පර්යේෂකයින් සොයා ගත් දැනුම් සම්භාරය ජනතාව අතරට ගෙන යාමට ජන මාධ්‍යයට විශාල කාර්යභාරයක් තිබෙනවා

ශ්‍රී ලංකාවේ පර්යේෂණ සහ සංවර්ධනය ගැන, පර්යේෂණ සිදු වන ප්‍රධාන අංශ තුනක් පදනම් කර ගෙන සාකච්ඡා කළ හැකි ය.

1. රාජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාල
2. රජයේ පර්යේෂණ ආයතන
3. පෞද්ගලික අංශයේ පර්යේෂණ ආයතන

                 රාජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාලවල සිසුන් හා ආචාර්යවරුන් වැඩි නැඹුරුතාවක් දක්වනුයේ අධ්‍යයන පර්යේෂණ සඳහා වුවත්, වර්තමානය වන විට විශ්වවිද්‍යාලවල කරන පර්යේෂණ, වැඩි වශයෙන් ‘ව්‍යවහාරික පර්යේෂණ’ දෙසට යොමු වී ඇති බව පෙනෙන්නට තිබේ. රජයේ පර්යේෂණ ආයතන බොහොමයක් රාජ්‍ය ප්‍රතිපාදන මත පදනම් ව හෝ විශ්වවිද්‍යාල සමග ගිවිසුම්ගත ව පර්යේෂණ කරන අතර, පෞද්ගලික අංශයේ පර්යේෂණ ආයතන බොහෝ විට සිය පෞද්ගලික අභිලාශ සඳහා පර්යේෂණ කරයි. මෙහි දී  වැදගත් වන්නේ කුමන ආයතනය කුමන හේතුව මත පර්යේෂණ කරනවා ද යන්න නො ව, රටක් වශයෙන් ලෝකය සමඟ ඉදිරියට යාමට, පර්යේෂණවල වැදගත්කම පිළිබඳ ව දැනුම්වත් වෙමින් පර්යේෂණ කිරීමයි.

                 කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ පර්යේෂණ සිදු වීමේ ප්‍රවණතාව ඉතා අවම වේ. දියුණු රටවල් ඉතා හොඳින් පර්යේෂණවල වැදගත්භාවය අවබෝධ කර ගනිමින් ලෝකය සමඟ ඉදිරියට ගියත්, ශ්‍රී ලංකාවේ තවමත් සියයට එකක් වැනි ඉතා ම සුළු මුදල් ප්‍රමාණයක් අයවැය මගින් පර්යේෂණ සඳහා වෙන් කොට ඇත. එය ශ්‍රී ලංකාවේ පර්යේෂණ අවශ්‍යතාව සපුරාලීමට ඉතා ම අඩු ප්‍රතිශතයක් බැවින්, විද්‍යාත්මක සහ සමාජීය පර්යේෂණ අප රටෙහි සිදු වන්නේ ඉතා අවම මට්ටමිනි. වෙනත් රටවල පර්යේෂණ ප්‍රතිඵල අප රටට ආදේශ කිරීම සාර්ථක ක්‍රමයක් නො වන අතර, විය යුත්තේ පර්යේෂණ කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන අදාළ ආයතන ඔස්සේ ලබා දීමයි.

                 අප රටේ පර්යේෂණ අතරමග දී නවතින බව (නවෝත්පාදනයක්/නව්‍යකරණයක් දක්වා නො යන බව) බොහෝ දෙනා මැසිවිලි නගන තත්ත්වයකි. එහෙත් මෙහි දී කිව යුත්තේ සෑම පර්යේෂණයක් ම නවෝත්පාදනයක් හෝ නව්‍යකරණයකට පාදක නො වන බවයි. මෙහි දී අපල කුමන පර්යේෂණය නවෝත්පාදනයකට හෝ නව්‍යකරණයකට හෝ වාණිජකරණයකට යා හැකි වන්නේ දැයි විමසා බැලිය යුතු ය. සාමාන්‍යයෙන් නව්‍යකරණයක් යනු නව නිපැයුමක් මගින් හෝ දැනට පවතින ක්‍රමවේදයෙහි වැඩි දියුණු කිරීමක් මගින් සමාජීය වෙනස් කිරීමකට ලක් කිරීමකි.

