පහුගිය අවුරුද්දේ අපේ රටට ලොකු වතුර ප්‍රමාණයක් වැටුණා. එයින් කොයි තරම් ප්‍රමාණයක් ඉතුරු කර ගත්ත ද කියලා බැලූවා ම වර්තමාන පරිසර අර්බුදයේ තරම තේරෙන්න ඕන. මීට අවුරුදු 115කට පෙර විද්වතෙක් කරපු ප්‍රකාශයක් අපි අද අත් විඳිනවා. ඔහු කී දේ තමයි “වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් වැඩි වීම නිසා ම මේ කාලගුණය වෙනස් වෙනවා, ඒ වෙනස් වීම නිසා පැහැදිලි ව ම පොළවට පතිත වන ජල ප්‍රමාණය වැඩි වෙනවා, වාෂ්පීකරණය වැඩි වෙනවා, කාලගුණික අන්තවලට යනවා”.
අපේ ලංකාවට ඒ දේ බලපාපු විධිය අපට කාලගුණික දත්තවලින් පැහැදිලි කර ගන්න පුළුවන්. වර්ෂාව ඕනෑවට වඩා පතිත වෙනවා. එහෙත් වතුර ටික ඉක්මනට වාෂ්පීකරණය වෙලා ගිහින් ඉඩෝරය එනවා.
2019 ඉරණමඩු ජලාශය පිටාර ගැලූවා. ඒ අවුරුදු 10කට පස්සේ. හැබැයි මාස 03කට පස්සේ ඉරණමඩුව සම්පූර්ණයෙන් ම හිඳුණා. මොක ද ඒ තරමට ම දෛනික උෂ්ණත්වය වැඩි වෙලා ඉවරයි. මේ වැඩි වී තිඛෙන උෂ්ණත්වයට වාෂ්පීකරණය වෙන එක නවත්තන්න බැහැ. ඒ නිසා කොච්චර ධාරානිපාත වර්ෂාවක් වැටුණත් ඒක ඉතා ම ඉක්මනට හිඳිලා යනවා. වැටෙන කොටත් වැටෙන්නේ කවදාවත් නොවැටුණු ප්‍රමාණයේ වර්ෂාවක්.
දිය පහරවල් දිහා බැලූවත් පේනවා එන්න එන්න වතුර පාර වැඩියෙන් යනවා. ඒ කෙටි කාලයකින් වතුර වැඩියෙන් යන නිසා තමයි ඉවුරු එන්න එන්න ඛාදනය වැඩි වෙන්නේ. දැන් අපි මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න ඕන. අපි ගස් හිටෙව්වට මේ හේතුව ගැන අවබෝධයෙන් නෙමෙයි හිටවන්නේ. අරමුණු රහිත ව හිටවන්නන් වාලේ ඔහේ ගස් සිටුවන එකට මං හරි අකැමැතියි. අරමුණු සහිත ව ගස් සිටුවීම තමයි වැදගත්. මේකට ස්වභාවයෙන් දීලා තිබුණ හොඳ ම ගහ තමයි කුඹුක් ගහ.
ඝෘජු ඉවුරක් හදපු ගමන් වතුර පාරේ වේගය වැඩි වෙනවා. නොකැෙඩන ඉවුරක්, කාන්දු නො වන ඉවුරක් හදපු ගමන් වතුරේ වේගය වැඩි වෙනවා.
ලංකාවේ මීට අවුරුදු 75කට එහා ඕනෑ ම වතුර පාරක ඉවුර රක්ෂිතයක් විධියටයි සැලකුණේ. ඒවා ඉතින් කොලවල විතරයි තියෙන්නේ. අවම වශයෙන් වතුර පාර මැද ඉඳලා මීටර් 30ක් දෙපැත්තට ඉඩ තියන්න ඕන. මේ අපි ඉන්නේ නීති විරෝධී සංවර්ධනයක.
කුඹුක් ගහ මහා විශාල සේවාවක් සපයන ගහක්. මුල් බොහොම කෙඳි වගේ ගමන් කරන නිසා ඉවුරු ඛාදනය වළකිනවා. කුඹුක් ගහ ළඟ ළිඳේ වතුර බොන එක හොඳයි. මොකද කුඹුක් ගහ තව සේවාවක් කරනවා. ඒ තමයි ජලයේ තියන කැල්සියම් එහෙම නැතිනම් ලවණ ප්‍රමාණය අඩු කරන එක. විශේෂයෙන් කැල්සියම් අවශෝෂණය කරලා කඳේ තැන්පත් කර ගන්නවා. අපේ ආදි මුතුන් මිත්තෝ ලස්සනට සුදු පාටට බුදු පිළිමේ අලේපණය කළෙත්, ආරච්චි මහත්තයාගේ ගෙදර විතරක් සුදු පාට ආලේපණය කළෙත් හුණුවලින් නෙමේ, කුඹුක් ගහෙන්. හොඳට මෝරපු කුඹුක් ඉත්තක් අරගෙන කපලා ගිනි තිබ්බොත් කැල්සියම් ඔක්සයිඩ් ටික එනවා. ඊට පස්සේ ඒක දිය කරලා කැල්සියම් හයිෙඩ්‍රාක්සයිඩ් හදා ගෙන බිත්තියේ ආලේපණය කර ගත්තා.
පරිසරයට දීර්ඝ කාලීන ව පිට කරන ලද කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයත්, වත්මන් ප්‍රජාව විසින් දැන් පිට කරන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයත් තිර කිරීම, එහෙම නැතිනම් පරිසරයෙන් කාබන්ඩයොක්සයිඩ් ඉවත් කරන්න ලෝකයේ හැම තැන ම පිළිගත් විසඳුම හැටියට තියෙන්නේ ගස් සිටුවීමයි. ඒ නිසා තෝරා ගත් ගස් සිටුවීම හුඟක් ම වැදගත්. එම ගස් අතර, කුඹුක් ගහ විශේෂයි.
(2019 දෙසැම්බර් මස රත්නපුරයේ පැවති “සිරස ගම්මැද්ද” වැඩසටහනේ දී පළ කළ අදහස් ඇසුරිනි)
විද්‍යාජෝති සම්මානිත මහාචාර්ය සරත් කොටගම