නිකවැරටිය ගුරු මධ්‍යස්ථානයේ, වත්මන් ගුරු මධ්‍යස්ථානාධිපති චන්දන විජයකෝන් මහතා සහ එතුමාගේ අත්දැකීම්

චන්දන විජයකෝන් මහතා නිකවැරටිය ගුරු මධ්‍යස්ථානයේ, වත්මන් ගුරු මධ්‍යස්ථානාධිපතිවරයා ය. එතුමන් පළාත් අධ්‍යාපන පර්යේෂණ ක්ෂේත‍්‍රයේ අභිවෘද්ධිය උදෙසා සුවිශේෂි කාර්යභාර්යක් කළ අධ්‍යාපනඥයෙකි. විශේෂයෙන් තම ගුරු මධ්‍යස්ථාන බල ප‍්‍රදේශයේ වෘත්තිකයන්ගෙන් (ගුරුවරුන්, ගුරු උපදේශකවරුන්, විදුහල්පතිවරුන්, අධ්‍යක්ෂවරුන්) සමන්විත පර්යේෂණ කණ්ඩායමක් බිහි කිරීමටත් එමගින් කලාපයේ පවතින අධ්‍යාපන ගැටලූවලට පර්යේෂණාත්මක ව විසඳුම් සොයා ගනිමින් ගුණාත්මක බවින් ඉහළ අධ්‍යාපනයක් තම කලාපයේ ස්ථාපිත කිරීමටත් තම වෘත්තිය භූමිකාවෙන් ඔබ්බට ගොස් සුවිශේෂ කැපවීමක් කළ අයෙකි. ක‍්‍රියාමූලික පර්යේෂණ පිළිබඳ දේශකයෙක් ලෙස ද එතුමා පාසල් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ මහත් කීර්තියක් අත්පත් කර ගෙන සිටියිි. එතුමා පිළිබඳවත්, එතුමාගේ කාර්ය සහ ඒ ඇසුරෙන් ලැබූ අත්දැකීම් පිළිබඳවත් දැන ගැනීම උදෙසා අපි එතුමන් මුණ ගැසී කළ සාකච්ඡුාවකි මේ.

ප‍්‍රශ්නය : සාකච්ඡාවට ප‍්‍රවේශයක් විධියට ඔබතුමාගේ පෞද්ගලික ජීවිතය ගැන විස්තරයක් අපට කියන්න.

පිළිතුර : මගේ ගම කුලියාපිටියේ ‘වෙරළුගම’ කියන ගම. පියා ලිපිකරුවකු ලෙස වෘත්තිය ආරම්භ කරලා පසු ව පරිපාලන නිලධාරියකු වශයෙන් තමයි විශ‍්‍රාම ගියේ. මව රැකියාවක් කළේ නැහැ. මගේ බිරිඳ තමරා අධිකාරි විදුහල්පති ශ්‍රේණියේ නිලධාරිණියක්. අපට පාසල් යන වයසේ දුවක සහ පුතකු ඉන්නවා.

ප‍්‍රශ්නය : ඔබගේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් මොනවා ද?

