ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිමය තීරණ උදෙසා වැදගත් වන මානසික සෞඛ්‍යය සම්බන්ධ දිශානතිය

මානසික සෞඛ්‍යය යනු, ආතති සාර්ථක ව කළමනාකරණය කරමින්, තමාගේ හැකියා පිළිබඳ ව අවබෝධයෙන් යුතු ව කටයුතු කරමින් තම ප්‍රජාවේ දියුණුව උදෙසා දායකත්වය ලබා දීමට අවශ්‍ය මානසික යහපැවැත්මයි. ඒ යටතට පුද්ගලයාගේ චිත්තවේගීය, මානසික සහ සමාජීය යහපැවැත්ම ඇතුළත් වේ. එය පුද්ගලයා සිතන, ඔහුට දැනෙන සහ ක්‍රියා කරන ආකාරය කෙරෙහි බලපායි. ළමා වියේ සිට වැඩිහිටි විය දක්වා ජීවිතයේ සෑම අදියරක දී ම පුද්ගල මානසික සෞඛ්‍යය ඉතා වැදගත් වේ. එය සෞඛ්‍යය සහ යහපැවැත්මෙහි අත්‍යවශ්‍ය අංගයක් වන අතර මූලික මිනිස් අයිතිවාසිකමක් ද වේ.

 

මානසික සෞඛ්‍ය ප්‍රතිපත්ති සහ එහි වැදගත්කම

මානසික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් යනු රටක ජීවත් වන ප්‍රජාවගේ මානසික සෞඛ්‍ය තත්ත්වය වැඩිදියුණු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග, ප්‍රමුඛතා සහ ඒවා සාක්ෂාත් කර ගැනීමේ ප්‍රධාන දිශානති ඇතුළත් ලිඛිත ලේඛනයකි. එමගින් පොදු ප්‍රතිපත්තියක් මගින් මානසික සෞඛ්‍යය සම්බන්ධ සියලූ ම වැඩසටහන් සහ සේවා සම්බන්ධීකරණය කරයි. තව ද මෙම ප්‍රතිපත්ති ලේඛනය මානසික සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග හෝ අවශ්‍ය උපදෙස් සදහන් රජයේ නිල මාර්ගෝපදේශය බවට ද පත් වේ.

එයට පහත සඳහන් සංරචක ඇතුළත් විය හැකි ය¦

 

මානසික සෞඛ්‍ය ඉලක්ක හා ඒ සඳහා උපදේශනය

මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය

මානසික ආබාධ වැළැක්වීම

මානසික ආබාධවලට ප්‍රතිකාර කිරීම

මානසික රෝගීන් සදහා ප්‍රශස්ත සමාජ හා මානසික ක්‍රියාකාරිත්වයක් ලබා ගැනීමට උපකාර කිරීම සඳහා පුනරුත්ථාපනය කිරීම

 

පුද්ගලයෙකුගේ කායික සෞඛ්‍ය මෙන් ම මානසික සෞඛ්‍ය සමාන වැදගත්කමකින් යුතු වේ. එම නිසා රටක ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ දී කායික සෞඛ්‍යය මෙන් ම ප්‍රජාවගේ මානසික සෞඛය හා සම්බන්ධ කැරුණු ද සලකා බැලීම වැදගත් වේ.

 

මානසික සෞඛ්‍ය ප්‍රතිපත්ති සහ සැලැස්ම

ප්‍රජාවේ මානසික සෞඛ්‍යය සහ යහපැවැත්ම වැඩි දියුණු කිරීමට අන්තර් සම්බන්ධිත ක්ෂේත්‍ර ගණනාවක දායකත්වය අවශ්‍ය වේ. තව ද, එම ප්‍රතිපත්ති වඩාත් ඵලදායි කර ගැනීමට එහි සදහන් අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ගත යුතු නිශ්චිත ක්‍රියාමාර්ග පැහැදිලි ව සඳහන් කරන ක්‍රියාකාරි සැලැස්මක් තිබිය යුතු ය. එහි අරමුණු සාක්ෂාත් කර ගැනීම සහ ඒ සඳහා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන උපාය මාර්ග සහ ක්‍රියාකාරකම් පිළිබඳ ව මෙමගින් විස්තර කරයි. එක් එක් උපායමාර්ග සහ ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය මුල්‍යමය සම්පත් සහ කාල රාමුවක් ද නියම කරයි. එසේ ම සැලැස්ම ක්‍රියාත්මක කිරීම සාර්ථක වී තිබේ ද යන්න තක්සේරු කිරීමට භාවිත කළ හැකි ක්‍රමවේද නිරූපණය කරයි.

