පාසල් දරුවන්ගේ පෝෂණය පිළිබඳ ව දෙමාපියන්ට සහ ගුරුවරුන්ට පුංචි ඉඟියක්

පාසල් දරුවන්ගේ දෙමාපියන්ගේ උගත්කම හෝ දැනුම්වත්කම විවිධාකාර විය හැකි ය. කෙසේ වෙතත් තම දරුවන්ගේ ආහාරයේ අඩංගු විය යුතු පෝෂ්‍ය පදාර්ථ, දරුවන්ගේ වයස අනුව ලැබිය යුතු ආහාර, දරුවන්ගේ රුචිකත්වයට ගැළපෙන පරිදි එම ආහාර කෙසේ පිළියෙල කර ගත යුතු ද, තම පරිසරයෙන් සොයා ගත හැකි ද්‍රව්‍යවල වටිනාකම, කෘත්‍රිම ආහාර පරිභෝජනයේ ආදීන ව යනා දී කරුණු පිළිබඳ මූලික දැනුමක් සෑම දෙමපියෙකුට ම පැවතිය යුතු ය.

යහපත් ආකල්ප සහිත, ගුණගරුක, ශාරීරික මෙන් ම බුද්ධි වර්ධනයට ද ආධාර වන සේ කුඩා අවධියේ සිට දරුවන්ට නිසි පෝෂණය ලබා දිය යුතු බව ගුරුවරුන් විසින් දෙමාපිය රැස්වීම්වල දී දෙමාපියන් ව දැනුම්වත් කළ යුතු ය. ඒ ඒ අවධියේ ළඟා විය යුතු බුද්ධි මට්ටමට ළඟා විය නො හැකි වුව හොත් දරුවාට නැවත කිසි දිනක ඊට ළඟා විය නො හැකි බව පහදා දිය යුතු ය. නිසි පෝෂණයක් නො ලබන ළමුන්ට නීරෝගි දරුවන්ට මෙන් ක්‍රීඩා කිරීමට හැකියාවක් නැත; ඉක්මනින් වෙහෙසට පත් වේ; පෙනුම වයසට අනුව වර්ධනය වී නැත; මාංශ පේශී දුර්වල සම රැලි වැටුනු ස්වභාවයක් ගනී; ඇස් දුර්වර්ණ ය. මෙවැනි ගති ලක්ෂණ හේතු කොට ගෙන අනික් ළමුන් සමඟ ඉගෙනුම් කාර්යයේ දී එක්ව කටයුතු කිරීමට ඔවුන්ට හැකියාවක් නොමැත. තව ද මන්දපෝෂණය නිසා ශරීරයේ ප්‍රතිශක්තිය හීනවීමෙන් නිතර ලෙඩ රෝගවලට භාජනය වීමට ද ඉඩ ඇත. හඳුනා නො ගත් මන්දපෝෂණ තත්ත්වයක් වර්තමාන ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් අතර දක්නට ඇත.

ශරීර වර්ධනයට හා බෝ වන රෝගවලින් ආරක්ෂා වීමට පෝෂක ද්‍රව්‍ය අවශ්‍ය වේ. මෙම පෝෂක ද්‍රව්‍ය මහා පෝෂක හා ක්ෂුද්‍ර පෝෂක ද්‍රව්‍ය ලෙස කොටස් දෙකකට අයත් ය. මහා පෝෂක යනු කාබොහයිඩ්රේට, ලිපිඩ සහ ප්‍රෝටීන වන අතර ක්ෂුද්‍ර පෝෂක යනු විටමින් සහ ඛනිජ ලවණයි. මන්ද පෝෂණය යනු ශරීර වර්ධනයට අවශ්‍ය වන මෙම පෝෂණ සංඝටකවල ඇති වන ඌනතාවයි.

