කුහක බමුණු කුලය, බුද්ධි ගලනය හා අතීසාරයට අමුඩ ගැසීම

 

විදේශයන් තුළ සූරා කෑමට ලක් වනුයේ කායික ශ‍්‍රමය ද මානසික ශ‍්‍රමය ද නො එසේ නම්, පුහුණු ශ‍්‍රමය ද නුපුහුණු ශ‍්‍රමය ද යන කරුණු සැලකු කල, ඇති එක ම වෙනස නම් සූරා කෑමට ලක්වන ශ‍්‍රමයේ ආකාරය යි. ශ‍්‍රමය සූරා කෑම ද නැති ද යන වග හෝ එම ශ‍්‍රමය ලක් තලයට අහිමි වීම හෝ යන කරුණූ මත මේ දෙයාකාර වූ ශ‍්‍රමය එකිනෙකින් වෙනස් නො වේ.

මැද පෙරදිග රටවල හා යුරෝපයේ ඉංග‍්‍රීසි භාෂාව කතා නො කරන රටවල බොහෝ විට වැගිරෙන්නේ ලාංකේය කායික ශ‍්‍රමය හා නුපුහුණු ශ‍්‍රමය වන අතර ඉංග‍්‍රීසි කතා කරන රටවල වැඩි ඉල්ලීමක් පවතින්නේ පුහුණු ශ‍්‍රමයට හා මානසික ශ‍්‍රමයට ය. මෙය අඩු දියුණු රටවල් බොහොමයකට මුහුණ දීමට සිදු ව තිබෙන ඉරණමකි.

එමෙන් ම මානසික හෝ පුහුණු ශ‍්‍රමයට වැඩි මුල්‍ය වටිනාකමක් හිමි වීම විදේශීය රටවල් තුළ පමණක් නො ව ලක් පොළොව මත ද දැකිය හැකි කරුණකි.

මෙම කාරණාව තුළ ඉස්මතු වන ප‍්‍රධාන සාධක දෙකක් තිබේ.

  • මානසික හා පුහුණු ශ‍්‍රමය ආකර්ෂණය කර ගැනීම හා ඉංග‍්‍රීසි භාෂාව කතා කරන රටවල් අතර ඇති සම්බන්ධය
  • පුහුණු හා මානසික හෝ නුපුහුණූ හා කායික යන මේ සියලු ආකාරයේ ශ‍්‍රම ශක්තිය අප රට ස`දහා පමණක් නො ව දියුණු වන ලෝකයේ රටවල්වල විදේශ විනිමය උපයන ප‍්‍රධාන මාර්ගයක් වන බව

එහෙත් මෙම පොදු සාධක තුළ ඇති පරස්පරය පුදුම එළවන සුලු ය.

මැද පෙරදිග හා ඉංග‍්‍රීසි කතා නො කරන යුරෝපීය රටවල් තුළ අලෙවි වන නුපුහුණු හෝ කායික ශ‍්‍රම සම්පත මගින් රටට එන ආදායම-විදේශ විනිමය වන අතර, එම මානව සම්පත විදේශ විනිමයේ උල්පතක් ලෙස සැලකේ. ඒ ස`දහා කැප වූ මානව සම්පත අගය කරන සමහර දේශපාලකයන්ට හා ඊනියා විද්වතුන්ට පුහුණු හා මානසික ශ‍්‍රමය අලෙවි කරන මිනිසුන් පෙනෙන්නේ කල්ලතෝනින් ලෙසිනි.

