දේශයේ රැඳුණු විද්වතෙක්-ආචාර්ය ජී. බී. ගුණවර්ධන

1936 දී දකුණේ ගිංතොට ප‍්‍රදේශයේ උපන් ජී. බී. ගුණවර්ධනයන්ගේ මව ගෘහණියක වූ අතර, පියා වෘත්තිය වශයෙන් කළේ වෙළෙඳාම යි. සහෝදර සහෝදරියන් 05 දෙනකුගෙන් යුතු පවුලේ ඔහු දෙවැන්නා විය. එතුමාගේ බිරිඳ අධ්‍යාපනය පිළිබඳ මහාචාර්ය චන්ද්‍රා ගුණවර්ධන මහත්මිය යි.

ප‍්‍රාථමික පංතියේ සිට ජ්‍යෙෂ්ඨ විභාගය දක්වා ඔහු අධ්‍යාපනය ලැබුයේ ගිංතොට, මේධංකර මහා විද්‍යාලයේ ය. එය ඉංග‍්‍රීසි මාධ්‍ය පාසලක් වූ අතර, ජ්‍යෙෂ්ඨ විභාගය සමත් වීමෙන් පසු ඔහු අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට ඇතුළු විය. එම පාසලේ 1955 වසරේ හොඳ ම සිසුවා ලෙස රන්පදක්කම ද දකුණු පළාතේ හොඳ ම සිසුවාට ලැබෙන ඇඞ්ලින් මුණසිංහ ශිෂ්‍යත්වය ද ලබමින් හෙතෙම විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් ලැබී ය.

වර්ෂ 1960 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත‍්‍රවේදී උපාධිය ලබා පළමු ව ගුරුසේවයට එක් වුණි. ගුරු සේවය සඳහා හෙතෙම බද්දේගම ශාන්ත අන්තෝනි කතෝලික විද්‍යාලය තෝරා ගත්තේ ය. ඉතා ක‍්‍රියාකාරී ව තම වෘත්තියට කැප වූ නිසා ම අවුරුද්දක පමණ කාලයක් ඇතුළත විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති තනතුරට ද පත් විය.

පසු ව 1962 දී රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ රාජ්‍ය භාෂාව ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ නිලධාරීයකු ලෙස සේවයට එක් වන ගුණවර්ධන මහතා, 1963 දී ගුරු අභ්‍යාස විද්‍යාල ආචාර්යවරයකු (වර්තමානයේ කථිකාචාර්ය) ලෙස  පත් විණි. මහරගම විශේෂ ගුරු විද්‍යාලය ද ඇතුළු ගුරුවිද්‍යාල කිහිපයක ම කටයුතු කරන අතරේ එතුමා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධියක් ද සම්පූර්ණ කළේ ය. විවිධ සමුළුවල දී ගුරු අධ්‍යාපනයේ අභියෝග, ප‍්‍රතිපත්ති පිළිබඳ හඬ නැගූ නිසා ම ඉතා කෙටි කලකින් කටුකුරුන්ද ගුරු විද්‍යාලයේ විදුහල්පති ලෙසට පත් කෙරිණි. එහි දී එකල තිබූ සාම්ප‍්‍රදායික අධ්‍යාපන ප‍්‍රතිපත්ති වෙනසකට ලක් කරමින්, ප‍්‍රාථමික හා ද්විතියික පාසල් ගුරුවරුන් දෙගොල්ලෝ ම එකට පුහුණු කිරීම ආරම්භ කර, සාර්ථක ව පවත්වා ගෙන යන්නට එතුමා සමත් විය. එතෙක් ප‍්‍රාථමික හා ද්විතීයික ගුරුවරුන් අතර විශාල වෙනසක් පැවති අතර, වැටුප් පරිමාණය ද වෙනස් විය.