වර්තමානයේ පවතින ආර්ථීක අපහසුතා අනුව මව පියා දෙදෙනා ම ආර්ථීක ඉපැයීමේ නියැලෙන බැවින් තම පහසුව තකා උදෑසන වෙළඳපොළෙන් මිල දී ගන්නා කෘත්‍රිම ආහාරවලට දරුවන් හුරු කිරීමට ඇතැම් දෙමව්පියන් පෙලැඹී ඇත. එවැනි ක්ෂනික ආහාරවල, නිසි පෝෂණීය සංඝටක ඇතුළත් නොමැති බැවින් සහ අහිතකර දේ ඇතුළත් බැවින් දරුවන්ට නොසුදුසු ආහාර වේ. එසේ ම වර්තමානයේ තරගකාරි වෙළඳපළ උපක්‍රමවලට නොරැවටී සෞඛ්‍යවත් ආහාර පිළිබඳ ව නිසි ලෙස දැනුම්වත් වීම අතවශ්‍ය කරුණකි.

අද පාසල් දරුවන්ගේ වේගයෙන් ඉහළ යන බෝ නො වන රෝගවලට ප්‍රධාන හේතුව ආහාර රටාවේ වැරදි පිළිවෙත් බව වෛද්‍ය මතයයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනුව බෝ නො වන රෝගවලට බලපාන පළමු කරුණ වන්නේ, අයහපත් ආහාර රටාවයි. තෙලෙන් බැදගත් විවිධ රසකාරක හා වර්ණක යෙදූ වෙළඳපොළෙන් මිල දී ගන්නා ආහාර වෙනුවට කුඩා කල සිට ම තම නිවසින් සකස් කර දෙන ආහාර වේල් භුක්ති විඳීමට දරුවන් හුරු කිරීම ද දෙමාපියන්ගේ වගකීමයි. එම ආහාර භුක්ති විඳීමෙන් දරුවන්ට ඇති වන වාසි ගුරුවරයා ද දරුවන්ට පැහැදිලි කර දිය යුතු ය.

දරුවන්ගේ ශාරීරික වර්ධනය, බුද්ධි වර්ධනය, චිත්තවේග පාලනය, අයහපත් ආකල්ප වර්ධනය සඳහා නිවැරදි ආහාර රටාව හේතු වන බව ගුරුවරුන් දෙමාපියන්ට වටහා දිය යුතු ය. එහෙත් එදිනෙදා ලැඛෙන ආදායම වැය කිරීමට සිදුවන වැඩ කටයුතු අනුව දරුවන්ගේ පෝෂ්‍යදායක ආහාර වේල් ගැන කතා කිරීමේ දී දෙමාපියන් සැබැවින් ම අසරණ වේ.

ළමා අයිතිවාසිකම් පිළිබද ප්‍රඥප්තියට අනුව, “ජීවත් වීමේ හා නිසි ලෙස වර්ධනය වීමේ අයිතියක්” සෑම ළමයෙකුට ම ඇත එසේ ම “ළමයාගේ මූලික අවශ්‍යතා ඉටු ඉටු කිරීම කිරීමට දෙමව්පියන් ක්‍රියා කළ යුතු ව ඇත”.

දරුවන්ට ආහාර දීමේ දී ඔවුන්ගේ උදරය ගැන පමණක් නො ව, ඔවුන් කවදා හෝ වැඩි වැඩිහිටියන් වන බව ද සිහි තබාගෙන “නිරෝගී වැඩිහිටි වියක්” පිළිබඳ සලකා ආහාර දීම වැදගත් බව දෙමව්පියන් වටහා ගත යුතු ය.

යහපත් ආකල්ප සහිත, ගුණගරුක, ශාරීරික මෙන් ම බුද්ධි වර්ධනයට ද ආධාර වන සේ කුඩා අවධියේ සිට දරුවන්ට නිසි පෝෂණය ලබා දිය යුතු බව ගුරුවරුන් විසින් දෙමාපිය රැස්වීම්වල දී දෙමාපියන් ව දැනුම්වත් කළ යුතු ය. ඒ ඒ අවධියේ ළඟා විය යුතු බුද්ධි මට්ටමට ළඟා විය නො හැකි වුව හොත් දරුවාට නැවත කිසි දිනක ඊට ළඟා විය නො හැකි බව පහදා දිය යුතු ය.

එන්. එම්. මාලා ආර් ද සිල්වා

විශ්‍රාමලත් උප පීඨාධිපතිනි

ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය