2010 වසරේ හොඳ ම නව නිපැයුම්කරුවා

ඔහු සැබැවින් ම නිර්මාණශීලී ය. තමන් කරන්නේ කුමක් ද? තමන් කළ යුත්තේ කුමක් ද? යන්න ඔහු නිතර සිත යි. උදේ 9ට වැඩට ගොස් 5ට ගෙදර එන තවත් එක රාජ්‍ය නිලධාරීයෙක් පමණක් නොවී ය. කුඩා කළ සිට ම තමන්ට ලැබෙන සෙල්ලම් බඩුව පවා ලස්සනට තියා නොගෙන, එය සෑදී ඇත්තේ කෙසේ ද යන්න සොයා බලන්නට තරම් කුඩා කාලයේ පවා ඔහු විමර්ශනශීලී විය. එය තම ජීවිතයේ විනෝදාශ්වාදයක් කර ගත් ඔහු සෑම විට ම තමන් දකින දේ, තමන් කරන කියන දේ විමර්ශනශීලී ව දකිමින් අඩුපාඩු සකසමින් සරල ව හා පහසුවෙන් කර ගත හැකි මග සොයන්නට වෙහෙසුනි. ගවේෂණශීලී මනසකින් හෙබි ඔහු සැබැවින් ම අවසානයේ තමා නියුතු ක්ෂේත‍්‍රයේ අද්විතීය සොයා ගැනීමක් කළේ ය. අවසානයේ එය අපේ රටේ පමණක් නො ව අන්තර්ජාතිකයේ ද ගෞරවයට සම්මානයට පාත‍්‍ර විය. ඔහු අන් කවරකු නො ව නාරි හා ප‍්‍රසව විශේෂඥ වෛද්‍ය ශාන්ත ජයතිලක බණ්ඩාර ලෙනදොර මහතා යි. ඔහු කළ නිර්මාණය කුමක් ද යන්න ඔහුගෙන් ම දැන ගැනීමට ගවේෂණ අපි වෛද්‍ය ලෙනදොර මහතාගේ ගම් පළාත වන මහනුවර, අනිවත්තේ පිහිටි ඔහුගේ නිවසට ගියෙමු. මේ ඔහු අප සමග කළ සංවාදය යි.

ඔහු 1986 වර්ෂයේ සිට කාන්තා හා ප‍්‍රසව රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කරයි. එබැවින් දීර්ඝ කාලීන ව ශල්‍යකර්මවල යෙදී අත්දැකීම් රාශියක් ඇති වෛද්‍යවරයෙකි. ශල්‍යකර්ම කිරීමේ දී ප‍්‍රායෝගික ව තමන්ට මුහුණ දීමට සිදු වූ අපහසුතා/ගැටලූ පිළිබඳ ව ඔහු තනිව ම කල්පනා කරන්නට විය. “මීට අවුරුදු 15කට විතර පෙර මම පිළිකා ශල්‍යකර්මයක් කළා. ඒක ලොකු ශල්‍යකර්මයක්. පැය 04ක් විතර ගියා. ශරීර කොටස් එහෙට මෙහෙට කර කර සහායක වෛද්‍යවරු සම්බන්ධ කරගෙන හරිම අපහසුවෙන් තමයි ශල්‍යකර්මය කළේ. එම අපහසුතා අඩු කරගත හැකි ක‍්‍රමයක් ඇත්දැයි සොයා බලන්න මට හිතුණා. ඒක මගේ හිතට තදින් කා වැදුණේ” යැයි ඔහු පවසයි.

ශල්‍යකර්ම කිරීමේ දී එම ස්ථානය අවට ඇති අභ්‍යන්තර ශරීර කොටස් ඈත් කොට තබා ගැනීමට සිදු වේ. මේ සඳහා දැනට පාවිච්චි කරන්නේ විදේශ රටවලින් ගෙන්වන Retractor නම් උපකරණය යි. මේ සම්බන්ධයෙන් වෛද්‍ය ලෙනදොර මහතා පවසන්නේ මෙවැන්නකි. “දැනට පවතින Retractor භාවිතයෙන් ශල්‍යකර්ම කරන විට අපට අවශ්‍ය ආකාරයට අදාළ ශරීර කොටස් ඈත් කර තබා ගන්න අපහසු යි. එතකොට අපට සහායක වෛද්‍යවරුන් යොදා ගන්න වෙනවා. එහෙත් අත්වලින් එම ශරීර කොටස් දිගට ම අල්ලාගෙන ඉන්න අපහසු යි”.