කටුකුරුන්ද ගුරු විද්‍යාලයේ අවුරුදු 03ක සේවයෙන් අනතුරු ව ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු අධ්‍යාපන අංශයේ ප‍්‍රධාන අධ්‍යාපන නිලධාරියකු ලෙස පත් කරන ලදී. මේ අවධියේ දී එංගලන්තයේ මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයෙන් ගුරු අධ්‍යාපන කළමනාකරණය පිළිබඳ පශ්චාද් උපාධි ඩිප්ලෝමාවක් ද සම්පූර්ණ කරන ලදී. පසු ව ඔහුට ඔස්ටේ‍්‍රලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපන කළමනාකරණයපිළිබඳ ශාස්ත‍්‍රපති උපාධියක් ද හදාරන්නට ශිෂ්‍යත්වයක් හිමි වන අතර, එහි දී හොඳ ම ප‍්‍රතිඵලය ලැබීම නිසා ආචාර්ය උපාධිය හදාරන්නට ද වසර 04ක වටිනා ශිෂ්‍යත්වයක් හිමි කර ගත්තේ ය.

ආචාර්ය උපාධිය ලබා හෙතෙම නැවත ලංකාවට පැමිණි පසු, අධ්‍යාපන අමාත්‍යාංශයේ කළමනාකරණ අංශයක් ඇති කර එහි කාර්ය ආචාර්ය ගුණවර්ධන මහතාට පවරන ලදී. එකල ඇමෙරිකාවේ හාවඞ් විශ්වවිද්‍යාලය හා එක් ව මෙරට කළ අන්තර්ජාතික පර්යේෂණයක ව්‍යාපෘති අධ්‍යක්ෂ හැටියට කටයුතු කිරීමේ අවස්ථාව ද එතුමාට හිමි විය. 1986 ආරම්භ කළ ජාතික අධ්‍යාපන ආයතනයේ මුල් ම අධ්‍යක්ෂකවරයා (ගුරු අධ්‍යාපනය) ලෙස පත් වන එතුමා 1987 දී එහි පර්යේෂණ අංශයක් ඇරඹීමෙන් අනතුරු ව එහි ප‍්‍රථම අධ්‍යක්ෂක ධුරයට පත් විය. එම ධුරය දැරූ අවුරුදු 04ක කාලවකවානුවේ ලෝකයේ බොහෝ රටවල පර්යේෂණ සමුළු, වැඩසටහන්වලට සහභාගි වීමේ අවස්ථාව ලැබුණු බවත්, එමගින් අධ්‍යාපන පර්යේෂණ ක්ෂේත‍්‍රයේ අත්දැකීම් රාශියකින් පොහොසත් වන්නට හැකියාව ලබුණු බවත් එතුමා පවසයි.

1990 වන විට ජාතික අධ්‍යාපන ආයතනයේ උදා වුණු තත්ත්වයට කොටස්කරුවකු වීමට අකැමැති වූ හෙයින් ජාතික අධ්‍යාපන ආයතනයේ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉල්ලා අස් වී විදෙස් ගත වන්නට තීරණය කළ බව එතුමා පවසයි. ඒ අනුව බටහිර කොදෙව් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කළමනාකරණයපිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස සේවයට එක් ව කටයුතු කරන අතරේ කැනඩාවෙන් ආධාර දෙන වැඩසටහනකට අධ්‍යාපන කළමනාකරණයපිළිබඳ නැගෙනහිර කොදෙව් රටවල් 05ට අදාළ ව ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ ව්‍යාප්තියකට අනුමැතිය ලැබීමේ ප‍්‍රතිඵලයක් ලෙස, කොදෙව් රටවල් 5ක විදුහල්පතිවරුන්ට අධ්‍යාපන කළමනාකරණ පාඨමාලාවක් ආරම්භ කර පවත්වා ගෙන යන්නට ද එතුමා සමත් වූයේ ය. ඉන් අනතුරු ව බෲනායි විශ්වවිද්‍යාලයේ ද අධ්‍යාපන කළමනාකරණයපිළිබඳ අවුරුදු 07ක කාලයක් ජ්‍යෙෂ්ඨ තනතුරක් එතුමා හෙබවූවේ ය.

