ලෝකයේ අනෙකුත් රටවල ‘ප්‍රධාන ආහාරය’ මොනවා ද?

ලෝකයේ විශාල ම ආර්ථීකයකට හිමිකම් කියන ආසියානු රටක් වන චීනයෙහි උතුරු කොටසේ නූඩ්ල්ස් සහ ඩම්ප්ලිං වැනි තිරිඟු ආශ්‍රිත නිෂ්පාදන ද දකුණු කොටසේ බත් ද ප්‍රධාන ආහාරය ලෙස භාවිත වේ. අපේ අසල්වැසි රට වන ඉන්දියාවේ සහල් සහ තිරිඟු යන ධාන්‍ය ආශ්‍රිත ආහාර ද නවීන තාක්ෂණයේ ප්‍රමුඛයෙකු වන ජපානය තුළ බත් ද ප්‍රධාන ආහාරය වේ.

යුරෝපීය රටක් වන ඉතාලියෙහි තිරිඟුවලින් සාදනු ලබන පැස්ටා ද දකුණු ඇමරිකානු රටක් වන මෙක්සිකෝවෙහි ඉරිඟු ආශ්‍රිත ව සාදනු ලබන ආහාර ද අප්‍රිකානු රටක් වන නයිජීරියාවෙහි මෙනේරි සහ බඩ ඉරිඟු වැනි විවිධ ධාන්‍ය වර්ග සමඟ අල සහ මඤ්ඤොක්කා ද ප්‍රධාන ආහාර ලෙස භාවිත වේ.

ප්‍රධාන ආහාරය මගින් දෛනික පෝෂණයෙහි පදනම සපයනු ලබයි. ධාන්‍ය, එළවළු, පලතුරු සහ බිත්තර /මාලූ /මස් ඇතුළු විවිධත්වයකින් යුතු ආහාර ප්‍රධාන ආහාරය ලෙස එක් කරගැනීමෙන් ශාරීරික යෝග්‍යතාව පවත්වා ගැනීමට අවශ්‍ය විටමින්, ඛනිජ ලවණ, ඌණ පෝෂක සපයා ගත හැකි ය. කාබෝහයිඩ්රේට බහුල බත්, පාන්, පැස්ටා ආදී ආහාර මගින් ශාරීරික ක්‍රියාකාරකම් සඳහා අවැසි ශක්තිය සපයා ගත හැකි ය.

මානසික සෞඛ්‍ය සඳහා ආහාර මඟින් සිදු කරනු ලබන බලපෑම සලකා බැලීමේ දී, මොළයේ ක්‍රියාකාරිත්වය සඳහා ප්‍රධාන ආහාරය ඔස්සේ නිසි පෝෂණයක් අත්‍යවශ්‍ය වේ. ඔමේගා-3 මේද අම්ල, විටමින් සහ ඛනිජ ලවණ වැනි පෝෂ්‍ය පදාර්ථ මොළයෙහි සංජානන ක්‍රියාකාරිත්වයට බලපායි. සැකසූ ආහාර සහ සෞඛ්‍ය සම්පන්න නො වන ආහාර බහුල වශයෙන් ප්‍රධාන ආහාරය ලෙස එක් කර ගැනීමෙන් විශාදය, කාංසාව වැනි මානසික සෞඛ්‍ය ගැටලූවලට මඟපාදයි.

මූලික වශයෙන් සහල් මත පදනම් වූ ආහාර රටාවක් සතු ශ්‍රී ලාංකික අපගේ ප්‍රධාන ආහාරය වන ‘බත්’ මඟින් ජනගහයේ ඇතැම් ලක්ෂණ කෙරෙහි යහපත් සේ ම අයහපත් බලපෑම් ද එල්ල කරනු ලබයි (මෙම කලාපයේ ම වෙනත් ලිපිවලින් ඒ ගැන සවිස්තර ව සාකච්ඡා කොට ඇත).

ප්‍රධාන ආහාරය යනු පුද්ගලයකුගේ සෞඛ්‍ය කෙරෙහි බලපෑම් එල්ල කරනු ලබන ප්‍රධානතම සාධකයක් වන නිසාවෙන් තම ආහාර වේල සඳහා එකතු කර ගත යුතු ආහාර සහ අවම කළ යුතු ආහාර මොනවා දැයි තීරණය කිරීමේ වඟකීම බුද්ධිමත් පාඨක ඔබ සැම සතු වේ.

යම්කිසි ජන කොට්ඨාසයක හෝ රටක ප්‍රධාන ආහාරය එකී රට පවතින භූගෝලීය කලාපය, ජනයාගේ ආහාර පුරුදු හා සංස්කෘතික පුරුදු ආදී වූ විවිධ සාධක මත රඳා පවතී. මේ පිළිබඳ ව රසවත් බොහෝ කරුණු, උනන්දුවක් දක්වන අයට අන්තර්ජාලය ඔස්සේ දැන ගත හැකි අතර, ලොව පුරා ප්‍රධාන රටවල ජනයා විවිධත්වයකින් යුතු ආහාර සිය ප්‍රධාන ආහාරය ලෙස භාවිත කරන අයුරු මෙහි ඇති වගුවේ සඳහන් කොට ඇත.