”ඉතින් මේකට මීට වඩා පහසුවෙන් කිරීමට යම් ක‍්‍රියාමාර්ගයක් ගත හැකිදැයි සොයා බලන්නට මට හිතුණා. ඊට පස්සේ මගේ වැඩ පාඩු නොකරගෙන, දවසේ වැඩ අවසන් වුණාට පස්සේ මේකට මොකද කරන්න පුළුවන් කියලා හිතුවා. ඒ වගේ ම දැනට අපි පාවිච්චි කරන Retractor ගැනත් වෙන ම අධ්‍යයනය කළා. එහෙත් දැනට තියෙන ඒවගේ සුළු සුළු වාසි හැරෙන්න ලොකු වාසි නැති බව මට පෙනී ගියා. අනික දැනට පාවිච්චි කරන ඒවගෙන් ශරීරයේ පටක කොටස්වලට පවා තුවාල වෙනවා. එමගින් ශරීරයේ ආසාධන තත්ත්ව පවා ඇති වෙන අවස්ථා තිබෙනවා. ඔය අතරේ තමා මට කල්පනා වුණේ සුළං සම්පීඩනය මගින් අදාළ අදාළ ශරීර කොටස් ඈත් කොට තබා ගත හැකි ආකාරයේ උපකරණයක් නිර්මාණය කළ හැකි බව”.

වෛද්‍ය ලෙනදොර මහතා සකසා ඇති මෙම උපකරණය ක‍්‍රියාත්මක කෙරෙන්නේ සිරින්ජයක තුඩ පැත්තෙන් හුළං පුරවන විට පිස්ටන් එක ආපස්සට යන සිද්ධාන්තය පදනම් කොට ගෙන යි. එසේ උපකරණයක් නිර්මාණය කළ ඔහු එහි සුළං පිරවීම හේතුවෙන් ඇතිවන සම්පීඩනය මගින් අවට ඇති පටක කොටස් ඈත් කිරීම සිදු කළ හැකි බවත්, එමගින් පටකවලට සිදු වන හානිය අවම වන බවත් ඔහුට පෙනී ගියේ ය. එවැනි උපකරණයක් මීට පෙර තවත් කොහේ හෝ නිපදවා ඇත්දැයි ඔහු අන්තර්ජාලය ඔස්සේ සොයා බැලී ය. එහෙත් ඔහුට පෙනී ගියේ එවැනි උපකරණයක් මෙතෙක් නිපදවා නැති බව යි.

වර්තමානයේ පවතින Retractor මගින් අදාළ ශල්‍යකර්ම ප‍්‍රදේශය ඈත් කළ හැකි ප‍්‍රමාණය අවම වූවත් වෛද්‍ය ලෙනදොර මහතා නිෂ්පාදනය කර ඇති මෙම උපකරණය මගින් 22cm තරම් ඈත් කළ හැකි අතර මෙය ශල්‍ය වෛද්‍යවරුන්ට මහත් ප‍්‍රයෝජනවත් ය. එසේ ම දැනට පවතින ඒවායෙහි ඇත්තේ තල 02 ක් වන අතර, එම තලවල ගැඹුර රඳා පවතිනුයේ එය නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදකයා මත ය. එහෙත් මෙම උපකරණය තුළින් එවැනි බාධක සියල්ල මග හරවා ගැනීමට හැකි අතර, ශල්‍යකර්මවල දී සහායක වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාවක් ද ඇති නො වේ.