2000 වර්ෂයේ දී අපේ රටේ ජනාධිපති කාර්යාලයෙන් එතුමාට ආරාධනාවක් ලැබෙන්නේ මෙරටට නැවත පැමිණ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ධූරය භාර ගන්නා ලෙස යි. තම දැනුම් සම්භාරය තමා උපන් දේශයට ලබා දීමේ පරම පිවිතුරු චේතනාව ද පෙරදැරි ව එම ඇරයුම භාර ගන්නේ මෙරට දී මසක ලැබෙන වැටුප එතෙර දී තමාට එක් දිනක දී ලබා ගත හැකි වූ පසුබිමක ය. ජාතික අධ්‍යාපන ආයතනයේ වසර 04ක අධ්‍යක්ෂ ජෙනරාල් වශයෙන් කැපවීමේ දී ඔහුට ආයතනයේ අකාර්යක්ෂමතාව, ¥ෂණය සහ සදාචාරාත්මක නො වන හැසිරීම යන ගැටලූ විසඳීමට හැකි වූ බවත් එතුමා පවසයි. 2001 දී මූල්‍ය සම්පත් කපා හැරීමෙන් මතු වුණු මූල්‍යමය අර්බුදය ජයගන්නට මාලදිවයින වැනි විදේශීය රටවල අභ්‍යාසලාභීන්ට අපගේ පාඨමාලා විවෘත කිරීමට සිදු වූ බවත් ආචාර්ය ගුණවර්ධන පවසයි.

පසු ව අධ්‍යාපන උද්දේශනය (Advocacy) සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යාපෘතියක ජාතික සම්බන්ධීකරණ නිලධාරියා ලෙස කටයුතු කළ එතුමා දැනට යුනෙස්කෝ සංවිධානයේ ව්‍යාපෘති කිහිපයක කටයුතු කරයි.

***

අධ්‍යාපන කළමනාකරණ ක්ෂේත‍්‍රයේ පුරෝගාමියකු වන ආචාර්ය ජී. බී. ගුණවර්ධන තම ක්ෂේත‍්‍රයේ මෑත කාලීන ව නියැළුණු සුවිශේෂ ම, මෙරට වඩාත් කතාබහට ලක්වුණු කටයුත්ත ලෙස අපේ රටට කලක් තිස්සේ දැඩි අවශ්‍යතාවක් ව පැවති නව අධ්‍යාපන ප‍්‍රතිපත්ති මාලාවක්සෑදීම දැක්විය හැකි ය. සුසිල් පේ‍්‍රමජයන්ත අධ්‍යාපන ඇමතිතුමා පත් කළ ජාතික අධ්‍යාපන කමිටුව යටතේ කළ එම දැවැන්ත කාර්යභාරයේ දී, 15 දෙනකුගෙන් යුත් විද්වත් සාමාජිකයන් සහ අධ්‍යාපනඥයන් 36 දෙනකුගෙන් යුත් අනුකමිටු අවුරුදු කිහිපයක් මුළුල්ලේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ සෑම දිශාවක් ම ආවරණය වන පරිදි තොරතුරු ඒකරාශි කොට, වඩාත් ගුණාත්මක ප‍්‍රතිපත්ති මාලාවක් සෑදීමට කටයුතු කළේ ය. කමිටුවේ සභාපති ලෙස ස්වේච්ඡ දායකත්වය ලබා දුන් ආචාර්ය ගුණවර්ධන මහතාගේ කැප වීම, අනාගත දරුපරපුර හා රටේ යහපත් අනාගතයක් උදෙසා කළ ඉමහත් ආයෝජනයකි.

