රෝගීන් සහසම්බන්ධ කර ගත් සෞඛ්‍ය සේවාවක්

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවා ලබා ගැනීමේ දී, ජනතාවගේ සහභාගිත්වය ප්‍රමාණවත් ද යන්න පිළිබඳ ව නොයෙක් මත සමාජයේ පවතිනවා විය හැකි ය. ශ්‍රී ලංකාවේ සමාජය, පෙර සිට ම ධූරාවලි ක්‍රමය අනුව හැඩ ගැසුණු රටාවක් නිරූපණය කරන නිසා ඒ පදනම ද මේ කෙරෙහි බලපායි. උදාහරණයක් ලෙස පාසලක විදුහල්පති සහ දෙමාපියන්/ සිසුන් අතර ද, කාර්යාල නිලධාරියකු සහ යටත් සේවකයින්/ සේවාලාභීන් අතර ද ගොඩ නැගෙන සම්බන්ධතාවලට පදනම් වන කරුණු විමසිය හැකි ය. එහි දී, දෙමාපියන්ගෙන් විදුහල්පති අසන “ඔබ කරන රැකියාව කුමක් ද?” යන ප්‍රශ්නයට ලැඛෙන පිළිතුර අනුව අන්‍යෝන්‍ය සම්බන්ධයේ ස්වරූපය තීරණය වනු දක්නට ලැබේ. සේවාලාභියාගේ බාහිර ස්වරූපයෙන්, නිලධාරියා සහ සේවාලාභියා අතර ගොඩ නැගෙන අන්‍යෝන්‍ය සම්බන්ධයේ ස්වරූපය තීරණය වනු ද දක්නට ලැබේ. වත්කම් ඇති නැති බව අනුව ද විවිධාකාර ලෙස නිගමනවලට එළැඹ, ඒ අනුව ආමන්ත්‍රණය කරන ආකාරය ද කතා කරන වචනවල ස්වරය සහ ලබා දෙන සේවාවේ ප්‍රමිතිය තීරණය වන අවස්ථා ද දක්නට ලැබේ.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ ද මෙම තත්ත්වය මෙලෙස ම දක්නට ලැඛෙන අවස්ථා දැකිය හැකි ය. රෝගී වූ හෝ නො වූ සමාජයේ සිටින ඕනෑම පුද්ගලයකු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සමග ගොඩ නගා ගන්නා සම්බන්ධතාව වෘත්තීය ම ද? එහි සීමාවන් මොනවා ද? දෙපාර්ශ්වය අතර පවතින සන්නිවේදනය ප්‍රමාණවත් ද? එම පවතින ක්‍රමයෙන් සේවාලාභීන් තෘප්තිමත් ද? සේවාලාභීන්ට ලැඛෙන්නේ, ලබා දිය හැකි උපරිම ප්‍රතිකාරය හා සාත්තුව (best possible treatment and care) ද? යන්න පිළිබඳ විශ්ලේෂණය නො කළ මත දරනවාට වඩා එම කරුණු අධ්‍යයනය කර නිගමනවලට එළඹීම හා ක්‍රියාමාර්ග ගැනීම වඩා සුදුසු වේ.

මෙම කරුණ මාන දෙකකින් අධ්‍යයනය කළ හැකි ය. සෞඛ්‍ය සේවකයකුගේ ඇසින් ඉහත ප්‍රශ්න විමසා  බැලීමේ දී, අනෙකුත් සමහර රටවල් හා සැසදීමේ දී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයේ ඉතා දැඩි නො වූ නීතිමය රාමුව තුළ, තම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සේවාලාභීන් ප්‍රශ්න නොකරන සහ කාර්ය මණ්ඩලයේ නිර්දේශවලට පිටින් යාමට උත්සාහ නොකරන සේවා ලාභීන් සිටීම, සේවය කර ගෙන යාමට පහසුවක් යයි සමහර සෞඛ්‍ය සේවකයින් සිතනවා විය හැකි ය. එමෙන් ම, රෝගියකුගේ හෝ සේවාලාභියකුගේ ඇසින් බැලීමේ දී, “සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ලෙඩ රෝග පිළිබඳ සියලූ දේ දන්නා අය ය, රෝගී වූ මා හට ලබා දෙන්නේ පෞද්ගලික ව මට  ගැළපෙන ම ප්‍රතිකාර ය”, යන ආකල්පයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අතට තම සෞඛ්‍ය භාර දීම පහසුවක් ලෙස, සමහර සේවාලාභීන් සිතනවා විය හැකි ය. ඊටත් වඩා මුලින් සදහන් කළ ආකාරයට සමාජ මට්ටම්  පිළිබඳ එළඹුණු පූර්ව නිගමන නිසා ද කාර්ය මණ්ඩලය පිළිබඳ ඇති ගෞරවාන්විත බිය නිසා ද, ප්‍රශ්න කිරීමට අවශ්‍ය වුවත්, ප්‍රතික්ෂේප වීම පිළිබඳ ඇති බිය නිසා, ප්‍රශ්න කිරීමට මැලි වනවා ද විය හැකි ය.