ඔහුගේ කළ නිර්මාණයේ නම ලෙස යොදා ඇත්තේ ද ‘ලෙනදොර රිට්රැුක්ටර් – Lenadora Retractor’’  යන්නයි. “මේ උපකරණය හැදුවට පස්සේ තව පොඩි පොඩි දේවල් පිළිබඳ ව අවධානය යොමු කළා. මේක ශරීර අභ්‍යන්තරයත් සමග සම්බන්ධ වන නිසා උපකරණය සෑදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය පිළිබඳ ව සොයා බලන්නට සිදු වුණා. ලංකාවේ දැනට පොදු භාවිතයට ගන්න සුදු යකඩ (Stainless Steel)   ශරීරයට අහිතකර නිසා මේකට පාවිච්චි කරන්න බැහැ. එනිසා මට මෙයට අවශ්‍ය කොටස් චීනය/සිංගප්පූරුව වැනි රටවලින් ආනයනය කරන්නට සිදු වුණා.”

ඒ වගේ ම මේ උපකරණයේ කොටස් සම්බන්ධ කිරීම සඳහා පෑස්සීම් කිරීමට ලංකාවේ ක‍්‍රමවේදයක් තිබුණේ නැහැ. එතකොට මම කළ දේ තමයි පෑස්සීම් කරන අය හොයාගෙන ගිහිල්ලා මට  ඕන මේ දේ කියලා ඔවුන් ව දැනුවත් කරලා ඔවුන් තුළ ඇති වෘත්තීය දැනුම ද උපයෝගී කරගෙන මට අවශ්‍ය විධිහට මමම සහභාගි වෙලා ඒ දේ කළා. ඒ දේ කර ගන්න අවශ්‍ය තාක්ෂණය නැහැ කියලා පසුබට වුණේ නැහැ.

අවසානයේ ඔහුට ලෝකයේ මින් පෙර කිසිවකු නොකර තිබූ ආකාරයට ඉතා ම සාර්ථක නිෂ්පාදනයක නිර්මාණකරු වීමට හැකි වී තිබිණි. එය ඇගයීමට ලක් කරමින් මෙම උපකරණය සඳහා ඔහුට 2010 වසරේ මෙරට වෛද්‍ය විද්‍යාව සඳහා හොඳ ම නව නිපැයුම ලෙසත්, එසේ ම එම වසරේ ම සියලූ ක්ෂේත‍්‍රවලින් හොඳ ම නව නිපැයුම ලෙසත් ජනාධිපති සම්මාන ලබා ගැනීමට හැකි විය.

එය ඔහු ලැබූ ජයග‍්‍රහණයක් සේ ම අපේ රට ලැබූ ජයග‍්‍රහණයක් ද වන බවට කදිමට සාක්ෂි සපයමින් 2012 වසරේ ජිනීවා හී දී පැවති 40 වන අන්තර්ජාතික නව නිපැයුම්කරුවන්ගේ ප‍්‍රදර්ශනයේ දී රන් පදක්කමක් ලබා ගැනීමට ඔහුට හැකි විය. මේ අන්තර්ජාතික ප‍්‍රදර්ශනයට රටවල් 46කින් නව නිපැයුම්කරුවන් 789 දෙනකු ඉදිරිපත් වී තිබිණි.