සෑම රටක ම නිශ්චිත මානසික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් සහ සැලැස්මක් තිබිය හැකි ය. නැත හොත් එය වඩාත් ගෝලීය සෞඛ්‍ය ප්‍රතිපත්තියකට සහ සැලැස්මකට ඒකාබද්ධ කළ හැකි ය. කෙසේ වෙතත්, රටක මෙම මානසික සෞඛ්‍ය ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරී සැලසුම් ඉතා පැහැදිලි, එකඟතාවකින් යුතු හා යථාර්ථවාදී විය යුතු ය.

ලෝකයේ මානසික සෞඛ්‍ය සම්පත් සහ සේවා ව්‍යාප්තිය

මානසික ආබාධ නිසා ඇති වන ගැටලූ හා අවශ්‍යතා සපුරාලීමට ගෝලීය මානසික සෞඛ්‍ය සම්පත් ප්‍රමාණවත් නො වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ, දැනට බොහෝ රටවල කිසිදු ප්‍රතිපත්තිමය මග පෙන්වීමක් හෝ ප්‍රමාණවත් පහසුකම් හෝ මානසික සෞඛ්‍යය වෙනුවෙන් ලබා නො දෙන බවයි. ගෝලීය වශයෙන්, මනෝ වෛද්‍ය  ප්‍රතිකාර ලබා දෙන්නේ තෘතීයික සත්කාර මධ්‍යස්ථානවල හෝ මානසික රෝහල්වල වන අතර, ප්‍රජා සත්කාර පහසුකම් හෝ ප්‍රාථමික සත්කාරක මධ්‍යස්ථානවල මානසික ආබාධ සඳහා ප්‍රතිකාර බොහෝ රටවල නොමැත. විවිධ භූගෝලීය කලාප සහ ආදායම් මට්ටම් අනුව වර්ගීකරණය කරන ලද රටවල් අතර මූල්‍යමය, ද්‍රව්‍යමය හා මානව සම්පත්වල ව්‍යාප්තියේ අසමානතා දැකිය හැකි ය. විශේෂයෙන් ම, අඩු සහ මධ්‍යම ආදායම්ලාභි රටවල මානසික සෞඛ්‍ය සම්පත් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවක් මතු වී තිබේ.

ලෝකයේ මානසික සෞඛ්‍ය ප්‍රතිපත්ති සහ නීති

මානසික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් ඇත්තේ ලෝක ජනගහනයෙන් වැඩි පිරිසක් (ආසන්න වශයෙන් 68.3% පමණ) ජීවත් වන රටවල්වලින් 62.1%කට පමර්‍ණ. මේ අතර අඩු ආදායම්ලාභී රටවල් අතරින් 51%ක, පහළ හෝ ඉහළ මධ්‍යම ආදායම්ලාභී රටවල් 66-69%ක සහ ඉහළ ආදායම් ලබන රටවල් 70%ක මානසික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් ඇත. එහෙත්, අප්‍රිකානු කලාපයේ රටවලින් 50%කට පමණ මානසික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් නොමැත. ලෝකයේ විවිධ කලාප අනුව, ආදායම් මට්ටම් අනුව මානසික සෞඛ්‍ය ප්‍රතිපත්ති හා නීතිවල ව්‍යාප්තිය 2 හා 3 රූපවල ඇති ස්ථම්භ ප්‍රස්තාර මගින් දැක්වේ.

ස්කැන්ඩිනේවියානු රටවල්, එක්සත් රාජධානිය, ඕස්ටේ‍රිලියාව සහ නවසීලන්තය වැනි බොහෝ සංවර්ධිත රටවල පුළුල් ජාතික මානසික සෞඛ්‍ය ප්‍රතිපත්ති ඇත. එවැනි මානසික සෞඛ්‍ය ප්‍රතිපත්ති ඇති රටවල එම ප්‍රතිපත්ති මගින් ප්‍රතිකාර කිරීම (98.1%), වැළැක්වීම (95.3%), පුනරුත්ථාපනය (93.4%), ප්‍රවර්ධනය (91.4%) සහ උපදේශනය (80.4%) වැනි බොහොමයක් අංශ ආවරණය කරයි. මේ අනුව ලෝකයේ විවිධ රටවල මානසික සෞඛ්‍ය ප්‍රතිපත්ති හා නීතිවල ව්‍යාප්තිය එහි සංවර්ධනය කෙරෙහි යම් බලපෑමක් කර ඇති බව පෙනී යයි.

කෙසේ වෙතත් ජාතික මානසික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් නොමැති සමහර රටවල වුවත් මානසික සෞඛ්‍ය සේවා උසස් මට්ටමක තිබිය හැකි ය. සමහර යුරෝපීය රටවලට ප්‍රකාශිත ප්‍රතිපත්තියක් නොමැති නමුත් හොඳින් සංවර්ධිත ක්‍රියාකාරි සැලසුම් ඇත. තව ද එක්සත් ජනපදය වැනි අනෙකුත් රටවලට ප්‍රාන්ත හෝ පළාත් ප්‍රතිපත්ති ඇත. එමෙන් ම මානසික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් ඇති රටක වුවත් එම ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක නො විය හැකි ය.

ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය ප්‍රතිපත්ති සහ නීතිවල වත්මන් තත්ත්වය

මෙරට ඉතිහාසය පුරා සිදු වූ සමාජ, සංස්කෘතික, දේශපාලන හා ආර්ථීක තත්ත්ව (උදාහරණ ලෙස තිස් වසරක යුද්ධය සහ ජනවාර්ගික අර්බුදය, 2004 දී සිදු වූ සුනාමිය, 2019 දී සිදු වූ පාස්කු ප්‍රහාරය, දැනට පවතින පශ්චාත් කොවිඩ් වසංගත තත්ත්වය සහ ආර්ථීක අර්බුදය සමග) වඩාත් අයහපත් අතට පත් වී තිබේ. කෙසේ වෙතත්, ශ්‍රී ලාංකිකයන් සමස්තයක් ලෙස මෙම පීඩාකාරී තත්ත්වවලට ඔරොත්තු දෙමින් නැගී සිටිර / සිටින ජාතියකි.

උසස් තත්ත්වයෙන් යුතු නිදහස් සෞඛ්‍ය සේවාවක් සැපයීම නිසා ශ්‍රී ලංකාව සෞඛ්‍ය දර්ශකවල ඉහළ අගයයන් අතර සිටියත්, ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය අවශ්‍යතා ලෝකයේ අනෙකුත් රටවලට වඩා ඉහළ මට්ටමක පවතී. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ සමස්ත සෞඛ්‍ය අයවැයෙන් මානසික සෞඛ්‍ය සේවා සැපයීම සදහා වෙන් කරනු ලබන්නේ 1.6%ක් වැනි ඉතා සුළු ප්‍රමාණයක් පමර්‍ණ. තව ද දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ ද 2005-2015 කාලවකවානුව සදහා 2005 වර්ෂයේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කළ මානසික සෞඛ්‍ය ප්‍රතිපත්තියකි. එවකට තක්සේරු කළ අවශ්‍යතා අනුව ක්‍රියාත්මක විය යුතු අංශ ලෙස මානසික සෞඛ්‍ය සේවා ජාතික සහ පළාත් මට්ටමින් කළමනාකරණය, සේවා සංවිධානය, මානව සම්පත් සංවර්ධනය, පර්යේෂණ සහ ආචාරධර්ම, ජාතික මානසික සෞඛ්‍ය ආයතනය පිහිටුවීම, මානසික යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සහ මානසික සෞඛ්‍ය නීති හඳුනා ගෙන ඇතත්, ඒ ඔස්සේ ක්‍රියාත්මක වීමට, ඉහත පැහැදිලි කළ පරිදි ක්‍රියාකාරි සැලැස්මක් සකස් වී නොමැත.

තව ද ශ්‍රී ලංකාවේ දැනටත් ක්‍රියාත්මක වන්නේ, 1873 දී බි්‍රතාන්‍ය යටත් විජිත සමයේ මුල් වරට සකස් කරන ලද මානසික සෞඛ්‍ය නීතිමාලාවකි. එවකට “ශ්‍රී ලංකාවේ උමතු ආඥාපනත” ලෙස නම් කර තිබුණ අතර පසු ව 1956 දී “මානසික රෝග ආඥාපනත” ලෙස සංශෝධන වී ඇත. 2007 වර්ෂයේ සිට අදටත් ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය පනත – කෙටුම්පත් තත්ත්වයක පවතී. එම නිසා ශ්‍රී ලාංකික ජනතාවගේ මානසික සෞඛ්‍ය සහ යහපැවැත්ම පිළිබඳ අදාළ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු කාලය එලඹ ඇත. මන්ද එම ප්‍රතිපත්ති හා නීති සකස් කළ කාලවකවානුවට වඩා මේ වන විට දේශීය වශයෙන් ද ගෝලීය වශයෙන් ද  සිදු වී ඇති සමාජ, ආර්ථීක හා සංස්කෘතික වෙනස්කම්වල බලපෑම සැලකිල්ලට ගෙන, ඒ අනුව කාලීන ප්‍රතිසංස්කරණ කළ යුතු ය. මෙම පියවර මගින් මානසික සෞඛ්‍ය සේවා සපයන්නන් සඳහා නියාමන රාමුවක් සහතික වන අතර, මහජනතාවට, මානසික ආබාධවලින් ඇති විය හැකි විනාශකාරී ප්‍රතිවිපාකවලින් ආරක්ෂාව සැලසේ.

බිනෝලි හේරත්

පර්යේෂණ සහ සංවර්ධන ආයතනය