 අද අපේ රටේ අධ්‍යාපනය සම්බන්ධ හර නීතිය වෙන්නේ 1939 ඇති කළ රාජ ආඥා පනත යිි. එය යල් පැනපු, අපට කිසිසේත් ම සුදුසු නැති පනතක්. කන්නන්ගර යුගයෙන් පස්සේ විවිධ කොමිෂන් මගින් වාර්තා කිහිපයක් ඉදිරිපත් වුවත් ඒ එකක්වත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූයේ නැහැ. මේක තමයි කන්නන්ගර යුගයෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප‍්‍රථම ජාතික අධ්‍යාපන ප‍්‍රතිපත්ති යෝජනාවලියයැයි ගුණවර්ධන මහතා පවසයි.

මේ නව ප‍්‍රතිපත්ති යෝජනා 2011 දී අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. පාර්ලිමේන්තුව විසින් විශේෂ කාරක සභාවක් පත් කරලා එහි රැස්වීම් 34 වතාවක් පවත්වා මේ ගැන සාකච්ඡා කරලා තියනවා. අපේ යෝජනාවලින් 95%කට පමණ කාරක සභාව එකඟ යි. මේ වන විට එය නීතිපති යටතේ බිල් පතක් සැකසීමේ කටයුත්තේ තියෙන්නේ. තව අවුරුදු 10කට ගැළපෙන බොහොම හොඳ ප‍්‍රතිපත්ති මාලාවක් කියලා මට බය නැති ව  ඕන කෙනකුට අභියෝග කරන්න පුළුවන්. හැබැයි දැන් මේක ඉදිරිපත් කරලා අවුරුදු 05ක් පමණ වෙනවා. අධ්‍යාපනය පිළිබඳ නව පනත සම්මත කර ගැනීම ගොඩක් පරක්කු වැඩියි කියලා තමයි මම හිතන්නේ

අපි අවුරුදු දෙකක් තිස්සේ යා හැකි-යා යුතු සෑම මූලාශ‍්‍රයකට ම ගොස් තොරතුරු එක් රැස් කළා. ඉතා ම විද්‍යාත්මක ක‍්‍රමයකටයි සියලූ කටයුතු කළේ. ප‍්‍රතිපත්ති සන්දර්භය, න්‍යායාත්මක සන්දර්භය සහ තත්ත්ව සන්දර්භය යන තුන ම යටතේ කරුණු ඉතාමත් ම ගැඹුරින් විමසුවා. එහෙම කළොත් තමයි අපට අධ්‍යාපනයේ තියෙන ගැටලූ හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. සියලූ දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සහ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම්වලින් අදහස් විමසුවා. සියලූ ක්ෂේත‍්‍ර ආවරණය කළ නිසා මේ වන තෙක් කිසිදු විරෝධයක් ඇවිත් නැහැ”.

අපේ රටේ දැනට ළමයා මනින්නේ විභාගයේ දී ලබා ගන්නා ලකුණු මතනේ. ඒ ක‍්‍රමය පමණක් යොදා ගැනීම වැරදියි. ළමයාගේ නියම සංවර්ධනය හඳුනා ගන්න පුළුවන් වෙන්නේ අඛණ්ඩ ඇගයීමෙනුයි. දැන් බලන්න කොච්චර ලොකු ව්‍යාපාරිකයෝ ඉන්නව ද පාසලින් පිටුවහල් කළ අය. ඒ කියන්නේ ළමයාගේ දක්ෂතාව පාසල හඳුනා ගෙන නැහැ කියන එකනේ. ඒ නිසා අපි මේකෙන් යෝජනා කරලා තියෙන්නේ සම්භවන සහ සම්පිණ්ඩිත ඇගයීම්වල (Formative and Summative Assessment) සංකලනයක් අවශ්‍ය බව යි”.