පිළිතුර : කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ අධ්‍යාපනයෙන් පසු විද්‍යාවේදී (ගණිත) ප‍්‍රථම උපාධිය ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙනුත් පශ්චාද් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව හා අධ්‍යාපනපති පශ්චාද් උපාධිය කොළඔ විශ්වවිද්‍යාලයෙනුත් ලබා ගත්තා. අනතුරු ව විද්‍යා-ගණිත-භෞතික විද්‍යා ගුරුවරයකු ලෙස විවිධ පාසල්වල අවුරුදු 16ක් සේවය කළා. ඒ අතර දී අධ්‍යාපන අමාත්‍යාංශයේ ක‍්‍රියාත්මක වූ ගුරු අධ්‍යාපන හා ගුරු ස්ථාපන ව්‍යාපෘතිය (TETD) මගින් ලංකාවේ වයස අවු. 40ට අඩු විද්‍යා-ගණිත ගුරුවරුන් සඳහා විදෙශීය අධ්‍යයන ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනක් යටතේ සම්මුඛ පරීක්ෂණයෙන් වැඩි ම ලකුණු ලබා ගත් ගුරුවරයා ලෙසට කෙටි කාලයක් බි‍්‍රතාන්‍යයේ ගත කරන්නත් අවස්ථාව ලැබුණා. ඒ වන විට ගුරු මධ්‍යස්ථාන ක‍්‍රියාකාරීත්වය සඳහාත් ප‍්‍රතිපාදන සැපයුවේ TETD  ව්‍යාපෘතියෙන්. එවකට වයඔ ගුරු මධ්‍යස්ථාන ජාලය භාර ව කටයුතු කළ සුමේධා රත්නසේකර අධ්‍යක්ෂතුමියගේ ද නිර්දේශය මත කුරුණෑගල ගුරු මධ්‍යස්ථානයේ ආරම්භක ගුරු මධ්‍යස්ථානාධිපතිවරයා විධියට වැඩ ආවරණය කිරීමට ගුරු අධ්‍යාපන ප‍්‍රධාන කොමසාරිස් වෙතින් පත්වීමක් ලැබුණා. අනතුරු ව ශ‍්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරියකු වශයෙන් පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ කථිකාචාර්යවරයකු වශයෙනුත් මේ වන විට නිකවැරටිය ගුරු මධ්‍යස්ථානාධිපතිවරයා වශයෙනුත් කටයුතු කරනවා. මේ අතර දී 2010 වසරේ දී තායිලන්තයේ කෙටි කාලීන අධ්‍යයන ශිෂ්‍යත්වයක් සඳහාත් අවස්ථාවක් ලැබුණා.

ඒ වගේ ම විවෘත විශ්වවිද්‍යාලයේ, ජාතික අධ්‍යාපන ආයතනයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ, පශ්චාද් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාවල ගුරුවරුන් සඳහා ප‍්‍රමුඛාචාර්යවරයකු විදිහට කටයුතු කරනවා. ජාතික අධ්‍යාපන ආයතනයේ පාඨමාලාවල බාහිර කථිකාචාර්යවරයකු ලෙසත් කටයුතු කරනවා.

ප‍්‍රශ්නය : ඔබතුමා අප හඳුනා ගන්නේ පර්යේෂකයකු හැටියට; නිකවැරටිය අධ්‍යාපන කලාපයේ වගේ ම වයඹ පළාතේ ගුරුවරුන්ට පර්යේෂණ කිරීමට ගුරුහරුකම් දෙන කෙනකු හැටියට. ඇයි ඔබ මෙතරම් පර්යේෂණවලට උනන්දු? කොහොම ද ඔබ ඊට යොමු වෙන්නේ?

පිළිතුර : 2009 වසරේ වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් සියලූ අධ්‍යාපන කලාප ආවරණය වෙන විධියට ඇති කරලා තිබුණ පර්යේෂණ ජාලයක සම්පත් දායකයන් විධියට ගුරු අධ්‍යාපනඥ සේවයේ මා සහ තව දෙදෙනකු ඇතුළත් කරලා තිබුණා. ඒකට අවශ්‍ය පුහුණුව පසු ව ජාතික අධ්‍යාපන ආයතනයෙන් ලැබුණා. ආචාර්ය ගොඞ්වින් කොඩිතුවක්කු මහතා තමයි අපට පර්යේෂණකරණය ඉගැන්නුවේ. ඉස්සර පර්යේෂණ කිව්වම අපේ ලොකු අකැමැත්තක් තිබුණේ. ඒ නිසා අපි මුලින් ම එතුමාගේ දේශන අහන්න පිටත් වුණේ එච්චර කැමැත්තකින් නොවෙයි. හැබැයි එතුමා චිත‍්‍රපටියක් පෙන්වලා සිංදුවකට අදාළ දර්ශන කීපයක් පෙන්වලා වැනි ක‍්‍රමවලින් බොහෝ ම සරල ව තමයි අපට ඉගැන්වීම් පටන් ගත්තේ. එතකොට අපේ තිබුණ අකැමැත්ත නැති වෙලා පර්යේෂණ ඉගෙන ගන්න ලොකු උනන්දුවක් ඇති වුණා.

