ගුරුවරියන්ගේ ඇඳුම සහ මානසික යහපැවැත්ම – ජපානයට සාපේක්ෂ ව

ගුරුවරියන්ගේ ඇඳුම සහ මානසික යහපැවැත්ම – ජපානයට සාපේක්ෂ ව

 

සාරි ගැන මෑත කාලීන විවාද

පාසල් ගුරුවරියන්ගේ ඇඳුම මෑතක සිට විවාදාත්මක මාතෘකාවක් බවට පත් විය. මෙම කතිතාව මතු වූයේ ඇයි ද? යන්නට බොහෝ අර්ථකථන ඇත. 2022.09.27 වන දින නිකුත් කරන ලද 05/2022 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය හඳුන්වා දීමත් සමඟ පාසල් ගුරුවරියන්ගේ ඇඳුම ද බහුතරයකගේ අවධානයට ලක් විය. එම චක්‍රලේඛය රජයේ කාර්යාලවල ඇඳුම් පිළිබඳ ව වූ අතර කාන්තාවන්ට සාරිරැඔසරි සඳහා විකල්පයක් ලෙස වෙනත් සුදුසු සහ විනීත ඇඳුමක් ඇඳීමට අවසර දී ඇත. සේවිකාවනට සාරියක මිල දරා ගැනීමට අපහසු බැවින්, ආර්ථීක අර්බුදයට ප්‍රතිචාර වශයෙන් මෙම තීරණය ගෙන ඇති බවයි මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත් මේ චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යාංශය සම්මත නොකිරීම නිසා ද පාසල් ගුරුවරුන් රාජ්‍ය අංශයේ අඩු වැටුප් පරාසයක් ඇති පිරිසක් බැවින් ද ඔවුන්ට අසාධාරණයක් වී ඇති බව හැඟෙන්නට විය. පාසලේ දී සාරි අඳින්නට සිදු වන විට තමන් අත්විඳින දුෂ්කරතා විවේචනය කරන අතර ම, සාමාන්‍ය ඇඳුමින් සැරසුණු ගුරුවරුන් කණ්ඩායම් කිහිපයක් ද දක්නට ලැබිර්‍ණ. අනෙක් අතට අනියම් ඇඳුම් ඇඳීම “ගුරු පෞරුෂයට” තර්ජනයක් බව හුවා දක්වමින් අනියම් ඇඳුම් ඇඳීම විවේචනය කළ ගුරු කණ්ඩායම් ද විය.  උක්ත චක්‍රලේඛය පසු ව අවලංගු කළ ද, සාරිය පිළිබඳ සාකච්ඡාව තවමත් විවිධ මට්ටම්වල පවතී.

සාරිය ප්‍රධාන මෝස්තර දෙකකින් අඳිනු ලැබේ ඉන්දියානු විලාසිතාව (සාරි) සහ උඩරට විලාසිතාව (ඔසරි) ලෙස ය. සාරිය සහ ඔසරිය අතර වෙනස ඇත්තේ ඇඳුමේ නො ව එය අඳින විලාසිතාවේ ය. ඔසරි ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති ඇඳුමක් ලෙස සැලකේ (මින් ඉදිරියට මෙම මෝස්තර දෙක ම සාරිය ලෙසින් හඳුන්වනු ලැබේ). සාරිය යනු යාර හයක (මීටර් 5.5) රෙද්දක් සහිත ඇඳුමක් වන අතර එය, හැට්ටයක්, යට සායක් සහ 5 සිට 20 දක්වා ආරක්ෂිත කටු භාවිතයෙන් ශරීරය වටා ඇඳිය යුතු ය. කාන්තාව අනුව කටු ගණන වෙනස් විය හැකි ය. අබයා අඳින (ආගමට අනුකූල ඇඳුමකි) සමහර මුස්ලිම් ගුරුවරියන් හැර ශ්‍රී ලංකාවේ සියලූ ම ගුරුවරියෝ පාසලට සාරිය අඳිති. 2012/37 දරණ පාසල් ගුරුවරියන්ගේ චර්යාධර්ම සංග්‍රහයට (අධ්‍යාපන අමාත්‍යාංශය, 2012) අදාළ චක්‍රලේඛය අනුව, සාරියක් ඇඳීමට පාසල් ගුරුවරියන් නීතියෙන් බැඳී නොසිටින අතර සාමාන්‍ය නීතියෙන් විනීත හා සංස්කෘතික වසයෙන් අනුකූල ඇඳුමක් නිර්දේශ කර ඇත (විනීත, සංවර බව රැකෙන, සංස්කෘතියට අනුකුල වූ, පිරිසිදු, සරල, මනා පිළිවෙළට සැකසූ ඇඳුමකින් සැරසෙන්න).