මෙම චින්තනය තුළ ඇති පසුගාමී කුහක පදනම නම්, කායික හා නුපුහුණු ශ‍්‍රමය කුණු කොල්ලයට අලෙවි වුවාට කම් නැත යන්න යි. තම ඉරණම ගැටගසා ගැනීමට තමන් සතු එක ම සම්පත වූ ශ‍්‍රමය විකුණා, දස දහසක් දුක් ගැහැට වි`ද, නන්නත්තාර වුවාට කම් නැත. ඒ හරහා ශ‍්‍රී ලංකාවට ගෙවීමට සිදු වන සාමාජමය මිල හා සම්බන්ධ කරුණු (එනම් පවුල් සංස්ථාව බි`ද වැටීම, පවුල් ඒකකය තුළ මාතෘත්වයේ මූලික වගකීම ඉටු කිරීමේ ඉඩකඩ ඇහිරීම, ¥ දරුවන්ට මව් රැකවරණය නොමැති වීම, ඒ හරහා සිදු වන දැඩි මානසික බලපෑම, පිය පාර්ශ්වය මත්පැනට ඇබ්බැහි වීම, ගැහැණු දරුවන් අඩු වයසින් මාතෘ වගකීම් දරමින් තමන්ගේ ළමා කාලය අහිමි කර ගැනීම යන කරුණු) සැලකීමේ දී අප ගෙවිය යුතු සමාජ වන්දිය කෙතරම් වුවත්, ‘විදේශ විනිමය’ සටන් පාඨය තුළින් සමහර දේශපාලනඥයන් හා ඊනියා විද්වතුන් හෙළිදරව් කරන්නේ ආත්මාර්ථකාමී මූල්‍ය ප‍්‍රතිලාභ ගැන පමණක් නො වේ ද?

මෙම විනාශය අභියස අතිශයින් අන්ධ වන ඔවුන්, තර්ක කරන්නේ විදේශ ගත වීම හරහා රටට අහිමි වන පුහුණු හෝ මානසික ශ‍්‍රමය පිළිබ`ද පමණකි. ඒ අතරින් ද ඉස්මතු කරන්නේ රටට අහිමි වන වෛද්‍යවරුන් ගැන විශේෂයෙන් හා ඉංජිනේරුවරුන් වැනි වෘත්තීන් කිහිපයක් ගැන ද පමණකි. රැකියා විරහිත උපාධිධාරීන් ගුරුවරුන් ආදීහු මොවුනට විද්වත්හු හෝ බුද්ධිමත්හු නො වෙති. ඒ අනුව කායික නුපුහුණු ශ‍්‍රමය විදේශ ගලනයට පක්ෂ වන මොව්හු මානසික පුහුණ ශ‍්‍රමය විදේශ ගලනයට විරුද්ධ යෝජනා ඉදිරිපත් කරති.

එසේ වුව ද දේශය තුළ නිසි ලෙස ප‍්‍රයෝජනයට නොගෙන අපතේ යන පුහුණු ශ‍්‍රමය හා බුද්ධිමය ශ‍්‍රමය ගැන ද ඔව්හු මුනිවත රකිති. උසස් පෙළ ඉහළින් සමත් වුවත් විශ්වවිද්‍යාල ඉඩකඩ අහුරණු ලැබු දස දහස් ගණන් ¥දරුවන්ගේ හෑල්ලූ කළ බුද්ධිමය සම්පත ගැන කම්පාවක් ඔවුනට නැත.

විවිධාකාර වූ විදේශ ගලනය නමැති අතීසාරයට පිළියමක් ලෙස, මානසික ශ‍්‍රමය විදේශ ගලනයට පමණක් විරුද්ධ වූ යෝජනාව නමැති අමුඩය ගැසීමට යෝජනා කරන ඊනියා ප‍්‍රතිපත්ති සම්පාදක දේශපාලනඥයන්ට හා විද්වතුන් යැයි සිතා සිටින උදවියට අපි එවැනි ම ආකාරයේ කාලකන්නි යෝජනාවක් ඉදිරිපත් කරමු. එනම් පුහුණු හා මානසික ශ‍්‍රමයට වැඩිපුර ඉල්ලුමක් ඇත්තේ ඉංග‍්‍රීසි කතා කරන රටවල් තුළ හෙයින් වහා ම ක‍්‍රියාත්මක  වන පරිදි ඉංග‍්‍රීසි භාෂාව ඉගැන්වීම තහනම් කිරීමත්, වෛද්‍ය හා ඉංජිනේරු වැනි වෘත්තීන් පුහුණු කිරීම සිංහල හා දෙමළ භාෂාවෙන් කළ යුතු බවත් ය. අප මෙය යෝජනා කරන්නේ එය නිවැරදි විසඳුම ය යි අප සිතන නිසා නො වේ. අතීසාරයට ගැසීමට සැරසෙන අමුඩ කෙටිය කෙතරම් පටු ද යන වග හුවා දැක්වීම සඳහා පමණකි.