පුහුණුව ඉවර වෙලා අපත් අපට අදාළ අධ්‍යාපන කලාපවල මේ කාර්යය පටන් ගත්තා. මම නිකවැරටිය කලාපයේ ගුරුවරු 25ක් 30ක් එකතු කර ගෙන ක‍්‍රියාමූලික පර්යේෂණවල වැදගත්කම ගැන කියූ විට ගුරුවරුන්ටත් මේ ආසාව ඇති වුණා. මෙතන දි මමත් ගොඞ්වින් සර් භාවිත කරපු උපක‍්‍රම ඒ කියන්නේ සිංදුවක්, චිත‍්‍රපටි කොටසක් පෙන්වලා-ඒ අවස්ථාවල තිබුණ පර්යේෂණාත්මක ප‍්‍රවේශ හඳුනා ගන්න අවස්ථාව දීල තමයි ඉගැන්වීම් ආරම්භ කළේ. මේ පදනම මත අපේ ගුරුවරුන් පාසල්වලට ගිහිල්ලා අලූත් දේ හොයන්න ගත්තා. උදාහරණයක් කිව්වොත් එක ගුරුවරියකට, අවුරුදු තිස් ගානකට එක ළමයකුවත් ශිෂ්‍යත්වයෙන් සමත් නොවුණු පාසලක ළමයකු ව ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් කරවන්න හැකි වුණා. තව ගුරුවරියක් 10ට ගණන් කරන්න බැරි ළමයකුට මාස 2ක් 3ක් ඇතුළත ගණන් කරන්න ඉගැන්නුවා. සමහර පාසල්වල පාසලින් ඇදහැඵණු ළමයින් නැවත පාසල් ගත වුණා. පාසල් ළමයින්ගේ චර්යාවන් මේ විධියට කෙටිකාලයක් තුළ වෙනස් වුණා ම ඒ ඒ පාසල්වල විදුහල්පතිවරුන්ගේ හොඳ ප‍්‍රතිචාර අපට ලැබෙන්න ගත්තා. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ගෙනුත් හොඳ ප‍්‍රතිචාර හිමි වුණා. එහෙම ඇගැයීම් ලැබෙන කොට අපි තවත් ශක්තිමත් වුණා.

මේ විධියට මම ස්වේච්චාවෙන් පර්යේෂණ කරන්න කැමති අය ව වෙන ම තෝර ගෙන පර්යේෂණ කණ්ඩායමක් පටන් ගත්තා. අපි 2011 දී 30 දෙනකුගේ විතර කණ්ඩායමක් එකතු වෙලා පාසල් ආශ‍්‍රිත ව පර්යේෂණ 30කට අධික ප‍්‍රමාණයක් කළා. හැබැයි අවසානයේ දී ඉතිරි වුණේ එයින් 15ක් විතරයි. මේ පර්යේෂණ ටික කොහොම හරි එළි දක්වන්න  ඕන කියලා හිතලා, අපේ කණ්ඩායම එකතු වෙලා විශාල කැපවීමක් කරලා, ”ඉර එළිය සිනිඳුයි” කියලා බොහෝ ම රළු නිමාවක් සහිත ව පර්යේෂණ පොතක් එළි දැක්වුවා.

පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ. ජී. එන්. තිලකරත්න මහතාටත්, අතිරේක පළාත් අධ්‍යක්ෂ (සංවර්ධන) එන්. එච්. පේ‍්‍රමවතී මහත්මියටත්, ගුරු අධ්‍යාපන කොමසාරිස්තුමියටත්, නිකවැරටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමාටත් ඒ පොත පිළිගැන්නුවා. දැන් මේකේ වටිනාකම තේරුම් ගත්තට පස්සේ අපේ කණ්ඩායම ඊළග අවුරුද්දෙත් මට යෝජනා කළා අපි තවත් ටිකක් සාර්ථක ව ඊළග  පර්යේෂණ වාර්තා   පොත කරමු කියලා. ඒකේ ප‍්‍රතිඵලයක් විධියට “තිනෙත” (දෙමළෙන් நெற்றிக்கண் ඉංගි‍්‍රසි බසින්  “The Third eye”& නමින් පර්යේෂණ වාර්තා පළ කෙරෙන වාර්ෂික ප‍්‍රකාශනයකුත් අපි එළිදැක්වුවා. දැන් එය වාර්ෂික ව නිකුත් කරන්නට අපට හැකි වෙලා තියනවා.

වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මේ කටයුතුවල වැදගත්කම මනා ව අවබෝධ කර ගෙන වාර්ෂික ප‍්‍රතිපාදන ප‍්‍රමාණයකුත් පර්යේෂණ වෙනුවෙන් වෙන් කරලා තියනවා. මේ වෙන කොට වයඹ පළාතේ සියලූ ම අධ්‍යාපන කලාපවල අධ්‍යක්ෂකවරුන් හා ගුරු මධ්‍යස්ථානාධිපතිවරුන්ගේ මෙහෙයවීමෙන් පළාත් අධ්‍යාපන පර්යේෂණ කණ්ඩායම් බිහි කරන්න පළාත් දෙපාර්තමේන්තුවේ සංවර්ධන අංශයට හැකි වෙලා තියනවා. එමගින් නිරන්තර පුහුණු වැඩසටහන් පවත්වා දැන් ඒ අය ව පුහුණු කර ගෙන යනවා.

විශේෂයෙන් දෙයක් කියන්න  ඕන මේ පර්යේෂණ කරපු කණ්ඩායමේ කිසි ම කෙනකු වැටුප් වර්ධක හෝ වෙනත් පෞද්ගලික බලාපොරොත්තු හෝ ඇති ව පර්යේෂණ කරපු අය නෙමෙයි. තමන්ගේ කාලය, මුදල් අතින් වියදම් කරගෙන තමයි මේ පර්යේෂණ කළේ. මේ හැම දේ ම කළේ ළමයින්, ගුරුවරුන් ඇතුළු සමස්ත අධ්‍යාපනයේ සුභසිද්ධිය උදෙසා. ඒකයි විශේෂත්වය.

ප‍්‍රශ්නය : ඔබ ඇතුළු කණ්ඩායමට පර්යේෂණ කිරීමේ දී මුහුණ දීමට සිදු වුණු අභියෝග/බාධා මොනවා ද? මේ සඳහා අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ අනෙකුත් අයගෙන් ඔබට ලැබුණු සහාය කෙබඳු ද?

පිළිතුර : කුමන බාධා ඇති වුණත් අපේ උත්සාහයෙන් ඒ හැම එකක් ම අවම කර ගැනීමේ හැකියාව අපට ලැබුණා. අපේ කණ්ඩායමේ අය මුල දි පාසල් මට්ටමින් පර්යේෂණ කරන්න පටන් ගන්න කොට  සමහර විදුහල්පතිවරුන් එච්චර කැමති වුණේ නෑ. එතකොට අපි ඒ විදුහල්පතිවරුන්ට අප කරන්නට බලාපොරොත්තු වන දේ ගැන පැහැදිලි කළා. ඒ වගේ ම කලාප අධ්‍යක්ෂතුමා මාර්ගයෙනුත් අවශ්‍ය දැනුවත් වීම් කළා. එහෙම දැනුවත් කරපුවාම විදුහල්පතිවරුන්ගේ සහයෝගය හම්බ වුණා.

අපේ කණ්ඩායමට පර්යේෂණ කිරීමට අවශ්‍ය දැනුම ලබා දීමේ දී සම්පත්දායකයන් සොයා ගැනීමේ ගැටලූව එන විට මම බොහෝ විට පිහිට පැතුවේ ගොඞ්වින් සර්ගෙන්. ඒ වගේ ම ගුරු අධ්‍යාපන කොමසාරිස් එල්. ඞී. ධර්මසේන මයා හා ගුරු අධ්‍යාපන අධ්‍යක්ෂ එම්. එෆ්. එන්. හරිජා මහත්මියගේ මැදිහත් වීමත් ඉතාමත් ප‍්‍රයෝජනවත් වුණා. ඊළගට පර්යේෂණ කණ්ඩායමක් එක්කලා මම සම්පත්දායක සංචිතයකුත් හදාගෙන ගියා. ඒ සංචිතයට අධ්‍යක්ෂවරුන්, විදුහල්පතිවරුන්, ගුරු උපදේශකවරුන් සහ ගුරුවරුන් ඇතුළත් වෙනවා. පිට පළාත්වල පවා ගිහිල්ලා පර්යේෂණ වැඩමුළු මෙහෙයවන්න අපට අද හැකි වෙලා තියෙනවා. අපට අමාත්‍යාංශ මට්ටමින් පවා මේ කටයුතු කර ගෙන යාමට ලොකු සහායක් දැන් ලැබෙනවා. ඒක අපි ලැබූ සුවිශේෂ ජයග‍්‍රහණයක්.