පවතින තත්ත්වය වෙනස් විය යුතු ද? නැති ද? යනු ගැන විමසීමේ දී, සමාජයේ නිතර අසන්නට ලැඛෙන පහත සිදුවීම් සලකා බැලිය හැකි ය.

  • “මගේ ලෙඩා ඉස්පිරිතාලෙ ගෙනිච්චට පස්සෙ සේලයින් ටිකක් වත් දුන්නේ නෑ. එහෙම දුන්නා නම් ජීවිතය බේර ගන්න තිබ්බා”
  • “වෙන දා මට දෙන්නේ කහ පාට පොඩි පෙත්තක්, අද මට මිසී රෝස පාට පෙති බාගයක් දුන්නා ඒ වෙනුවට. වැරදිලා ද දන්නේ නෑ.”
  • “මම ඇවිත් ගොඩාක් වෙලා. මගේ දිහා බැලූවේ වත් නැතුව වෙන ලෙඩ්ඩු බැලූවා.”
  • “මේ වාට්ටුවේ දොස්තරලා එක්ක මිසීලාට කතා කරන්න බෑ. හරි සැරයි.”

සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අතින් වරදක් වූ හෝ නො වූ අවස්ථාවල මෙවැනි දේ අසන්නට ලැඛෙන අවස්ථා ඇත. මෙමගින් ගම්‍ය වන්නේ කාර්ය මණ්ඩලය සහ රෝගීන් අතර පවතින සන්නිවේදනය ප්‍රමාණවත් නොවන අවස්ථා පවතින බව ය. එසේ නොවූවත් මිනිස් අයිතිවාසිකම් සුරැකීමට නම් තමන්ට සිදු වන්නට යන්නේ කුමක් ද යන්න පිළිිබඳ ව රෝගීන් දැන ගැනීම අවශ්‍ය වන අතර, තම සෞඛ්‍යය පවත්වා ගත යුත්තේ කෙසේ ද? යන්න පිළිබඳ පුද්ගලයින් දැනුම්වත් කිරීම, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සතු වගකීමකි.  මෙලෙස තම සෞඛ්‍ය පිළිබද තීරණ ගැනීමට මිනිසුන් ස්වාධීන කිරීම මගින් සහ තීරණ ගැනීමට සහභාගි කර ගැනීමෙන් කාර්ය මණ්ඩලය සහ රෝගීන් අතර පවතින අනවබෝධය නැති කර ගැටලූ අවම කළ හැකි සේ ම අවබෝධයෙන් තම සෞඛ්‍ය පවත්වා ගැනීමෙන් රෝග වළක්වා ගැනීම සහ නිසි කලට නිසි ප්‍රතිකාරයට යොමු වීම සදහා මිනිසුන්ගේ පෙලඹීම වැඩි කළ හැකි ය. එහෙත් ගැටලූව වන්නේ එලෙස රෝගීන් සෞඛ්‍ය තීරණ ගැනීමට සහභාගි කර ගැනීමට සෞඛ්‍ය සේවකයින් වෙනස් විය යුත්තේ කෙසේ ද? සහ කළ යුත්තේ කුමක් ද? යන්නයි. එහි ආරම්භය සෞඛ්‍ය සේවකයින් කළ යුතු දෙයක් ලෙස සලකමි. ඒ සදහා පහත සදහන් දේ ක්‍රියාත්මක කිරීමට යෝජනා කළ හැකි ය.