මැද පෙරදිග දී නුපුහුණු ශ‍්‍රමය සූරා කෑම හරහා ආදරණිය ශ‍්‍රී ලංකා දේශයට ගෙවීමට සිදු වන සමාජ මිල කෙතරම් අධික වුවත්, මැද පෙරදිගට ශ‍්‍රමය විකිණීමට යන කිසිවකුට තහංචි පැනවිය නො හැකි ය. එය මූලික අයිතිවාසිකම්වලට ද පටහැනි ය. අනෙක් අතට ඔවුනට රට තුළ මුහුණ දීමට ඇති ප‍්‍රශ්න සඳහා විසදුම් නොමැති තාක් කල්, දැන දැන මැද පෙරදිග තුළ දස දහසක් දුක් ගැහැට විඳිමින් රැකියා කිරීම සඳහා යාමට ලක්ෂ ගණනින් සූදානම් ය. තම අත ගැටෙන වැඩි රුපියල් ගණන තම ¥ දරුවන්ගේ ආර්ථික සුභසිද්ධිය සඳහා ඉන් පිළියමක් ලැබේ ය යි සිතමින් තමන්ගේ යෞවනය කැප කිරීමට ඔව්හු නො පැකිලෙති.

එහෙත් ඊට වඩා පහසු ලෙසින් වැඩි රුපියලට විකිණීමට හැකියාව සහිත බුද්ධිය හෝ ශ‍්‍රමය සතු වුවෝ, වඩා දුක් ගැහැට ප‍්‍රමාණයක් විඳිමින්, පවුල් සංස්ථාවට සිදු වන විනාශය අවම කර ගනිමින්, ‘දියුණු’ බටහිර රටවල් වෙත සංක‍්‍රමණය වෙති. මෙම සංසිද්ධීන් දෙක සමාන ලෙස දැක්වීම අතිශය කුහකකමක් වුව ද එම සංසිද්ධි දෙක තුළ ඇති සමාන්තර භාවය නො තැකීම ද ඒ ආකාරයේ ම කුහකකමකි.

අතීසාරයට අමුඩ ගැසීම තමන්ගේ හිත වංචා කර ගැනීමේ සාර්ථක කෙටි කාල විසඳුමවත් නො වන බව වටහා ගැනීමටවත් නො හැකි තරමට මේ ඊනියා ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ හා ඊනියා විද්වතුන්ගේ නුවණ කෙටි ය. පහත සඳහන් කරුණු සම්පූර්ණ වුව හොත්, මේ රටට සැබෑ ලෙස ආදරය කරන මිනිසුන් ඔවුන් වගුරන්නේ කායික ශ‍්‍රමය ද බුද්ධිමය ශ‍්‍රමය ද යන භේදයකින් තොර ව, බුද්ධිමය ශ‍්‍රමයේ බමුණු කුලයෙන් ස්වේච්ඡවෙන් සමුගෙන මේ ආදරණීය දේශයේ උන්නතිය සඳහා කටයුතු කරන බවට අපට නම් කිසිදු සැකයක් නැත.