 

සාරිය සම්බන්ධ පර්යේෂණ සොයා ගැනීම්

2016 වසරේ සිට මගේ විද්‍යාත්මක පර්යේෂණ සඳහා සාරිය පදනම විය. එතැන් සිට මම සාරිය පිළිබඳ පුළුල් පර්යේෂණ දෙකක් කර ඇති අතර පර්යේෂණ පත්‍රිකා පහක් ප්‍රකාශයට පත් කර, සම්මන්ත්‍රණ ඉදිරිපත් කිරීම් ද කර ඇත (ජයසූරිය සහ පිරිස, 2016¦ 2019¦ 2020 සහ 2021). මින් එක් අධ්‍යයනයක් විශේෂයෙන් ම පාසල් ගුරුවරියන්ගේ රැකියා කාර්ය සාධනය කෙරෙහි ඇඳුමේ බලපෑම පිළිබඳ ව වූ අතර, එය පේරාදෙර්‍ණය විශ්වවිද්‍යාලයයේ කෘෂිකර්ම පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය පද්මසිරි වනිගසුන්දර සහ සාගා විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය සාලිය ද සිල්වා යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ මා කළ ශාස්ත්‍රපති උපාධි පර්යේෂණය විය. මේ අධ්‍යයනය සඳහා මම ජපානයට පර්යේෂණ ශිෂ්‍යයකු ලෙස ශිෂ්‍යත්වයක් ද දිනා ගතිමි.  එහි දී ජපානයේ සහ ශ්‍රී ලංකාවේ පාසල් ගුරුවරියන්ගේ ඇඳුම් පැළඳුම් පිළිබඳ සංසන්දනාත්මක අධ්‍යයනයක් කිරීමට මට හැකි විය.

රැකියා ස්ථානයේ ඇඳුම් පැළඳුම් පිළිබඳ ශ්‍රී ලාංකික අධ්‍යයන අඩු වුව ද, ඇඳුම් පැළඳුම් චර්යා ක‍දාැ-ල ඇඳුම් පැළඳුම් සම්මත සහ රැකියා කාර්ය සාධනය කෙරෙහි ඇඳුම බලපාන ආකාරය පිළිබඳ ව වෙනත් රටවල බොහෝ පර්යේෂණ කර ඇත. මෙම පර්යේෂණවලින් පෙනී යන්නේ, වැඩ කරන ස්ථානයේ ඇඳුම, වාචික නො වන හැසිරීම් සහ සන්නිවේදනය කෙරෙහි බලපෑ හැකි බවයි. එසේ ම සේවකයා වෙත විවිධ කාර්ය සඳහා බාහිර අයගේ පිවිසීම, සුහදතාව ඇති කර ගැනීම, සදාචාරය, රැකියාවේ ගුණාත්මකභාවය, රැකියා තෘප්තිය, වැඩ කරන ස්ථානයේ ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව, වැඩ කිරීමේ ගුණාත්මකභාවය, සුවපහසුව, ඉතිරි කිරීම්, සූදානම් වීමට ගත වන කාලය හා අවදානම් සහ අනතුරුවලට ගොදුරු වීමේ හැකියාව කෙරෙහි ද ඇඳුම බලපාන බව ය.