මෙරට ජනප‍්‍රිය ගණයේ පාසල් 52ක් තිබෙනවා, ඒවාට ඉතාමත් දුර සිටන් ළමයින් එනවා. මේක ළමයාට හරි ම කරදරයක් නිසා වහා ම වෙනස් විය යුතු යි. මෙරට පාසල් විශාල ප‍්‍රමාණයක් තියනවා මූලික අවශ්‍යතාවක් වන බීමට ජලය පවා නොමැති. ඒත් එක්ක ම බීමට වුවත් සුදුසු ජලය සහිත පීනන තටාක තිබෙන පාසල් ද තිබෙනවා. නිදහස් අධ්‍යාපනයේ ඵල ලබන්නට නම් මේ අවම පහසුකම් ටිකවත් පාසල්වලට තියෙන්න  ඕන. ඒ වගේ ම පාසල් අතර දැනට තියන විෂමතාව අවම වෙන්න  ඕන. දියුණු රටවල මේ විෂමතාව අපට දකින්න නැහැ. සෑම පාසලක් ම එක සමාන සම්පත් ඇති ඒවා”.

පාසල් පරිපාලනය ගැන උගන්වන කොට අපි මුලින් යොදා ගත්තේ කර්මාන්තශාලාවල නිශ්චිත ක‍්‍රියාවලියක් හා සබැඳුණු කළමණාකරණ ක‍්‍රමවේදයක්. එවැනි ක‍්‍රමවේදයක් අධ්‍යාපනය වැනි මානව සේවා සංවිධානයකට (Human Service Organization) ගැළපෙන්නේ නැහැ. එක එක ගුරුවරයා එක එක ළමයා හඳුනා ගත යුතු යි. එක ම වරද කරන ළමයින් පස් දෙනකුට එක ම විධියට දඩුවම් කරන්න බැහැ. ගුරුවරුන් පැත්තෙන් බැලූවත් එහෙමයි. අපි මේ ප‍්‍රතිපත්ති යෝජනාවලිය සැකසුවේ මෙවැනි කරුණා රාශියක් පිළිබඳ අවබෝධයෙනු යි”.

යුනෙස්කෝ (බැංකොක්, ඉන්දියාව), යුනිසෙෆ්, පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය, තායිලන්ත අධ්‍යාපන කොමිසම, හාවඞ් විශ්වවිද්‍යාලයේ අන්තර්ජාතික සංවර්ධන ආයතනය, මිසරයේ අධ්‍යාපන අමාත්‍යාංශය, ජපානයේ අධ්‍යාපන පර්යේෂණ ආයතනය, බි‍්‍රතාන්‍යයේ අධ්‍යාපන කළමනාකරණ සංවිධානය, මැලේසියාවේ අධ්‍යාපන අමාත්‍යාංශය, හොංකොංහී ජාතික අධ්‍යාපන ආයතනය, ආසියානු පර්යේෂණ සංවර්ධන සංවිධානය, කැනඩාවේ පොදු රාජ්‍ය මණ්ඩලීය ඉගෙනීම පිළිබඳ සංවිධානය, නේපාලයේ අධ්‍යාපන අමාත්‍යාංශය, ගෝලීය අධ්‍යාපන මෙහෙයුම, බි‍්‍රතාන්‍ය කවුන්සිලය, ඔස්ටේ‍්‍රලියානු අධ්‍යාපන කොමිසම සහ ඇමෙරිකාවේ විස්කොන්සින්, එංගලන්තයේ සසෙක්ස්, බර්කින්හැම් සහ ලන්ඩන්, අයර්ලන්තයේ අල්ස්ටර්, ඉන්දියාවේ ඉන්ධිරා ගාන්ධි, කේරළ විශ්වවිද්‍යාලය මා වෙත ලබා දුන් ව්‍යාපෘතිවලට සහභාගි වීම, දේශන පැවැත්වීම, සම්මන්ත‍්‍රණවලට සහභාගි වීම සඳහා රටවල් 20කට පමණ යන්නට මට හැකි වී තිබෙනවා. අධ්‍යාපනය සම්බන්ධ ව ඉතා ගැඹුරු දැනුමක් ලබා ගන්නට මේ අත්දැකීම් හේතු වුණා. විශේෂයෙන් ම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්, ජාතික අධ්‍යාපන කොමිසමේ උපසභාපති වශයෙන් මෙන් ම විශේෂයෙන් නව අධ්‍යාපන පනතක් සකස් කිරීම සඳහා පත් කළ ජාතික කමිටුවේ සභාපති වශයෙන් ක‍්‍රියා කිරීමට මට එය විශාල පිටුවහලක් වුණායැයි ගුණවර්ධන මහතා පවසයි.

