කොත්තු හා ෆ්‍රයිඩ් රයිස්වලට අපේ රටේ තියෙන තැන

කලබලකාරි නාගරික වීදියක ඔබ එහා මෙහා ගමන් කළ ද රාත්‍රි ආහාරය ගැනීමට ළඟපාත කඩමණ්ඩියට ගිය ද තමාගේ ආසාවක් හෝ රසනහර පිනවා ගැනීමට අධික වියදම් දරමින් ඉහළ පෙළේ අවන්හලකට ආහාර ගැනීමට ගිය ද කොත්තු හා ෆ්‍රයිඩ් රයිස් යන ආහාර එම සෑම තැනක ම දැක ගත හැකි අතර, එම ආහාර විවිධාකාර රසවලින් සහ තමා කැමති ආකාරයකට ලබා ගැනීමට හැකියාව ඇත. එම ආහාරවල රසයට මිනිසුන් මනා රුචියක් දක්වන්නේ ඒවා සැකසීමේ දී විදේශීය මෙන් ම සම්ප්‍රදායික සුපවේදී ක්‍රම ද මුසු කර ගන්නා නිසා විය හැකි ය.

අපේ රටේ ලොකු කුඩා කවුරුත් මේ ආහාර දෙවර්ගයට දක්වන්නේ මහත් රුචිකත්වයකි. එවැනි පසුබිමක සහ විශේෂයෙන් අපේ රටේ ආහාර සංස්කෘතිය පිළිබඳ ව සාකච්ඡා කරන මෙවර විශේෂ ‘ගවේෂණ’ කලාපය උදෙසා ම අපේ රටේ කොත්තු හා ෆ්‍රයිඩ් රයිස් ආහාරයට ගැනීම පිළිබඳ ව කරුණු සොයා බැලීමට අපි අධ්‍යයනයක් කළෙමු. අන්තර්ජාලය පාදක ව කළ මෙම අධ්‍යයනයේ දී මෙරට ජනගහනයෙන් 96.5%ක් කොත්තු හා ෆ්‍රයිඩ් රයිස්වලට මනා රුචිකත්වයක් දක්වන බව හෙළි වුණි.

කොත්තු හා ෆ්‍රයිඩ් රයිස් ආහාරයට ගැනීමේ දී වයස බලපෑමක් වී ඇති ද?

අපේ රටේ සෑම දෙනා ම පාහේ කොත්තු හා ෆ්‍රයිඩ් රයිස් අනුභව කරන බව පැහැදිලි වන අතර, විවිධ වයස් කාණ්ඩවල මෙම ආහාර පරිභෝජනය කරන රටාවල එතරම් වෙනස්කම් ද දක්නට නො ලැබේ. වයස අවුරුදු 18ට අඩු අය 100%ක් ද වයස අවුරුදු 26-35 අතර අය 99.4%ක් ද කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් අනුභව කිරීමට ඇති ආශාව සපුරා ගෙන ඇත. වයස අවුරුදු 46 හෝ ඊට වැඩි පිරිසෙන් 84.7%ක් මෙම ආහාරවලට ඇල්මක් දක්වති. වැඩිහිටි වියට යාමේ දී යම් අඩුවක් පෙන්නුම් කළ දල සමස්තයක් වශයෙන් යමකුගේ වයසල මෙම ආහාරවල රසය විඳීමට බාධාවක් නො වන බව අධ්‍යයනයේ දී පැහැදිලි විය (1 වන වගුව).

ස්ත්‍රී-පුරුෂ භාවය අනුව රුචිකත්වය වෙනස් ද?

මේ පිළිබඳ ව ඔබ සිතන්නේ කුමක් ද? මෙම අධ්‍යයනයෙන් පෙනී යන්නේ මෙම ආහාර වර්ග අනුභව කරන්නන්ගෙන් බහුතරයක් පිරිස පිරිමි පාර්ශ්වය වන බවයි. එමෙන් ම කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් අනුභව කරන්නන්ගෙන් මෙම ආහාර වර්ග මිල දී ගැනීමට මාසෙකට වැඩි මුදලක් වියදම් කරන්නේ ද පිරිමි පාර්ශවයයි (2 වන වගුව).

කොත්තු හා ෆ්‍රයිඩ් රයිස් ජනතාව අතර ජනප්‍රිය වීමට හේතු  මොනවා ද?

මෙම ආහාර වර්ග අනුභව කිරීමට පොලඹවන හේතු මොනවා දැයි විමසූ විට 73.3%ක් වූ විශාල ප්‍රමාණයක් තම හේතුව ලෙස ප්‍රකාශ කර ඇත්තේ එම ආහාරවල රසයයි. එමෙන් ම තවත් සැලකිය යුතු පිරිසක් (40%) දක්වා ඇත්තේ, එම ආහාර අනුභවයට හේතුව තමන්ගේ පහසුව බවයි. තවත් පිරිසක් මෙම ආහාර අනුභව කිරීමෙන් තමන්ගේ කාලය ඉතිරි වන බව ද (20.3%) ඉතා සුළු පිරිසක් (8.7%) එම ආහාරවල අඩු මිල හේතුවක් බව ද සදහන් කර තිබුර්‍ණ (3 වන වගුව).