  1. සෞඛ්‍ය සේවකයින් ම තම ආකල්ප ගැන ප්‍රත්‍යවේක්ෂණය කිරීම (self-reflection)

සෞඛ්‍ය වෘත්තිකයෙක් ලෙස මෙන් ම පුද්ගලයකු ලෙස ආගමික සංස්කෘතික ආදී නොයෙක් පැතිකඩවලින් තම අදහස් හා ආකල්ප විමසා බැලීම මෙහි අරමුණ වේ.

උදා- ශල්‍යකර්මයකට බදුන් වන රෝගියෙකුට රුධිරය පාරවිලයනය කිරීම, මිය ගිය රෝගියකුගේ මෘත ශරීරය පිළිබද කටයුතු කළ යුතු ආකාරය, බහු විවාහ සුදුසු ද? නැත්ද? අඩු වයසින් විවාහ වීම සුදුසු ද? නැත්ද? යනාදී කරුණු පිළිිබඳ ව තමා දරන පැහැදිලි මතය අවබෝධ කර ගැනීම.

  1. රෝගියාගේ අවශ්‍යතා පිළිබද ව, රෝගය හා ප්‍රතිකාරය යන මානවලින් පමණක් නොසලකා, රෝගියා ද තමන් අගයන ආකල්පවලින් සහ පිළිගත් මතවලින් සමන්විත පුද්ගලයෙකු ලෙස සැලකීමට හුරු වීම. රෝගියාගේ එම ගුණාංග හඳුනා ගැනීම

රෝහලට පැමිණෙන රෝගීන් හෝ සේවාලාභීන්ගේ එම රෝගී හෝ සේවාලාභී භූමිකාවට අමතර ව දරන වෙනත් භූමිකා ද ඇති බව පිළිගැනීම. (පුද්ගලයින්ගේ අත්දැකීම්, සංස්කෘතිය, ආගම ආදී කරුණු මත විවිධාකාර මත දැරිය හැකි බව හදුනා ගැනීම) මෙහි දී අවශ්‍ය වේ.

උදා- දරු ප්‍රසූතියකට රෝහල් ගත වන කාන්තාවක, වෙනත් ආයතනයක සේවිකාවක ලෙස, පවුලක සාමාජිකාවක ලෙස ආදී ඇය සතු තවත් භූමිකා හදුනා ගැනීම. ඇයගේ සංස්කෘතිය, ආගම ආදී කරුණු අනුව දරු ප්‍රසූතිය, මවු කිරි දීම, පවුල් සැලසුම් ක්‍රම පිළිබද ඇය දරන මත හදුනා ගැනීම.

  1. තම ආකල්ප සහ රෝගියාගේ ආකල්ප එකිනෙක මිශ්‍ර නො කර ගෙන, පක්ෂග්‍රාහී නො වී

සන්නිවේදනය පවත්වා ගැනීමෙන්, තම සෞඛ්‍යය පිළිබඳ ස්වාධීන තීරණ ගැනීම සඳහා දායක වීමට  අවශ්‍ය දැනුම ලබා දීම.

තමා සතු ආකල්ප වෙනස් නො කර ගෙන, රෝගියාගේ ආකල්ප අනුව, ඔහුට හෝ ඇයට ගැළපෙන ප්‍රතිකාරය හෝ සාත්තුව ලබා දීමට අවශ්‍ය සන්නිවේදනය පවත්වා ගැනීම, මෙමගින් අදහස් වේ. තම අදහස් අනුව රෝගියාගේ තීරණ වෙනස් කිරීමට උත්සාහ දැරීම හෝ බල කිරීම නුසුදුසු වේ.  එමෙන් ම රෝගියාගේ අදහස් අනුව තමන් හැඩ ගැසීමට උත්සාහ කිරීම ද නුසුදුසු වේ. මුලින් හදුනා ගත්, රෝගියාගේ  පසුබිම හා ආකල්ප අනුව, සුදුසු පරිදි, ඔවුන්ට පැහැදිලි වචනවලින් කළ යුතු සුදුසු ම දේ, පවතින විකල්ප, විවිධ ප්‍රතිකාරවල ප්‍රතිඵල පැහැදිලි කිරීම වැදගත් ය. එක් එක් අයගේ තේරුම් ගැනීමේ හැකියාව සහ තේරුම් ගන්නා ආකාරය වෙනස් වන බව දැන, එම වෙනස්කම්වලට ගැළපෙන ලෙස, සුදුසු පරිදි සන්නිවේදනය කිරීමට, සෞඛ්‍ය වෘත්තිකයන් දක්ෂ විය යුතු ය.

