ජනතාව ස්වකීය සෞඛ්‍ය සංවර්ධනය වන ආකාරය පිළිබඳ ව තබා ගත් වාර්තා ගැන පර්යේෂණ ඇසින්

පර්යේෂණවල දී ජනතා සහභාගිත්වය යනු කුමක් දර?

සැම විට ම වාගේ පර්යේෂණ මාතෘකා තීරණය කරනුයේ පර්යේෂකයන් ය. එනිසා ඒ කාර්යයේ දී රෝගීන්ගේත් රොගීන් රුකබලා ගන්නන්ගේත් රෝගීන්ගේ පවුල්වල සාමාජිකයන්ගේත් සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ වෘත්තිකයන්ගේ්ත් අදහස් එකතු කර ගත හැකි නම් වටින්නේ ය.  එවිට, අනාගත පර්යේෂණ, පර්යේෂණවලින් ඍජු ව ප්‍රතිඵල ලබන්නට සිටින්නන්ට අදාළ බව තහවුරු කළ හැකි ය.

පර්යේෂණය කෙතරම් සංකීර්ණ වුවත්, පර්යේෂක කෙතරම් බුද්ධිමතකු වුවත්, රෝගීහූ සහ මහජනතාව ද, සැම විට ම සුවිශේෂ වූත් මිල කළ නොහැකි වූත් තීක්ෂණ බුද්ධියක් සපයති. ඔවුන් පර්යේෂණ සැලසුම් කිරීමේදීත් ක්‍රියාත්මක කිරීමේදීත් ඇගයීමේදීත් ලබා දෙන උපදෙස් නිසා පර්යේෂණ වඩා කාර්යක්ෂම වේ; විශ්වශ්‍ය වේ; වියදමට අදාළ පිරිවැයක් ලබන්නට හේතු වේ.

මේ කරුණු අනුව පර්යේෂණවල දී ජනතා සහභාගිත්වය යන්න නිර්වචනය වනුයේ මෙලෙස ය.

“ජනතාව වෙනුවෙන් හෝ ජනතාව සඳහා හෝ ජනතාව ගැන පර්යේෂණ කිරීම වෙනුවට,  ජනතා සාමාජිකයන් ම පර්යේෂණ කිරීම හෝ ජනතා සාමාජිකයන් සමඟ පර්යේෂණ ක්‍රියාත්මක කිරීම ය”

මැදවච්චියේ ගම්වාසීන්ගේ ලේඛනවලින් හෙළි වන පර්යේෂණ ක්‍රම

පර්යේෂණවල දී ජනතා සහභාගිත්වයට අදාළ හැඳින්වීම අනුව, මැදවච්චියේ ගම්වාසීහූ, රජරට විශ්වවිද්‍යාලයෙන් ලද මග පෙන්වීම අනුව, ස්වකීය සෞඛ්‍ය සංවර්ධනයේ විවිධ පැති ගැන අවදිමත් වී ඇති ආකාරය පර්යේෂණ ක්‍රම අනුව විශ්ලේෂණය කරමු.

ප්‍රජාවගේ අවදිමත් බව සහ එයට පදනම් වූ ඔවුන්ගේ සෞඛ්‍ය රටා පිළිබඳ  දැනුම්වත් බව සංකේතවත් කරන ලේඛන ප්‍රජා සාමාජිකයකුගේ නිවෙසක ප්‍රදර්ශනය වූයේ විවිධ රටාවල පත්‍රිකා ආශ්‍රයෙනි. උදාහරණ දෙකක් පහත දැක්වෙයි. මේ උදාහරණ දෙකින් නිරූපණය වනුයේ ස්වකීය ජීවිතයේ ක්‍රියාකාරකම් දෙකක් ගැන අඛණ්ඩ ව නිරීක්ෂණය කරමින්, ස්වකීය ජීවන චර්යාව සඳහා ඒ ක්‍රියාකාරකම්වල බලපෑම ගැන අවදියෙන් ක්‍රියා කළ බවයි. පර්යේෂණ ක්‍රමවිද්‍යාත්ම ව මෙහි දී ප්‍රජාව භාවිත කර ඇත්තේ අන්වායාම අධ්‍යයනයකි (Longitudinal research).

තම ගමෙහි සහ වෙනත් ගමක මත්ද්‍රව්‍ය භාවිතයේ රටා සංසනාත්මක ව විශ්ලේෂණය කිරීමෙන්, සහසම්බන්ධතා අධ්‍යයනයක මූලික ලක්ෂණ අනුගමනය කරන්නට ප්‍රජාව කටයුතු කර ඇති බව පහත රූප දෙකින් පැහැදිලි වේ.  දරුවාගේ බර සහ මවට ලැඛෙන තරු ලකුණුවල සම්බන්ධතාව පිළිබඳ දත්තවලින් ද මේ ලක්ෂණය ම නිරූපණය වේ. ගත වූ කාලයේ ගමේ රටාවට සාපේක්ෂ ව, වර්තමාන ගම නිරූපණය කරන රූපය ද මේ සඳහා තව උදාහරණයකි.

 

 

සතුටු ගමක් සහ සැප ගමක් ගැන ද බර යන සංකල්පය ගැන ද සැප-මෝඩ මඵ ගැන ප්‍රජාව සතු සිතිවිලි ධාරා නිරූපණය කරනුයේ සංසිද්ධිවිද්‍යා පර්යේෂණයේ (Phenomonological research) නියැළීමෙන් ලද හැකි ආකාරයේ අත්දැකීම් ය.

 

 

මෙතෙක් සඳහන් කළ ක්‍රියාවලි සමූහයට දායක වූ ප්‍රජා සාමාජිකයන් ජීවත් වන නිවෙස් පරිසරය ගැන මානවවංශ විරණ පර්යේෂණයක් කරන්නේ නම් භාවිතයට ගත හැකි ඡායාරූප කිහිපයක් අවසන් වශයෙන් ඉදිරිපත් කරමු.