                 පර්යේෂණවලින් විද්‍යාත්මක හා තාක්ෂණික නව්‍යකරණයක් ම සිදුවිය යුතු නැත. අවශ්‍ය වනුයේ නව්‍යකරණයක් සිදු වනවා ද යන්න බැලීම නො ව ප්‍රශ්නයට හේතුව පර්යේෂණයෙන් සොයා ගැනීම ය. ශ්‍රී ලංකාවේ පර්යේෂණ අතරමග දී නතර වන බවට මැසිවිලිවලට තවත් බලපාන කාරණයක් වනුයේ පර්යේෂක ආකල්පයි; නැත හොත් පුද්ගල ආකල්පයි. තමන්ගේ බුද්ධිමය දේපළ වෙනත් කෙනෙකු සොරකම් කරයි යන බිය පුද්ගලයා තුළ පවතින අතර, ඒ මත පර්යේෂණ දත්ත සමාජගත නො කරයි. එහෙත් බුද්ධිමය දේපළ යටතේ අදාළ පැවරුම් විධි නිසියාකාර ව කරමින් පර්යේෂණ දත්ත සමාජගත කිරීමෙන් පුද්ගලයා හෝ පර්යේෂකයන් තුළ පවතින සෘණාත්මක ආකල්ප නැති කරමින් පර්යේෂකයාගේ කාර්යභාරය නිසියාකාර ව සමාජයට ලබා දිය හැකි ය. දැනුමෙන් පරිපූර්ණ වූ ආර්ථිකයක් කරා යාමේ දී පර්යේෂණවලින් ලැබෙන නිෂ්පාදන සහ වාණිජකරණය ඉතා ම වැදගත් වේ.

                 අනාගත පර්යේෂණ සඳහා එනම් සාර්ථක පර්යේෂණ සහ සංවර්ධනයක් සඳහා ප්‍රතිපත්තිවලට එහා ගිය දෙයක් අවශ්‍ය වේ. එහි දී පර්යේෂණ වෘත්තිකයන් සිය වගකීම සෘජු ලෙස ඉටු කළ යුතු ය. එහි දී රටේ ජන මාධ්‍යයට විශාල කාර්යභාරයක් ඇත. එනම් පර්යේෂකයින් සොයා ගත් දැනුම් සම්භාරය ජනතාව අතරට යැවීම වන අතර, ඒ මගින් පර්යේෂණ පිළිබඳ දැනුම්වත්භාවය හා උනන්දුව මෙන් ම රටක පර්යේෂණ සඳහා පවතින අවශ්‍යතාව පුද්ගලයාට දැනෙනු ඇත. එසේ ම පොතට සීමා වූ අධ්‍යාපනය නිමා කරමින් තර්කානුකූල අධ්‍යාපන පද්ධතියක් දක්වා වෙනස් වීම මගින් ද පර්යේෂණවලට උනන්දුවක් ඇති දරුවන් ගොඩ නගා ගත හැකි ය. එසේ ම දරුවන්ගේ පෞරුෂ සංවර්ධනය ද මෙහි දී වැදගත් වන අතර, එමගින් ආකල්පමය වශයෙන් දියුණු වූ අනාගතයක් මගින් සාර්ථක පර්යේෂණ ක්‍රියාවලියකින් ශ්‍රී ලංකාවේ අනාගතය සාර්ථක වනු ඇත.

                 මෙය සැලකිල්ලට ගෙන ජාතික නව්‍යකරණ නියෝජිතායතනය, පහත සඳහන් ක්ෂේත්‍ර ඔස්සේ නව්‍යකරණ පරිසර පද්ධතියක් රටෙහි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

1. විද්‍යාත්මක හා තාක්ෂණික නව්‍යකරණය
2. සමාජීය නව්‍යකරණය
3. සේවා නව්‍යකරණය
4. පාරිසරික නව්‍යකරණය
5. ආරක්ෂක නව්‍යකරණය

සාකච්ඡාව සහ සටහන
අරුණ ප්‍රශාන්ත වලිසුන්දර
රජින්ද්‍රා සිරිවර්ධන

ගවේෂණ සඟරාව- 43 වන කලාපය (2024 මැයි-අගෝස්තු)dil