උදා- සිසේරියන් සැත්කමක් මගින් දරු ප්‍රසූතිය සදහා සූදානම් වන කාන්තාවක, රුධිරය පාරවිලයනය කිරීම ප්‍රතික්ෂේප කරන අවස්ථාවක, සේවය ලබා දෙන අය තනි පුද්ගලයින් ලෙස ඒ පිළිබද තම ආකල්ප වෙනස් නො කර ගෙන, නමුත් ඇයගේ අවශ්‍යතාව අනුව වඩාත් සුදුසු තීරණය ගැනීම සදහා ඇය හා අවශ්‍යතාව පරිදි, පවුලේ සාමාජිකයන් දැනුම්වත් කිරීම. මෙහි දී, රුධිරය ලබා දීමේ අවශ්‍යතාව, ඒ පිළිබද දැනට රෝහලේ හා රටේ පවතින නීති, රුධිරය නොදීම නිසා ඇති විය හැකි තත්ත්වය, ආදී කරුණු පැහැදිලි කර දීම

  1. රෝගියාගේ හෝ සේවාලාභියාගේ තීරණවලට ගරු කිරීම

සේවාලාභීයාගේ තීරණය කුමක් වුවත්, විවේචනය කිරීම, තීරණ වෙනස් කිරීමට බල කිරීම, බැන වැදීම, පෞද්ගලිකත්වය නැති වන පරිදි එම තීරණ විවේචනය කිරීම, සේවය ලබා දීම ප්‍රතික්ෂේප කිරීම් හෝ ලබා දෙන සේවයේ ප්‍රමිතිය වෙනස් කිරීම නුසදුසු වේ. ඒ වෙනුවට තමා ලබා ගත් තීරණය පිළිබද වග කීමට තරම් ඔවුන්ට අවශ්‍ය දැනුම ලබා දීමෙන් සෞඛ්‍ය වෘත්තිකයන් ආරක්ෂා වනවා මෙන් ම රෝගීන්ගේ අයිතීන් ද ආරක්ෂා වේ

තනි තනි වෘත්තිකයන් රෝගියාගේ තීරණ ගැනීමට මෙලෙස දායක වනවා වැනි, වෘත්තියේ පැවත්ම පිළිබද තීරණ ගන්නා ආයතනවල වගකීම වන්නේ වෘත්තිකයන්ගෙන් අපේක්ෂා කළ යුතු සේවය කුමක් ද? යන්න පිළිබඳ ව, සේවය  ලබන පුද්ගලයින් ව දනුම්වත් කිරීමයි. උදාහරණයක් ලෙස හෙදිය යන නාමය භාවිත කළ හැක්කේ කුමන පිළිගත් අධ්‍යාපන ආයතනවලින් දනුම ලැබූ අයකුට ද?, කොපමණ කාලයක් කුමන අධ්‍යාපන මට්ටමක් සම්පූර්ණ කළ අයකුට ද?, යන්න තීරණය කිරීම මගින් හෙදියක වීම සදහා අවශ්‍ය දනුම සම්පූර්ණ කළ අය පමණක් එම නිල නාමය භාවිත කිරීම සහ  අවශ්‍ය දැනුම ලබා නොගත් අය එම නාමය භාවිත කිරීම වැළැක්වීම මගින් රෝගීන්ගේ ආරක්ෂාවට වන හානිය වැළැක්වීම මෙම ආයතනවල වගකීමකි. එමෙන් ම රෝහලක දී සායනයක දී හෝ සේවය ලබන වෙනත් ස්ථානයක දී මෙලෙස පිළිගත් හෙදියකගෙන් අපේක්ෂා කළ යුතු සේවය කුමක් ද? යන්න ගැන ජනතාව දැනුම්වත් කළ යුතු ය. එවිට, වෘත්තිකයා පිළිබද විස්වාසය පවත්වා ගැනීමට රෝගීන්ට සහාය ලැඛෙනවා මෙන් ම වෘත්තීයමය දැනුම රහිත පුද්ගලයින්ගෙන් වැරදි  දැනුම ලබා  සෞඛ්‍යය පිළිබද  වැරදි තීරණ ගැනීම ද වැළකෙයි.

 

සින්ධූජා කොඩිතුවක්කු

ටොරොන්ටෝ, කැනඩාව