අපි ජාතික මට්ටමේ පර්යේෂණ අනාවරණ එළිදැක්වීමේ සම්මන්ත‍්‍රණයකට (Symposium) මුලින් ම සහභාගි වුණේ 2010 ජාතික අධ්‍යාපන ආයතනයේ දී. අපේ පර්යේෂකයෝ 15ක් විතර මෙතන දි පර්යේෂණ ඉදිරිපත් කළා. එතන දි ප‍්‍රවීණ පර්යේෂකයන්ගෙන් ලැබුණු ප‍්‍රතිචාර අනුව අපේ අඩුපාඩු ගොඩක් තියෙන බව අපි තේරුම් ගත්තා. තව ගැඹුරට පර්යේෂණ කරන්න  ඕන කියන පෙලඹුම අපේ කණ්ඩායමට ලැබුණා. ඒ නිසා අපි තවදුරටත් අධ්‍යයන කටයුතුවල නියැළුණා.

අපේ කණ්ඩායමේ පර්යේෂණ WISE  Price කියන අන්තර්ජාතික තරගයටත් ඉදිරිපත් කළා. ඔවුන් ඒවා තරගයට එකතු කර ගැනීම ම අපට ලොකු සතුටක්. අපේ පර්යේෂණ ජාත්‍යන්තර මට්ටමට ගෙන යන තරමට දියුණු කළ යුතු ය කියන අධිෂ්ඨානය මේ නිසා ඇති වුණා.  ඒ වගේ ම බි‍්‍රතාන්‍යයේ Gate shead විශ්වවිද්‍යාලයේ පැවැත්වුණු 2014 CARN  ජාත්‍යන්තර පර්යේෂණ සමුළුවේ දී අපේ පර්යේෂිකාවක වුණු ඉවෝන් සමරවික‍්‍රම මෙනෙවිය “පාසල් ළමයින්ට ඉගෙනුම් අරමුණු ලබා දෙන්නේ කෙසේ ද?” යන තේමාවට අනුව කළ ක‍්‍රියාමූලික පර්යේෂණය ඉදිරිපත් කරලා අපේ රටට මහත් කීර්තියක් ගෙන දෙන්නටත් සමත් වුණා. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ දෙ වන CARN අධ්‍යයන දිනය නිකවැරටියේ පවත්වන්නත් අපට හැකි වුණා.

 

අපි අපේ පුස්තකාලයේ පර්යේෂණ පොත් සංචිතයකුත් ඇති කළා. ඒ පොත් සංචිතයට අවශ්‍ය පොත් මිල දී ගන්න අපට සල්ලි නැති වුණා ම අපේ ගුරු මධ්‍යස්ථානයට අල්ලපු ඉඩමේ තියන මුස්ලිම් විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනි රාමලිංගම් මහත්මිය එයාගේ මියගිය ස්වාමිපුරුෂයාගේ දානෙට වෙන් කළ මුදලෙන් කොටසක් අපට පරිත්‍යාග කළා. ඒ වගේ ම කලාපයේ ක‍්‍රීඩා අධ්‍යක්ෂතුමියත් පොත් තොගයක් පරිත්‍යාග කළා. ඒ විධියට අපි අභියෝග ජයගෙන ඉදිරියට යන කොට අපට සහාය දෙන්න අය ඉදිරිපත් වුණා.