ඔහුට මෙම නිර්මාණය සඳහා මේ වන විට ලංකාවේ සහ ඉන්දියාවේ පේටන්ට් බලපත‍්‍රය ලැබී ඇත. එසේ ම මේ වන විට යුරෝපා සංගමයේ පේටන්ට් ලබා ගැනීමට ඉල්ලූම් කර ඇත. නව නිර්මාණකරනයේ දී ඔහුට අත්දකින්නට ලැබුණු සිදු වීමක් පිළිබඳ ව ඔහු අපට මෙසේ පැවසී ය. “මා මේ නිර්මාණය කළ පසු අදාළ පේටන්ට් බලපත‍්‍රය ලබා ගැනීමේ දී මෙවැනි නිර්මාණයක් මීට පෙර කර ඇතිදැයි සොයා බැලිය(New inventory Search) යුතු වෙනවා. මේ සඳහා මට නිර්මාණය කළ වියදම නැති ව රුපියල් 90,000ක් විතර ගියා. එහෙත් නව නිර්මාණ කරන හැමෝට ම මේ වගේ මුදලක් වැය කරන්න අපහසු නිසා ම සමහර නව නිෂ්පාදන එතැනින් එහාට යන්නේ නැති කමකුත් දකින්න පුළුවන්. ඒ වගේ විවිධ මට්ටම්වල අය කරන නව සොයා ගැනීම්  ඕනෑ තරම් තියෙනවා. එවායින් ඉදිරියට යායුත්තේ මොනවා ද කියලා තීරණය කරන්න සහ ඔවුන්ට අවශ්‍ය උපදෙස් දෙන්න විද්වත් මඩුල්ලක් සෑදීමේ අවශ්‍යතාවක් මා දකිනවා. උදාහරණයක් විධිහට පාසල් ළමයෙක් නව නිර්මාණයක් කළොත්, ඔහුට පුළුවන් වෙන්න  ඕන වාර්තාවක් විධිහට මේ මඩුල්ලට ඉදිරිපත් කරන්න. එතකොට  ඔවුන් හොයලා බලන්න  ඕන මේ නිර්මාණය මීට කළින් කරලා තියනවා ද නැතිනම් මේක ඉහළට යා යුත්තක්ද කියලා තීරණය කරන්න  ඕන. ඒ සඳහා අවශ්‍ය මග පෙන්වීම කරන්න අවශ්‍ය යි. නවනිපැයුම්කරුවන්ගේ කොමිසම මගින් නිර්මාණකරුවන්ට ලොකු මෙහෙයක් සිදු කරනු ලබනවා. එහෙත් එහි දී කෙරෙන්නේ නව නිර්මාණයක් කළාහම එතන ඉඳලා ඉහළට යන්න මග පෙන්වීමයි”.

පාසල් මට්ටමින්, විශේෂ වැඩ සටහන් ක‍්‍රියාත්මක කිරීම මෙන් ම කටපාඩම් සංස්කෘතියෙන් ඔබ්බට ගොස් ගවේෂණශීලී බුද්ධිය වර්ධනය කරන අධ්‍යාපන ක‍්‍රමයක් බිහි කිරීමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කළේ ය.

තව ද ඔහු විශේෂයෙන් ම කියා සිටිය දෙයක් වූයේ නව නිපැයුම්කරුවන්ට තම නිර්මාණයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා අනුග‍්‍රහකයින් සොයා දිය යුතු බව යි. එයින් වඩා වාසිදායක ප‍්‍රතිඵල ලබා ගත හැකි බව ඔහු දැඩි ව විශ්වාස කරයි. මෙවර ජිනීවා හී පැවති අන්තර්ජාතික සම්මන්ත‍්‍රණයට සහභාගි වීමේ අවකාශ ලැබුණේ ඔහුට පමණි. අනුග‍්‍රහකයින් සොයා ගත හැකි ව තිබුණා නම් තවත් කිහිප දෙනකුට හෝ ඒ සඳහා සහභාගි විය හැකි ව තිබූ බව ඔහුගේ අදහස යි.

අවසාන වශයෙන් ශ‍්‍රී ලංකාවේ නව නිපැයුම්කරුවන්ගේ කොමිසමටත්, මෙය නිෂ්පාදනයට මහත් සේ උදව් කළ සරත් සෙනෙවිරත්න, මංජුල සන්දිරිගම, දේවප‍්‍රිය කුලරත්න, දේවිකා ලෙනදොර යන අයට හෘදයාංගම ස්තූතිය පුද කළේ ය.

 

නම – ශාන්ත ජයතිලක බණ්ඩාර ලෙනදොර

රැකියාව හා තනතුර – නාරි හා ප‍්‍රසව විශේෂඥ වෛද්‍ය, මහනුවර ශික්ෂණ රෝහල

ගම – මාතලේ, ලෙනදොර

පාසල – ශාන්ත තොමස් විද්‍යාලය

උසස් අධ්‍යාපනය – පේරාදෙණිය වෛද්‍ය විද්‍යාලය

 

 

වෛද්‍ය අනුෂ්ක අධිකාරි