ගෝලිය කොරෝනා අර්බුදය හමුවේ පර්යේෂකයන්ගේ භූමිකාව

ගෝලීය කොරෝනා වසංගතය හමුවේ ජනතාවට අලු‍තෙන් අසන්නට ලැබුණු වචන ප්‍රමාණයක් ඇත. කොවිඩ් වෛරසය නමින් හදුන්වනSARS-CoV-2 වෛරසය,  කොවිඩ් එන්නත, පී.සී.ආර්. පරීක්ෂණ සහ තොරතුරු වසංගතය ඉන් වචන කිහිපයකි. තව ද ජාන තාක්ෂණය පිළිබඳ ව ද වෙන දාට වඩා සමාජයේ කතිකාවක් ඇති වී ඇත. ඒ ආකාරයට ම එන්නත් නිපදවීම සඳහා ලෝකයේ පර්යේෂණ කරමින් ඇති බව ද කතා බහට ලක් වී ඇත.

පර්යේෂණ යනු නව දැනුම නිර්මාණය කරන ක්‍රමවේදය බව වෙන දාට වඩා ජනතාවට අසන්නට ලැබෙන නිසා, පර්යේෂණ පිළිබඳ සාක්ෂරතාව වැඩි දියුණු වෙමින් පවතී. මෙම තත්ත්වය තුළ, ගෝලීය කොරෝනා වසංගතය හමුවේ පර්යේෂණ සඳහා ඉස්මතු වන භූමිකාව කුමක් ද යන්න සාකච්ඡා කිරීම කාලීන ව වැදගත් ය.
මෙහි දී මුලින් ම සඳහන් කළ යුතු වන්නේ වෛද්‍ය පර්යේෂණ පිළිබඳ ව ගත් කල, ලෝක ජනගහනයෙන් 90%ක් ජීවත් වන රටවල් තුළ වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ සිදු වන්නේ 10%ක් පමණක් බවත්, ලෝක ජනගහනයෙන් 10%ක් ජීවත් වන දියුණු යයි සලකන රටවල් තුළ පර්යේෂණවලින් 90%ක් සිදුවන බවත් කීවොත් සමහරුන් පුදුමයට පත්විය හැකි ය.

හරියට ම මේ බව මා සදහන් කරන්නේ ඇයි? මගේ මෙහෙයුම යටතේ ලෝකයේ ප්‍රධාන පෙළේ වෛද්‍ය සඟරා 6ක් වසර පහක් තුළ එළි දැක්වූ කලාපවල පළ වූ පර්යේෂණ පත්‍රිකා විශ්ලේෂණය කිරීම මගින් මේ බව අප සනාථ කොට ඇත. එහෙත් කොවිඩ් වෛරසය හමුවේ හෙළිදරව් වූ ප්‍රබල කටුක සත්‍යය කුමක් ද ? එනම් අප ඉහත සඳහන් කළ ගෝලීය පර්යේෂණ 90%ක් සිදු කරන 10%ක් වූ දියුණු බටහිර රටවල පවා, මේ නව කොරෝනා වෛරසය පිළිබඳ තිබූ දැනුම ඉතාමත් ම අල්ප බව ය. මේ තත්ත්වය තුළ කොරෝනා වෛරසය පිළිබද දැනුමේ ඌනතාවක් මුළු ලෝකය පුරා ඇති විය.

මේ නිසා කොරෝනා පිළිබඳ රෝග ලක්ෂණ කොපමණ කාලයක් පවතිනවා ද?, කොරෝනාවට කරනු ලබන ප්‍රතිකාර විධි ක්‍රම මොනවා ද?, ඔවුන් දින කීයක් නිරෝධානය කළ යුතු ද?, යන්න හරියාකාර ව තීරණය කළ නො හැකි ය. එසේ ම කළ යුතු නිශ්චිත ප්‍රතිකාරය කුමක් දැයි යන්න ද නො දනී. එසේ ම, රෝග මැඩ පැවැත්වීම සඳහා නිපදවන ලද එන්නතක් ද නො වී ය. එහෙත් දියුණු බටහිර රටවල් විසින් ස්ථාපිත කර තිබූ පර්යේෂණ හැකියාව තුළ ඉතා ඉක්මනින්, එනම් වසරක් තුළ එන්නත් නිෂ්පාදනය කරන ලදී.  එංගලන්තයේ ඔක්ස්ෆ්ර්ඩ් විශ්වවිද්‍යාලයේ හා ඇස්ට්‍රා සෙනිකා සමගම හා එකතු ව නිපදවූ එන්නත ද, ජර්මානු සමගමක් වන BioNTech හා ඇමරිකානු සමාගමක් වන Pfizer සමග එකතු වී නිපදවූ ෆයිසර් එන්නත ද, චීනය නිපදවූ සිනොවැක් එන්නත ද, රුසියාවේ නිපදවූ ස්පුට්නික් එන්නත ද පිළිබඳ ව ඔබ දන්නෙහි ය. දියුණු බටහිර රටක් නොවූව ද පුංචි කියුබාව ද සොබරණ 2 හා අබ්ඩේලා එන්නත් දෙකේ තුන්වන අදියරේ පර්යේෂණවල නිරත ව සිටියි.