ඒත් එක්ක ම මේ පර්යේෂණ මුද්‍රණද්වාරයෙන් එළි දැක්වීම, සහතිකයක් පිරිනැමීම, පුවත්පත්වලින්, රූපවාහිනියෙන් ප‍්‍රචාරණය වීම තවදුරටත් මේ කටයුතු ශක්තිමත් කර ගන්න උපයෝගි වුණා. එක්තරා අවස්ථාවක දී අපේ පර්යේෂිකාවක වුණු ගණිත ගුරු උපදේශිකා ආර්. එම්. පී. කුමාරිහාමි මහත්මිය “වින්දනයෙන් ගණිතය ඉගැන්වීම” පිළිබඳ ව කළ ක‍්‍රියාමූලික පර්යේෂණය පිළිබඳ සුවිශේෂී විස්තරයක් “ගවේෂණ” සඟරාවේ (2014 සැප්-දෙසැ/23 කලාපය) පළ වුණා. ඒ වගේ ම ජාතික රූපවාහිනියේ “නුග සෙවණ” වැඩසටහනෙන් අපට ඉඩ කඩ ලබා දුන්නා අපේ පර්යේෂණ ක‍්‍රියාදාමය ගැන කෙටි වැඩසටහනක් කරන්න. එවැනි ඇගැයීම් අපේ අරමුණු කරා යාමේ දී මහත් ශක්තියක් වුණා.

ප‍්‍රශ්නය : ඔබතුමා මේ දක්වා කර ඇති පර්යේෂණ මොනවා ද?

පිළිතුර : මගේ පළමු පර්යේෂණය වුණේ නිකවැරටිය අධ්‍යාපන කලාපයේ පර්යේෂණ සංස්කෘතියක් කොහොම ද ඇති කරන්නේ කියන එක. පර්යේෂණ නැඹුරුවක් නැති ගුරුවරුන් ව කොහොම ද පර්යේෂණවලට යොමු කරන්නේ කියන එක. ඒක ක‍්‍රියාමූලික පර්යේෂණ ක‍්‍රමවේද යටතේ කළ එකක්. ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපන පර්යේෂණ දෙපාර්තමේන්තුවේ “අධ්‍යාපන පර්යේෂණ” සඟරාවේ 12 වන කලාපයේ පිටු 20ක පමණ ලිපියක් ලෙස එය පළවෙලා තියනවා. පර්යේෂණාත්මක ක‍්‍රමවේදයකට තමයි මම මේ පර්යේෂණ සංස්කෘතිය නිකවැරටියේ ඇති කරන්න උත්සහ කළේ. ඒක සාර්ථක වුණා.

ඊට පස්සේ දෙ වන පර්යේෂණය විදිහට මං කළෙත් ක‍්‍රියාමූලික පර්යේෂණයක්. විද්‍යා විෂයයට 30%ට අඩු ප‍්‍රතිඵල ඇති පාසල් 5ක් තෝරා ගෙන ප‍්‍රතිඵල 100% දක්වා ඉහළ නැංවීමයි ඒකෙ දි මගේ අරමුණ වුණේ. ඒක 100% කරන්න බැරි වුණත් 80% මට්ටමකට ගන්න මට පුළුවන් වුණා. එවැනි අධ්‍යයනවල දී මගේ තිබුණ දුර්වලතාත් මම හඳුනා ගත්තා. ඒවා අත්දැකීමක් කරගෙන තව දුරටත් සාර්ථක වෙන්න මට උත්සාහය තිබුණා.

ප‍්‍රශ්නය : අලූතින් එන ගුරුවරුන්ගේ පර්යේෂණ කිරීමට ඇති කැමැත්ත කොහොම ද?

පිළිතුර : මම දකිනවා දැන් අලූතෙන් උපාධිධාරි පත්වීම් ලබන ගුරුවරුන් දැනුම අතින් හොඳ ශක්තිමත් අය. ඔවුන්ගේ ඒ ශක්තිමත්භාවය හරවා ගන්න  ඕනේ පර්යේෂණ පාදක ඉගෙනුම් සංස්කෘතියකට. ඉගැන්වීමේ ක‍්‍රම අති විශාල ප‍්‍රමාණ අතරින් ඒ ඒ ශිෂ්‍යයාට උචිත ඉගැන්වීමේ ක‍්‍රම පිළිබඳ ගවේෂණයේ යෙදෙන්න අවශ්‍ය ඉඩ අපි හදලා දෙන්න  ඕන.

