළ නොහැකි අතර, ශරීරයේ දෙපස ම අවයව පණ නැති වීමට හේතු විය හැකි ය. මෙය Flaccid Paralysis නම් තත්ත්වය යි. මෙම රෝගය හඳුන්වන්නේ බොට්‍යුලිසම් (Botulism) යන නමිනි.

විෂ පළමු වරට ශරීරගත වී පැය 12ත් 36ත් අතර කාලයේ දී රෝග ලක්ෂණ පහළ වේ. වමනය හා බඩඑළිය යාම එහි මූලික රෝග ලක්ෂණ යි. ඉන් පසු ව මෙම විෂ ‘කපාල ස්නායු’ 12 ට ද එතැන් සිට ශරීරය දෙපැත්තේ ඇති පේශි අක‍්‍රීය වීමට ද බලපායි. ශ්වසනයට සම්බන්ධ මාංශ පේශි වන ‘මහා ප‍්‍රාචීරය’ සහ ‘අන්තර් පර්ශුක පේශි’ අක‍්‍රීය වීමෙන් හුස්ම ගැනීමට අපහසු වීම නිසා මරණය පවා සිදු විය හැකි ය.

මෙය ඉතා සුලභ රෝගයක් නො වූව ද නිවැරදි ව හඳුනා නොගත හොත් හෝ ප‍්‍රතිකාර නො කළ හොත් ඉතා ඉහළ මරණ අනුපාතයක් ඇති රෝගයකි. රෝගය වැළඳී ඇති බව තහවුරු කර ගැනීමට සැකකටයුතු ආහාර හෝ රෝගියාගේ මළපහ පරීක්ෂාවට ලක් කළ යුතු ය.

මෙම විෂට ප‍්‍රති විෂක් ද සොයා ගෙන ඇති නමුත් ඒවා වැඩි වශයෙන් භාවිත වන්නේ ‘ජෛව බෝම්බ’ ආදිය තනන රටවල හමුදා අංශවල ය. රෝගීන්ට ශ්වසන අපහසුතා ඇති වූ විට වහා ම කෘත‍්‍රීම ශ්වසන යන්ත‍්‍රයකට රෝගියා ව සම්බන්ධ කරයි. විෂ අක‍්‍රීය වූ පසු ‘ස්නායු ආවේග’ සහ ‘පේශි’ අතර බාධකය ඉවත් වීම නිසා පේශි යළි ක‍්‍රියාත්මක වී රෝගියා සුවපත් වේ. මෙම රෝගයට එරෙහි ව එන්නත් නිෂ්පාදනය කර ඇතත් එහි සාර්ථක බව සම්පූර්ණයෙන් අධ්‍යයනය කර නැත.

මෙම විෂ මිනිසාට මෙතරම් හානිදායක වුවත්, රූපලාවන්‍ය සහ පේශිවල අධික‍්‍රියාකාරීත්වය නිසා ඇති වන රෝග සුව කිරීමට යොදා ගැනේ. මුහුණේ රැළි වැටීම (wrinkles) වැළැක්වීමට කුඩා ප‍්‍රමාණයකින් එන්නත් කරයි. දියුණු රටවල මෙය සුලභ රූපලාවන්‍ය ක‍්‍රමයකි.

මීට අමතර ව Blepharospasm නමැති අධික ඇසිපිය ගැසීමේ රෝගයට ද, Hemi facial spasm නමැති මුහුණේ පේශිවල අධික‍්‍රියාකාරීත්වයට හේතු වන රෝගී තත්ත්වය පාලනයට ද සරිලන මාත‍්‍රාවෙන් මෙම විෂ ලබා දී අනවශ්‍ය ‘ස්නායු ආවේග’ පේශිවලට ලැබීම නවතාලයි.

දීර්ඝ කාලීන හිසරදය (Chronic headache) හා දීර්ඝ කාලීන මාංශ පේශි කැක්කුම (chronic musculoskeletal pain) වැනි රෝගී තත්ත්වවලට යොදා ගැනීමේ හැකියාව පිළිබඳ දැනට පර්යේෂණ මට්ටමේ පවතී. ‘ක්ලොස්ටී‍්‍රඩියම් බොට්‍යුලිනම්’ බැක්ටීරියාව දුෂිත ආහාරවලින් හැරුණු විට තුවාලවලින් ද ශරීරගත විය හැකි ය.  යුදමය වාතාවරණයක දී බෝම්බ

ආදියෙන් තුවාල වූ අයට පහසුවෙන් ශරීරයට ඇතුළු විය හැකි ය. ඊට අමතර ව හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය ශරීරගත කිරීමට යොදා ගන්නා එන්නත් කටුවලින් ද ඇතුළු විය හැකි ය. ශ්වසනය මගින් ද මෙය ඇතුළු විය හැකි වුවත් එය දුර්ලභ තත්වයකි. ඒ මන්දයත් මෙය ජෛව බෝම්බ ආදී අවස්ථාවල දී නිකුත් කරන විෂ මගින් සිදු විය හැකි නිසා ය.

මේ අනුව ‘වේ ප්‍රෝටීන්’ පසුගිය දිනවල ජනප‍්‍රිය වචනයක් වුව ද ගැටලූව ඇත්තේ ‘වේ ප්‍රෝටීන’වල නො ව එවායේ අන්තර්ගත වූ බවට චෝදනා එල්ල වූ ‘ක්ලොස්ටී‍්‍රඩියම් බොට්‍යුලිනම්’ නම් බැක්ටීරියාව නිසා යන්න අප සියලූ දෙනා අවබෝධ කර ගත යුතු ව ඇත.

 

වෛද්‍ය ජීවනී හෙට්ටිආරච්චි