මේ තත්ත්වය හමුවේ ඉස්මතු වූ කාරණය නම් ශ්‍රී ලාංකේය භූමිය තුළ පවතින පර්යේෂණ හැකියා සාපේක්ෂ ව පසුගාමී බවයි. එහෙත් බි්‍රතාන්‍ය පුරවැසියකු වූ ස්පාඤඤ ජාතික ක්ෂුද්‍ර ජීවී විශේෂඥයකු වූ අල්ඩො කැස්ටෙලනි විසින් මීට අවුරුදු සියයකට පමණ පෙර ආරම්භ කරන ලද වෛද්‍ය පර්යේෂණාගාරයේ, 1964 පමණ වන තුරු ජල භීතිකා රෝගය සඳහා එන්නත් නිපදවූ බව සමහර විට ඔබ නොදන්නවා විය හැකි ය. එම වකවානුවේ තායිලන්තයේ කිසිදු එන්නතක් නිපදවූයේ නැති නමුදු මේ වන විට ඔවුන් ඩෙංගු වෛරසය සඳහා ප්‍රභේද පහකට එන්නත් නිපදවා ඇත. එහෙත් ශ්‍රී ලංකාවේ බොරැල්ලේ වෛද්‍ය පර්යේෂණාගාරය නිපදවූ ජලභීතිකා රෝගයට නිපදවූ එන්නත ද මේ වන විට නිපදවීම නැවතී ඇත.

මේ තත්ත්වය තුළ කොරොනා වසංගතය විසින් අපට බල කර සිටිනු ලබන්නේ බටහිර රටවලට ගැති නො වී අපගේ පර්යේෂණ හැකියා හෝ වැඩි දියුණු කිරීම සඳහා වහා මැදිහත් විය යුතු බවයි. මෙම පර්යේෂණ වශයෙන් සඳහන් කරනු ලබන්නේ වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ පමණක් නො වේ. කොරෝනා අර්බුදයට එඩිතර ව මුහුණ දුන් ලාංකීය සමාජය තුළ වෛද්‍ය පර්යේෂණ පමණක් නො ව වෙනත් ආකාරයේ පර්යේෂණ ද සිදු කිරීම සීමිත වුවත්, හැකි පමණින් එයට මූලිකත්වය ගත් විද්වතුන් මේ රටේ සිටින බව 2020 ජනවාරි 27-28 දිනවල බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වූ සමුළුව මොනවට සාක්ෂි දරයි. ඒ පිළිබඳ ලිපියක් මෙවර කලාපයේ ඇතුළත් වේ.

කොරෝනා ගෝලිය අර්බුදය හමුවේ අපට මුහුණ දීමට තිබු පර්යේෂණ දැනුමේ ඌනතාව තේරුම් ගෙන දැවැන්ත පර්යේෂණ හැකියාවක් මේ බිමේ ස්ථාපිත කිරීම, මව්බිමට ආදරය කරන සියලු‍ විද්වතුන්ගේ වගකීම හා යුතුකමයි.

ගෝලීය කොරෝනා අර්බුදයේ පර්යේෂණ ඌනතා අභියෝගය මැද  ඔප වැටුණු, ජාතියේ පර්යේෂණ අභිමානය: ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය දෙපාර්තමේන්තුව හා එහි පර්යේෂකයෝ ජාතිය ඉල්ලා සිටි එම මැදිහත්  වීමට ඔවුන්ට හැකියාව ලැබුණේ කෙසේ ද? අප වේලාසනින් අවදි වූ පමණින් කල් තබා හිරු පායන්නේ නැති නමුත් කල් තබා අවදි වී සිටිය හොත් හිරු පායන විට අප සූදානම් ය.