තමන්ගේ ආදායම කොත්තු, ෆ්‍රයිඩ් රයිස් පරිභෝජනයට වන බලපෑම?

සෑම ආදායම් කාණ්ඩයකට ම අයත් වන පිරිස් නිතර ම කොත්තු හා ෆ්‍රයිඩ් රයිස් අනුභව කරන බව පෙනී යයි. එහෙත් සතියකට 1-3 වතාවක් මෙම ආහාර පරිභෝජනය කරන්නන්ගෙන් වැඩි ප්‍රතිශතයක් වන්නේ රු.100,000කට වඩා වැඩි ආදායමක් ලබන පිරිස ය. මාසෙකට වරක් දෙ වරක් පමණක් මෙම ආහාර අනුභව කරන්නන්ගෙන් වැඩි ප්‍රතිශතයක් දැකිය හැක්කේ රු.50,000-100,000 ආදායමක් ලබන පිරිස් අතර ය. දිනපතා මෙම ආහාර පරිභෝජනය කරන, රු.25,000 අඩු ආදායම් ලබන පිරිසගේ ප්‍රතිශතය සහ රු. 25,000 -50,000 ආදායම් ලබන පිරිසගේ ප්‍රතිශතය සමාන මට්ටමක බව දක්නට ලැබේ.

ජිවන මට්ටම සහ රැකියාවෙහි බලපෑම

අධ්‍යයනයෙන් හෙළ වූ දත්ත අනුව පෙනී යන්නේ මෙරට සිසු සිසුවියන් බහුතරයක් කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් සතියට 1-3 වතාවක් පමණ අනුභව කරන බවයි. රැකියා විරහිත පිරිස්වලින් වැඩි ප්‍රතිශතයක් පවසා ඇත්තේ ඔවුන් කොත්තු හා ෆ්‍රයිඩ් රයිස් අනුභව කරන්නේ මාසෙකට වතාවක් හෝ ඊටත් අඩුවෙන් බවයි. විශ්‍රාම ලත් පිරිසෙන් 100%ක් ම පවසා ඇත්තේ ඔවුන් ඒවා අනුභව කරන්නේ මාසෙකට වතාවක් හෝ ඊටත් අඩුවෙන් බවයි.

තනි ව ජීවත් වූ මෙන් ම කුලියට ජීවත් වූ පිරිසෙන් බහුතරයක් මෙම ආහාර සතියකට 1-3 වතාවක් පමණ අනුභව කරන බව හෙළි විය. මෙම ආහාර දිනපතා පරිභෝජනයට වැඩි ප්‍රතිශතයක් ලබා දී ඇත්තේ මෙම පිරිසයි. මෙසේ නිතර මෙම ආහාර අනුභව කරන කාණ්ඩයට අයත් නො වන්නේ තමන් බිරිද /සැමියා සහ දරුවන් සමග ජීවත් වන බව කී පිරිස් සහ වෙනත් යන කාණ්ඩයට අයත් වන පිරිස් ය. වෙනත් යන කාණ්ඩයේ බොහෝ විට දක්නට ඇත්තේ ඥතීන් සමග එකට ජීවත් වන පවුල් ය.

කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් අනුභව කරන්නේ කවුරුන් සමග ද?

ජනගහනයෙන් දෙකෙන් පංගුවකට වැඩි කොටසක්, ඔවුන් කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් තම පවුලේ සාමාජිකයන් සහ ආදරණීයන් සමග ඛෙදා ගනිමින් ප්‍රීති වන බව හෙළි විය. මෙම ආහාර වර්ග අනුභව කිරීමේ දී පවුල් අතර එකමුතුකම ද විවිධ සම්ප්‍රදාය ද දැක ගත හැකි ය. මෙම අධ්‍යයනයෙන් අපට පුදුමාකාර කරුණක් එළිදරව් කර ගත හැකි විය. එනම් කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් අනුභව කරන අවස්ථාවල දී එම මොහොත සතුටින් ගත කරන පිරිස අතර, තනි ව ම ජීවත් වන පුද්ගලයන් දැක ගැනීමට බැරි තරම් ය. ඉතා ම සුළු ප්‍රමාණයක් මෙම ආහාර තනි ව ම අනුභව කරන බව ප්‍රකාශ කර ඇත.

සමීහා ජබීර්

පර්යේෂණ සහ සංවර්ධන ආයතනය

පරිවර්තනය – රනීෂා විමලසූරිය