මම මගේ අධ්‍යයනයෙන් පිරවීමට අදහස් කළ පර්යේෂණ හිඩැස වූයේ රැකියා කාර්ය සාධනය කෙරෙහි ඇඳුම් පැළඳුම්වල බලපෑම ය. ඒ පිළිබඳ පර්යේෂණයක් ශ්‍රී ලංකාවේ නො තිබුර්‍ණ. විදේශවල පෙර පර්යේෂණ මත පදනම්  ව, රැකියා කාර්ය සාධනය සහ රැකියා තෘප්තියට බලපාන ඇඳුමට අදාළ සාධක පහක් මම හඳුනා ගතිමි. ඒවා නම් කාල සාධකය, ආරක්ෂක සාධකය, මානසික සාධකය, ආර්ථීක සාධකය හා සමාජ සාධකයයි. හඳුනා ගත් මෙම සාධක කෙරෙහි අවධානය යොමු කර දත්ත රැස් කිරීමේ දී, මම ප්‍රශ්නාවලියක් හා සම්මුඛ සාකච්ඡා භාවිත කළෙමි. මගේ අධ්‍යයනයේ සොයා ගැනීම් අනුව සාමාන්‍ය ව්‍යාපාරික ඇඳුමට සාපේක්ෂ ව සාරිය ඇඳීමට වැඩි කාලයක් ගත වේ. සාරිය සේදීම, මැදීම, ඇඳුම් ඇඳීම සහ ඇවිදීම සඳහා ගත වන කාලය සාපේක්ෂ ව සැලකිය යුතු ලෙස වැඩි ය. මනෝ විද්‍යාත්මක හා සමාජ විද්‍යාත්මක දෘෂ්ටි කෝණයෙන් බැලූව හොත්, ඇඳුම් ඇඳීම සඳහා වැය කරන කාලය පෞද්ගලික දෙයකට හෝ පවුලකට අර්ථවත් ලෙස යෙදවිය හැකි ව තිබුර්‍ණ. සමහර විට සාරියෙන් ලෑස්ති වෙන්නට වැඩි වෙලාවක් ගත කරන්න අවශ්‍ය නැති නම් උදේට වැඩිපුර නිදා ගන්නට හැකි වේ. අනෙක් අතට, සාරිය හැසිරවීමට මනා දැනුමක් ඇති කාන්තාවන්ට, සාරිය ඇඳීමට අමතර කාලය නාස්ති කරන බවක් දැනෙන්නේ නැත. එබැවින් මේ සියල්ල සාපේක්ෂ ය. ප්‍රශ්නය වන්නේ සාරියට වැඩි කාලයක් ගත කරන සහ එය නොදැක සිටින කාන්තාවන් හා සාරියට වැඩි කාලයක් ගත කර එය දකින කාන්තාවන් නො කියූ දුක්ගැනවිලි තිබීමයි.

සාරිය අවදානම්වලට ගොදුරු විය හැකි ඇඳුමක් ලෙස ද සොයා ගෙන ඇත. අධ්‍යයනයේ දී ප්‍රතිචාර දැක්වූවන් 100න් 30%ක් සාරි නිසා අනතුරු රැ දුෂ්කරතාවලට මුහුණ දී ඇත. වඩාත් සුලභ අනතුරු වන්නේ කොතැනක හෝ සාරිය පැටලී වැටීමයි (බයිසිකලයෙන් ගමන් කරන විට, බස් රථවලට සහ දුම්රියවලට පා තබන විට, ඇවිදින විට). සමහරුන් වේගයෙන් ඇවිදීමේ දී බිමට වැටීමෙන් හෝ කකුල් සෙලවීමේ අපහසුව නිසා සාරිය ඇඳ ගෙන දුවද්දී වැටීමෙන් අනතුරුවලට ද මුහුණ දී ඇත. සහභාගිවන්නන් මුහුණ දුන් සමහර අනතුරු ඔවුන් ජීවිත කාලයට ම ආබාධිත තත්ත්වයට පත් කර ඇත. ඕනෑ ම අවස්ථාවක ඔබ ව අවදානමට ලක් කළ හැකි ඇඳුමක් ඇඳීමට සිදුවීම අභියෝගාත්මක බැවින් මෙය විශ්වාසය, ආරක්ෂාව සහ මනසේ සාමයට බලපායි. තවත් සොයා ගැනීමක් වූයේ සාරිය සාපේක්ෂ වශයෙන් මිල අධික වන බැවින් සාරිය අඳින්නන්ගේ මාසික ඉතිරි කිරීම් සඳහා එය බලපාන බවයි. මුළු වැටුපෙන් 15%ක් එක් සාරියකට අදාළ වියදම් පියවා ගැනීමට වැය වේ. 2018/2019 තත්ත්වය මෙය වූ අතර ආර්ථීක අර්බුදයට පසු සාරියේ සාමාන්‍ය මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති නිසා ගැටලූව වඩාත් නරක අතට හැරී ඇත.