 

ගෝලීය කොරෝනා අර්බුදයේ පර්යේෂණ ඌනතාව හා අභියෝගය මැද ඉස්මතු වී පෙරට පැමිණි ප්‍රධාන පර්යේෂණ ආයතනයක් වූයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය දෙපාර්තමේන්තුයි.

 

ඒ අනුව, කල් තබා අවදි වී සිටි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය දෙපාර්තමේන්තුව, කොවිඩ් වසංගතය හමුවේ තම ජාතික යුතුකම් ඉටු කිරීමට මග පාදා ගත්තේ ය. 2019 සැප්තැම්බර් 8 වැනි දා ආරම්භ කළ මෙම දෙපාර්තමේන්තුවේ නායකත්වය ගනු ලැබුවේ මහාචාර්ය නීලිකා මලවිගේ සහ දෙපාර්තමේන්තු ප්‍රධානි ආචාර්ය චන්දිම ජීවන්ධර ය.  ඔවුන් එය ආරම්භ කරනු ලැබුවේ සුවිශේෂ වශයෙන් ඩෙංගු පිළිබඳ පර්යේෂණ කිරීමට ය. මෙම ඩෙංගු පර්යේෂණ හැකියා එහි ඉතා හොදින් ස්ථාපිත කර තිබූ නිසා, වසංගතය අර්බුදය හමුවේ වහා ක්‍රියාත්මක වන පරිදි කොරෝනා පර්යේෂණ  සඳහා මැදිහත් වීම පහසු විය.

 

ඔවුහූ මුලින් ම PCR පරීක්ෂණ කිරීම සඳහා සෘජු ලෙස මැදිහත් වූ අතර ඊට පසු කොවිඩ් වෛරසයට එරෙහි ව ශරීරය තුළ නිපදවෙන ප්‍රතිදේහ පිළිබඳ පරික්ෂා කිරීමට ද මැදිහත් වූහ. ඉන් ඔබ්බට ගොස් මනස පුහුණු කිරීමේ කටයුතුවලට ද ඔවුහූ මැදිහත් වූහ.

SARS-CoV-2 වයිරසයේ සම්පූර්ණ ජානමය අනුක්‍රමණය (Whole genomic sequencing of the SARS-CoV2 strains) ප්‍රථම වරට ලංකාවේ සිදු කරන ලද්දේ ඔවුන් විසිනි. එසේ කරන ලද සාම්පල  ප්‍රමාණය ඇමරිකාවේ ප්‍රමාණයට සමාන වූ අතර දකුණු ආසියාවේ කරන ලද සාම්පල ප්‍රමාණයට වඩා වැඩි විය. මෙම පර්යේෂණ නිසා ඔවුන්ට වෛරස ප්‍රභේද විස්සක් පමණ හඳුනා ගැනීමට හැකි වූ අතර, B.1.1.7 නමැති එංගලන්ත ප්‍රභේදය ද B1. 351 නමැති දකුණු අප්‍රිකානු ප්‍රභේදය ද හඳුනා ගත හැකි විය. එසේ ම ඔවුන්ට ලංකාවට ආවේණික වූ B.1.411 ප්‍රභේදය ද හඳුනා ගැනීමට හැකි විය.

ඔවුන්ගේ මෙම පර්යේෂණ දායකත්වයේ ඉහළ ම දායකත්වය වූයේ දැනට ශ්‍රී ලංකාවේ පැතිරී යන පළමු හා දෙවැනි රැලිවලට සාපේක්ෂක ව වෙනස් ප්‍රභේදයක් බවට හඳුනා ගත් එංගලන්ත ප්‍රභේදයයි. එම හදුනා ගැනීමේ වටිනාකම කිසිසේත් ම අඩුවෙන් තක්සේරු කළ යුතු දෙයක් නො වේ. එය දැවැන්ත ඉදිරි පිම්මකි. එසේ නොවන්නට නව වයිරස ප්‍රභේදයේ සායනික බලපෑම පිළිබද ව  අපට කිසි ම අවබෝධයක් ලබා ගැනීමට නො හැකි වනු ඇත.

මහාචාර්ය අතුල සුමතිපාල

 

(ගවේෂණ සගරාව-2021 අප්‍රේල්-ජුනි කලාපය)