ආචාර්ය ජී. බී. ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් ජාතික අධ්‍යාපන කමිටුව මගින් නිර්මිත ජාතික අධ්‍යාපන ප‍්‍රතිපත්ති යෝජනාව පිළිබඳ දැනගත් පකිස්ථානයේ සින්ඩි රජයේ අධ්‍යාපන ඇමතිතුමා ඒ ගැන අධ්‍යයනය කිරීම සඳහා මෙරටට පැමිණ ඇත.

තම අධ්‍යයන කටයුතු අවසානයේ එතුමා මගෙන් ඉල්ලීමක් කළා පකිස්ථානයේ අධ්‍යාපන ප‍්‍රතිපත්ති උපදේශකහැටියට කටයුතු කරන්න කියලා. මගේ මෙහේ කටයුතුත් අවසන් වෙලා තිබුණු නිසා මම ඊට කැමැත්ත පළ කළා. පකිස්ථානයේ අධ්‍යාපනය ලංකාවට වඩා ඉතා ම දුර්වල මට්ටමකයි තියෙන්නේ. පාසල් 49000කින්  9000ක ම එක ගොඩනැගිල්ලක්වත් නැති පාසල්. ගැටලූ ගොඩක් තියන නිසා මේ ගැටලූවලින් වැදගත් ම හා ඉක්මනින් ම අවධානය යොමු කළ යුතු කරුණු 05ක් ඇතුළත් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක් අධ්‍යාපන ඇමතිතුමාට මාස 03කින් බාර දුන්නා. ඉන්පසු ඔහුගේ ඉල්ලීම පරිදි තාක්ෂණික කමිටු 10ක් පත් කරලා ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමට අදාළ සැලසුම ද මාස 06ක් ඇතුළත සකසා දුන්නා. ඔවුන් දැන් එය අවුරුදු 03ක වැඩසටහනක් ලෙස ක‍්‍රියාත්මක කරනවා”.

 

ආචාර්ය ජී. බී. ගුණවර්ධන මහතා නිරන්තරයෙන් ම පවසන කරුණක් වන්නේ අධ්‍යාපනය සඳහා යොදවන සම්පත්වලින් ප‍්‍රධාන ම දේ ගුරු සම්පත බව යි.

හොඳ ගුරුවරයෙක් ඉන්නව නම් අවම පහසුකම් ඇති පාසලක වුණත් අධ්‍යාපනය ලබා දෙන්න පුළුවන්යැයි ඔහු පවසයි”.

ගුරුවරයාගේ ආදර්ශමත් බව බිඳ වැටෙන අවස්ථා අවම කළ යුතු යි. ඒ සඳහා ගුරුවරයාගේ ආකල්පමය වෙනසක් ඇති කරන අතරේ, ගුරුවරයාට යහපත් ලෙස සමාජයේ ඉන්නට අවශ්‍ය වාතාවරණයකුත් තිබිය යුතු යි. ළමයා හදන්නට ගුරුවරයා හදන්න  ඕන. ඊට අවශ්‍ය ගුරු සංවර්ධන පාඨමාලා සකසන්නට  ඕන. ගුරුවිද්‍යාලවල සේවයේ සහ අධ්‍යාපන කළමනාකරණයේ අත්දැකීමුත් එක්ක මම ගුරු අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන කාලේ ගුරු අධ්‍යාපන පාඨමාලාව අලූත් විධියට සකස් කළා. එතෙක් තිබුණේ අවුරුදු දෙකක් තිස්සේ උගන්නලා අවසානයේ විභාගයෙන් සමත් වීමේ සාම්ප‍්‍රදායික ක‍්‍රමය. මම කළේ ඒ අවුරුදු දෙකට අමතර ව තවත් අවුරුද්දක කාලයක් පාසලක සීමාවාසික පත්වීමක් (Internship) ලබා දුන්නා. එතකොට ඔවුන් ඉගෙන ගත් දේ ප‍්‍රායෝගික ව යෙදවීමේ ශක්තිය ඇගයීමට ලක් කරන්න පුළුවන්”.