එක් අතකින් සිසුන් ප්‍රසන්න ගුරුවරයකු නිසැක ව ම පිළිගන්නා බැවින් නව පෙනුමක් සඳහා අලංකාර සාරි ඇඳීමට දිරිමත් කරනු ලැබේ. නියැදියෙන් 54%ක් සාරියට වඩා අනියම් ඇඳුම්වලට කැමති වූ අතර 3%ක් අබයා වෙත කැමැත්තක් දැක්වූහ. රැකියාවේ දී  නිතර ඇඳීමට අකැමැති ඇඳුමක් තිබීම අවාසනාවකි. කෙසේ වෙතත්, බොහෝ ගුරුවරුන් සාරිය ඇත්තෙන්ම දුෂ්කර යැයි හැඟුණ ද රැකියාවේ දී අනියම් ඇඳුම් ඇඳීමට සූදානම් නැත. මෙය වැදගත් කරුණක් වන්නේ, සාරිය තමන් ගුරුවරුන් බව පෙන්වීමට උපකාර වන බවත් එය ඔවුන්ට සමාජ පිළිගැනීමක් ගෙන දෙන බවත් ශ්‍රී ලාංකික ගුරුවරුන් විශ්වාස කරන බැවිනි. ගුරුවරුන්ට තම පෞරුෂය පවත්වා ගැනීමට ඇඳුම ඉතා වැදගත් ය. එහෙත් සාරියක් හැඳ නැති, හොඳ ගුරුවරියකගේ වටිනාකම තේරුම් ගන්නට සමාජයට නො හැකි වීම ද ගැටලූවකි. මෙම තත්ත්වය මනෝවිද්‍යාත්මක න්‍යාය ඇසුරින් ද තේරුම් ගත යුතු ව ඇත.

සංජානන න්‍යායවාදීන් අතර ස්වයං සංකල්පය වැදගත් සංකල්පයකි. ස්වයං-සංකල්පය යනු තමාගේ ම නිර්වචනය සහ තමා පිළිබඳ ඇගයීම වන අතර, එය පුද්ගල අනන්‍යතා හැඟීමට දායක වේ. එබැවින්, පුද්ගලයෙකු තමා ව අන් අයට ඉදිරිපත් කරන ආකාරය කෙරෙහි ස්වයං සංකල්පය බලපායි. 1995- යෝජනා කරන්නේ පෙනුම යනු ස්වයං දෘශ්‍ය ඉදිරිපත් කිරීමක් බවයි. ඒ අනුව ඇඳුම අනිවාර්ය අංගයක් වන අතර පෙනුමේ වඩාත් ම බලගතු කොටස්වලින් එකකි. ඒ නිසා සමාජයට පුද්ගලයන් ඉදිරිපත් වන ආකාරය කෙරෙහි ඇඳුම බලපාන බව පැහැදිලියි. මෙම ස්වයං ඉදිරිපත් කිරීම අන් අය තුළ තමන් ගැන යම් යම් හැඟීම් ඇති කරයි. ඇඳුමේ හදිසි වෙනසක් සමහර ගුරුවරුන්ගේ ස්වයං සංකල්පයට බලපෑ හැකි ය.

ඉගෙනුම් ක්‍රියාවලියට සාරිය ඍණාත්මක ලෙස බලපාන ආකාරය ද පර්යේෂණවලින් පෙන්වා දී ඇත. විශේෂයෙන් ම ශාරීරික අධ්‍යාපනය, නාට්‍ය හා නැටුම් උගන්වන ගුරුවරුන් මෙහි දී ගැටලූවලට මුහුණ දෙති. ගුරුවරියන් පන්තිය වටා චලනය නොවීම මෙම සංකීර්ණ ඇඳුමේ තවත් ප්‍රතිඵලයකි.

 

ජපාන සම්ප්‍රදාය

දෙ වන ලෝක මහා සංග්‍රාමය අවසන් වීමෙන් පසු, ජපන් ජාතිකයින් ඔවුන්ගේ සාම්ප්‍රදායික කිමෝනෝ ඇඳුමෙන් අනියම් ඇඳුමට සාර්ථක ව මාරු වී ඇති බැවින් ශ්‍රී ලංකාවේ කාන්තා නිල ඇඳුම සම්බන්ධ ගැටලූව විසඳීමේ දී ජපන් සන්දර්භයෙන් සමහර පාඩම් උගත හැකි ය. ජපානය ගුරුවරුන්ට අනියම් ඇඳුම් ඇඳීමට අවසර දී ඇති අතර, ජපන් පාසල් සිසුහු ද විනය ගරුක වෙති. විනය ගැටලූ ද අඩු සංඛ්‍යාවක් ඇත. එමගින් කිසිදු ගැටලූවක් නොමැතිව දිගු ඇඳුම් කේතය වෙනස් කිරීමේ හැකියාව පෙන්නුම් කරයි. එපමණක් නො ව, ජපානය අනියම් ඇඳුම් ඇඳීමට අවසර දී ඇතත්, ඔවුන් ඇඳුම් පැළඳුම් ප්‍රතිපත්ති හොඳින් ස්ථාපිත කර ඇති අතර ඒවාට නිරාවරණය, වර්ණය සහ ඇඳුම් සැලසුම් කිරීම වැනි සීමා ද ඇතුළත් වේ.