  • නුපුහුණු හා පුහුණු ශ‍්‍රමය අප රටට අහිමී වීමට ඇති සාධක අවම කර-පරාජය කර, එම ශ‍්‍රමය රටට මෙන් ම එම ශ‍්‍රමය වගුරුවන්නන්ගේ යහපත සඳහා වන වාතාවරණයක් සහිත සමාජයක් ඇති වූ විට,
  • තම ජීවිතය තුළ උපයනු ලබන සියලූ ම දේ මූල්‍යමය වටිනාකම්වලට කොටු නො කළ සමාජයක් ඇති වූ විට,
  • එදා වේල කමින් දවස හරිනු වෙනුවට හෙට දවස තහවුරු කළ සමාජයක, බුද්ධිමය/මානසික/කායික නුපුහුණු ශ‍්‍රමය, කෙනකුට ශ‍්‍රමය වැගිරීමට හැකි ආකාරයක් මිසක මූල්‍යමය ලංසුවකට යට නො කළ යුත්තේ ය යි පිළිගැනෙන සමාජයක් ඇති වූ විටක,
  • තමන් සතු ශාරීරික ජවය හෙට පරම්පරාවේ ආයෝජනයක් බවට පත් කරමින් අභිමානයකින් යුතු ව ආයෝජනය කළ හැකි සමාජයක් ඇති වූ විටක,
  • අතිශයින් ¥ෂණය කරනු ලැබූ, නිදිබරිත කරනු ලැබූ විද්වතුන්ට තමන්ගේ නිර්මාණාත්මක බුද්ධිමය කුසලතා හෙට පරම්පරාවට ආයෝජනයක් බවට හැරවිය හැකි දිනක් සමාජයේ ඇති වූ විටක,
  • මැද පෙරදිගට හෝ බටහිරට කායික හෝ මානසික වහල් ශ‍්‍රමය විකිණීමට ඇති වාස්තවික තත්ත්වයන් පරාජය කළ දිනක්, සමාජයේ බිහි වූ විට,

ඊට සමාන්තර ලෙස, එවන් දිනක සමහර ඊනියා කුහක උගතුන්, විද්වතුන් හා බුද්ධිමතුන් යැ යි සිතා සිටින සමහරුන් මේ රට සදහට ම අතහැර යන බවට ද අපට කිසිදු සැකයක් නැත. එහෙත් ඒ දින ඔවුන් සුළුතරය මිස බහුතරය නො වන බව ද අපි ඒ ලෙසට ම අදහමු. තව ද අද මෙන් නොව ඒ සුළුතරයේ බහුතරය බුද්ධිමය ලෙස බංකොලොත් බවත්, ඔවුන් බටහිරට ද බරක් වන බවත්, බටහිර රටවල් තුළ ඉල්ලා සිටින ප‍්‍රමිතියවත් ලබා දීමට ඔවුනට හැකියාවක් නොමැති බවටත් අපි අනාවැකි පළ කරමු. ඒ ආකාරයට ම වත්මන් සමාජ අර්බුදය හමුවේ දේශයෙන් තාවකාලික ලෙස ඈත් වූ විද්වතුන් යළි මෙම දේශය ගොඩ නැගීමට අත්වැල් සපයන බවට මේ වන විටත් සාක්ෂ්‍ය ගොඩ නැගෙමින් පවතී.

මේ නිසා, දේශයට අහිමි වන බුද්ධිමය හා කායික පුහුණු සම්පත මෙන් ම මේ වන විට දේශය තුළ අපතේ යමින් පවතින එවන් බුද්ධිමය හා කායික ශ‍්‍රමය පිළිබඳ ව අව්‍යජ ලෙස කඳුළු සලන සැම දෙනාට ම අප කරන ආයාචනය මෙය යි.

බුද්ධිමතුන් යනු නිරුවත් රජුන්ගේ නො පෙනෙන සළුව නො දකින බව හ`ඩ නගා කීමට පැකිලෙන මුනිවත නො වන බව අවධාරණය කර සිටිමු. මෙම කුහක බමුණු කුලයට අභියෝග කිරීමට පෙළ ගැසෙන ලෙස ජනහිතකාමී විද්වතුන්ගෙන් යළි යළිත් ඉල්ලා සිටිමු.

ගවේෂණ සඟරාව  (2005 ජනවාරි  – අප්‍රේල්  / 4 කලාපය )