මම බෲනායි සරසවියේ කටයුතු කරන සමයේ විදුහල්පතිවරු ඇතුළු අධ්‍යාපන පරිපාලකයන්ට කළ පශ්චාද් උපාධියේ දී එක ම ලිඛිත විභාගයක්වත් කළේ නැහැ. ඔවුන් පාසලේ දී මුහුණ දෙන ගැටලූ කේන්ද්‍රීය කර ගෙන සාකච්ඡුා මාර්ගයෙන් ඉගැන්වීම් කළා. එහි අන්තිම පරීක්ෂණය ලෙස උපදේශක විදුහල්පති කෙනෙක් සිටින පාසලකට යවා ඔහුට විදුහල්පති තනතුරේ කටයුතු මාසයක කාලයකට භාර දෙනවා. එහි දී මුහුණ දුන් ගැටලූ, ඒවාට ගත් විසඳුම්වල සාර්ථක-අසාර්ථක භාවය ගැන සාකච්ඡුා කරනවා. එම පාසලේ විදුහල්පති, ගුරුවරු, ළමයි සහ දෙමාපියන් ඔහු ගැන දක්වපු අදහස් විමසනවා. ඒකෙදි ලකුණු 50ක් ලැබෙනවා. ඒක තමයි නියම ඇගයීම”. යැයි ආචාර්ය ජී. බී. ගුණවර්ධන මහතා පවසයි.

අපේ රටේ අධ්‍යාපන පර්යේෂණ සම්බන්ධ ව ආචාර්ය ගුණවර්ධන මෙසේ පවසයි.

 

ලෝකයේ වෙනත් රටක කළ පර්යේෂණයක ප‍්‍රතිඵල අපේ රටේ සමාජ-සංස්කෘතික පරිසරයකට අදාළ ව ගළප්පන එක සාර්ථක නැහැ. විශ්වවිද්‍යාලවලින්, පර්යේෂණ ආයතනවලින් අපේ ම රටේ පර්යේෂණ කිරීමේ වැදගත්කම ඒකයි. 1956 සිට 2006 දක්වා අපේ රටේ සෑම විශ්වවිද්‍යාලයකින් ම සිංහල, දෙමළ සහ ඉංග‍්‍රීසි භාෂා තුනෙන් ම පශ්චාද් සහ ආචාර්ය උපාධි සඳහා අධ්‍යාපනය සම්බන්ධ ව කළ පර්යේෂණ නිබන්ධවල මාතෘකා ටික ඇතුළත් කරලා පොතක් පළ කරන්නට මම ජාතික අධ්‍යාපන ආයතනයේ දී කටයුතු කළා. පර්යේෂණ නිබන්ධ 700 ගණනක් ඇති බව එහි දී දකින්නට ලැබුණා. මේ පර්යේෂණවල තියෙන්නේ අපේ දැනුම. අධ්‍යාපනය සම්බන්ධ යම් කිසි තීරණයක් ගන්නට පෙර ඊට අදාළ පර්යේෂණ වාර්තා ටික කියවලා ඉන්න  ඕන. එහෙම නැති ව වෙනත් රටවල කරලා තියන පර්යේෂණ තොරතුරු මත තීන්දු-තීරණ ගන්න එක ලොකු වරදක්යැයි ආචාර්ය ජී. බී. ගුණවර්ධන මහතා අවසාන වශයෙන් පැවසීය.

  සටහන-අරුණ ප‍්‍රශාන්ත වලිසුන්දර