අත් නැති ඇඳුම් ඇඳීමට හෝ ඉරිතැලීම් පෙන්වන පහත් කැපීමකට ඉඩ නොදීම¦ ඛෙල්ල දක්වා වැසෙන සේ බොත්තම් ඇති උස කමිස හොඳ ම වේ, සාය දණහිසට ඉහළින් නොවිය යුතු ය, වඩාත් සුදුසු වන්නේ ඊට අඟලක් හෝ දෙකක් පහළින් ය.

ශ්‍රී ලංකාවේ සාරිය, සංස්කෘතියට අනුකූල ඇඳුමක් යැයි පැවසුව ද, කොන්දේසි සහ පාලන යාන්ත්‍රණ නොමැති බැවින්, සාරිය සැම විට ම විලාසිතාමය සහ ලිංගික ප්‍රකෝපකාරී ආකාරයෙන් ද ඇඳිය හැකි ය. ඒ නිසා මේ ප්‍රශ්නය ගැන සංස්කෘතික වශයෙන් අන්ධ නො වී  බුද්ධිමත් ව විද්‍යාත්මක පදනමින් තීන්දු තීරණ ගත යුතුයි. මෙය අධ්‍යාපන ක්‍රමයේ පවතින ප්‍රධාන ප්‍රශ්නයක් ලෙස ඇතැමුන්ට පෙනුන ද මගේ අදහස නම් මෙය සුළු ප්‍රශ්නයක් නමුත් ප්‍රධාන ගැටලූ රැසකට බලපෑම් කළ හැකි බවයි.

 

සමාලෝචනය

ශ්‍රී ලංකාවේ පාසල්වල මුළු ගුරුවරුන් සංඛ්‍යාව දළ වශයෙන් 241,591 ක් වන අතර ඔවුන්ගෙන් 176,956 (73%)ක් ගුරුවරියෝ වෙති (අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව, 2017). එබැවින් මෙම ගැටලූව නොසලකා හැරිය නො හැකි ය. පාසල් ගුරුවරුන් තවමත් “කඵලෑල්ල, හුණු කෑල්ල සහ කතාව භාවිතයෙන්” ඉගැන්වීමේ විලාසයට සීමා වන්නේ ඇයි? අපගේ බොහෝ ගුරුවරු ක්‍රියාශීලී හා සජීවී නො වෙති. අපි කාර්යක්ෂම ඉගෙනීම, අව්‍යාජ ඉගෙනීම සහ ක්‍රියාකාරී මැදිහත්වීමක් අවශ්‍ය ප්‍රවේශ වැනි වචන සමඟ සෙල්ලම් කළත්, අපි සැම විට ම පසුගාමී වෙමු. මීට ඇඳුම් පැළඳුම් අනිවාර්යයෙන් ම ප්‍රධාන හේතුවකි. ලස්සනට අයන් කරපු සාරි ඇඳ ගෙන, අඩි උස පාවහන් දා ගෙන හෙමින් හෙමින් ඇවිදින ආඩම්බරකාර ගුරුවරියන් අවශ්‍ය ද?, එහෙමත් නැත්තම් සම්පූර්ණ මොළය ඉගෙනීමේ ක්‍රියාවලියට යොදා ගෙන ක්‍රියාශීලි ව ඉගැන්වීමේ යෙදෙන ගුරුවරියන් අවශ්‍ය ද? ඊටත් ඉහළින්, අපට ශාරීරික ව හා මානසික ව යෝග්‍ය, සතුටින් හා විශ්වාසයෙන් සිටීමට හැකි  කාන්තා ගුරුවරියන් අවශ්‍ය වේ ද?

අධිකාරියේ රාජකාරිය වන්නේ ඇඳුමක් පැනවීම නො ව වෘත්තියේ විනීතභාවය රැක ගැනීම සඳහා ඇඳුම් අඳින ආකාරය පිළිබඳ ප්‍රමිති මාලාවක් සැකසීම ය.