ප‍්‍රශ්නය : අවසන් වශයෙන් ඔබට කියන්න තියෙන්නේ මොනවා ද?

පිළිතුර : විශේෂයෙන් ගුරු අධ්‍යාපනයේ යෙදෙන පුද්ගලයකු විදිහට අපේ ගුරුවරුන්ගේ තියෙන පොදු දුර්වලතා මම හඳුනා ගෙන තියෙනවා. මම විශ්වාස කරන දේ තමයි, ඒ ඒ ළමයාට තමා ඉගැන්විය යුත්තේ කෙසේ ද යන්න කාටවත් කියලා දෙන්න බැහැ. ඒක ඒ ඒ ගුරුවරයා විසින් ම හොයා ගන්න  ඕන. Learning to Learn කියන සංකල්පය තමයි මෙතන යන්නේ. ඒ කාර්ය සඳහා ගුරුවරුන් යොමු කිරීම සදහා හැකි සෑම කැපවීමක් ම කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ වෘත්තිය හරියාකාර ව කළා කියලා අවංක ව සතුටු වෙන්න පුළුවන් වෙන්නේ එතකොට යි.

අවසාන වශයෙන් විශේෂයෙන් කියන්න  ඕන මුලින් ම නිකවැරටිය කලාපයේ ඇති වුණු මේ පර්යේෂණ පිළිබඳ අවදි වීම මගේ තනි උත්සාහයක ප‍්‍රතිඵලයක් නෙමෙයි. කලාපයේ හිටපු සංවර්ධන අධ්‍යක්ෂ සේනාරත්න මහත්මිය, හිටපු කලාප අධ්‍යක්ෂවරුන් වන යාපා මහතා, අරුණ ශාන්ත මහතා, වර්තමාන අධ්‍යක්ෂ ගාමිණී බණ්ඩාර මහතා වගේ ම මගේ මිත‍්‍රයින් හා “ඉර එළිය සිනිඳුයි” පොතේ සිට “තිනෙත” දක්වා ම සංස්කරණයෙන් සහාය වන උපදේශකවරුන් වන ගංගා හේරත්, කිත්සිරි වීරසිංහ, අතුල, ජයසුන්දර, කුසුම් යන මහත්ම මහත්මීන් ආදී බොහෝ අය කළ සුවිශාල කැපවීම මතක් කර සිටිනවා.

වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ගුරු මධ්‍යස්ථාන භාර අධ්‍යක්ෂ රංජනී තෙන්නකෝන් මිය, නිකවැරටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ගාමිණි බණ්ඩාර මයා, අධ්‍යාපන සංවර්ධන සහකාර අධ්‍යක්ෂ ඉන්ද්‍රාකුමාරි මිය යන අය මේ හැම කාර්යයකට ම නිරන්තරයෙන් විශාල ශක්තියක් දෙනවා. 2013 දී “තිනෙත” පළමු කලාපය එළිදැක්වීම සඳහා බන්දුලානි බස්නායක අධ්‍යක්ෂතුමිය දුන් සහයෝගයත් විශේෂයෙන් මතක් කරන්න  ඕන.

වයඹ පළාතේ මෙම පර්යේෂණ ක‍්‍රියාදාම දිගින් දිගට ම කරගෙන යාම සඳහා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා, අධ්‍යාපන සංවර්ධන අතිරේක පළාත් අධ්‍යක්ෂතුමිය සහ ගුරු මධ්‍යස්ථාන භාර අධ්‍යක්ෂතුමිය පෙරමුණ ගෙන කටයුතු කරමින් සිටිනවා. ඔවුන් විශ්වාස කරන බව මට දැනෙනවා ශිෂ්‍යයකුගේ ඉගෙනුම් ක‍්‍රියාවලිය සාර්ථක වීමට නම් අනිවාර්යයෙන් ම එය පර්යේෂණ පාදක විය යුතු බව. එය පළාතේ අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය සඳහා ප‍්‍රබල ව බලපාන සාධකයක් බව පේනවා.

සංවාද සටහන

වෛද්‍ය අනුෂ්ක අධිකාරි

අරුණ ප‍්‍රශාන්ත වලිසුන්දර